ජීවිතය ජය ගන්න සෞදි ගිය
වනිතාට වෙච්ච දෙයක්‌

මනම්පිටිය - ඡේ. ඒ. ජයකොඩි

කුඩා පැල්පතක තම මෑණියන් හා සොහොයුරු සොහොයුරියන් සමඟ ආර්ථික අපහසුතා මැද ජීවත් වෙමින් සිටි වැලිකන්ද මදුරංගල අංක 174 නිවසේ සිටි සුන්දරමූර්ති වනිතා (24) තරුණියගේ එකම සිහිනය වූයේ සුන්දර නිවසක්‌ සාදා තම මෑණියන් පෝෂණය කරමින් කීයක්‌ හරි සොයා ගැනීමයි. ඒ සඳහා කාන්තාවකට ඇති පහසුම මඟ ගෘහ සේවය යෑයි සිතූ වනිතා මීට වසර දෙකකට පෙර සෞදි අරාබිය බලා තම දෙමාපියන්ගේ ආශිර්වාද මැද පිටත් වූයේ කෙසේ හෝ තම අභිලාෂයන් ඉටුකර ගැනීමේ මහත් බලාපොරොත්තු ඇතිවය.

ඇය සතුටින් වසර එකහමාරක්‌ පමණ සේවය කළේ දෙමාපියන්ට සෞදි අරාබියේ සිට මුදල් එවමින් ඇයගේ සිහිනය ද මල්ඵල ගන්වා නව නිවසට අත්තිවාරමක්‌ දමා බිත්ති ද බැඳ කණකර ආභරණ ද එකතු කරමිනි. සතියකට වරක්‌ හෝ දෙකක්‌ සෞදි අරාබියේ සිට දුරකථන මගින් තොරතුරු දැනගත් සුන්දරමූර්ති වනිතා, තමන් උපන් මවුබිමට එන දිනය ද දෙමාපියන්ට දැනුම් දුන්නේ සියලුම රන් ආභරණ, බඩු බාහිරාදිය හා මුදල් ද සූදානම් කර ගනිමිනි.

කාලය ගත වීමත් සමඟ වනිතා එන දිනයට සති කීපයක්‌ ද තිබියදී දෙමාපියන් විසින් තම දියණියගේ රුව දැක ගැනීමට මහත් ආශාවෙන් සිටි නිසා දෙමාපියන් විසින් දුරකථන මගින් වනිතාට කතා කළේ ඇය පැමිණෙන දිනය නිශ්චිතව දැන ගෙන ගුවන් තොටුපළ වෙත යැම සඳහා ය. නමුත් වනිතාගේ දුරකථනය ක්‍රියා විරහිත වී ඇති නිසා දෙමාපියන් අදහස්‌ කළේ සෞදියේ සිටින වනිතාගේ දුරකථන අංක වෙනස්‌ වීමක්‌ හෝ වෙනත් දෝෂයක්‌ විය හැකි බව ය. නැවත නැවත උත්සාහ ගත්තත් වනිතාගේ දුරකථනය ක්‍රියාත්මක නොවූ නිසා ඊට දින දෙකකට පසු නැවත උත්සාහ කිරීමේදී එම තත්ත්වයම තිබීම නිසා වනිතාට අසනීපයක්‌ දැයි දැන ගැනීමට තොරතුරු විමසුවේ ඒජන්සියෙනි. ඊට පිළිතුරු දුන් ඒජන්සියෙන් දන්වා ඇත්තේ තව සති කීපයකින් ඇය ශ්‍රී ලංකාවට පැමිණෙන බවයි.

එහෙත් වනිතාගේ හඬ අවශ්‍ය නිසා කීප වතාවක්‌ ම වනිතාගේ දුරකථනයට ඇමතුම් ගැනීමේදී දෙමාපියන්ට දුරකථනයෙන් ලැබූ පිළිතුර වූයේ එම දුරකථනය ක්‍රියා විරහිත කර ඇති බවය. දුරකථනයට පිළිතුරු නොලැබී මාසයක්‌ පමණ ගතවීමෙන් පසු වනිතාගේ මවට ඒජන්සියෙන් ලැබුණු පිළිතුර වුයේ වනිතාගේ බෙල්ලට ලණුවක්‌ දා සියදිවි නසාගෙන ඇති බව යෑයි වනිතාගේ සොයුරු පාක්‍යරාජා පැවැසීය. එහෙත් වනිතාගේ බෙල්ල කපා ඝාතනය කර ඇති බවට පොලිසියෙන් දැන්වූ බවත්, පාක්‍යරාජා පැවසුවත් ඇයට සියදිවි නසා ගැනීමට කිසිදු හේතුවක්‌ නැති අතර වනිතාගේ මරණය පිළිබඳ මෙතෙක්‌ නිවැරැදි තොරතුරක්‌ නැති බව මියගිය වනිතාගේ ඥාතීහු ප්‍රකාශ කර සිටිති.

කෙසේ හෝ සෞදියේ දී මියගිය වනිතාගේ මෘත දේහය ඇය මියගොස්‌ මාස දෙකකට පසු හතරැස්‌ සුදු ලෑලි පෙට්‌ටියකින් වනිතාගේ මදුරංගල කුඩා පැල්පතට රැගෙන පැමිණියේ ඇයට හිමි මුදල් හා රන් ආභරණ ද අහිමිවය. සොඳුරු නිවෙසක්‌ ඉදිකර සුන්දර ජීවිතයක්‌ ගත කිරීමට විදෙස්‌ ගත වූ සුන්දරමූර්ති වනිතා වගේ අය අප රටේ කොතරම් ඇත්ද?

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.