එක්‌වෙමුද කාවන්තිස්‌ස රජුගෙන් පසු
නීලපබ්බතය ගොඩනගන්නට..

තවත් පැය කිහිපයකින් එළඹෙන නවම් පොහොයට සැදී පැහැදී සිටින සඳ මෙපින් බිම සෞම්‍ය එළියකින් නහවා තිබේ. මේ පුංචි වැව ඉහත්තාවේ ඇති ගල්තලාව මතට වී සඳ එළියේ රිදී සළුව පෙරවාගෙන සිටින ජල තලය දෙස මම බලා සිටිමි. එහි එගොඩ අනෙක්‌ පස බුදු පිළිම වහන්සේ නමක්‌ වැඩ සිටින කුඩා වීදුරු කුටියකි. පසලොස්‌සක පෝදාට එතැනට දේවතා එළි පැමිණෙන්නේලු. ඒ කාවන්තිස්‌ස රජ සමයේ පටන් සර්වඥතා ධාතූන් වහන්සේලා වැඩසිටින තැනක්‌ වශයෙන් වන්දනාවට පාත්‍ර වූ තැනකි. දෙවියන්ද වැඳුම් පිදුම් කරන තැනකි. එයට ඉස්‌මත්තෙන් වූ ගල් තලාව මත එදා තිබූ චෛත්‍ය රාජයාණන්වහන්සේගෙන් ශේෂ වූ ගඩොල් කැබැලි විසිරී ඇත්තේ අනිත්‍ය පිළිබඳ කමටහනක්‌ පරිද්දෙනි. හෙට එතැන ඒ ආකාරයේම චෛත්‍ය රාජයාණන් වහන්සේ නමක්‌ ඉදිව තිබෙනු මම මනසින් රූප මවන්නෙමි. අපගේ මේ ව්‍යායාමය කාවන්තිස්‌ස රජ සමයේ මෙහි තිබූ ඒ ධර්මශ්‍රීය යළි ඉපදවීමටය. එහි පළමු අදියර දැනටමත් හමාරය. සර්වඥයින් වහන්සේගේ විශාලම ධාතූන්වහන්සේ වන ලලාට ධාතූන්වහන්සේ මෙයට සැතපුම් දෙක තුනක්‌ ඈතින් වැඩ සිටිති. එදා 2007 වර්ෂයේදී නැගෙනහිර එල්.ටී.ටී.ඊ මාරයාව පරාජය කළ සැනෙන් අප පැමිණි ගමනේදී සිතක උපන් සිතිවිල්ලක්‌ දැන් මෙබිම ආරණ්‍ය භූමියක්‌ ලෙසින් යළි උපදවා තිබේ. අතීතයේ අරහන්ත භූමිය යළිත් පිළිවෙත් පුරන මහා සංඝයා උදෙසා පූජා කිරීමට කටයුතු සැකසෙමින් තිබේ.

අලියා අතු බිඳින හඬ පවසනුයේ මා මෙතැනින් ඉවත්ව අසල ඉදි වූ කුටිය තුළට යැමට කාලය පැමිණ ඇති බවය. හෙට උදයේම අවදිවී තවත් කුටි ගෙවල් තුනක පාදම් කැපිය යුතුය.

මේ සේරුවාවිල රජ මහා විහාරයට කිලෝමීටර 5ක්‌ පමණ ඈතින් පිහිටි බිමකි. නීලපබ්බත විහාරය යෑයි නම් ඇති මෙබිමට අප මෙයට වසර 7කට ප්‍රථම මුල්වරට පැමිණෙන විට එහි තිබුණේ නම පමණි. එය අතීතයක්‌ කටුකොහොළින් වසාගත් බිමක්‌ පමණක්‌ විය. ශාසනික කාර්යයක්‌ උදෙසා මෙබිම 'සදහම් විජය' පදනමේ අපට භාරකරනු ලැබුවේ සේරුවාවිල මංගල රජමහ විහාරාධිපති සේරුවාවිල සරණකිත්ති හිමියන් විසිනි. එය එලෙසින් හිමිවීම ශාසනික සද්කාරය පිනිස අපේ උරුමයක්‌ වන්නට ඇති වුවත්, එය හිමිවූයේ වෙනත් ගමනක අහම්බයක්‌ ලෙසිනි.

එදා 2007 වසරේදී නැගෙනහිර බෞද්ධ උරුමය දැක වන්දනාකර ගැනීම පිණිස මමත්, අප සදහම් විජය පදනමේ නියමුවා වන වසන්ත කුමාරගේ නැමැති මාගේ ගුරුවරයාත් පැමිණි ගමන 'මෙලෝ පුතෙක්‌' පැමිණෙන ගමනක්‌ නම් නොවීය. වන්දනාව පිණිස සිවිල් වැසියන් පැමිණෙන කාලයක්‌ නොවීය එය. නැගෙනහිර මුදාගත්තා පමණි. අඩි කිහිපයෙන් කිහිපයට පාර දෙපස සන්නද්ධ හමුදා භටයන් රැඳී සිටියේය. මරණයේ සීමාවට මායිම ලකුණු කර ඇති පරිද්දෙන් කළු සහ කහ මිශ්‍ර ඉටිකොළ තීරු හාත්පස ඇද තිබුණේ බිම් බෝම්බ අවදානම පෙන්වමින් විතරක්‌ නොවේ, තැනින් තැන වළ හෑරුණු පටු පාර පමණක්‌ අපේ 'අභය භූමිය' ලෙසින් සීමා පනවමිනි. අද බිම්බෝම්බ ඉවත් කර ඒ පළාතම අභය භූමියක්‌ කර තිබුණද, එම මාර්ගය එදා මරණයේ මාවත විය. යුද සමයේ වැඩිම බිම්බෝම්බ ගණනක්‌ පිපිරී ගිය මගකි එය. ඒ මඟේ ගමන් කරද්දී වසන්ත කුමාරගේ ගුරුතුමා මදෙසට හැරී පැවසූ වදන් මේ මොහොතේද හදවතේ දෝංකාර දේ.

'පුතේ, මම හොඳ විමසිල්ලෙන් ආවේ. කන්තලෙන් උඩහට කිසිම ආරණ්‍ය සේනාසනයක්‌ ඇත්තෙ නැහැ. මේ, තුන් ලෝකයටම ඉතිරිවෙලා තිබෙන බුදුහාමුදුරුවන්ගේ ලොකුම ධාතූන් වහන්සේ වැඩ සිටින බිම. දන්ත ධාතූන් වහන්සේ මේ රටට වැඩම කරවපු බිම මේක. මේවා එදා අරහත් උත්තමයන් වැඩ සිටිය බිම්. ඒත් අද භාවනුයෝගී ස්‌වාමීන්වහන්සේ නමකට සප්පාය වන විදිහට සකස්‌වුණු එකම ආරණ්‍ය සේනාසනයක්‌වත් මේ පැත්ත පළාතක නැහැ. මම හදනවා පුතේ. මම කොහොම හරි ඒ දේ කරනවා'

ඒ වචනවල ඇති ප්‍රායෝගික බව මම හොඳින්ම දනිමි. ඒ වචනවල ඇති ශක්‌තිය මම හොඳින් දනිමි. ඔහු ශාසනය වෙනුවෙන් පතනා දේ කියන, කියනා දේ කරන චරිතයකි. උගුර ලේ රස වන තුරු කෑ ගසා සිය පෞද්ගලික පංතිවල ඉංග්‍රිසි බස දරුවන්ට කියාදීම වෙනුවෙන් තිතට වෘත්තිය ඉටුකරන වසන්ත මහතා, මේ වන විට අඛණ්‌ඩව වසර විසිගණනක කාලයක්‌ පුරා සිය පෞද්ගලික ඉපැයුමෙන් හතරෙන් තුනක්‌ම වැයකර ඇත්තේ ශාසනික අභිවෘද්ධිය වෙනුවෙනි. එය විටෙක මෙකල ජීවත්වන මිනිසකුට දරාගැනීමට නොහැකි තරමේ පාරමිතාවකි. මේ කාර්යයේ තවත් විටෙක ඔහු යක්‍ෂ සේනාධිපතියෙක්‌ තරමට දැඩිය. නමුත් අවසන ඒ සියල්ල විසින් මෙරට බුද්ධ ශාසන අමාත්‍යංශයෙන් කරන්නා වූ කර ඇත්තා වූ කාර්යයට වඩා වැඩි සහ ඵලදායී දෙයක්‌ ශාසනය වෙනුවෙන් පුදකිරීමට සමත්ව ඇති බව අවධාරණයෙන් කිව හැකිය. ඔහුගෙන් ශිල්ප උගත් සිසුන් ලෙස අපත්, තවත් ශාසනකාමී පිරිසකුත් ඔහු වටා එකතුව 'සදහම් විජය පදනම' පිහිටුවා ගත්තේ මේ කාර්යය තනි මිනිසකුගේ කරට දී බලා සිටීමට බෞද්ධයන් ලෙස අපට නොහැකි නිසාම පමණක්‌ නොවේ, ඒ හැසිරීම අපටද මහා ජවසම්පන්න ධෛර්යක්‌ දුන් බැවිනි. අද සදහම් විජය පදනම මගින් කුටිගෙයක්‌ ඉදි නොවූ, ත්‍රිපිටක පොත් පෙළක්‌ පිළිනොගැන්වූ, දාන සම්බන්ධීකරණයක්‌ සිදු නොවූ, ගිලන් භික්‍ෂුවකට ප්‍රතිකාරයක්‌ සිදු නොවූ, ජලය විදුලිය හෝ වෙනත් වැදගත් අවශ්‍යතාවක්‌ ඉටු නොවූ ආරණ්‍ය සේනාසනයක්‌ මේ රටේ නොමැති තරම්ය. විටක සිරිපා අඩවියේ භාවනානුයෝගී ස්‌වාමීන් වහන්සේලා වෙනුවෙන් වැස්‌ස සීතල දරාගනිමින්ද, තවත් විටෙක හම්බන්තොට කර්කාෂ්ඨ ආරණ්‍ය බිම් කඩක දැඩි අවුරැස්‌ දරාගනිමින්ද, තවත් තැන්වල කූඩැල්ලාගේ සිට අලියා දක්‌වා සතුන්ගෙන්වන ගැහැට විඳ ගනිමින්ද අප සාමාජිකයෝ මේ කාර්යයේ යෙදෙති. එය විටෙක ඔබට සිතා ගැනීමටවත් නොහැකි තරම් විය හැක. ඉතාම සරළ ලෙස සංවිධානය වූ ගුරු ගෝල සහ සැදැහැතියන් පිරිසක්‌ විසින් මේ සා කාර්යයක්‌ සිදුකරනවා දැයි ඔබට සිතෙනු ඇත. එසේනම් www.sadahamvijaya.org යන වෙබ් අඩවියට පිවිස බලන්න. එම වෙබ් අඩවිය අප විසින් එදා නිර්මානය කරනු ලැබුවේ මේ ශාසනික කාර්යය ලොවට තේරුම් යනු පිණිසය.

මෙම උතුම් කටයුත්ත වෙනුවෙන් 'දිවයින' එක්‌වන්නේ මෙයට වසර 10කට පමණ පෙර සිටය. එදා පටන් මේ දක්‌වා සදහම් විජය පදනම විසින් දැවැන්ත කාර්යයන් අරඹනු ලැබූ අවස්‌ථා කිහිපයකදීම 'දිවයින' එය ලොවට දන්වා, ශාසනයේ චිරපැවැත්ම පතන බෞද්ධයන්ට මේ අපමණ පිං පිරෙන කටයුත්තට දායක වීම පිණිස පාර කියන ලදි. අවසන් වශයෙන් ඔබගේ දායකත්වය ලබාගත්, ඉතා සුන්දර බිම්කඩක්‌ වූ, නෙළුව පිංකන්ද ශ්‍රී සම්බෝධි තපෝවනය, කුටි සේනාසන 9ක්‌, ගිනිහල්ගෙය, දාන ශාලාව, අභ්‍යන්තර මාර්ග පද්ධති, ජල විදුලි පහසුකම්, ගිහියන්ගේ භාවනා කටයුතු සඳහා වෙනම පහසුකම් ආදිය සම්පූර්ණ කර මේ වන විට විහාර මන්දිරයද ඉදි වෙමින් පවතින බව මෙලෙස දැනුම් දෙනුයේ ඔබට එම පින අනුමෝදන් වීම පිණිසය.

දැන් අප පැමිණ සිටින මේ ගමන එදා 2007දී අප අදිටන් කරගත් කාර්යයේ දෙවැනි අර්ධය හෙවත් අවසන් අදියර ඇරඹීම පිණිසය. මේ වනවිට කුටි ගෙවල් දෙකක්‌, ජල පහසුකම් සපයාගැනීම සඳහා මාර්ග දෙකක්‌, භූමියේ පිහිටි කුඩා වැව පුළුල් කර පිළිසකර කරවීම ආදිය සිදුකර අවසන්ය. තවත් කුටි ගෙවල් කිහිපයක්‌, භාවනාවට සහ දානය පිරිනැමීම පිණිස පැමිණෙන ගිහි උදවියට නවාතැන් ගැනීමේ ස්‌ථානයක්‌ සහ තවත් වැඩ කිහිපයක්‌ අවසානයේ (සටහන ආරම්භයේ සඳහන් කළ) එදවස චෛත්‍යරාජයාණන්වහන්සේ වැඩසිටි ස්‌ථානයේ ඒ ආකාරයෙන්ම චෛත්‍යක්‌ තැනවීම අප අධිෂ්ඨානයයි.

අපට කවදත් සහය දෙන ටෙලිකොම් සමාගමේ ඉංජිනේරුවරයකු වන රොෂාන් දිසානායක මහතා මෙයට ටික දිනකට ඔබ්බෙන් පිරිසක්‌ සමගින් පැමිණ මේ ස්‌ථානයේ අවශ්‍ය සීමා සලකුණු කර තිබීම අපේ කාර්යයට මහත් පහසුවක්‌ විය. 'සදහම් විජය පදනම' ලෙසින් අප සංවිධානය වූ දා පටන් අපේ මේ සටනේ ජවාධික සෙනවියකු වන ප්‍රේමලාල් ජයතුංග ගුරු මහතා, දශක දෙකක පමණ කාලයක්‌ පුරා වසන්ත මහතා සමග බැඳී කටයුතු කරමින් ආරණ්‍ය උදෙසා විදුලි, ජල සැපයුම් සහ ගොඩනැගිලි කර්මාන්තයේදී නොමද කැපකිරීම් කරන ගොඩනැගිලි දෙපාර්තමේන්තුවේ විශ්‍රමික නිලධාරී ලාල් ජයන්ත කුමාරගේ, ටෙලිකොම් සමාගමේ ඉංජිනේරුවකු වන ප්‍රසන්න අබේවර්ධන, කම්කරු දෙපාර්තමේන්තුවේ නිලධාරියකු වන සම්පත් සිල්වා, ව්‍යාපාරිකයකු වන චම්පික පතිරාජ, නෙළුව සේනාසනය ඉදිකිරීමේදී එය දැක පැහැදී අපත් සමග එක්‌ව සිටින නෙළුව ප්‍රදේශයේ පාසන් සිසුන් වන රුවන් ලක්‌මාල්, ළහිරු සම්පත් යන මේ ගමනේ අපේ 'නඩයේ ' උදවිය නවම් පෝදා පාන්දරම අවදිවී පෙරදා ඉතිරිය වූ හීල්බත සමග සම්බෝලය ගිලදමා අත්තිවාරම් කැපීමට, ගමේ උදවිය කිහිප දෙනෙක්‌ සමග තම තමන්ට වෙන්වූ ස්‌ථාන වෙත ගොස්‌ වැඩ අරඹා සිටිති.

එකල්හී එතැනට නැගෙනහිර සිංහයා වැඩි සේක. ඒ වනාහී නැගෙනහිර පළාතේ ප්‍රධාන සංඝනායක, සේරුවාවිල මංගල රජමහා විහාරාධිපති, ශ්‍රී කල්‍යාණවංශ මහා නිකායේ අනුනායක සේරුවාවිල සරණකිත්ති හිමියන්ය. එල්.ටී.ටී.ඊයේ මාරක ප්‍රහාර රැසකට වසර ගණනාවක්‌ තිස්‌සේ නොසැලී මුහුණදෙමින් උතුරු නැගෙනහිර මුදාගැනීම පිණිස මාවිල්ආරු පළමු වෙඩිමුරය බවට පත් වූ උන්වහන්සේ පාවහන් නොමැති පය කටු පඳුරු මතින් වුව ආපදාවකින් තොරව තබා අප වෙත පැමිණේ. 'සමහරෙක්‌ පන්සල් ආරණ්‍යවල වැඩක්‌ භාරගත්තොත් මුදල් හැරෙන්න අනිත් ගොඩක්‌ වැඩ කරන්න වෙන්නේ අපට. ඒත් වසන්ත මහත්තයට ඕනේ අවසරය විතරයි. අපිට හිතන්නවත් වෙහෙසෙන්න වත් ඕනේ නැහැ. වැඩේ සිද්ධ වෙනවා' යි කියූ උන්වහන්සේ අපට ආශිර්වාද කර එතැන වැඩ කරමින් සිටි අප සියලුදෙනාට පිරිත් නූල් බැන්දාහ.

මුදලින් පමණක්‌ දායක වී නතර නොවන ශ්‍රමයෙන්ද සහයවීමට පුරුදුව සිටින අප පිරිස අතරේ අයෙක්‌ වන ඉංජිනේරු ප්‍රසන්ත සහෝදරයා පැමිණ පිරිත් නූල් බැඳගත්තේ ඔහුගේ පාදයෙන් ලේ ගලමින් තිබියදීය. අත්තිවාරම කැපීම පිණිස පඳුරු ඉවත්කිරීමේදී ඔහුගේ කකුලේ උළක්‌ ඇනී තිබුණි. නමුත් පිරිත් නූල බැඳගත් සැනින් ඔහු උදැල්ල අතට ගෙන නැවත කඩියෙක්‌ මෙන් වැඩෙහි යෙදේ. සුළු තුවාලය ඔහුට වගක්‌ නැත. ඒ 'සදහම් විජය' පදනමේ අප සාමාජිකයන්ගේ ස්‌වභාවයයි. ලේ සහ දහඩිය යනු අපට අමුතු දෑ නොවේ. නමුත් ඒ පීඩාව, වෙහෙස අවසන ඉදිවන සුන්දර සෙනසුන්, පිළිවෙත් පුරණ සංඝයාට ලැබෙන සහය, මරණ මංචකයේදී පවා සිහියට නගා සතුටුවිය හැකි දෑය.

මේ ආරාධනය ඔබටද ඒ සතුටට එක්‌වීම පිණිසය. මේ ශාසනික කාර්යයේදී වැයවන මුදල හෝ ශ්‍රමය තනිව දරාගැනීමට අප කිහිපදෙනකුට පමණක්‌ නොහැකිය. මේ සවිය ලැබෙනුයේ ඔබගේත්, මගේත් අමිල නිමල උරුමය වූ ශාසනය වෙනුවෙනි. ඒ වෙනුවෙන් ඔබගේ දායකත්වය ලබාදිය හැකි මගක්‌ වේ නම් 0714464335, 0342226149 ඔස්‌සේ වසන්ත කුමාරගේ මහතාව අමතන්න. හැකිනම් 'සදහම් විජය පදනම' නමින් කළුතර ලංකා බැංකුවේ වන, අංක 7246535 දරන ගිණුම ඔබගේ මුල්‍ය දායකත්වය වෙනුවෙන් වෙන්ව ඇත. සංවිධානයේ ප්‍රධානී වසන්ත කුමාරගේ මහතාව kumarage@sadahamvijaya.org ඊ- මේල් ලිපිනයෙන්ද සම්බන්ධ කරගත හැක.

අවසාන වශයෙන් එක්‌ දෙයක්‌ අවධාරණය කළ යුත්තේය. ඒ, අද වන විට ආරණ්‍යවාසී භික්‍ෂු සම්ප්‍රදාය වෙනුවෙන් සක්‍රියව අඛණ්‌ඩ සේවාවක්‌ සිදුකරන මෙරට එකම සංවිධානය සදහම් විජය පදනම බවයි. සසුනේ අරුත් සුරැකීම පිණිසවන මේ නිහඬ බලවේගයේ කොටස්‌ කරුවකු වීමට නැවතත් ඔබට ආරාධනා කරමි.

ඉන්ද්‍රජිත් සුබසිංහ
indrajith.media@gmail.com

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.