අබිරහස්‌ ලෙස මියගොස්‌ ඇති බිරිඳගේ සිරුර ගෙන්වා දෙන්න
සැමියාගෙන් පොලිසියට පැමිණිලි

ඡායාරූප හා සටහන - මස්‌කෙළිය ගාමිණී බණ්‌ඩාර ඉලංගන්තිලක

සෞදි අරාබියේ ගෘහ සේවයේ නිරතව සිටි කන්දයියා දර්ශනී නමැති තම බිරිඳ අබිරහස්‌ ලෙස මිය ගොස්‌ ඇති බවට ඇගේ සැමියා වන මස්‌කෙළිය බ්‍රන්ස්‌වික්‌ තේ වත්තේ, මොටින්හැම් කොටසේ පදිංචි වතුකම්කරුවකු වන ඩබ්. ඒ. වසන්ත කුමාර නමැති අය මස්‌කෙළිය පොලිසියට පැමිණිලි කර ඇත.

දැනට වසර 02 කට ප්‍රථම තැරැව්කරුවෙකුගේ මාර්ගයෙන් විදේශ රැකියා ඒජන්සියක්‌ හරහා සෞදි අරාබියේ ගෘහ සේවිකාවක්‌ ලෙස සේවය සඳහා ගිය බවත් 2014.08.24 දින සිට ඇය සේවය කරමින් සිටි නිවසින් අතුරුදන්ව ඇති තම බිරිඳගේ මළ සිරුර මාස 4 කට පමණ පසුව අතහැර දමන ලද මඩුවක තිබී ගොවි මහතෙක්‌ විසින් සොයාගෙන ඇති බවත්, ඒ පිළිබඳව සෞදි අරාබි පොලිසිය පරීක්‍ෂණ පවත්වන බවට, තමන් විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශයට කරන ලද පැමිණිල්ලකට පසුව එහි නියෝජ්‍ය අධ්‍යක්‍ෂ කේ. එම්. ආර්. පෙරේරා මහතා විසින් 2015.01.30 දාතමින් තමන් වෙත ලිතව දන්වා ඇති බවට ඩබ්. ඒ. වසන්ත කුමාර මහතා මස්‌කෙළිය පොලිසියට පැමිණිලි කර ඇත.

මෙසේ අබිරහස්‌ ලෙස මිය ගිය බවට සැකකරන කන්දයියා දර්ශනී නමැති ඇය විදේශ ගතවීම සම්බන්ධයෙන් කටයුතු කරන ලද තැරැව්කරුවන්ට හා ඒජන්සි හිමිකරුට එරෙහිව නීති මගින් ක්‍රියාමාර්ග ගන්නා ලෙසත්, තම බිරිඳගේ මළ සිරුර ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට අවශ්‍ය කටයුතු කර දෙන ලෙසත් ඩබ්. ඒ. වසන්ත කුමාර මස්‌කෙළිය පොලිසියට කරන ලද පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් වේ.

බිරිඳගේ මරණය නිසා තුන් හැවිරිදි තම දරුවා හා තමන් සමග ඥති පිරිස දැඩි කම්පාවට මෙන්ම අපහසුතාවට පත්ව සිටින බවත් මේ සම්බන්ධයෙන් තමන්ට සාධාරණය ඉටුකර දෙන ලෙස වගකිවයුතු අංශවලින් ඉල්ලා සිටින බවත් ඩබ්. ඒ. වසන්තකුමාර මහතා වැඩිදුරටත් කියා සිටී.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.