මහින්ද ඉල්ලීමක්‌ කළොත් අවස්‌ථාව දෙනවා
- ශ්‍රීලනිප මාධ්‍ය ප්‍රකාශක ඩිලාන් පෙරේරා

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයෙන් ඉදිරි මහ මැතිවරණයට තරග කිරීමට ඉල්ලීමක්‌ කරන්නේ නම් ඊට අවස්‌ථාව ලබාදෙන බව එම පක්‍ෂයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා ඊයේ (10 වැනිදා) පැවැසීය.

මහින්ද රාජපක්‍ෂ මහතාට අගමැති අපේක්‍ෂක ධුරය අවශ්‍ය නම් ඒ ගැනද සලකා බලා තීරණවලට එළඹීමට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය සූදානම් බව හෙතෙම කීය.

අගමැති අපේක්‍ෂකත්වය රාජපක්‍ෂ මහතාට ලබාදිය යුතු බවට රටේ පවතින කතිකාව සම්බන්ධව ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ ස්‌ථාවරය කුමක්‌ දැයි "දිවයින" කළ විමසුමකට පිළිතුරු දුන් ඩිලාන් පෙරේරා මහතා අගමැති අපේක්‍ෂක ධුරය අවශ්‍ය නම් ඒ බව විධිමත් ක්‍රමවේදයකට අනුව පක්‍ෂය වෙත දැන්විය යුතු බව අවධාරණය කළේය.

ඒ අනුව ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ විධායක සභාව රැස්‌වී අවසන් තීන්දුවක්‌ ගන්නා බවත් එවැනි ඉල්ලීමක්‌ නොකර එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයටවත් අයත් නොවන ඇතැම් දේශපාලන පක්‍ෂ මාර්ගයෙන් හන්දි ගානේ කෑමොරසන් දීමෙන් කිසිදු ප්‍රයෝජනයක්‌ අත් නොවනු ඇති බවත් එවැනි ක්‍රියා මගින් සිදුවන්නේ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය දෙකඩවීම බවත් හෙතෙම පැවැසීය.

ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්‍ෂ මහතා පරාජයට පත් වීමෙන් පසු ඒ මහතා ජාතික ලැයිස්‌තුව හරහා පාර්ලිමේන්තුවට පත්කර විපක්‍ෂ නායක ධුරය ලබාදීමට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය සාකච්ඡා කළද එයටද ඔහු අකමැත්ත ප්‍රකාශ කළ බව මාධ්‍ය ප්‍රකාශකවරයා අනාවරණය කළේය.

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය මහ මැතිවරණයට ඉදිරිපත් වන විට හිටපු ජනාධිපතිවරුන් වන චන්ද්‍රිකා බණ්‌ඩාරනායක සහ මහින්ද රාජපක්‍ෂ මහතාද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද එක්‌ව සහයෝගයෙන් කටයුතු කිරීමට පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨයන් උත්සහ කරමින් සිටින බවද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.