අපරාධකරුවන් බය කරන මන්තරය

"එල්ලුම් ගහට පණ දී හෝ අපරාධ මඬිනවා". මේ ඊයේ (04 වැනිදා) "දිවයින" පුවත්පතේ ප්‍රධාන සිරස්‌තලයයි. එසේ ම තවත් බොහෝ පුවත්පත්වල ද මුල් පිටුවේ ප්‍රවෘත්ති අතර ඒ තොරතුරට වැදගත් තැනක්‌ ලැබී තිබිණි. මේ ප්‍රවෘත්තිය ඉපැදෙන්නේ අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්‍ෂ ඊට පෙර දිනයේ එනම් 03 වැනිදා මල්වතු අස්‌ගිරි මහ නාහිමිපාණන් බැහැදකිමින් කළ ප්‍රකාශයකිනි.

නාහිමියන් බැහැදැක තවත් බොහෝ කරුණු කාරණා සාකච්ඡා කළ නමුදු මේ ප්‍රවෘත්තියට වැඩි වටිනාකමක්‌ ලැබෙන්නට හේතුවක්‌ තිබේ. ඒ "එල්ලුම් ගහ" යනු යුගයේ අවශ්‍යතාවකටත් වඩා යුගයේ "මාතෘකාව" වී ඇති බැවිනි. මේ යුගය ආරම්භ වන්නේ අදක ඊයේක නොවේ. ඡේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා බලයට පත්වීමෙන් පසු ධර්මිෂ්ඨ සමාජයක්‌ සංකල්පය යටතේ මරණ දඬුවම අහෝසි කරන තෙක්‌ ම එය ක්‍රියාත්මක විණි.

එවක්‌ පටන් දිවයින පුරා දරුණු ඝනයේ අපරාධයක්‌ සිදු වූ සැණින් එල්ලුම් ගහ ගැන විවිධ කතා මතුව ආයේ ය. යෝජනා අදහස්‌ පළ කෙරිණ. එහෙත් ක්‍රියාත්මක වීමක්‌ නම් සිදු නො විණි. "එල්ලුම් ගස" නැතහොත් එල්ලුම් ගසට යන තැනැත්තා යනු විවාදාසම්පන්න මාතෘකාවක්‌ වීම ඊට හේතුව ය.

"මරණීය දණ්‌ඩනය" යන්න අපේ රටේ බොහෝ දෙනෙක්‌ "ගස්‌ යනවා" යෑයි ව්‍යවහාර කරන්නේ මරණීය දණ්‌ඩනය නියම කරන්නේ එල්ලා මැරීමට වීම නිසා ය. එල්ලා මරන්නේ එල්ලුම් ගසේ ය. කෙසේ හෝ මේ එල්ලා මැරීම සිදු කරන්නේ මනුෂ්‍ය ඝාතනයක්‌ තරම් බරපතළ අපරාධයක්‌ සිදු වූ විටය. අරාබිකරයේ රටවල ස්‌ත්‍රී දූෂණයකට හෝ අපචාරයේ යෙදීමකට ද මරණීය දණ්‌ඩනය නියම කෙරේ.

මරණීය දණ්‌ඩනය ප්‍රතික්‍ෂේප කරන බොහෝ දෙනෙක්‌ කියන්නේ එයද මානව අයිතීන් කඩ කිරීමක්‌ හැටියට ය. කෙසේ හෝ අධිකරණ ඇමැතිවරයා මහ නාහිමියන් බැහැ දැක "එල්ලුම් ගහට පණ දී හෝ අපරාධ මඬිනවා"යෑයි කීම ද, යම් තරමකට හෝ ප්‍රායෝගික ඇත්aaතකි.

අපේ රටේ බරපතළ අපරාධයක්‌ සිදු වූ කල ඒවාට නිසි දඬුවම් හිsමි නොවී යෑයි කියෑවෙන අවස්‌ථා ද බොහෝ ය. "දෙන්නෙක්‌ තුන්දෙනෙක්‌ ගස්‌ ඇරිය නම් මිනිස්‌සු අපරාධ කරන්න බය වෙනවා" යෑයි කියන්නේ එබැවිනි.

අපේ රටේ රජ කාලයේ මෙන් හිටුවා පස්‌ ගැසිය යුතු, උල හිඳුවා මරා දැමිය යුතු ආකාරයේ අතිශය කෲරතර අපරාධ, ඝාතන කළ වුන් පවා අධිකරණයේදී සිනහමුසුව හැසිරෙන, තවත් අපරාධකරුවකුට (අපරාධයක්‌ කරන්නට සැලසුම් කරන අයට) ත්‍රිල් එකක්‌, උත්තේජනයක්‌ ලබා දෙනවා මිස බියක්‌ ඇති කරන්නේ නැත. ඉහත කී ප්‍රකාශ නිකුත් වන්නේ එවිට ය.

ප්‍රේමය ප්‍රතික්‍ෂේප කළ විට ලේ විදින සේ දහහත්පලකට ඇන පළි ගන්නා ළාබාල තරුණයන්ගෙන් පිරි සමාජයක්‌ ද, පාටියක්‌ අවසානයේ "බයිට්‌" එකට සුද්දන් මරා දැමීමේ ත්‍රිල් සංස්‌කෘතියක්‌ ගොඩනැඟෙන්නේ ද, කිසිදු බියක්‌ සැකක්‌ නොමැතිව ගිනි අවි මාන ගනිමින් යුද වැදීම් ද, ඉතා සුළු අරෝවකට පවුල් පිටින් ඝාතනය කිරීම්ද, සිදු වන්නේ පෙර කී ලෙස "බිය" තුරන් වූ විට ය.

කහවත්තේ ඝාතන වැලක්‌ එක දිගට සිදු වූ ආකාරය අමතක කළ නොහැක්‌කකි. සැකකරුවන් කිහිපදෙනකු බන්ධනාගාරයේ ය. එසේ වී තිබියදීත් ඝාතන සිදු විණි. කෙනකු මරා දමන්නට ඇති බිය පහව යැම ම භයානක ය. විශේෂිත ම කාරණය වන්නේ මේ ඝාතන සිදු කරන ම්ලේච්ඡ ආකාරයයි. මෙම කෲරතර බව හට ගන්නේද බිය පහව යැම නිසා ය.

පසුගිය දශක තුනක කාලය තුළ සමාජයට අනිසි ආකාරයේ බලපෑම් කළ දේශපාලන මැදිහත්වීම් ද මේ තත්ත්වය බරපතළ වීමට ප්‍රබල හේතුවක්‌ වූ බව කිව යුතු ය. කෙසේ හෝ "බය කරන්නට" නොව වැරැද්ද හදා ගන්නට අපරාධ මඬින ක්‍රමයක්‌ අවශ්‍ය බව සැබෑ ය. එහෙත් එකෙකු මැරූ පළියට අනෙකා ද මරා දමන දඬුවම් ක්‍රමය වෛරය ප්‍රතික්‍ෂේප කරන හිංසනය ප්‍රතික්‍ෂේප කරන ලෝ උතුම් දහමක හැසිරෙන ජාතියකට සුදුසු ද යන්න ද සිතා බැලිය යුතු කාරණයකි.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.