උතුරු මහ ඇමැති යෝජනාව රට අවුලකට ඇද දමයි!



වසර 25 කට පසු උතුරු පළාත් සභාව සඳහා මැතිවරණයක්‌ පැවැත් වුණේ මීට වසර දෙකකට පෙර එනම් 2013 දීය. එම මැතිවරණයට දෙමළ ජනතාව මහත් උනන්දුවෙන් සහභාගි වූ අතර එම පළාතට වෙන් කර තිබූ ආසන 38 න් 30 ක්‌ ම දිනාගෙන තම බලය තහවුරු කරන්නට දෙමළ ජාතික සන්ධානයට හැකි විය. හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සී. වී. විග්නේෂ්වරන් මහතා උතුරු මහ ඇමැති බවට පත්වූ අතර සමහර දෙමළ සන්ධාන නායකයන් නොසතුට පළ කරද්දී හෙතෙම හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ ඉදිරියේ සිය ධුරයේ දිවුරුම් දුන්නේය.

දෙමළ ජාතික සන්ධානය එදා එනම් පළාත් සභා මැතිවරණ සමයේ ඉදිරිපත් කර තිබූ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳව බොහෝ දෙනාගේ නොසතුට පළවූයේ මේ හරහා මියගිය ප්‍රභාකරන්ට යළි පණ දීමට උත්සාහ කර තිබූ නිසාය. අධිආරක්‍ෂිත කලාප ඉවත් කළ යුතු බවත් 1983 ට පෙර පැවති ආකාරයටම, පසුව පිහිටවනු ලැබූ සියලු හමුදා කඳවුරු ඉවත් කළ යුතු බවද එහි අවධාරණය කර තිබිණි. කොළඹ ආණ්‌ඩුව මගින් පාලනය වන පොලිසිය උතුරට අවශ්‍ය නැතැයි මෙම ප්‍රතිපත්ති ප්‍රකාශනය මගින් දෙමළ සන්ධානය අවධාරණය කර තිබූ අතර උතුරේ මහ ඇමැතිවරයා යටතේ පාලනය වන පොලිසියක්‌ පිහිටුවිය යුතු බව එහි සඳහන්ව තිබිණි. ඇත්තෙන්ම දෙමළ සන්ධානය උතුරු පළාත් මැතිවරණයට ඉදිරිපත් කර තිබුණේ "ස්‌වයංපාලනය හොල්මන්" ආණ්‌ඩුව උතුරෙන් පලවාහැර තිබිණි.

විග්නේෂ්වරම් මහ ඇමැතිවරයා 2013 ඔක්‌තෝම්බර් 07 වැනිදා වැඩ භාරගත් දිනයේ සිටම උතුරු පළාත් ආණ්‌ඩුකාරයා සමග ගැටෙන්නට වූ වග ප්‍රසිද්ධ කරුණකි. විග්නේෂ්වරන් ඉල්ලා සිටියේ උතුරේ මහ ඇමැති ලෙස මහාචාර්ය සාවිත්‍රි ගුණසේකර පත් කරන ලෙසයි. කවරක්‌ හමුවේ උතුරේ හමුදා ආණ්‌ඩුකාරයා ඉවත් කිරීමට මහින්ද රාජපක්‍ෂ මහතා කිසිවිටක කැමැත්ත පළ කළේ නැත. ආණ්‌ඩුකාරයා වෙනස්‌ වූයේ ජනවාරි 09 වැනිදා මෛත්‍රීපාල සිරිසේන මහතා බලයට පත්වීමත් සමගය.

උතුරු පළාත් මහ ඇමැති නිතර මැසිවිලි කියූ නිසා නව ජනපතිවරයා උතුරේ නව ආණ්‌ඩුකාර ලෙස හිටපු විදේශ ලේකම් එම්. එම්. ජී. බී. පලිහක්‌කාර මහතා පත් කරනු ලැබීය. මෙය සී. වී. විග්නේෂ්වරම් මහතාගේද ප්‍රසාදයට ලක්‌විය. එහෙත් මේ මහ ඇමැතිවරයා යළිත් වාරයක්‌ කොළඹ ආණ්‌ඩුව විශාල අවුලකට දමන්නට උත්සහ කරන බව පෙනුනේ ඉකුත් අඟහරුවාදා උතුරු පළාත් සභාවේදී සම්මත කරනු ලැබූ යෝජනාව අනුවය. 1948 සිට මේ දක්‌වා ශ්‍රී ලංකාව පාලනය කර ආණ්‌ඩු දෙමළ ජනයා ඝාතනය කළ බවත් විශේෂයෙන්ම 2009 දී විශාල ජන සංහාරයක්‌ සිදුවූ බවත් මේ ගැන සොයා බැලීම සඳහා ජත්‍යන්තර පරීක්‍ෂණයක්‌ සිදුවිය යුතු බවත් උතුරු පළාත් මහ ඇමැතිවරයා එම පළාත් සභා සැසිවාරයට ඉදිරිපත් කරන ලද යෝජනාවේ සඳහන් විය. ජාත්‍යන්තර යුද අධිකරණයේ මෙහෙයවීම මත මෙම පරීක්‍ෂණය සිදුකළ යුතු බවත් උතුරු නැගෙනහිර වෙසෙන ජනතාවගේ ආරක්‍ෂාව වෙනුවෙන් මෙම පරීක්‍ෂණය හැකි ඉක්‌මනින්ම ආරම්භ කළ යුතු බවත් උතුරු පළාත් සභාවේදී සම්මත වූ මෙම විශේෂ යෝජනාවේ සඳහන් වේ.

විශේෂයෙන්ම උතුරේ වෙසෙන සෑම වැසියන් තිදෙනකු වෙනුවෙන් එක්‌ සොල්දාදුවකු බැගින් සිටින නිසා උතුරු පළාත කෙතරම් තදින් හමුදාකරණය වී ඇත්දැයි ජාත්‍යන්තරය අවබෝධ කරගත යුතු බව මෙම යෝජනාව හරහා විග්නේෂ්වරන් ජාත්‍යන්තරයට කරුණු දක්‌වා ඇත. කොළඹ ආණ්‌ඩුව යුද අධිකරණයට දැක්‌කීමේ උතුරු පළාත් සභා යෝජනාව සඳහා එම පළාත් සභාවේ මන්ත්‍රීවරුන් තිස්‌දෙනකු සිය ඡන්දය ලබාදී ඇත. ඒ අනුව මෙම යෝජනාවේ පිටපතක්‌ ජිනීවා නුවර මානව හිමිකම් කවුන්සිලයට ද යෑවෙනු ඇත.

දෙමළ ජාතික සන්ධානයේද සහයෝගය ඇතිව නව ජනපතිවරයා තේරී පත්විය. මෛත්‍රිපාල සිරිසේන මහතා බලයට පත්වී මසක්‌ ගෙවෙද්දීම උතුරු පළාත් මහ ඇමැතිවරයා මෙලෙස යුද අපරාධ ගැන ජාත්‍යන්තර පරීක්‍ෂණයක්‌ පැවැත්විය යුතු යෑයි යෝජනා කරන්නේ කා සැනසීමටද? යහපාලන ආණ්‌ඩුවද මේ නිසා අර්බුදයට පත් නොවන්නේද? මහින්ද රාජපක්‍ෂ මහතා සමග නම් දෙමළ ජාතික සන්ධානයට බරපතළ වෛරයක්‌ තිබිණි. දැන් රාජපක්‍ෂ මහතා මැතිවරණයෙන් පරාජය වී මැදමුලනට ගොස්‌ ඇත. දෙමළ සන්ධානය උත්සහ කරන්නේ මැදමුලනට ගොස්‌ සිටින "නායකයා" කොටු කිරීමටද? නැත්නම් මේ යෝජනාව ඉදිරියට දමමින් උතුරේ හමුදා කඳවුරු අඩු කරන ලෙස සිරිසේන - වික්‍රමසිංහ පාලනයට බලකිරීමද? මේ යෝජනාව 1948 දක්‌වා අතීතයට ඇදගෙන ගියේ මන්ද? දෙමළ සන්ධානය විශේෂයෙන් විග්නේෂ්වරන් මහතා සියලු සිංහල ආණ්‌ඩු ගැන වෛරයෙන් පසුවන්නේද? නව ආණ්‌ඩුව පත්වුවත් උතුරේ කඳවුරු වෙනස්‌ නොකරන බව ආරක්‍ෂක රාජ්‍ය ඇමැති රුවන් විඡේවර්ධන මහතා ප්‍රකාශ කර තිබිණි. රුවන් විඡේවර්ධන මහතා මේ ප්‍රකාශය පිළිබඳව කොටි හිතවාදී වෙබ් අඩවිවල පුළුල් ප්‍රචාරයක්‌ ලබාදී තිබිණි. ආරක්‍ෂක ඇමැතිවරයාගේ උතුරේ සංචාරයට දින කිහිපයකට පසු උතුරු පළාත් සභාව මෙම යෝජනාව සම්මත කරගෙන ඇත.

අන්නමලෙයි වර්ධරාජා පෙරුමාල් 1990 මාර්තු 01 වැනිදා උතුරු නැගෙනහිර ඊළාම් රාජ්‍යය ප්‍රකාශයට පත් කර එවක පැවති ප්‍රේමදාස පාලනය අපහසුතාවට පත්කරන්නට උත්සාහ කළේය. මේ ප්‍රකාශයෙන් උරණවූ එවක රාජ්‍ය ආරක්‍ෂක ඇමැති රන්ජන් විඡේරත්න මහතා නිවේදනය කළේ මේ පුද්ගලයා වහා අත්අඩංගුවට ගත යුතු බවය. නමුත් වහා ක්‍රියාත්මක වූ රෝ ඔත්තු සේවාව චීන වරායට ගොඩබස්‌සවනු ලැබූ ගුවන් යානයක්‌ මගින් ඊනියා මහ ඇමැතිවරයා ඔරිස්‌සා ප්‍රාන්තය වෙත රැගෙන යන ලදී, කොළඹ ප්‍රභූ සමාජය නියෝජනය කරන උගතකු වන සී. වී. විග්නේෂ්වරන් මහතා දැන් ක්‍රියාකරන්නේ කවරකු ආකාරයෙන්ද? වර්ධරාජා පෙරුමාල් ආකාරයට නොවේද? ජාත්‍යන්තර පරීක්‍ෂණ පැවැත්වීමට යෝජනා කිරීම මගින් සිදුවන්නේ මෙරට ජාතීන් අතර සංහිදියාව නැතිවීම නොවේද? උතුරු මහ ඇමැති උත්සහ කරන්නේ කොටි ඩයස්‌පෝරාව සතුටු කිරීමටද? වසර 43 කට පසුව දෙමළ සන්ධාන නායක ආර්. සම්බන්ධන් මහතා කෝට්‌ටේ පැවති 67 වැනි ජාතික නිදහස්‌ දින උළෙලට සහභාගි වී යහපාලන ආණ්‌ඩුවටද සුබ පණිවුඩයක්‌ ලබාදුන්නේය. එහෙත් එම පණිවුඩයෙන් සතියකට පමණ පසු උතුරු පළාත් සභාව ක්‍රියාකාරන්නේ කාගේ උවමනාවන් පිරිමැසීම වෙනුවෙන්ද?

මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා ප්‍රකාශ කරන්නේ යුද්ධය අවසන් කාලයේ සිදුවූ සිදුවීම් ගැන ජාත්‍යන්තර පරීක්‍ෂණයක්‌ සිදු කිරීමට කිසිම අවශ්‍යතාවයක්‌ නැති බවයි. කොළඹ ආණ්‌ඩුව ජාත්‍යන්තර යුද අපරාධ පරීක්‍ෂණයකට ඉඩ ලබා නොදෙන බව දැනගෙනම විග්නේෂ්වරන් මෙවැනි යෝජනා ඉදිරිපත් කරන්නේ මන්ද? සර්බියානු නායක සිලොබොදාන් මිලොසොවික්‌ හේග් නුවර පැවැති සර්බියානු ආණ්‌ඩුවේද විරෝධය නොතකාය. ඡන්දයෙන් පරාජය වී සිටි මිලොසොවික්‌ට මුක්‌තිය නැත. මේ යුද අපරාධ පරීක්‍ෂණ හරහා විග්නේෂ්වරන් උත්සහ කරන්නේද මැදමුලන සිටින මහින්ද රාජපක්‍ෂ මහතාව හේග් නුවරට රැගෙන යන්නට පිඹුරුපත් සකස්‌ කිරීමටද? මෙය බරපතළ අනතුරකි.

කවරක්‌ නමුත් උතුරු පළාත් සභාවේ යෝජනාව පිළිබඳ ඉන්දීය දේශපාලන විචාරකයන් අදහස්‌ දක්‌වා ඇත. ඔවුන් පවසන්නේ දිල්ලි ආණ්‌ඩුව ලංකාවේ යුද්ධය ගැන ජාත්‍යන්තර පරීක්‍ෂණයකට එකඟ නැති බවයි. එහෙත් මේ කුමන්ත්‍රණ කොතැනින් අවසන්වේද යන්න පැහැදිලි නැත. මේ ගැන සියලු දෙනා විමසිල්ලෙන් පසුවිය යුතුය.

චතුර පමුණුව
 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.