නැති බැරිකමට ආව තමයි
මාව මෙතැනින් බේරලා දෙන්න

සෞදියේ සිටින තිදරු මවගෙන් සැමියාට ආයාචනයක්‌

මනම්පිටිය - ඡේ. ඒ. ජයකොඩි

අනේ මගේ ළමයින්ව හොඳින් බලාගන්න මට හරියට කරදරයි. දැන් මට කෝල් කරන්න දෙන්නෙත් නැහැ. ෆෝන් එක දෙන්නෙත් නැහැ. මගේ සල්ලි දෙන්නෙත් නැහැ. පුළුවන් තරම් ඉක්‌මනට මාව මගේ ළමයින් ළඟට ගෙන්නලා දෙන්න නැතිබැරිකමට ආව තමයි මාව මෙතනින් බේරල දෙන්න කියමින් අවසාන වතාවට පසුගිය ජනවාරි අට වැනිදා (08) සෞදි අරාබියේ සිට දුරකථනයෙන් කථා කළ දිඹුලාගල දළුකාන අංක 05 නිවසේ පදිංචිව සිටි එස්‌. බී. වයි. එම්. සෝමවතී (48) තිදරු මව ඇයගේ ස්‌වාමිපුරුෂයා වෙත දන්වා ඇති බවත් ඉන්පසු කිසිදු තොරතුරක්‌ මේ දක්‌වාම නොලැබුණු බවත් සෝමවතිගේ ස්‌වාමිපුරුෂයා වන ජී. ආර්. රත්නසිරි (54) යන අය පැවසීය.

මගේ බිරිඳ 2013 දෙසැම්බර් 14 වැනිදා සෞදියට ගියා මාස තුනක්‌ පඩි එව්වා. සතියකට දෙතුන් වතාවක්‌ අපට කෝල් කරනවා. දැන් කථා කරන්නෙ නැහැ. හැම වෙලේම කරදරයි කියලා කිව්වා. මුලින්ම ගිය තැන නෙමෙයි දැන් ඉන්නේ තැනින් තැනට ගිහින් දානවා කිව්වා. මම ඒජන්සියට කිව්වම කියනවා කරදරයක්‌ නැහැ කියලා ඒජන්සියෙන් බොරු කරන්නේ මම විදේශ සේවා එකටත් පැමිණිලි කරලා තියෙනවා. ඒ පැමිණිලි අංකය CD/311/1408 එතනින්වත් වැඩක්‌ වුණේ නැහැ. මේ ළමයින්ව බලාගන්නත් ඕනෑ මට හරිම කරදරයක්‌. කුලීවැඩකට යන්නත් බැහැ.

මම කුලී වැඩක්‌ කරගෙන හොයන මුදල ඒජන්සිවලටයි විදෙස්‌ සේවා එකටයි වැය කළාම මට මගේ දරුවෝ වෙනුවෙනුත් බිරිඳ වෙනුවෙනුත් ජීවිතය නැති කරගන්න වෙනවා. මම කියන්නේ පිං අයිති වෙයි මොන විදිහකින් හරි බිරිඳව ගෙන්නලා දෙන්න කියලා.

සෞදියේ සිටින සෝමාවතී තිදරු මවගේ එකම දියණිය ජී. ආර්. සුභාෂිනී, (13) මට අම්මා නැතිව ඉන්න බැහැ. අපේ නැතිබැරි කමටයි. මේ ගේ හදාගන්නයි අම්මා රට ගියේ දැන් අම්මා එහේ දුක්‌ විඳිනවා මේක මට ඇහෙනකොට ඉන්න බැහැ ඉස්‌කෝලෙදිත් ඉගෙන ගන්නකොට මගේ හිත යන්නේ අම්මා ළඟට. අය්යලා දෙන්නාගෙ ඉගෙනීමටත් බාධා වුණේ අම්මා ළඟ නැති කමයි අපේ අගහිඟකමයි. ඉතිං මම දැන් නවය වසරේ මට මගේ ඉගෙනීමටත් බාධා වෙයිද කියලා හිතෙනවා. මගේ යාළුවොත් අහනවා ඔයා කල්පනා කරන්නේ මොනවද කියලා මට හරිම දුකයි. මගේ අම්මාව ගෙන්නලා දෙන්න කියලා විදේශ ඇමැතිතුමාගෙනුත් ජනාධිපති තුමාගෙනුත් කරුණාවෙන් ඉල්ලනවා කියමින් සුභාෂිනි හැඬූ කඳුළින් පැවසුවාය.

මේ පිළිබඳව වැඩි විස්‌තර ජී. ආර්. රත්නසිරි, අංක 05 පො/දළුකාන ලිපිනයෙන්ද 0717186255 දුරකථන අංකයෙන් ලබාගත හැක.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.