අපක්‍ෂපාතීව අප කටයුතු කරනවා නම් මහ බැංකුවේ ස්‌වාධීනත්වය ගැන ප්‍රශ්න කිරීමට කිසිවකුටත් බැහැ

ශ්‍යාම් නුවන් ගනේවත්ත

ශ්‍රී ලංකා මහ බැංකුවේ නව අධිපතිවරයා වශයෙන් පත්කර ඇති අර්ජුන් මහෙන්ද්‍රන් මහතා ඊයේ (26 දා) මහ බැංකු මූලස්‌ථානයේදී නව මහ බැංකු අධිපතිවරයා වශයෙන් වැඩ භාරගත්තේය. ඡායාරූපයෙන් දැක්‌වෙන්නේ අර්ජුන් මහෙන්ද්‍රන් මහතා වැඩ භාරගනිමින් මුදල් නෝට්‌ටු සඳහා යොදා ගනු පිණිස සිය ආදර්ශ අත්සන තබන ලද අයුරුයි.

මහ බැංකුවට පැවරී ඇති බලතල නිසි පරිදි යොදාගෙන මහ බැංකු කාර්යයන් අපක්‍ෂපාතීව ඉටු කරනවා නම් මහ බැංකුවේ ස්‌වාධීන්තවය ගැන ප්‍රශ්න කිරීමට කිසිවෙකුටත් ඉඩක්‌ නැතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ නව අධිපති අර්ජුන මහෙන්ද්‍රන් මහතා පැවසීය.

නව මහ බැංකු අධිපතිවරයා මේ බව කීවේ පෙරේදා (26 වැනිදා) සිය රාජකාරි කටයුතු ආරම්භ කිරීමට පෙර සියලු මහ බැංකු කාර්ය මණ්‌ඩලය අමතමිණි.

ඔබ සියලු දෙනා මෙසේ පැමිණ මා පිළිගැනීම, ඉදිරිකාලයේදී මහ බැංකු අධිපතිවරයා වශයෙන් රාජකාරි කටයුතු කිරීමට මට මහත් ශක්‌තියක්‌ සහ ධෛර්යක්‌. 1983 දී මාණ්‌ඩලික නිලධාරියකු වශයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවයට බැඳී, පසුව දේශිය හා විදේශීය වශයෙන් ආර්ථික හා මූල්‍ය අංශයන්හි දීර්ඝ කාලයක පළපුරුද්ද සහ අත්දැකීම් ලබා නැවත මහ බැංකු අධිපතිවරයා වශයෙන් සේවය කිරීමට අවස්‌ථාව ලැබීම මා ලැබූ මහත් භාග්‍යයක්‌. මුදල් නීති පනතට අනුව, ශ්‍රී ලංකා මහ බැංකුවේ ව්‍යවස්‌ථාපිත අරමුණ වනුයේ, ශ්‍රී ලංකාවේ නිෂ්පාදන සම්පත් සංවර්ධන දිරි ගැන්වීම සහ ප්‍රවර්ධනය සඳහා ආර්ථික සහ මිල ස්‌ථායිතාවයත්, මූල්‍ය ක්‍රමයෙහි ස්‌ථායිතාවයත් ආරක්‍ෂා කර ගැනීමයි. මෙය ඉතාම භාරදූර සහ ප්‍රමුඛ ජාතික සේවයක්‌ හා වගකීමකි. මෙම ජාතික වගකීම ඉටුකළ යුතු වනුයේ, මුදල් නීති පනතින් සහ වෙනත් පනත් තුළින් මුදල් මණ්‌ඩලයට සහ මහ බැංකුවට ලබාදී ඇති බලතල පාවිච්චි කිරීමෙනි. ව්‍යවහාර මුදල් නිකුතුව, මූල්‍ය ප්‍රතිපත්තිය, විදේශ විනිමය ප්‍රතිපත්තිය, විදේශ සම්පත් කළමනාකරණය, බැංකු සහ මූල්‍ය ආයතන අධීක්‌ෂණය, ආර්ථික පර්යේෂණය, රාජ්‍ය ණය කළමනාකරණය, රජයේ බැංකුව, µsස්‌කල් නියෝජිතයා, මූල්‍ය උපදේශකයා සහ නියෝජිතයා වශයෙන් කටයුතු කිරීම යනාදිය මෙම බලතල ලැබී ඇති විෂයන්ගෙන් ප්‍රධාන ඒවා කිහිපයක්‌. මුදල් නීති පනත කෙටුම්පත් කොට, මහ බැංකුව පිහිටුවා, එහි ප්‍රථම අධිපති වූ ජෝන් එක්‌ස්‌ටර් මහතා විසින් තම වාර්තාවෙහි මහ බැංකුවේ වගකීම් වලට සරිලන ඉතා ඉහළ බලතලත්, වෙනස්‌ වන ආර්ථික තත්ත්වයන්ට ගැලපෙන පරිදි ප්‍රතිපත්ති සකසා ගැනීමට හැකි ඉතා නම්‍ය නීතිමය රාමුවකුත් මුදල් නීති පනත මගින් මහ බැංකුවට ලබාදී තිබෙනවා.

මහ බැංකුවේ අරමුණු, කාර්යයන් සහ බලතල දෙස බලන විට ශ්‍රී ලංකා ආර්ථිකයෙහි සහ පොදු ජන ජීවන තත්ත්වයෙහි මූලික ස්‌ථානයක්‌ මහ බැංකුවට හිමිවී තිබෙනවා. බොහෝ දෙනෙකු ශ්‍රී ලංකා ආර්ථිකයෙහි හදවත ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව හඳුන්වා දෙනුයේ මේ නිසාය. මෙම වගකීම ඉටු කිරීමට අවශ්‍ය නීතිමය බලතල සහ පසුබිම මහ බැංකුවට ඕනෑ තරම් තිබෙනවා. එහෙත්, ජෝන් එක්‌ස්‌ටර් මහතාට අනුව හොඳ මහ බැංකුවක්‌ යනු හොඳ මහ බැංකු නීතියට වඩා හොඳ මහ බැංකු ක්‍රියාපිළිවෙලයි. එය ලෝකයේ පිළිගත් මහ බැංකු සම්ප්‍රදායක්‌ අනුව අංග කිහිපයකින් යුක්‌ත වෙනවා.

පළමුව, මහ බැංකු සේවකයන් වන අපි සියලු දෙනා ඉතාම වෘත්තීය නිපුනතාවයකින් යුතුව මහ බැංකු ප්‍රතිපත්ති ගැනීමට සහ ක්‍රියාත්මක කිරීමට කටයුතු කළ යුතුය. ඔබ සියලු දෙනා ඉතාමත් ඉහළ අධ්‍යාපන සුදුසුකම් සහ පුහුණුව සහිත පිරිසක්‌ බව මහජනයාගේ පොදු පිළිගැනීමයි. මහ බැංකුව සහ මුදල් මණ්‌ඩලය විසින් ගත යුතු ප්‍රතිපත්ති මොනවාද යන්න අධ්‍යයනය කොට යෝජනා කළ යුත්තේ ඔබ විසින්ය. නිසි අනුමැතිය ලැබීමෙන් පසු අපේක්‍ෂිත අරමුණු ඉටුවන ලෙස ඒවා ක්‍රියාත්මක කළ යුත්තේද ඔබ සියලු දෙනා විසිනුයි.

දෙවනුව, රජය සහ මහජනතාව විසින් මහ බැංකුව වෙත තබා ඇති විශ්වාසය රැකෙන පරිදි අප ක්‍රියා කළ යුතුය. රටේ ආර්ථික සංවර්ධනයට සහ ස්‌ථායිතාවට අවශ්‍ය මූලික ආර්ථික ප්‍රතිපත්ති රාශියක්‌ ක්‍රියාත්මක කිරීමටත්, ඒ සඳහා අපක්‍ෂපාතීව කටයුතු කිරීමටත්, මහ බැංකුවට හැකි බව පොදු විශ්වාසයයි. අපි එම විශ්වාසය ආරක්‍ෂා කරමු.

තෙවනුව, මහ බැංකු කාර්යයන් ඉටු කිරීමේදී ක්‍රියාත්මක ස්‌වාධීනත්වයක්‌ අප විසින් පවත්වාගත යුතුය. මහ බැංකු ස්‌වාධීනත්වය කුමක්‌ද යන්න මහ බැංකු උගතුන් අතර දීර්ඝ ලෙස සාකච්චාවට භාජනය වී ඇති කරුණක්‌. අපි සියලු දෙනා මහ බැංකුවට පැවරී ඇති බලතල නිසි පරිදි යොදාගෙන මහ බැංකු කාර්යයන් අපක්‍ෂපාතීව ඉටු කරයි නම් මහ බැංකු ස්‌වාධීන්තවය පිළිබඳව ප්‍රශ්න කිරීමට කිසිවකුට ඉඩ නොමැත. අප එසේ කටයුතු කළ යුතුය.

හතරවනුව, අපි මහජන මුදල් ඉතාමත් ආරක්‍ෂාකාරීව සහ ඵලදායිව භාවිතා කළ යුතුය. වෙනත් කිසිම රජයකට හෝ රාජ්‍ය ආයතනයකට නොමැති මුදල් මුද්‍රණය කිරීමේ බලය මහ බැංකුවට තිබෙනවා. මහ බැංකුව නිකුත් කරනු ලබන සෑම රුපියලක්‌ම ආර්ථිකය තුළ රුපියල් කිහිපයක්‌ ලෙස ගුණාකාර වෙනවා. එබැවින් මහ බැංකුවෙන් නිකුත් කෙරෙන සෑම රුපියලක්‌ පිළිබඳවම අපි ආරක්‍ෂාකාරී විය යුතුයි.

පස්‌වනුව අප කරන කියන සියලු දෙය ගැන අපි මහජනයාට වගකිව යුතුය. ඒ සඳහා කාර්යක්‍ෂම යහපාලන ක්‍රමයක්‌ මහ බැංකුවේ තිබිය යුතුය. මහ බැංකුවේ ප්‍රතිපත්ති ප්‍රකාශන, මූල්‍ය ප්‍රකාශන, විගණනය සහ අනෙකුත් රාජ්‍ය අධීක්‍ෂණ ආයතන තුළින් අපි පාර්ලිමේන්තුවටත් මහජනයාටත් වගකිව යුතුය.

මෑත කාලීන ලෝක ආර්ථික අර්බුදයෙන් පසුව ලෝක ආර්ථිකය තවමත් විවිධ අනපේක්‍ෂිත ආර්ථික කම්පනයන්ට මුහුණ දෙමින් පවතින මෙම අවස්‌ථාවේ ශ්‍රී ලංකා ආර්ථිකයද නව සන්ධිස්‌ථානයකට අද පැමිණ තිබෙනවා. එනම් නව සාර්ව ආර්ථික කලමනාකරණ ක්‍රමවේදයක්‌ සැකසීමයි. මෙහිදී මුදල් නීති පනතින් සහ වෙනත් පනත් වලින් පැවරි ඇති කාර්යයන් සහ බලතල අනුව මහ බැංකුවෙන් ඉටු කළ යුතු මෙහෙය ඉතා විශාල එකක්‌ ද වෙනවා.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.