සෞදියේ සේවය කළ නිවසේදී එල්ල වූ
කෲර වධ හිංසා නිසා තිදරු මව දිවිනසා ගෙන


මීගමුව සමූහ - විමල් කීර්ති

සෞදි අරාබියේ ගෘහ සේවිකාවක්‌ වශයෙන් සේවය කළ 46 හැවිරිදි තිදරු මවකට ඇය සේවය කළ නිවසේ හාම්පුතා විසින් ඇයට නිතර නිතර කළ පහරදීම් සහ දරුණු කෲර වධ හිංසා දරාගත නොහැකි වූ තැන ඇය නිවසේ සිවිලිමේ විදුලි පංකාවේ කඹයක ආධාරයෙන් එල්ලී දිවිහානි කරගෙන ඇත.

ඇය මියයැමෙන් මාස හතරකට පසු දේහය සෞදියේ සිට ශ්‍රී ලංකාවට පසුගිය 20 දා ගුවන් මගින් එවා ඇත.

පො.කො. (60627) දිසානායක මහතාගේ මෙහෙයවීම මත මියගිය කතගේ පුතකු වන ධර්මරාජා සුජලිනි (19) සහ මියගිය කතගේ නැගනියක වන කනගසබේ මනෝමනී (42) යන අයවළුන් සාක්‌ෂි දෙමින් ප්‍රකාශ කළේ මියගිය කත සේවය කළ නිවසේ හාම්පුතා ඇයට ඉතා දරුණු ලෙස කෲර වධ හිංසා පමුණුවන බව දුරකථනයෙන් වරින් වර පැවසූ බවත් ඇගේ මරණය පහරදී එසේ සිදුකළ මිනී මැරුමක්‌ බවට සැකකරන බවයි.

මෙම තොරතුරු අනාවරණය වූයේ අක්‌කරපත්තුව සුලියම්පනෙහි සින්නපනම්කාඩු සාගර පාරේ පදිංචිව සිටි කනගසබේ කනගමනී (46) නමැත්තියගේ මරණය සම්බන්ධයෙන් මීගමුව හදිසි මරණ පරීක්‍ෂක සහ මීගමුව දිස්‌ත්‍රික්‌ මහ රෝහලේ හදිසි මරණ පරීක්‌ෂක වෛද්‍ය කීර්ති සිරිජයන්ත මහතා හමුවේ (21 දා) පැවැති මරණය පරීක්‌ෂණයේදීය.

එහිදී අනාවරණය වූයේ මියගිය කතගේ සැමියා ඇගේ දරුවන් කුඩා අවදියේම ඇය අත්හැර දමා ප්‍රදේශයෙන් අතුරුදන්ව ඇති බවත් ඇය වරින්වර මැදපෙරදිග නිවාසවල ගෘහ සේවිකාවක්‌ ලෙස සේවය කරමින් ඉතා දුකසේ තම දරු තිදෙනා හදා වඩා ගත් බවයි.

මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්‌ෂණය පැවැත්වූ මීගමුව දිස්‌ත්‍රික්‌ මහ රෝහලේ ප්‍රධාන අධිකරණ වෛද්‍ය විශේෂඥ එම්. එන්. රුහුල් හක්‌ මහතා විසින් ඉදිරිපත් කළ වෛද්‍ය නිගමනය සහ මෘත ශරීරය සමග සෞදි අරාබියෙන් ඒවා තිබූ වෛද්‍ය සහතිකයත් සැලකිල්ලට ගත් මීගමුව හදිසි මරණ පරීක්‌ෂක සිරිජයන්ත වික්‍රමරත්න මහතා එම මරණය ගෙල වැලලාගෙන සිදුකරගත් සිය දිවි හානිකර ගැනීමක්‌ බවට නිගමනය කරන ලදී.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.