පොලොන්නරුවේ කවුරුවත් මට අත උස්‌සන්නේ නෑ කිවු
වැලි රාජු ඝාතනය කළේ ඇයි?

අකාලයේ ජීවිතයෙන් සමුගත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ බාල සොහොයුරු ව්‍යාපාරික ප්‍රියන්ත සිරිසේන මහතාගේ අවසන් කටයුතු ඉකුත් සඳුදා (30 දා) පොලොන්නරුව 28 කණුව පොදු සුසාන භූමියේදී අතිවිශාල ජනකායකගේ සහභාගිත්වයෙන් සිදු කෙරිණි.

සාහසිකයකුගේ පොරෝ පහරකින් ජීවිතක්‍ෂයට පත් ප්‍රියන්ත සිරිසේන මහතා වැලි රාජු යන නමින් ප්‍රකටව සිටියේය. මිය යන විට 43 වැනි වියෙහි පසුවූ ඒ මහතා දරුවන් තිදෙනකුගේ පියෙකි. ඔහුගේ බිරිඳ ගීතාංජන සමන් කුමාරි (41) වැඩිමහල් දියණිය ජිනානි චාර්මි සිරිසේන පුතු දිමුත් සඳරුවන් සිරිසේන (13) සහ දසමස්‌ වියෑති රදින්ති සිරිසේන සමඟ ජීවත් වූයේ පොලොන්නරුව, ලක්‍ෂඋයන ඇතුමල්පිටිය ගම්මානයේයි.

පසුගිය 26 වෙනි දින පොලොන්නරුව නවනගරය ප්‍රදේශයේදී ප්‍රියන්ත සිරිසේන මහතා මෙම අනතුරට ලක්‌ව බරපතළ තුවාල ලබා කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඉකුත් 28 වැනි දින අලුයම ජීවිතක්‍ෂයට පත් විය. පසුව පොලොන්නරුවට රැගෙන එනු ලැබූ දේහය මහජන ගෞරවය සඳහා තැන්පත් කර තිබුණේ ප්‍රියන්ත සිරිසේන මහතාට අයත් එම ඇතුමල්පිටියේ පිහිටි නිවෙසහිය. පොලොන්නරුවේ පමණක්‌ නොව දිවයිනේ නන් දෙසින් අති විශාල ජනකායක්‌ ඔහුට අවසන් බුහුමන් දක්‌වන්නට පැමිණ සිටියහ.

පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් ඇතුළු මහා සංඝරත්නය අගමැති රනිල් වික්‍රමසිංහ මහතා, ආණ්‌ඩුපක්‍ෂයේ මැති ඇමැතිවරුන් කථානායක චමල් රාජපක්‍ෂ, විපක්‍ෂනායක නිමල් සිරිපාල සිල්වා හිටපු, අගමැති දි. මු. ජයරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ යන මහත්වරුන්ද මෙම පැමිණි මහජන ගඟ අතර වූහ. මීට අමතරව ව්‍යාපාරික ප්‍රජාව මෙන්ම සමාජයේ ලොකු කුඩා බොහෝ පිරිස්‌ද පුරා දෙදිනක්‌ රැය දහවල දෙකෙහි වැල නොකැඩී ආහ. මියගිය ප්‍රියන්ත සිරිසේන මහතාගේ බිරිඳ ගීතාංජනී සමන් කුමාරි මහත්මිය තම සැමියාගේ මෙම අකල් වියෝව දරාගත නොහැකිව වැළපෙමින් උන්නාය. කඳුළු පිරි දෙනෙතින් යුතුව ඇය කියා සිටියේ මෙම සිද්ධිය වූ දිනයේ (26 දා) සවස තමන්ට සහ දරුවන්ට අලුත් අවුරුද්දට ඇඳුම් අරගෙන දෙන්නට පොලොන්නරුවේ කදුරුවෙල නගරයට එන්නැයි තම සැමියා දුරකථනයෙන් දැනුම් දුන් බවයි. දරුවන් සමග මෝටර් රථයෙන් නගරයට යන විට තරමක්‌ ප්‍රමාදවූ බවත් එහි ගොස්‌ සැමියාගේ ජංගම දුරකථනයට ඇමතුමක්‌ ලබාගත් නමුත් එවේලේ දුරකථනය ක්‍රියාවිරහිතවී තිබූ බවත් පසුව දැන ගන්නට ලැබුණේ ඔහුට අනතුරක්‌ සිදුවී තිබෙන බව යෑයිද ඇය කීවාය.

තම සැමියා මෙලෙස අමු අමුවේ මරා දමන්නට තරම් හේතුවක්‌ නොතිබූ බව කී ගීතාංජන සමන් කුමාරි මහත්මිය මෙම අපරාධය සිදු කළ බව කියන ගරාඡ් හිමියා සිය සැමියාගෙන් විශාල වශයෙන් මුදල් ලබාගෙන තිබෙන බව කීවාය. ගරාජය මුලින්ම ආරම්භ කිරීම සඳහා මුදල් යොදවා තිබෙන්නේ තම සැමියා බවත් එම මුදල් ආපසු ගෙවීමට සිදුවන නිසා මෙම ඝාතනය සිදු කරන්නට ඇතැයි විශ්වාස කරන බවද ඇය කීවාය.

මගේ මහත්තයාට විශේෂයෙන් තරහ කාරයො හිටියෙ නෑ. ඒ නිසා එයා ආරක්‍ෂාව ගැන සැලකිල්ලක්‌ දැක්‌වූයේ නෑ. ඒත් මම නිතරම කියලා තිබුණා යන එන ගමන් බිමන්වලදී තමන්ගේ ආරක්‍ෂාව ගැනත් ටිකක්‌ හිතන්න කියල. එහෙම කියන වෙලාවට එයා කිව්වෙ පොලොන්නරුවෙ කවුරුවත් මට අතක්‌ උස්‌සන්නේ නෑ. එයාට සමාජය ගැන ලොකු විශ්වාසයක්‌ තිබුණා. තමන් එක්‌කලා ලඟින් ආශ්‍රය කරපු කෙනෙක්‌ මෙහෙම දෙයක්‌ කරයි කියලා කොහොමටවත් හිතන්න නැතුව ඇති. මගේ මහත්තයා මටත් දරුවන්ටත් හරිම ආදරෙයිs. නිතරම කිව්වේ දරුවන්ට හොඳම උගන්වන්න ඕන කියලා. මේ ලොකු දුවයි දෙවැනි පුතයි ඉගෙන ගන්නේ පොලොන්නරුවේ රාජකීය විද්‍යාලයේ. එයාලගේ අධ්‍යාපන කටයුතු ගැන මහත්තයා නිතරම හොයලා බැලුවා යෑයිද ඇය කීවාය.

ප්‍රියන්ත සිරිසේන මහතාගේ උපන්ගම පොලොන්නරුව ලක්‍ෂඋයනයි. සහෝදර සහෝදරියන් දොළොස්‌ දෙනෙකුගෙන් යුත් පවුලේ බාලයා ප්‍රියන්තය. රාජු යනු ගෙදර උදවිය ඔහුට හුරතලයට කියූ නමය. පවුලේ කාගේත් නොමඳ ආදරයට ලක්‌වූ රාජු පාසල් අධ්‍යාපනය නිමා කිරීමෙන් අනතුරුව කලක්‌ විදේශ රැකියාවක නිරතව යළි දිවයිනට පැමිණ ව්‍යාපාරික ක්‍ෂේත්‍රයට අත ගැසුවේය.

මහවැලි ගඟේ මනම්පිටිය ප්‍රදේශයේ ගොඩදමන වැලිවලට දිවයිනේ බොහෝ ප්‍රදේශවල පවතින විශාල ඉල්ලුම නිසා ඔහු මෙම වැලි වෙළෙ¹ම තෝරා ගත්තේය. ඔහු එම ව්‍යාපාරික ක්‍ෂේත්‍රයේ ශීඝ්‍ර දියුණුවට පත්වෙද්දී වැලි රාජු යන නමින් සමාජයේ ප්‍රකට විය. රජරට බිල්ඩර්ස්‌ ප්‍රවාහන සේවයද පසුව ආරම්භ කළ රජරට සහල් ව්‍යාපාරයේ හිමිකරුවාවූ හෙතෙම මෙලෙස අකාලයේ ජීවිතයෙන් සමුගන්නාවිට කෝටිපති ව්‍යාපාරියකුව සිටියේය. එසේ වුවද ඔහු උපන් ගමේ පදිංචිය අත්හලේ නැත. පොඩි මිනිසුන්ගේ ඇසුර ප්‍රිය කළේය. එනිසාම ඉතාමත්ම සරල දිවිපෙවෙතක්‌ ගත කළේය.

ඒ බව ප්‍රියන්ත සිරිසේන මහතාගේ අවමඟුල් උත්සවයේදීද ඔහුගේ ගුණ සිහිපත් කළ බොහෝ දෙනා සඳහන් කළහ. ඇතුමල්පිටිය ශ්‍රී ශාක්‍යසිංහාරාම විහාරස්‌ථානයේ විහාරාධිපති, පූජ්‍ය ගල්ලෑල්ලේ අරියවංශනාහිමියෝ ප්‍රියන්ත සිරිසේන මහතා පිළිබඳව සඳහන් කළ අනුශාසනාවේදී කියා සිටියේ ගමේ විහාරස්‌ථානයේ වර්තමාන දියුණුව සංවර්ධනය සඳහා නොමසුරුව ධනය පරිත්‍යාග කරමින් උදාර සේවාවක්‌ කළ අයකු බවයි. එතුමන්ගේ දරුවන් දෙදෙනකු දහම් අධ්‍යාපනය ලබන විහාරස්‌ථ සුචරිතෝදය දහම් පාසලේ වාර්ෂික ත්‍යාග සහතික ප්‍රදානෝත්සවය ඉතාමත්ම සාර්ථකව සිදු කිරීම සඳහා ප්‍රියන්ත සිරිසේන මහතාගෙන් විශාල සහයෝගයක්‌ වසරක්‌ පාසාම ලැබුණු බවද උන්වහන්සේ සඳහන් කළහ. තම විහාරස්‌ථානයට ගමට පමණක්‌ නොව මුළු මහත් පුලතිසි පුරවරයටම එතුමන්ගේ අභාවය, හදිසි වියෝව පිරිමැසිය නොහැකි පාඩුවක්‌ බවද පැවසූහ. කළ අනුශාසනාවේදී කියා සිටියේ ගමේ විහාරස්‌ථානයේ වර්තමාන දියුණුව සංවර්ධනය සඳහා නොමසුරුව ධනය පරිත්‍යාග කරමින් උදාර සේවාවක්‌ කළ අයකු බවයි. එතුමන්ගේ දරුවන් දෙදෙනකු දහම් අධ්‍යාපනය ලබන විහාරස්‌ථ සුචරිතෝදය දහම් පාසලේ වාර්ෂික ත්‍යාග සහතික ප්‍රදානෝත්සවය ඉතාමත්ම සාර්ථකව සිදු කිරීම සඳහා ප්‍රියන්ත සිරිසේන මහතාගෙන් විශාල සහයෝගයක්‌ වසරක්‌ පාසාම ලැබුණු බවද උන්වහන්සේ සඳහන් කළහ. තම විහාරස්‌ථානයට ගමට පමණක්‌ නොව මුළුමහත් පුලතිසි පුරවරයටම එතුමන්ගේ අභාවය, හදිසි වියෝව පිරිමැසිය නොහැකි පාඩුවක්‌ බවද පැවසූහ.

ප්‍රියන්ත සිරිසේන මහතාට අවසන් බුහුමන් දැක්‌වීම සඳහා එම දේහය තැන්පත් කර තිබූ ඇතුමල්පිsටියේ පිහිටි ඔහුගේ නිවසේදී ආගමික වතාවත් සහ අවමඟුල් උත්සවයද පැවැත්විණි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හැර ප්‍රියන්ත සිරිසේන මහතාගේ සෙසු සහෝදර සහෝදරියන් සියලුම දෙනා එම අවමඟුල් උත්සවයට සහභාගිවී සිටියහ.

ජනාධිපතිවරයා ඊට දින කිහිපයකට පෙර චීනයේ නිල සංචාරයක නිරතව සිටි හෙයින් තම සහෝදරයාගේ අවමඟුල් උත්සවයට සහභාගිවන්නට ඉඩක්‌ නොලැබුණු බව දැනගන්නට ලැබිණි.

එහෙත් ජනාධිපතිවරයා එම අවමඟුල් උත්සවයට සහභාගි නොවීම පිළිබඳව බොහෝ දෙනාගේ කථාබහට ලක්‌වූ අතර එය කැපී පෙනෙන සිද්ධියක්‌ද විය.

ඇතුමල්පිටිය නිවසේ පැවැති ආගමික වතාවත් සහ අවමඟුල් උත්සවයෙන් අනතුරුව ප්‍රියන්ත සිරිසේන මහතාගේ දේහය රැගත් අවමඟුල් පෙරහර පොලොන්නරුව 28 කණුව පොදු සුසාන භූමිය දක්‌වා පැමිණෙන විට පස්‌වරු 6.30 පමණ වන්නට ඇත. ඉන් පසුව බොහෝ දෙනාගේ සෝ සුසුම් මධ්‍යයේ දේහය මිහිදන් කෙරිණි.

ව්‍යාපාරික ප්‍රියන්ත සිරිසේන මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් පොලිස්‌ පරීක්‍ෂණ කටයුතු තවදුරටත් සිදු කෙරෙන බව පොලිසිය පවසයි. දැනට අධිකරණ නියෝග මත රක්‌ෂිත බන්ධනාගාර ගත කොට සිටින සැකකාර ගරාඡ් හිමියා පොලිසියට බාරවීමෙන් පසුව, වැලිරාජු තම මවටත් පියාටත් පහර දුන් බවට කර තිබෙන ප්‍රකාශය අසත්‍යයක්‌ බව පොලිසිය සිදු කළ පරීක්‍ෂණවලදී හෙළිව තිබේ. එහිදී පහරදීමක්‌ නොව බැණ වැදීමක්‌ පමණක්‌ සිදුව තිබෙන බව අනාවරණය වී ඇතැයි පොලිසිය සඳහන් කරයි. මේ අතර එම සැකකරුගේ මාපියන් ඔවුන් පදිංචිව සිටි නවනගරය හතරේඇළේ පිහිටි නිවස හැරදමා ගොස්‌ ඇත. එම නිවෙසට මේ වන විට පොලිසිය දැඩි ආරක්‍ෂාවක්‌ යොදා තිබේ.

සැකකාර ගරාඡ් හිමියා ප්‍රියන්ත සිරිසේනට පොරොවකින් පහරදීම සිදු කරන අවස්‌ථාවේ යතුරුපැදියකින් පැමිණි තවත් පුද්ගලයන් දෙදෙනකු එම ස්‌ථානයේ සිටි බවට පොලිසියට තොරතුරු ලැබී තිබේ. ඔවුන්ගෙන්ද ප්‍රශ්න කිරීමට පොලිසිය බලාපොරොත්තු වන අතර මෙම ඝාතනය කිසියම් සැළසුම් සහගත කුමන්ත්‍රණයක්‌ද යන්න සෙවීම සඳහා විමර්ශන කටයුතු තවදුරටත් සිදු කෙරෙන බව පොලිසිය කියයි.

කරුණාරත්න ගමගේ

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.