අප සිටින්නේ රටේ දේශපාලන සංස්‌කෘතියේ වෙනසක්‌ ඉදිරියේයි
- මහාචාර්ය සරත් විඡේසූරිය

එය පහසු කටයුත්තක්‌ නොවේ

අද ජාතික සංහිඳියාවක්‌ උදෙසා දොරටු විවරව තිබෙන අතර, ආගමික සංහිඳියාවක්‌ වෙනුවෙන් යම් කථිකාවක්‌ ගොඩනැඟෙමින් පවතින බවත්, ඒ සියල්ල පදනම් කරගනිමින් ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායන් නිසි ලෙස ප්‍රතිෂ්ඨාපනය කිරීමට අවශ්‍ය මාවත හෙළිකර ගැනීමට මේ පාර්ලිමේන්තුව ඔස්‌සේ කටයුතු කිරීම අප ඉදිරියේ ඇති එකම විසඳුම බවත් මහාචාර්ය සරත් විඡේසූරිය මහතා පැවසීය.

විඡේසූරිය මහතා ඒ අදහස්‌ පළ කළේ පසුගියදා ජපානයේ ත්සුකුබා නුවර යතබෙ නගරයේ පැවති 'ශ්‍රී ලංකාවේ නව දේශපාලන සංස්‌කෘතිය' පිළිබඳ සම්මන්ත්‍රණය අමතමිනි.

ජපානයේ ප්‍රධාන සංඝනායක බානගල උපතිස්‌ස නාහිමියන් මුලසුන හෙබවූ මෙම සම්මන්ත්‍රණයට ජපානයේ වැඩබලන ශ්‍රී ලංකා තානාපති ආචාර්ය සඡ් මෙන්ඩිස්‌ මහතා ප්‍රධාන ආරාධිතයන් මෙන්ම, ශ්‍රී ලාංකේය ව්‍යාපාරිකයන්, ශිෂ්‍ය ශිෂ්‍යාවන්, වෘත්තිකයන් සහ රැකියා නියුතු තරුණ තරුණියෝ ද සහභාගි වූහ.

සම්මන්ත්‍රණය අමතමින් විඡේසූරිය මහතා මෙසේ ද පැවසීය.

"අපේ රටේ දේශපාලන සංස්‌කෘතියේ වෙනසක්‌ අබිමුවයි අද අප සිටින්නේ. එහෙත් එය පහසු කටයුත්තක්‌ නොවන බව කියන්න ඕනෑ. රටේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් කැපවුණ දේශපාලනඥයන් විරල රටක, පොදු න්‍යාය පත්‍රයක්‌ යටතේ ප්‍රතිපත්ති ගරුකව දේශපාලනයේ නිමග්න දේශපාලනඥයන් විරල රටක, සාධනීය වූ කවරාකාර වෙනසක්‌ කරා වුව යන්නට සිදුවන්නේ අප්‍රමාණ අභියෝග මැදින්, අපට අවශ්‍ය වෙනස කුමක්‌ද?

මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා රටේ දේශපාලන යාන්ත්‍රණය හසුරුවන අන්දම රටට අහිතකර ස්‌වරූපයක පවතින බව විග්‍රහ කරමින් මා 2011 නොවැම්බර් 24 වැනිදා ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී දේශනයක්‌ පැවැත්වූවා. මා එදා අවධාරණය කළ කාරණාවක්‌ සිහිපත් කරන්න කැමතියි.

ඉතිහාසයේ ප්‍රථම වතාවට රටේ ප්‍රධාන පක්‍ෂ දෙක එකතුව මැතිවරණයකට මුහුණ දෙන්නේ රටේ දේශපාලන සමාජ ආර්ථික සංස්‌කෘතික යනාදී සියලු ක්‍ෂේත්‍රයන්හි වෙනසක්‌ සඳහා සිsවිල් සමාජය ප්‍රමුඛව දියත් කළ සමාජ දේශපාලන ව්‍යාපාරවල බලපෑම් මුල් කරගෙන ඇතිවුණ ප්‍රබෝධය ඔස්‌සේ බව විස්‌තර කළ යුතු නැහැ. විධායක ජනාධිපති පදවියට පත් වූ මහින්ද රාජපක්‍ෂ එම පදවිය දැරූ කිසිම පාලකයකු නොකළ අන්දමට බලය අවභාවිත කිරීම හේතුවෙන් රටේ දේශපාලන සංස්‌කෘතිය විපරිත වුණා. එපමණක්‌ නොව සංවර්ධනයේ නාමයෙන් මුදල් අව භාවිත කිරීමත් ඉතා නරක අන්දමින් දිගින් දිගටම සිද්ධ කළා. මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා රට රැගෙන යන දිශාව රටට හිතකර නොවන එකක්‌ බවට සිවිල් සමාජය තුළ නිහඬ කථිකාවක්‌ තිබුණා. රාජ්‍ය යාන්ත්‍රණයේ ස්‌වරූපයත් රටේ අනාගතයට හිතකර නැති බවට නිහඬ කතිකාවක්‌ සැබවින්ම තිබුණා. එහෙත් සිවිල් සමාජය ප්‍රශ්න කරමින් මරණ බය ඇති කර තිබීමත්, විපක්‍ෂය දුර්වල කර තිබීමත්, නිසා රටේ වෙනසක්‌ අවශ්‍ය පුද්ගලයන් සිටියේ කර කියාගත හැකි දෙයක්‌ නොමැති තත්ත්වයකයි.

රටක දූෂණ සිදුවන්නේ භීෂණයක්‌ පවතින්නේ දේශපාලන බලය අවභාවිත කිරීම ඔස්‌සේ බව විස්‌තර කළ යුතු නැහැ. වෙන අන්දමකින් පවසතොත් බලය අවභාවිත කිරීම යනු ප්‍රජාතන්ත්‍රවාදය කෙළෙසීමත්, රටේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදය හොඳින් ප්‍රතිෂ්ඨාපනය කළ යුතුය. එක්‌ පුද්ගලයකු අතේ බලය කේන්ද්‍රගතවීම රටක යහපැවැත්මට හොඳ නැති බව අපට වැටහී තිබෙනවා. ඒ නිසා බලය ලැබිය යුත්තේ පාර්ලිමේන්තුවටයි.

දැනෙන ලෙසත්, නොදැනෙන ලෙසත් විපරිත වූ සමාජ දේශපාලන යාන්ත්‍රණයේ වෙනසක්‌ පොදු ජනතාවට ඉක්‌මනින් අවශ්‍යයි. පොදු ජනතාවගේ ඉක්‌මන සාධාරණයි. එනමුත් සැබෑ වෙනසක්‌ සඳහා කාලය අවශ්‍යයි. ආවේගකාරී තර්ක කරන අන්දමින් වැඩ කිරීමට හා ප්‍රතිඵල නෙළාගැනීමට අපහසුයි. ඊට ප්‍රධාන හේතුව රාජ්‍ය යාන්ත්‍රණය දීර්ඝ කාලයක්‌ තිස්‌සේ අවිනීත අන්දමින් සියලු සම්ප්‍රදායන් උල්ලංඝනය කිරීමත්, නීතිය හා අධිකරණය අබිමුව අදාළ ආයතන අඩපණව තිබීමයි. තත්ත්වය සැබවින්ම බැරෑරුම්, එබැවින් රාජ්‍ය යාන්ත්‍රණයේ වැදගත් ප්‍රතිසංස්‌කරණ ඔස්‌සේ දුර ගමනක්‌ යා යුතුව තිබෙනවා. එය කොතරම් බැරෑරුම් වුවත් ප්‍රතිසංස්‌කරණ සිදුකිරීම අවශ්‍යයි.

තව දෙයක්‌ කියන්න කැමතියි. ඒක තමයි මෛත්‍රීපාල සිරිසේන මහතා බලය අත්හරින්නට සූදානම් කෙනකු වීම. ඔහුට රජ කෙනකු ලෙස රට දිවි තිබෙනතුරු පාලනය කිරීමේ උවමනාවක්‌ නැති බව මහජනතාවට දැනෙන්න සාක්‍ෂාත් කරමින් සිටිනවා. රනිල් වික්‍රමසිංහ මහතාටත් රජ කෙනකු වීමේ සිහිනයක්‌ නැති බව පැහැදිලියි. ඔහු ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායන්ට ගරු කරන දේශපාලනඥයෙක්‌. ලෝක ප්‍රජාවගේ අවධානය මෙන්ම සහයෝගය අපට අත්කර ගැනීමට ඔහු නිසැකවම සමත් වෙන බවයි මගේ අවබෝධය. අප එක්‌කෙනාට පෙනෙන, අපේ තරමට වැටහෙන යම් යම් ප්‍රශ්න තිබෙන බවත් මා දන්නවා. බරපතළ අනතුරකට භාජනව සිටි ක්‍රීඩකයකු බරපතළ සැත්කමකින් සුවය ලද පමණින් අප ඔහුගෙන් ජයග්‍රහණයන් අපේක්‍ෂා කිරීම සාධාරණද?

මෙහිදී මා තවත් කාරණයක්‌ කියන්න කැමතියි. මා රටේ වෙනසක්‌ වෙනුවෙන් යම් කාර්යභාරයකට දායක වුණේ සත්තකින්ම සියේට සියයක්‌ ප්‍රතිඵල අපේක්‍ෂාවෙන් නොවෙයි. මා අපේක්‍ෂා කළේ සහ කරන්නේ සියේට හැටක පමණ ප්‍රතිඵලයක්‌. සියේට අනූවක්‌ අසූවක්‌ අපේක්‌ෂා කරන්නෙ නැහැ. සියේට හැටක පමණ ප්‍රතිඵලයක්‌ ලබාගත හැකි වුණොත් අපට තව ටිකක්‌ ඉදිරියට යැමට යම් හඬක්‌ නගන්න පුළුවන්. ඇත්තටම අපේ රටට අවශ්‍ය වන්නේ අනාගතයක්‌. ලෝක ප්‍රජාවගේ ගෞරවයට බඳුන්වන අනාගතයක්‌.

සම්මන්ත්‍රණයේ දෙවන දේශනය පවත්වමින් ප්‍රවීණ මාධ්‍යවේදී සමන් අතාවුදහෙට්‌ටි මහතා මෙසේ පැවසීය.

ඈත අතීතයේ සිට ලාංකේය සමාජයේ අප දුටු විශේෂ ලක්‍ෂණයක්‌ වූයේ ආගම්, ජාති, කුල ආදී පදනම් මත භේදභින්න වීමයි. අප රට ආක්‍රමණයට පැමිණි විවිධ ජාතීන් අපේ මේ භේදභින්න ක්‍රම ඔවුන්ගේ වාසියට උපයෝගි කරගත්තා. 1815 ගිවිසුම මගින් අපේ රට ඉංග්‍රීසීන් යටත් කරගත්තේ මේ අසමගිය උපයෝගි කරගෙනයි.

අපේ රටට නිදහස ලබාදීමේදී ද මේ අසමගිය බලපෑවා. මේ බැව් අවබෝධ කරගත් මහාමාන්‍ය ඩී. එස්‌. සේනානායක මහතා ජාතීන් අතර සමගිය ඇතිකරමින් එක්‌සත් ජාතික පක්‍ෂය බිහි කළා. එතැනදී එතුමා ප්‍රකාශ කළේ මින් මතු අප අතර ජාති ආගම් භේද නැති බවයි. මෙතැන් පටන් අප සියල්ලම ලාංකිකයන් සේ කටයුතු කළයුතු බවයි.

මේ සමගිය නිසා අපට නිදහස ලබාදීමට බ්‍රිතාන්‍ය යටත් විජිත පාලකයන්ට සිදුවුණා. නමුත් අවාසනාවකට ඒ සමගිය දිගින් දිගටම පවත්වාගෙන යන්නට අප අසමත් වුණා. යළිත් අප භේදභිsන්න වුණා. බොහෝ දේශපාලනඥයන් මේ අසමගිය ඔවුන්ගේ පැවැත්ම සඳහා භාවිත කළා.

දේශපාලනය හා මැතිවරණ ක්‍රියාදාමය ක්‍රියාත්මක වුණේ ප්‍රතිපත්ති මත නොවෙයි. පුද්ගලයන් මතයි. මේ නිසා ප්‍රතිපත්තීන් ගරු කිරීම වෙනුවට පුද්ගලයන් වන්දනාමාන කිරීම ඉදිරියට ආවා. බහුතර සමාජය අගය කළේ ප්‍රතිපත්ති නෙවෙයි. පුද්ගලයන්වයි.

මේ තත්ත්වය පසුගිය ජනාධිපතිවරණයේදී වෙනස්‌ වුණා. අප දන්නා ඉතිහාසයේ අපේ රටේ විවිධ බලවේග ප්‍රතිපත්ති මාලාවක්‌ වටා එක්‌රොක්‌ වූ මුල්ම අවස්‌ථාව මෙයයි. ඒ නිසා මෙය සුවිශේෂී ඓතිහාසික අවස්‌ථාවක්‌ ලෙස හැඳින්විය හැකියි.

දැන් අප ඉදිරියේ ඇති අභියෝගය වන්නේ මේ ඓතිහාසික අවස්‌ථාවෙන් නිසි ප්‍රයෝජන ගන්නට අපට හැකිද යන්නයි. 1948 දී ඩී. එස්‌. සේනානායක, එස්‌. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්‌ඩාරනායක ඇතුළු සිංහල, දෙමළ, මුස්‌ලිම් නායකයන් නිදහසේ අභියෝගය ජයගත්තා. නමුත් ඒ ජයග්‍රහණය ඉදිරියට ගෙනයමින් ආරක්‍ෂා කර ගැනීමට තරම් ශක්‌තියක්‌ ලාංකේය සමාජයටත්, ඒ නායකයන්ටත් තිබුණේ නෑ.

අපේ මාතෘභූමිය ඉහළට ඔසවා තැබීමේ ව්‍යායාමය සඳහා කැපවෙමු එක්‌වෙමු යෑයි ද අතාවුදහෙට්‌ටි මහතා පැවසීය.

ජපානයේ ප්‍රධාන සංඝනායක බානගල උපතිස්‌ස නාහිමියන් සහ වැඩබලන ශ්‍රී ලංකා තානාපති ආචාර්ය සඡ් මෙන්ඩිස්‌ මහතා ද මෙහිදී කෙටි අදහස්‌ පළ කළ අතර සිංහල, ජපන් සහ ඉංග්‍රීසි භාෂාත්‍රයෙන්ම සම්මන්ත්‍රණය මෙහෙයවන ලද්දේ උමාලි තිලකරත්න විසිනි.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.