ලංකාවේ ඒකීය සංකල්පය ආරක්‍ෂා කළේ ඉංග්‍රීසින්ද?

උඩරට ගිවිසුමෙන් වසර 200කට පසු


ඇස්‌. බී. කරල්ලියද්ද

මාර්තු 02 වැනි දිනට ඉංග්‍රීසි ආණ්‌ඩුව සමඟ උඩරැටියන් අත්සන් කළ අවබෝධතා ගිවිසුම නොහොත් ඉතිහාසයේ සඳහන් වන උඩරට ගිවිසුමට අවුරුදු දෙසීයක්‌ පිරුණි. ඊට පෙර 1796 පෙබරවාරි 16 දින වන විට ලංකාවේ මුqහුදු බඩ පළාත් ඉංග්‍රීසින් විසින් අයත්කර ගෙන තිබිණි. මාර්තු 02 දින පස්‌වරු හතරට ශ්‍රීමත් රොබට්‌ බ්‍රවුන්රිග් ආණ්‌ඩුකාරයා මහනුවර මඟුල් මඩුවේදී හමුවන ලෙස උඩරට අධිකාරම් හා දිසාවේවරුන් සහ අනිකුත් ප්‍රධානීන්ට දන්වා තිබිණි. එදා මල්වත්තේ මහානායක ධුරය දැරූ කොබ්බෑකඩුවේ නායක හිමි ප්‍රමුඛ මල්වතු අස්‌ගිරි උභය පාර්ශ්වයේ මහා සංඝයා වහන්සේද මඟුල් මඩුවෙහි වැඩ උන්හ. එහිදී ගිවිසුම මෙම ප්‍රධානීන්ට හා මොහොට්‌ටාලවරු ඇතුළු සුළු මුලාදැනින්ට ද කියවා දෙනු ලැබීය. එදායින් පසුව අප රටේ අවුරුදු දෙදහස්‌ පන්සියයකට අධික කාලයක්‌ තුළ තිබූ සිංහල රජෙකුගේ පාලනය යටතේ පැවැති ලෝකයේ පැරණිම රජ පරම්පරාව මෙන්ම වඩුග රාජ පරම්පරාවේ රජවරු හතර දෙනකුගේ පාලනය යටතේ පැවැති අප රටේ ස්‌වෛරීත්වය එංගලන්තයේ III වන ජෝරඡ් රජුගේ (1780-1820) හැනෝවර් පරම්පරාවට අයත් විය. හැනෝවර් පරම්පරාව රාජ්‍ය බලයට පත් වූයේ 1714 දී I වන ජෝරඡ් රජුගෙන් පසුවය. අප රටේ විශිෂ්ට උගත් රාජ පරපුර වෙනුවට අප භාර වූයේ හිරු නොබසින අධිරාජ්‍යය යෑයි කිවූ බ්‍රිතාන්‍යයේ අඩක්‌ නෙත් අන්ධ වූ හා බිහිරි වූ III වන ජෝරඡ්ටය. ගිවිසුම ලංකා ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංග්‍රහයේ (Ceylon Legislative Enactment) XI ඛණ්‌ඩයේ 390 ඡේදය අනුව රටේ නීතිය බවට පත්විය. එයින් පසුව අපේ ව්‍යවස්‌ථාවන් පැනවීමේ බලය හිමි වූයේ මේ තුන්වන ජෝර්ඡ් රජුට මිස රටේ ජනතාවට නොවේ. එංගලන්ත පාර්ලිමේන්තුව මෙම රටේ පාලනයට නීති සම්පාදනය කළේ රටේ ජනතාවගෙන් ලත් බලයෙන් නොව එංගලන්තයේ මව් පාර්ලිමේන්තුවේ බලයෙනි. ඉන් පසුව ජනතාවගේ නියෝජිතයින්ගෙන් සමන්විත වූ ව්‍යවස්‌ථාදායක මණ්‌ඩලයක්‌ මගින් සම්මත වූ ජනරජයක්‌ නැවතත් අපට ලැබුණේ 1972 ව්‍යවස්‌ථා සංශෝධනයෙන් පසුවය. අප උඩරට ගිවිසුම අත්සන් කිරීමත් සමඟ අපේ සේනා සම්මත රාජාවලිය අහෝසි වී අප සුද්දන්ගේ වහලුන් තත්ත්වයට පත් වුණෙමු. ඉංග්‍රීසි පාලනයට නතුවූ මහා භාරතය ඉන්දියාව බවට පත් වූ පරිද්දෙන්ම අපේ ලංකාව ද සිලෝන් විය. සුද්දන් රට හැරදමා ගියේ ඔවුන් බෝ කළ කලු සුද්දන් පිරිසකට රට භාර කරය. ගිවිසුම් අත්සන් කරන අවස්‌ථාවේ අපේ රට දිසාවන් දොළහකට හා රටවල් නවයකට බෙදා තිබිණි. හතර කෝරලේ, හත්කෝරලේ, ඌව සහ මාතලේ මහා දිසාවරු යටතේ පාලනය විය. වර්ග සැතපුම් 25332 ක්‌ වූ මුළු රටෙහි වර්ග සැතපුම් 15,000 පමණ අයත් වූයේ කන්ද උඩ පස්‌රට නොහොත් උඩරට රාජ්‍යයටය. මෙම භූමි ප්‍රමාණය නූතනයෙහි සියලුම පළාත් සභා ප්‍රදේශ හා බස්‌නාහිර සහ දකුණ පළාත් සභා ප්‍රදේශයන් තුළ සමහර කොටස්‌ ද අයිති වූ භූමි ප්‍රමාණයකි. අද උඩරට රාජධානිය නැති වුවත් උඩරට නැටුම්, කලා ශිල්ප, ඇඳුම් පැළඳුම්, සමාජ චාරිත්‍ර හා සාරධර්ම එම රාජ්‍යයෙන් උරුම වූ නෂ්ඨාවශේෂ ලෙස ජීවමානව පවතී. අප විදේශ සංචාරකයන්ට පෙන්වන ලෝක උරුම නගර, මූර්ති කැටයම් ශිල්ප, වෙහෙර විහාර සීගිරිය වැනි චිත්‍ර ශිල්ප ආදිය වැඩි වශයෙන්ම ශේෂ වී ඇත්තේ උඩරට රාජ්‍යයේය.

1833 ඔක්‌තෝබර් 11 දින ශ්‍රීමත් රොබට්‌ හෝර්ටන් ආණ්‌ඩුකාරයා විසින් නිකුත් කළ ආඥවක්‌ අනුව මුහුදුබඩ ප්‍රදේශ ද ඇතුළත්ව රට පළාත් පහකට බෙදන ලදී. ශ්‍රීමත් කොලීන් කැම්බල් ආණ්‌ඩුකාරයා 1845 ඔක්‌තෝබර් 01 දින සිට හයවැනි පළාත වශයෙන් වයඹ ඇති කළේය. 1813 සැප්තැම්බර් 06 දින සිට ශ්‍රීමත් ආතර් විලියම් ග්‍රෙගරි ආණ්‌ඩුකාරයා උතුරුමැද පළාත වෙන් කළේය. ඊට පෙර උතුරු මැද නුවර කලාවිය තමන්කඩුව පාලනය වූයේ යාපනයේ ඒජන්තවරයා යටතෙහිය. 1886 දී ශ්‍රීමත් ආතර් ගෝඩන් ආණ්‌ඩුකාරයා විසින් ඌව පළාත ඇති කළේය. 1888 දෙසැම්බර් 29 වැනි දින ඔහු පෙරදි දකුණු හා බස්‌නාහිර පළාතට අයත්ව තිබූ කොටස්‌ සම්බන්ධ කර සබරගමු පළාත ඇති කළේය. බ්‍රිතාන්‍ය කිරීටය ලංකාව සම්බන්ධයෙන් නීති පැනවීමට බලය හිමි වුණේ ඔවුන් අත්සන් කළ ගිවිසුම නිසයි. ඉංග්‍රීසි ආණ්‌ඩුකාරවරුන්ට මහරජුගේ අපේක්‍ෂාවන් ඉටු කරන අතරම රජුගේ විධායක බලයද ක්‍රියාත්මක කිරීමට සිදු විය. එබැවින් ආණ්‌ඩුකාරයාගේ කාර්යභාරය විධායක ව්‍යවස්‌ථාදායක මෙන්ම නීතියේද ආධිපත්‍යය දැරීය. ඔහුට නීති ක්‍රියාත්මක කිරීමේ මෙන්ම නීති උල්ලංඝනය කිරීමේ දී දඬුවම් නියම කිරීමේ විනිශ්චය බලයද අයත් විය. එංගලන්තයේ මව් පාර්ලිමේන්තුවේ දී ලංකාවට ද බලපාන නීති සම්පාදනය කිරීමට බලය ලබා ගත්තේ උඩරට ගිවිසුම නිසාය. ඔවුන් සම්පාදනය කළ නීති ඔවුන්ගේ බලය තහවුරු කර ගැනීමට අවශ්‍ය වූ නීති හා අණපනත් මිස අපේ රටේ අවශ්‍යතාවට ගැළපෙන පරිදි සකස්‌ වූ අණ පනත් හා නීති රීති නොවේ. අපේ පැවැති පැරණි නීති පද්ධතිය වූ මහනඩුව (රජු ඉදිරියේ විසඳන) දෙවැනි ක්‍රමය වූ ප්‍රධානීන් ඉදිරියේ විස» නඩු හා ගම් සභා නඩු විසඳීම් ක්‍රමය වෙනුවට ලන්දේසි පාලනය යටතේ තිබූ බුහුදුබඩ ප්‍රදේශවල ක්‍රියාත්මක වූ රෝම ලන්දේසි නීතිය මුළු දිවයින පුරාම ක්‍රියාත්මක කිරීම ආරම්භ විය. කිසිම උඩරැටියෙකුට ඉංග්‍රීසීන්ගේ අධිකරණ පද්ධතියේ විනිශ්චයකාරධුරයක්‌ ලබා නොදුන්නේය.

බ්‍රිතාන්‍ය ගිවිසුමෙන් ඔවුන් මත පැවරුණු වගකීම් හා විශ්වාසනීයත්වය ආරක්‍ෂා කළේ කෙසේද? 1817 - 18 ඌව කැරැල්ල, 1848 මාතලේ කැරැල්ල ආදි ඔවුන්ගේ පාලනයට විරුද්ධව පැණ නැඟී මහජන විරෝධතාවන් කෲර ලෙස මැඩ පැවැත්වීමට ආණ්‌ඩුකාරයා ඔහු සතුව තිබූ නෛතික බලය මෙන්ම විධායක හා පරිපාලන බලතල ද උපරිම ලෙස ක්‍රියාත්මක කළේය. ඔවුන්ගේ ආඥ පනතකින් සියලුම ඉඩම්වල අයිතිය රජය සතු කරගෙන ඒවා කිරීටය සතු ඉඩම් (Crown Land) යෑයි නිවේදනය කළේය. පාරම්පරිකව හිමි වූ ඉඩම්වල අයිතිය තහවුරු කර ගැනීමට අසරණ ගම්වාසීන්ට නීතියේ සරණ පැතීමට නොහැකි විය. එම ඉඩම් කෝපි, තේ, රබර්, පොල් ආදි වැවිලි සඳහා රන් පවුම් සමාගම්වලට මෙන්ම වැවිලි කර්මාන්තය ගැන උනන්දුවක්‌ දැක්‌වූ ආණ්‌ඩුවේ ඒජන්තවරුන් වැනි උසස්‌ නිලතල දැරුවන්ට ලබා දුන්නේය. ඒ. පර්ග්‍යqසන්ගේ 1857 වාර්තාවක්‌ අනුව යුරෝපීය වැවිලිකරුවන්ට එවකට අක්‌කර 63,37,092 අයත් වූ අතර එම ප්‍රමාණය වගා කිරීමේ කටයුතු සඳහා ගෙන්වා ගත් ඉන්දීය කම්කරු පිරිස 1,29,200 ක්‌ විය. බදුල්ලේ උඩුකිඳ ප්‍රදේශයෙන් පමණක්‌ එක්‌ රාත්‍රියකදී ස්‌වකීය නිවාසවලින් පාරට ඇද දැමූ පිරිස, මධ්‍යම පළාතේ පිරිසක්‌ සමඟ පවුල් 37,000 ක්‌ විය. (ඌව ජර්නල්) උඩරට ගැමි කොමිසමේ වාර්තාවක්‌ අනුව මෙම පිරිසට ඉඩම් අඟලකද තම උපන් බිමින් හිමි නොවීය. උඩරට තරුණ පෙරමුණද මේ සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට වාර්තාවක්‌ සැපයූ නමුත් ඉංග්‍රීසි ආණ්‌ඩුව ඒ පිළිබඳව මුණිවත රැක්‌කේය. ඉංග්‍රීසින් අප රටෙන් ගිය පසුත් මෙම ඉඩම් "රජයේ ඉඩම්" (State Land) යෑයි නම්කර කිසිදු සාධාරණයක්‌ පරවේනී ඉඩම් හිමි ගැමියන්ට ඉටුවී නැත. ඒ වෙනුවට පසුගිය රජය පහළ වෙල්ලස්‌සෙන් පමණක්‌ අක්‌කර පනස්‌දාහක්‌ සමාගම්වලට බදුදීමට සැලසුම් කර තිබිණි.

මෙම තත්ත්වය තේරුම් ගැනීමට විටින් විට බලයට එන පාලකයන්ට හැකි වන්නේ අද ගමේ සොහොන් බිමකට ඉඩම් කෑල්ලක්‌ අත්පත් කර ගැනීමට යැමේදී පවා ඉන්දියන් වතු කම්කරු සංගමයට, වෘත්තීය සමිති නායකයන්ට, වතුකරේ දේශපාලකයන්ට පිං සෙන්ඩු වීමට සෑම නායකයෙකුටම සිදුව ඇති නිසාය. මෙම තත්ත්වය වඩාත් උග්‍ර වී ඇත්තේ 1977 ව්‍යවස්‌ථාවෙන් පසු ක්‍රියාත්මක වන ජන අනුපාත මැතිවරණ ක්‍රමය නිසාය. පෘතුගීසීන්ගෙන්, ලන්දේසීන්ගෙන් උඩරට ගැමියා රැක ගත්තේ මෙම ඉඩම්ය. ඉංග්‍රීසින් මිත්‍රයින් ලෙස මෙම ජනතාවගේ පරවේනි අයිතිය රැකීමට ගිවිස ගත්තත් අවුරුදු තුන්සියයක්‌ පමණ පෘතුගීසි, ලන්දේසි ආක්‍රමණයන්ගෙන් ගැමියා රැක ගත් ඉඩම් දේපළ ඔවුන්ට අහිමි විය. එපමණක්‌ නොව මුහුදුබඩ ප්‍රදේශවලට අධ්‍යාපන පහසුකම් ලබාදුන් අතර ඔවුන් උඩරට පළමු ස්‌වභාෂා පාසල ආරම්භ කළේ 1856 දීය. එනම් ගිවිසුම අත්සන් කර අවුරුදු හතළිස්‌ එකකට පසුවය. මෙම ප්‍රදේශවල සිට කොළඹට ප්‍රවාහන පහසුකම් සපයා දුන්නේ 1827 දී හමුදාවන්ගේ ගමන් පහසුව සහා ප්‍රවාහන පහසුකම් සපයා දුන් පසුවය. උඩරට ඉඩම් බුක්‌ති විඳීමේ චාරිත්‍රය පැවතියේ ප්‍රදේශයේ ජනතාවගේ සමඟිය හා එකමුතුව රැක ගැනීම අරමුණු කොට ගෙනය. මෙම අරමුණු නොදත් විජාතිකයන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති ඉඩම් විනිශ්චය මණ්‌ඩල හමුවට යැමට ගැමියන් පසුබට විය. උඩරට රාජධානියෙන් අඩක්‌ පමණ වූ වර්ග සැතපුම් 1772 කින් සමන්විත ඌවට කැරැල්ලෙන් පසුව සිදුවූ හානිය හා විනාශය ගැන ඉංග්‍රීසින් තබා ඇති වාර්තා මහත් අනුවේදනීය වේ. ඌවේ ජනගහනය හා සංවර්ධනය ගැන එදා සිටි ඒජන්තවරයා වූ හර්බට්‌ වයිට්‌ මෙසේ සඳහන් කරයි.

"කැරැල්ලෙන් පසු දිවි රැකගත් පිරිසගෙන් 4/5 ක්‌ ළමයින් සහ වෘධයින් ලෙස ගණනය කරන්නෙහි නම් කැරැල්ලෙන් වූ ජීවිත හානි අප්‍රමාණය. මිනිසුන් පමණක්‌ නොව ඔවුන් සතු වූ හරකා බාන ඇතුළු සියලු වස්‌තුවම කැරැල්ලෙන් නැති විය. (ඌව ජර්නල්) මෙම ව්‍යසනයෙන් ඌව කවදා ගොඩ එයි ද මට කිව නොහැක." බ්‍රවුන්රිග් ආණ්‌ඩුකාරවරයා සමඟ ඩේව් කළ සංචාරයක දී දැක ඇත්තේ අතු සෙවිලි කළ ගෙවල් පමණි. වෝඩ් ආණ්‌ඩුකාරවරයා ඌවේ සතියක්‌ පුරා කළ සංචාරයකදී එකදු මිනිසෙකු දැක නැත. මෙම සියලුම ව්‍යසනයන්ට අමතරව 1936 මැලේරියා වසංගතයෙන් ලක්‍ෂයකට අධික වූ ඌව වැසියන් මිය ගොස්‌ ඇති අතර එවැනි තුන් ගුණයක පිරිසක්‌ දිළිඳු භාවය නිසා ඇති වූ ආහාර හිඟයෙන් ජීවිත කාලය පුරාම අබ්බගාතයන් වී ඇත.

1815 මාර්තු 02 වැනිදා අත්සන් කළ ගිවිසුමෙන් පසු මෙවැනි සෝචනීය තත්ත්වයක්‌ උදා වුවද, හැම කලුවලාවකම රිදී රේඛාවක්‌ ඇත යන කියමන සනාථ කරමින් ගිවිසුමෙන් ඇති වූ සුබදායක ප්‍රතිඵල පිළිබඳව ද මෙහිදී සඳහන් කළ යුතුය. අප මේ රටේ වඩුග රජ පාලනයට විරුද්ධව නැගී සිටියේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ කෲර හා අධර්මිෂ්ඨ ක්‍රියා හේතුවෙනි. දහඅට වන වියේ උන් කන්නසාමි ශ්‍රී වික්‍රමරාජසිංහ නමින් උඩරට රාජධානියේ කිරුළ පැළඳවීමට රාජකීය කුමන්ත්‍රණ ප්‍රයෝගයක්‌ යෙදූ පිළිමතලාවේ පළමුවැනි අධිකාරම් ගේ හිස රජ අණින් ගසා දමන ලදී. පරණාතල අනුනායක ස්‌වාමීන් වහන්සේ සිවුර පිටින්ම ඝාතනය කළේ කිසිදු වග විභාගයක්‌ නැතිවය. පුස්‌සැල්ලේ පවුල, ඇහැලේපොල පවුල, සබරගමුවේ ප්‍රභූන් හැත්තෑවක්‌ පමණ ද රජතුමාගේ රාජ සභාවේ සිටි උසම ඇමැතිවරයා වූ රත්වත්තේ ආදීන් ද නිරපරාදේ ඝාතනය කරමින් රජු ජනතාවගේ අප්‍රසාදයට හා කෝපයට ලක්‌ විය. රන් වෙළෙ¹ම ඥතීන්ට භාර දී ඔවුන් පදිංචිව සිටි පාරේ භික්‍ෂුන් කෙනෙකු වුවත් වැඩම කිරීම තහනම් කළේය. මෙවන් පසුබිමක්‌ රට තුළ තිබුණ නිසාය ඉංග්‍රීසින් රට තුළට වැද්ද ගැනීමට කන්ද උඩරට ප්‍රභූන්ට සිදු වූයේ. ඔවුන් අත්සන් කළ ගිවිසුමේ කොන්දේසි ඉංග්‍රීසින් පිළිගත් බැවින් ගිවිසුම අදටත් නීත්‍යනුකූලව වලංගු වේ. එදත් මේ රට බෙදා වෙන්කර දෙන ලෙස ඉල්ලූ බෙදුම්වාදීන්ගේ ඉල්ලීම් ඉංග්‍රීසින් ප්‍රතික්‍ෂේප කළේ රටේ ඒකීයභාවය එදත් ඔවුන් පිළිගත් නිසාය. සමහර විවේචකයන් පවසන පරිදි රට ඉංග්‍රීසින්ට පාවා දුන්නෙහි නම් ඔවුන් මේ රටට පොදු රාජ්‍ය මණ්‌ඩලය තුළ ඩොමීනියන් තත්ත්වය ප්‍රදානය කරන අවස්‌ථාවේම රට ජාතිය හා භාෂා අනුව බෙදා වෙන්කර භාර දෙනු ඇත. ඉංග්‍රීසිහු ඉන්දියාව, මැලේසියාව, බුරුමය ආදි රටවල් ද එලෙසම ඒකීය සංකල්පය ආරක්‍ෂා කර ආපසු එරට වැසියන්ට භාර දුන්නෝය. උඩරට කැරැල්ලෙන් අදටත් පාලකයන්ට උගත හැකි පාඩම් බොහෝය.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.