සිහිය ඇවිත් බලන විට මා තට්‌ටු දෙකක්‌ පහළට වැටී සිටියා
ලෙබනන් ගිය ගීතා තමා මුහුණදුන් කටුක අද්දැකීම් කියයි

නෙළුව - සිරිසේන ගමගේ

වර්තමාන ශ්‍රී ලාංකික කාන්තාවන් විදෙස්‌ ගත වන්නේ සිය ජීවිතයේ පෞද්ගලික සැප පතා නොව මුළු පවුල් ජීවිතයම ගොඩ ගැනීමේ අදහස මුල්කර ගෙනය.

එසේ යන කාන්තාවන්ගෙන් ඇතමෙක්‌ නොයෙක්‌ වදහිංසාවලට ලක්‌වෙති. තවත් කොටසක්‌ එතරදීම මිය යති. තවත් සමහරක්‌ මව්බිමට පැමිණ මාස ගණන් රෝහල්වල ප්‍රතිකාර කරමින් සිටියදී මියයති. තවලම ටෙක්‌ලා ගේ අභාවය අපි 'දිවයින' මගින් පසුගිය කාලයේ ඔබට හෙළිදරව් කළෙමු. ඒ අයට ලෙබනන් හිදී වස පොවා මරා දැමීමට තැත්කර තිබුණ අතර ඇය මියගියේ කරාපිටිය රෝහලේ මාස තුනක්‌ ප්‍රතිකාර ගනිමින් සිටියදීය. එවන් ඉරණමකට ගොදුරු වූ කාන්තාවක්‌ අපට පසුගියදා ගාල්ල කරාපිටිය රෝහලේ අංක 9 දරන වාට්‌ටුවේ දී හමුවිය.

ඇය නමින් ගීතා චාන්දනීය. දැනට 37 වැනි වියේ පසුවන ඇය ගාල්ල රත්ගම මලවැස්‌සාගොඩ පදිංචි දෙදරු මවකි.

සිය සැමියාටද ස්‌ථිර රැකියාවක්‌ නොමැතිකම නිසාත් සිය දුවත් පුතාත් ඉගෙනීමට දක්‍ෂ නිසාත් ඇය කීයක්‌ හරි සොයාගන්න විදෙස්‌ ගත වී ඇත. 2014.07.07 දින ලෙබනන් බලා ගිය ඇයට ගෘහ සේවිකාවක්‌ ලෙස මුලින්ම ලැබුණේ අංගවිකල තරුණයකු බලා ගැනීමයි. එහිදී සිය රැකියාව ආරම්භක මුල් දින කිහිපය තුළදීම ඇයගේ ජීවිතයට කණකොකා හැ`ඬවිණි. ඇය ඒ පිළිබඳව අදහස්‌ මෙසේ විස්‌තර කළාය.

"මම ලෙබනන්වලට ගියාට පසු මට ලැබුණේ අංග විකල ළමයෙක්‌ බලා ගන්න. එයා හිටි හිටියේම කෑ ගහනවා. දවසක්‌ මම සැරකළා කියලා මහ හයියෙන් කෑගැහුවා. ඒ වෙලාවේ ගෙදර හාම්පුතා මට ගහල හරියට වධ දුන්නා. අන්තිමේදී ඔහු මාව කාර්එකේ දාගෙන කි.මි. 50 ක්‌ විතර දුරට ගිහින් බහින්න කිව්වා. එතන මුස්‌ලිම් සෙනඟ ගොඩාක්‌ හිටියා. ඒ නිසා ඔහු මාව අරගෙන වෙන ගොඩනැඟිල්ලකට යන්න මට විදුලි සෝපානයට නගින්න කිව්වා. එවිට මට සැකයක්‌ ඇති වුණා. ඔහු විදුලි සෝපානයට නඟින කොටම මම වෙන පැත්තකට ගිහින් කඩයක්‌ ඇතුලෙ නොපෙනෙන්න හිටියා. එහිදී මට ලංකාවේ ළමයෙක්‌ හමුවුණා. මම එයාට කියල මාව රට යවපු කාන්තාවට කතා කළා. ඒ වෙලාවෙම මම ගෙදරටත් දුරකථන ඇමතුමක්‌ ගත්තා. ඊට පස්‌සේ ඒජන්සියෙන් මාව වෙනත් ගෙදරකට භාර දුන්නා. මේ වනවිට මගේ සිරුරේ පහරදීම් නිසා ඇතිවුණ තුවාලත් තිබුණා. ඒවට බෙහෙත් දාලා මම අලුත් නිවසේ වැඩට ගියා. මම ඉස්‌සර වෙලා හිටපු ගෙදර පඩි දුන්නෙත් නැහැ. පඩි ඉල්ලුවම දෙන්න බැහැ කිව්වා. එහෙම ටික දිනක්‌ යන අතරෙ දවසක්‌ මම දවසේ වැඩ අවසන් කරලා, නිදන කාමරයට යන විට මගේ පිටුපසින් කවුරුන් හෝ එනවා වගේ දැනුණා. එච්චරයි මට මතක පස්‌සේ බලන විට මම නිදන කාමරයේ ජනේලයෙන් පහළට වැටී සිටියා. ඒ තට්‌ටු දෙකකට පහළට මාව වැටුන බවක්‌ මා දන්නේ නැහැ. පස්‌සේ තමයි මම සියල්ල දැනගත්තේ. මගේ යටි පතුල් පැලිල ලේ ගලන්න ගත්ත. මාව යන්තම් සුවකරල ලංකාවට එව්ව. මගේ සැමියා මේ අතර විදේශ සේවා නියුක්‌ති කාර්යාලයට පැමිණිලි කළා. පසුව මාව ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළත් කළා. වෛද්‍ය හර්ෂ මෙන්ඩිස්‌ මහතා කිව්වා දැන් කල් ගිහින් වැඩියි, මුල් කාලයේදීම හමුවුණා නම් සුව කරන්න තිබුණා කියලා. ඉදිරියට තුනටියෙන් පහළ අප්‍රාණික වන බවත් කිව්වා, යෑයි ඇය කීවාය.

මේ වනවිට ඇයගේ සැමියා බිරිඳට ඇප උපස්‌ථාන කරමින් සිටී. දරුවෝ දෙපලද පාසල් යති. ඔවුන්ගේ වැඩිමල් පුත්‍රයා හැමදාමත් පන්තියේ පළවැනියා. ප්‍රමුක මධුභාෂිත වන ඔහුගේ ඉගෙනුමටද දැන් බාධා වෙමින් පවතියි. නවවැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන ඔහුත් හත්වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන කවීෂා කාවින්දි දියණියත් දැන් ඉතා අසරණය. ඒ අන් කිසිවක්‌ නිසා නොව මව විඳින දුක ඔවුන්ට පෙනෙන නිසාය. මේ අසරණ දරුවන්ගේ ඉගෙනුමට හා එක්‌තැන් වී සිටින චාන්දනීගේ දිවියද ඉදිරියට ගෙනයැමට ඔබටත් හැකිනම් පිහිටක්‌ වන ලෙසට ඇය ඉතා දුක්‌බරව ඉල්ලා සිටී.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.