උසස්‌ ලෙස සා/පෙ ජයගත් දැයේ දරුවෝ

1වැනි ස්‌ථානය
කාලය කළමනාකරණය පාසල් වැඩවල යෙදුනා

තරිඳු වික්‍රමසිංහ

ලසිත දුමින්ද

පළමු වසරේ සිට පියවරෙන් පියවර යැමත් විභාගවලට නොබියව පෙනී සිටීමත් තමාගේ උසස්‌ ජයග්‍රහණයට හේතු වූ බව අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් පළමු ස්‌ථානය ලබාගත් කොළඹ නාලන්ද විදුහලේ තරිඳු වික්‍රමසිංහ සිසුවා 'දිවයින' ට පැවැසීය.

විභාගයට කියල විශේෂත්වයක්‌ දැක්‌වූයේ නැහැ. අමතර පන්තිවලටත් ගියා. පොඩි කාලයේ ඉඳලම කාලය කළමනාකරණය කළා. විශේෂ කාලසටහනක්‌ තිබුණේ නැහැ. මගේ දෙමාපියන්, විදුහල්පති අතුළු සියලුම ගුරුවරුන් මට සහය ලබා දුන්නා.

මම චෙස්‌, බැඩ්මින්ටන්, තාරකා සංගමය ඇතුළු බාහිර ක්‍රියාකාරකම්වල සාමාජිකයෙක්‌. අධ්‍යාපනය වගේම ක්‍රීඩාවත් ආසාවෙන් කළා. ගණිත අංශයෙන් උසස්‌ පෙළ හදාරනවා. තාරකා විද්‍යාවටත් කැමැතියි. අනෙක්‌ ළමයින්ගෙන් ඉල්ලා සිටින්නේ නොබියවම විභාගවලට මුහුණ දෙන්න කියලයි.

පන්තිභාර ගුරු ආචාරිනී ප්‍රමිතා ගලප්පත්ති මහත්මිය, තරිඳු සුවිශේෂී කෙනෙක්‌. නාලන්දාවට සුවිශේෂී ආභරණයක්‌. දක්‌ෂ, නිහතමානී කීකරු ළමයෙක්‌. වාර විභාගවලින් උසස්‌ ප්‍රතිඵල ලබා ගත්තා. උසස්‌ ප්‍රතිඵල ලබයි කියලා හිතුවත් දිවයිනෙන්ම පළමු ස්‌ථානය ලබා ගනී කියලා හිතුවේ නැහැ. නමුත් තරිඳුගේ දක්‌ෂතා නිසා මෙවැනි ප්‍රතිඵලයක්‌ හිමිව තිබෙනවා.

මෙම ජයග්‍රහණය පිළිබඳව කොළඹ නාලන්දා විද්‍යාලයේ විදුහල්පති කර්නල් රංජිත් ජයසුන්දර මහතා ප්‍රකාශ කළේ, මෙවර සාමාන්‍ය පෙළ විභාගයෙන් දිවයිනෙන්ම පළමු ස්‌ථානය අප විදුහලට හිමිවීම විශාල ජයග්‍රහණයක්‌. තරිඳු සිසුවාට අප විදුහලේ ගෞරවය පිරිනමනවා. අධ්‍යාපනික මෙන්ම විෂය බාහිර කටයුතුවලට දක්‌ෂයි. ඔහු බාහිර ක්‍රියාකාරකම්වල නිරත වුණා. එසේ සිටියදී මෙවැනි උසස්‌ ස්‌ථාන ලබා ගැනීම සුවිශේෂී අවස්‌ථාවක්‌.

උසස්‌ ගුණාංගවලින් පිරි තරිඳු චෙස්‌, බාලදක්‌ෂ, බැඩ්මින්ටන් මෙන්ම වයලින් වාදනයටත් දක්‌ෂයි. අප විද්‍යාලයේ ශක්‌තිමත් අධ්‍යාපනික යාන්ත්‍රණයක්‌ තිබෙනවා. මේ එහි ප්‍රතිඵලයි.

තරිඳුගේ පියා වන ලසන්ත වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ තරිඳු පුතා 1 වසරේ ඉඳලම කැපවීමෙන් වැඩ කළ බවත් පුතාගේ ජයග්‍රහණය පිටුපස ඔහුගේ මව වන දිල්ෂානි විඡේවර්ධන සෙවනැල්ල වගේ සිටි බවයි.


2 වැනි ස්‌ථානය
ගුරු මණ්‌ඩලය විශාල  ධෛර්යයක්‌ වුණා
සඳිනි නිවන්ජනා

ගම්පහ සමූහ - සුසිල් රණමුක

2014 අ.පො.ස. සා. පෙළ විභාගයෙන් මුළු දිවයිනෙන්ම දෙවන ස්‌ථානය ගම්පහ සිරිකුරුස බාලිකා විද්‍යාලයේ 11 ඊ ශේ්‍රණියේ ඉගෙනුම ලැබූ ඩබ්ලිව්. ඒ. සඳිනි නිවන්ජනා ජයවර්ධන ශිෂ්‍යාව හිමිකරගෙන ඇත.

ඇය පළමු වසර සිට පහ වසර දක්‌වා මෙම විද්‍යාලයෙන්ම අධ්‍යාපනය ලැබූ අතර ශිෂ්‍යත්ව විභාගයෙන්ද ලකුණු 171 ලබා විද්‍යාලයෙන් ප්‍රථම ස්‌ථානයද ලබා ගනිමින් විදුහලට කීර්තියක්‌ ලබාදී ඇත. ශිෂ්‍යාවගේ පියා ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ රත්මලාන ශාඛාවේ තාක්‍ෂණ ශිල්පියෙකු ලෙස සේවය කරන අතර මව ගම්පහ රෝහලේ හෙදි නිලධාරිනියකි.

ජයග්‍රාහී ශිෂ්‍යාව වන සඳිනි නිවන්ජනා ජයවර්ධන අදහස්‌ දක්‌වමින් මගේ එකම බලාපොරොත්තුව ඉංජිනේරුවරියක්‌ වීමයි. මේ ජයග්‍රහණයට මගේ මව සහ පියා සහෝදරිය, විදුහල්පතිනී මේරි දීපානි කන්‍යා සොහොයුරිය, පන්ති භාර ගුරුතුමිය වන ශ්‍රියානි විඡේකෝන් මහත්මිය ඇතුළු ගුරු මණ්‌ඩලයෙන් ලැබූ සහාය මාහට විශාල ධෛර්යයක්‌ වුණා.

විදුහල්පතිනී මේරි දීපානි කන්‍යා සොයුරිය අදහස්‌ දක්‌වමින් කියා සිටියේ මෙම ශිෂ්‍යාව පහ වසර ශිෂ්‍යත්ව විභාගයෙන් අප පාසලෙන් වැඩිම ලකුණු ලබාගත් ශිෂ්‍යාවයි. ඇයව වෙනත් පාසලකට යෑවීමට දෙමාපියන් සූදානම් වුණා. මා පොරොන්දු වුණා අධ්‍යාපනයේ ඉහළට යැමේ අවස්‌ථාව උදාකර දෙන බව. ඒ අනුව ලංකාවෙන්ම දෙවැනියා වූ මේ ශිෂ්‍යාව වෙනුවෙන් මා අපමණ සතුටට පත්වෙනවා.

3වැනි ස්‌ථානය
එදිනෙදා කටයුතු  කල් නොදමා කළා

අමාෂි නිවර්තනා

විෂයය අවබෝධයෙන් ඉගෙනීම් කටයුතු කළා. එදා සිදු කළ යුතු දේ කල් නොදමා එදාම කළා. එය මගේ මේ විශිෂ්ට ජයග්‍රහණය ලැබීමට හේතු වුණේ යෑයි අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයෙන් දිවයිනේ තෙවැනි ස්‌ථානයට පත්වූ කොළඹ විශාඛා බාලිකා මහා විද්‍යාලයේ ඩී. එස්‌. පී. අමාෂි නිවර්තනා ශිෂ්‍යාව පැවසුවාය.

මේ ජයග්‍රහණය ගැන හුඟාක්‌ සතුටුයි. යාළුවෝ මට මේ ප්‍රතිඵල ගැන කීවත් ප්‍රතිඵල ඇසින් දැක්‌කහම ඇතිවුණු සතුට අප්‍රමාණයි.

ගෙදරදී අම්මා ගෙදර වැඩ ටික කළමනාකරණය කරලා මට ඉගෙන ගන්න ඕන කරන කාලය හා පරිසරය හදලා දුන්නා. අම්මා තනුජා කාරියවසම්. ගෘහණියක්‌ ලෙස මට දුන්න සහය අති විශාලයි. තාත්තා ජීවතුන් අතර නැහැ.

ටියුෂන්වලට වැඩිය මුල් තැන දුන්නේ නැහැ. අන්තිම මාස තුනේදී රිවිෂන්වලට ගිහින් අවශ්‍ය දැනුම ගත්තා. පාසලෙන් තමයි හැම විෂයයකටම ඕන දැනුම ලබා ගත්තේ. පාසලේ විදුහල්පතිතුමිය ඇතුළු ගුරුවරුන් අපි හැමෝවම උනන්දු කළා. විෂය පිළිබඳ දැනුම ඇති ගුරුවරු විද්‍යාලයට ගෙන්වා දැනුම ලබා දුන්නා.

ඒ නිසා අපිට විභාගයට මුහුණ දෙන්න බය හිතුණේ නැහැ. උසස්‌ පෙළ ඉගෙනීම් කටයුතු ද මගේ පාසලෙන්ම ජීව විද්‍යා අංශයෙන් සිදු කරනවා. වෛද්‍යවරියක්‌ හෝ විද්‍යාඥවරියක්‌ වීමට මා දැඩි අධිෂ්ඨානයෙන් සිටිනවා.

විෂය අවබෝධයෙන් ඉගෙන ගන්න, කටපාඩම් කිරීමට මුල් තැන නොදී එදිනෙදා දේ සැලසුම් සහගතව කරන්න. ඉදිරියේදී දිවයිනේ විශිෂ්ටයන් වීමට සාමාන්‍ය පෙළ හදාරන හැමෝගෙන්ම ඉල්ලනවා.

රනිල් ධර්මසේන, ඡායාරූප - නිමල් දයාරත්න

3 වැනි ස්‌ථානය
මෙවැනි ජයක්‌ අපේක්‍ෂා කළේ නෑ

ගරුණි අබේසිංහ

සිරිල් විමලසුරේන්ද්‍ර

ඊයේ (30 දා) නිකුත් වුණු අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵලයෙන් මහනුවරට ගෞරවයක්‌ ගෙන දෙමින් මුළු දිවයිනෙන්ම තෙවන ස්‌ථානය හිමිකරගෙන ඇත්තේ මහනුවර මහාමායා බාලිකා විද්‍යාලයේ ඒ. ඒ. ගරුණි අබේසිංහ ශිෂ්‍යාවයි.

ගරුණි අබේසිංහ ශිෂ්‍යාව ප්‍රකාශ කරන්නේ මෙසේ ඉහළින් සමත් වීම පිළිබඳව සතුටු වන බවත් ඒ පිළිබඳව අපේක්‍ෂාවෙන් නොසිටි බවත්, එහෙත් විදුහලේදී ගුරු මෑණිවරුන් උගැන්වූ පාඩම් හොඳින් හදාරා විභාගයට පෙනී සිටි බවත්ය.

විදුහල්පතිනි අයි. විතානාච්චි මහත්මිය ගරුණි අබේසිංහ ශිෂ්‍යාවගේ උසස්‌ සාමාර්ථය කීර්තිමත් බාලිකා විද්‍යාලයක්‌ වූ මහාමායා බාලිකා විද්‍යාලයට තවදුරටත් ගෞරවයක්‌ ගෙනදුන් බව පවසයි.

මහාමායා බාලිකා විදුහලේ පළමුවැනි ශේ්‍රණියේ සිටම අධ්‍යාපනය ලැබූ ඇය විද්‍යා විෂයයන් හා සංගීතය කෙරෙහි ඇල්මක්‌ දක්‌වන අතර උසස්‌ පෙළද විද්‍යා අංශයෙන් සරසවි වරම් ලැබීමට බලාපොරොත්තු වෙයි.

අධ්‍යාපනය සාර්ථක ලෙස නිම කිරීමෙන් පසුව මියගිය තම පියාණන්සේ ප්‍රජා සේවයට කැපවෙන වෘත්තියක යෙදීම ගරුණිගෙA බලාපොරොත්තුවයි.


3 වැනි ස්‌ථානය
කාල සටහනක්‌ අනුව අධ්‍යාපන කටයුතු කළා
නුවනි නෙත්සරණි

ටෝනි කරුණානායක - මිනුවන්ගොඩ, ගම්පහ සමූහ - සුසිල් රණමුක

අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයෙන් දිවයිනෙන් තුන් වැනියා වීමට ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ ඉගෙනුම ලැබූ එස්‌. ඒ. නුවනි නෙත්සරණි ශිෂ්‍යාව සමත්ව තිබේ. උඩුතුත්තිරිපිටිය අංක 89/06 නිවසේ පදිංචි නෙත්සරනි පවුලේ දෙවැනියා වේ. පියා රත්නාවලී බාලිකා විද්‍යාලයේම ගුරුවරයකු ලෙස සේවය කරන එස්‌. ඒ. ශාන්ත පද්මසිරි මහතායි මව වතුරුගම මේර්ලන් කනිටු විදුහලේ ගුරුවරියක වන ඒ. එන්. ආර්. අතුකෝරල මහත්මියයි. පත්තලගෙදර විද්‍යාලෝක විදුහලින් 5 ශිෂ්‍යත්වය සමත්ව ලකුණු 170 ක්‌ ලබා දිස්‌ත්‍රික්‌කයේ 8 වැනියා වී රත්නාවලී බාලිකා විද්‍යාලයට අධ්‍යාපනය ලැබීමට ඇතුළත් වූවාය.

ඊයේ (30 දා) දහවල් පාසලට තම මව සමඟ පැමිණි නෙත්සරණිට පාසලෙන් ලැබුණේ ඉහළ පිළිගැනීමකි. එහිදී අදහස්‌ දැක්‌වූ නෙත්සරණි දියණිය විදුහල්පතිනිය වන එච්. ඒ. එච්. ජයවර්ධන මහත්මිය ඇතුළු ගුරු මණ්‌ඩලය සහ යෙහෙළියන් මගේ අධ්‍යාපනයට විශාල ධෛර්යයක්‌ ලබාදුන්නා. පියා මව සහ සොහොයුරියගෙන් ලැබුණු සහයෝගය මට විශාල ධෛර්යක්‌ වුණා. මම පාසලේ ඉගෙනුමට අමතරව පංති නායිකාව සහ විෂය නායිකාව ලෙසත් කටයුතු කරමින් බාහිර වැඩ ලෙසින් හොකී, බැට්‌මින්ටන්, චෙස්‌, පිහිණුම් ආදී ක්‍රීඩා කළා. පාසලෙන් ලැබුණු ගෙදර වැඩ එදිනම කළා. කාලසටහනක්‌ තුළ පාඩම් කළා. පොත්පත් කියවීමත් රූපවාහිනී ප්‍රවෘත්ති බැලීමත් නිරන්තරයෙන් සිදු කළා. මටත් වඩා මා ගැන දෙමාපියන්ට සහ සහෝදරියටත් ගුරු භවතුන්ටත් ලොකු බලාපොරොත්තුවක්‌ තිබුණා. එය ඉෂ්ට කරදීමට හැකිවීමත් මා ලැබූ ජයග්‍රහණයක්‌. මා මෙවර විභාගයට පෙනී සිටීමට සිsටින නංගිලා මල්ලිලාට කියන්නේ සැලසුමක්‌ ඇතිව වගකීම තුළ වැඩ කළොත් කවදාවත් වරදින්නේ නැති බවයි.

එහිදී අදහස්‌ දැක්‌වූ විදුහල්පතිනි එච්. ඒ. එච්. ජයවර්ධන මහත්මිය - වර්ෂය පුරාම දරුවන් පාසලට පැමිණීම දරුවන්ගේ විභාග ජයග්‍රහණයන්ට ප්‍රධාන හේතුවක්‌. පාසලේ පැවැත්වෙන අතිරේක පංතිවලට නොවරදවාම සහභාගිවුණු දරුවෙක්‌ තමයි නෙත්සරණි. බෑන්ඩ් කණ්‌ඩායමේ පුහුණුවීම්වලට අමතරව පාසලේ දැනුම මිනුම කණ්‌ඩායමේ ඇය ප්‍රධාන සාමාජිකාවක්‌.

පංතිභාර ගුරුතුමිය වූ සුභාෂිණී මධුරසිංහ මහත්මිය - නෙත්සරණි පංතියේ සිටිය දක්‌ෂම ළමයා මෙන්ම කීකරුම ළමයා. හැම විභාගයකදීම පංතියේ පළමුවැනියා වුණා. මා ඇතුළු ගුරු මණ්‌ඩලයේ සියලු දෙනා දැනගෙන හිටියා නෙත්සරණි විශිෂ්ට ජයක්‌ ලබාගන්නා බව.

4 වැනි ස්‌ථානය
තෝරාගත් විෂයන්වලට
පමනක්‌ අමතර පන්ති ගියා
රුවන්තිකා හේමසිංහ

එදිනෙදා අධ්‍යාපන කටයුතු සැලසුම් සහගතව කිරීමේ ප්‍රතිඵලයක්‌ ලෙස තමාට විශිෂ්ට ප්‍රතිඵල ගැනීමට හැකි වූ බව අධ්‍යයන පොදු සහතිකපත්‍ර සාමාන්‍ය පෙළ විභාගයෙන් දිවයිනේ සිව්වැනි ස්‌ථානය හිමිකර ගත් කොළඹ විශාඛා බාලිකා මහ විද්‍යාලයේ දෙව්නි රුවන්තිකා හේමසිංහ පැවසුවාය.

විභාගේ ප්‍රතිඵල දැක්‌කහම මට ලොකු සතුටක්‌ දැනුණා. ඒ සතුට කියලා නිම කරන්න බැහැ.

මම මගේ ඉගෙනීම් කටයුතු එදිනෙදා හොඳින් සිදු කළා. එය මට ජයග්‍රහණයට මහත් ප්‍රයෝජනයක්‌ වුණා. කාලය හොඳින් කළමනාකරණය කර ගත්තා.

මම අමතර පන්ති ගියේ විද්‍යාවට හා ගණිතයට විතරයි. හැම විෂයකටම ඕන කරන දැනුම පාසලෙන් ලබා ගත්තා. විදුහල්පතිතුමිය හා ආචාර්ය මණ්‌ඩලය අපිව විභාගයට නොබියව මුහුණ දීමට අවශ්‍ය පරිසරය සකස්‌ කර දුන්නා.

ඒ වගේම අපේ පාසලේ ජීව විද්‍යා අංශයෙන් උසස්‌ පෙළ හදාරන මගේ සොහොයුරිය නිවසේදීම මට ඉගෙනීම් කටයුතුවලට උදව් කළා. මගේ අම්මා තමරානි සුමනසේන. කොළඹ ඩඩ්ලි සේනානායක විද්‍යාලයේ ගුරුවරියක්‌. පියා රොහාන් හේමසිංහ කටුනායක ගුවන් හමුදා කඳවුරේ රාජකාරි කරන්නේ. ඔවුන්ගෙනුත් විශාල උදව්වක්‌ මට ලැබුණා.

අනාගතයේ වෛද්‍යවරියක්‌ වීමට මා සිහින දකිනවා. ඒ සඳහා ජීව විද්‍යා අංශයෙන් උසස්‌ පෙළ හැදැරීමට බලාපොරොත්තු වෙනවා. එදිනෙදා කටයුතු එදාම කරගන්න කාලසටහනකට අනුව හැම වැඩක්‌ම සැලසුම් කර ගන්නට අනාගතයේ මේ වගේම විශිෂ්ට ප්‍රතිඵල බලාපොරොත්තු වන හැම දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා.

රනිල් ධර්මසේන, ඡායාරූප - නිමල් දයාරත්න

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.