සර්පයින් සමඟ කල්ගෙවන නිර්භීත දැරිය

ඇය ක්‍රිස්‌ටා ගුවාරිනෝ ය. ඈ සර්පයින් 30 දෙනකු සමඟ කෙළිදෙළෙන් කල් ගෙවන බව අසන්නට ලැබේ. එම සර්පයෝ අතර ඇනකොණ්‌ඩාවෝ සහ පිඹුරෝ ද වෙති. ඒ අතර අඩි 12 ක්‌ දිග පිඹුරකු ද වනබව කියෑවේ.

ඇය මෙලෙස සර්පයින් සමඟ කල්ගෙවීම අරඹා ඇත්තේ යාන්තමට බහ තෝරන වයස අවුරුදු දෙකේ දී පමණය. එවකට ද ඈ සර්පයින් සමඟ එකට සිට කෑම ගැනීම, නිදා ගැනීම, සෙල්ලම් කිරීම වැනි දෑ කර ඇත. ඒ අවධියේ දී සමහර සර්පයින් ඈ මෙන් දෙගුණයක්‌ විශාලව සිට ඇත. සමහර අවස්‌ථාවල දී සමහර උරගයින් ඇයට දෂ්ට කර ඇත. එහෙත් එමඟින් ළදැරියට කිසිම ගැහැටක්‌ සිදුවී නොමැත. ඒ ඔවුන් විෂ රහිත සර්පයින්වීම නිසාය.

ක්‍රිස්‌ටා පදිංචිව සිටිනුයේ අමෙරිකාවේ මිචිගන් නගරයේ ය. ඇය මල්ලිලා දෙදෙනකුගෙන් යුත් පවුලේ වැඩිමලා ය. පොළොවේ ලිස්‌සා යන සතුන් මෙලෙස මුලින්ම ඈට හඳුන්වා දී ඇත්තේ ඇගේ පියා විසිනි. ඔහු 33 වියෑති ජෙමී ගුවාරිනෝ ය. වෘත්තියෙන් සර්ප විශේෂඥවරයෙකි. ක්‍රිස්‌ටා පිළිබඳව ජෙමී කියනුයේ මෙවැනි කතාවකි. "මගේ දුවගේ පළමු වචනය වුණේ 'සර්පයා' කියන එක. ඇගේ කුඩා කාලෙදිම මම දැනගත්තා ඇගේ ප්‍රීතිලෝලීන් වෙන්නෙ සර්පයින් බව. කුඩා කාලෙ ඉඳන්ම ඈ සාමාන්‍ය ළදැරියන්ට වඩා වෙනස්‌. ඒ කාලෙදිම දුව සර්පයින්ට පොඩ්ඩක්‌වත් බය වුණේ නෑ. ඇයට ඕනෑ වුණේ ඔවුන් සමඟ සෙල්ලම් කරන්නයි. දැනුත් දුව පාසලේ දී යහළුවන් සමඟ සෙල්ලම් කරනවාටත් වඩා සෙල්ලම් කරන්නේ මේ සර්පයින් එක්‌ක ගෙදරදී."

"නිවාඩු කාලවලදී එයා මට උදවු වෙනවා සර්පයින්ට කෑම දෙන්න එහෙමත්. සතිඅන්තවලදීත් කූඩුවල ඉන්න විෂකුරු සර්පයින් ගැන ඇය හොඳින් නිරීක්‍ෂණයේ යෙදෙනවා"

ක්‍රිස්‌ටාගේ මව 28 හැවිරිදි අෂ්ලි ය. ඈ කියනුයේ මුලින්ම තම ස්‌වාමියා හමු වූ දිනවල දී තමා සර්පයින්ට මහත් සේ බිය වූ බවත් පසුව එය ක්‍රමයෙන් පහව ගිය බවත්ය. ක්‍රිස්‌ටාගේ ආච්චි (පියාගේ මව) කියනුයේ තම මිණිබිරිය සර්පයින් සමඟ සෙල්ලම් කරනවාට තමා සතුටු නොවන බවය. "මම කොහොමටත් සර්පයින්ට පොඩ්ඩක්‌වත් කැමති නෑ. ක්‍රිස්‌ටා සර්පයින් එක්‌ක කාලය ගත කරන එකට මම කැමති නෑ"

ක්‍රිස්‌ටාගේ පියා ජෙමී ගුවාරිනෝ සිය දියණිය පිළිබඳව තවදුරටත් කියනුයේ මෙවැන්නකි. "මිනිස්‌සුත් එච්චර කැමති නෑ දුව සර්පයින් එක්‌ක කාලය ගත කරනවාට. ඒ ගොල්ලො කියන්නෙ මේ සතුන්ගෙන් දුවට කරදරයක්‌ වෙයි කියල. නමුත් මගේ දුවට සර්පයින්ගෙන් එහෙම කරදරයක්‌ වෙන්නෙ නෑ. එයා සර්පයින්ට හුඟක්‌ම ආදරෙයි. ඉතින් මම කැමති නෑ එයාගේ ඒ හැසිරීමට බාධා කරන්න. එයා විෂකුරු සර්පයින් කවුද විෂ නැති අය කවුද කියල හොඳට දන්නවා. එයා සත්තුත් එක්‌ක ගනුදෙනු කරන්නෙ ඒ ගැන හොඳට දන්න වැඩිහිටියෙක්‌ වගේ. ඒ නිසා එයාගේ ඒ හැසිරීම ගැන මට පොඩ්ඩක්‌වත් කරදර වෙන්න දෙයක්‌ නෑ. මගේ දුවගෙ අදහස තමයි එයා ලොකු වුණාම උරග සත්වොත්ද්‍යානයක්‌ විවෘත කිරීම. එමඟින් එයා බලාපොරොත්තු වෙන්නේ සර්පයින් පිළිබඳව මිනිසුන් තුළ තිබෙන වැරදි වගේම අසුබවාදී අදහස්‌ - ආකල්ප නැති කරන එක."

නව හැවිරිදි ප්‍රසන්න සහ හුරුබුහුටි ක්‍රිස්‌ටා කියනුයේ මෙවැනි කතාවකි. "සමහරු සර්පයින්ට බයයි. ඒ නිසා උන්ව මරල දානවා. නමුත් ඇත්තටම ඒ සර්පයින් හරිම සිසිලසයි. සුවදායකයි. හරිම සිත් ගන්නා සුළුයි. කවදාහරි දවසක මට අවශ්‍යයි සර්පයින්ට කරුණාව දක්‌වන සමාජයක්‌ දකින්න."

- චන්ද්‍රපාල ලේකම්ගේ

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.