මරණයේ අබිමුව සිනාසුණු තරුණ මව
පිළිකා රෝගියකුගේ කතාව

ලොව සියලුම වීරයන් ද බලවන්තයන් ද මරණය හමුවේ වෙව්ලන්නේ මී පැටවුන් මෙනි. එහෙත් ක්‍රිස්‌ටින් හෝවාඩ්ට මරණය සුරංගනාවන් ගැයූ වෘන්ද ගායනාවක්‌ විය. ඕ මරණ මංචකයේ වැතිරී සිටියේ අවට සිටියවුන් විශ්මයට පත් කරවමිනි. එම තරුණ මවගේ අවසාන දවස්‌ කීපය පිළිබඳ අනුවේදනීය කතාවයි මේ.

පුංචි එඩී හෝවාඩ් ප්‍රාථමික පාසලේ දෙවෙනි ශ්‍රේණියේ ඉගෙන ගන්නා සිඟිත්තියකි. මොන තරම් සුවපහසුකම් උඩ හැදුනත් ඇයටත් විශාල දුක්‌ වේදනාවක්‌ උහුලන්නට සිදුවී තිබිණි. පාලුව හා තනිකමින් පමණක්‌ නොව ඇගේ අම්මා ඇගෙන් සඳහටම සමුගනීය යන භයංකර හැඟීමකින් ඕ දිනපතාම දැවෙමින් සිටියාය.

එඩීගේ අම්මාගේ වයස හරියටම අවුරුදු 32 ක්‌ පමණයි. ඕ හරිම තරුණයි ලස්‌සනයි. ඒත් අවාසනාවන්ත ලෙස ඕ ලෙඩ ගානට වැටුණාය. ඇගේ රෝගය පිළිකාවක්‌ නිසා ඇති වූ බව දැන ගන්නා විටත් ඕ රෝහල් ගත වී සිටියාය.

එඩීගේ පාසලේ මුල්ගුරු තුමා ගුරු දෙගුරු රැස්‌වීමේදී මේ ගැන සඳහන් කරමින් ඇයට හැකි අයුරින් පිහිට වෙන ලෙස දෙමව්පියන් ගෙන් ඉල්ලා සිටියේය.

මව්පියන් ක්‍රියාකාරී වුණෙ හරියට මීමැසි පොදියක්‌ වගේ. ක්‍රිස්‌ටින් හෝවාඩ්ගේ ජීවිතය ගලවා ගැනීම පිණිස මුදල් එකතු කිරීම සඳහා ඔවුන් විවිධ වැඩ සටහන් දියත් කළා. පොත් අලෙවිය, ලොතරැයියක්‌ පැවැත්වීම, කෑම පාර්සල් අලෙවිය ඉන් සමහරක්‌. මේවායින් පවුම් තුන්දාහක්‌ එකතු කරගන්නට ඔවුන්ට හැකි වුණා.

ක්‍රිස්‌ටීන් හෝවාඩ්ගේ ජීවිතය තණ පතක රැඳුණු පිණි බිඳක්‌ හා සමාන විය. දොස්‌තර වරුන්ගේ අදහස වූයේ ඇගේ ජීවිතය පිළිබඳ කිසිම බලාපොරොත්තුවක්‌ තැබිය නොහැකි බවය. ඒ නිසා ක්‍රිස්‌ටීන් කිසියම් තීරණයකට එළඹී සිටියාය. ජීවිතයේ ඉතිරි දවස්‌ කීපය හැකි තරම් සතුටින් ගත කිරීමට ඕ අදිටන් කර ගත්තාය.

මට මගේ දරුවාත් එක්‌ක ඉන්න ඕන. අම්මත් එක්‌ක කතා කරන්න ඕන. මගේ යාළුවොත් කැමතිනම් මගේ ළඟ ඉඳිවී. ඕන එකක්‌ වුණාවේ එන ඕනෑම දේකට මූණ දෙන්න මම ලෑස්‌තියි. අනේ මට ගෙදර යන්නට ඉඩ දෙන්න ඕ තම වෛද්‍යවරයා ගෙන් ඉල්ලා සිටියාය. එහෙත් ඈ නොදන්නා නොසිතූ දෙයක්‌ එහි තිබුණේය. රෝහලේදී කරන ලද සාත්තු සප්පායම් කිරීමට ගෙදර කිසිවෙකු නොමැති වීමයි. ඒ ඇගේ මහලු මවට එය කළ හැකි නොවීය.

එතනදී තමයි ඇගේ අසල්වාසීන්ගේ මිතුරියන්ගේ අගය වැටහුණේ. ඇගේ මිතුරු මිතුරියෝ එකහඬින් ඇගේ දුක සැප සෙවීමට ස්‌වෙච්ඡාවෙන් ඉදිරිපත් වූහ. පුංචි එඩීගේ පාසලේ දෙමාපියන් වැඩි පිරිසක්‌ ඒ සඳහා ඉදිරිපත් වෙන අන්දම ක්‍රිස්‌ටීන් බලා සිටියේ කඳුළුÊපිරි දැසින් යුතුව.

මරණය මෙසේ ගීතයක්‌ කර ගත් ක්‍රිස්‌ටීන් වටේ ඇගේ තනි නොතනියට පමණක්‌ නොව ඇයට සෑම උදව්වක්‌ කිරීම සඳහාත් සිය ගණනින් සැදුණු අත් වැලක්‌ සැදුනේ නිමේෂයකිනි. ප්‍රථමයෙන් ඔවුහු ක්‍රිස්‌ටීන්ගේ කාමරය පිරිසිදු කොට පිළියෙල කළෝය. සුළු සුළු වියදම් අතින් දරා ගෙන ඇයට හැකි හැම පහසුකමක්‌ම ලබාදීමට කටයුතු ඇරඹිණි. තමාට අයිති වරු බෙදාගත් දෙමාපියෝ පැයෙන් පැය ඇගේ ඇඳ ළඟ තනි රැකීමට කතා කර ගත්තෝය.

ක්‍රිස්‌ටීන්ගේ ඥති සොයුරියක්‌ හා හෙදියක්‌ වූ ඉංග්‍රිඩ් දිනපතාම පැමිණියාය. ඕ ක්‍රිස්‌ටීන් නාවා තෙත මාත්තු කොට ඇඳ තුවාලවලට බෙහෙත් ගල්වා ඇයට රෝහලකින් කළ යුතු සියලුම වතාවත් අඩුවක්‌ නැතුව කළාය. ක්‍රිස්‌ටීන්ගේ මව දිනපතාම පුරුද්දට මෙන් ඇගේ පසෙකින් නිදා ගත්තාය. ඇගේ සෝයුරන් හා සහෝදරිය සෑම සති අන්තයකම ක්‍රිස්‌ටීන් සමග ගත කිරීමට පැමිණියෝය.

ක්‍රිස්‌ටීන් ඇඳෙහි වැතිරී සිටියේ මරණයට නියම වූ එකියක ලෙස නොවේ. එහෙත් මරණයේ කුරිරු හස්‌තය ඈ වෙත ක්‍රමයෙන් පහත් වෙන ලකුණු හැම අතින්ම දකින්නට තිබිණ. ඇගේ කටහඬ බෙහෙවින් අවුල් වී නොපැහැදිලි තත්ත්වයක තිබිණ. ඈ කතා කළේ ඉඳ හිටය. ඇගේ ප්‍රියංකර දෙනෙත් නිතරම වාගේ පියවී තිබිණි. තමාට උවමනා දෙයක්‌ ඉල්ලා ගැනීමට පමණක්‌ ම ඉතා දුබල සිහින් හඬින් කතා කළාය. ඇත්තෙන්ම ඈ සිටියේ වෙනත් ලොවකය. ඈ අපේ ලොවට අහම්බෙන් හෝ පැමිණියේ ඇයට යමක්‌ වුවමනා වූ විට පමණි.

ක්‍රිස්‌ටීන් මරණය හමුවේ ප්‍රතිමාවක්‌ සේ ශාන්තව නොසැලී සිටියාය. ඇත්තෙන්ම ක්‍රිස්‌ටීන් අපට ජීවිතය ගැන බොහෝ දේ ඉගැන්වූවාය. ජීවිතයේදී හමුවන පෞද්ගලික ගැටලු හමුවේ කොයිතරම් ඉවසීමකින් හා දයාවකින් ක්‍රියා කළ යුතුදැයි ඕ අපට කියා දුන්නාය. ඕ අප ජීවිතය සඳහා යළිත් පුහුණු කළාය.

බොහෝ විට අප සිටියේ ඇගේ රෝගය ගැන සිතෙහි ඇතිවූ දුකෙන් හා කෝපයෙනි. ඈ වැනි හොඳ ගැහැනියකට මෙවැනි ඉරණමක්‌ අත්කිරීම ගැන දෙවියන් වහන්සේ කෙරෙහි පවා එවේලෙහි අප තුළ මනාපයක්‌ නොවීය. එහෙත් ක්‍රිස්‌ටීන්ගේ දැස දුටුවිට අප දුටුවේ කුමක්‌ද? ඇගේ දෙනෙත් තුළින් ගලා ආවේ දිදුලන කාන්තියකි. ඉන් නිකුත් වූ ආලෝක කදම්බ අපගේ ජීවිතවලට ඇතුළු වූවාක්‌ මෙන් අපට දැනෙන්නට විය.

එහි වූයේ අපේක්‍ෂා විරහිත වුවත් සෙනෙහවන්ත නිදහස්‌ බැල්මකි. සත්තකින්ම එය දෙවියන් වහන්සේ අකරුණ වූ අප වෙත එවන ලද පිළිතුර ද විය.

දිනක්‌ ක්‍රිස්‌ටීන් ගේ කුඩා දුව කාමරයට ආවා මට මතකය. ඈ ආවේ කුඩා බළල් පැටියෙකු මෙනි. ඇයට පැපොල රෝගය වැළඳී තිබිණි. ඒ නොතැකූ ක්‍රිස්‌ටීන් ඇගේ අතින් අල්ලා ගත්තාය.

අම්මේ මං අම්මට කාඩ් ටිකක්‌ පෙන්නන්නයි ආවේ කී ඇය ඒවායේ තිබූ වැකි මවට ඇසෙන්නට කියවූවාය. තම සිත තුළ ඇති දැඩි වේදනාව පිටතට නොපෙන්වා සාමාන්‍ය අන්දමට හැසිරෙන්නට ඇය වෑයම් කරන අයුරු ඉතා දුක්‌මුසු විය. තම මව නියත වශයෙන්ම මිය යන බව ඇය දැන සිටියාය. ඇගේ වේදනාව අපේ හදවත් පාසා කර යනු අපට දැනිණි.

ආත්තම්මේ මම දන්නවා මගේ අම්මා මාව අත්හැරදාලා යන බව. මම දන්නවා ආත්තම්මේ ඒ ගමන ආයිත් නොඑන ගමනක්‌ බව. ඇයි මගේ පුංචි කුකුළු පැටියාත් ගියේ එහෙම නේ යි වරක්‌ එඩී තමාගේ ආත්තම්මාට කීවේ එහෙයිනි.

ක්‍රිස්‌ටීන්ගේ හදවත දිනෙන් දිනම ක්‍රමයෙන් දුර්වල වන්නට විය. අපි කව්රුත් දින වරු වෙන් කර ගනිමින් ඇගේ ඇඳ අසළට වී සිටියෙමු. මගේ මිතුරියක වන රුතී විසින් ලියන ලද ආපසු හැරෙන්න නමැති ගීතය තරුණ ජෝන් ඔහුගේ ගිටාරය වාදනය කරමින් ක්‍රිස්‌ටීන් ඉදිරියේ ගැයුවේය. ක්‍රිස්‌ටීන් එය අසා සිටියේ මහත් ඕනෑ කමකිනි. යළි යළිත් ඔහුට කියා ඒ ගීය ගායනා කරවා ගැනීමට ඇයට අවශ්‍ය විය.

ක්‍රිස්‌ටීන් ආහාර ගත්තේ මඳ වශයෙනි. එක්‌ දිනක්‌ ඇයට කුඩා කේක්‌ කෑල්ලක්‌ හා මේපල් (Maple) ගස්‌වර්ගයක්‌. සුප් ටිකක්‌ පෙවීමට අපි බොහෝ සේ මහන්සි වීමු. ඇය ඒ සුප් ටික පවා බීවේ අප සතුටු කරන්නට මෙනි.

ක්‍රිස්‌ටීන් මරණය වෙත ළඟා වූයේ පිහාටුවක්‌ මෙන් සැහැල්ලු ලෙසටය. මා ඇගේ ඇඳ අසලින් වාඩිවී සිටින විට මගේ සිතේ නිරන්තරයෙන් මැවුණු සිත්තමක්‌ විය. දහස්‌ ගණන් සුරංගනාවෝ ඇගේ ගෙය පිටුපස වූ කුඩා කඳු ගැටය මත ඇවිදිමින් සිටියෝය. දෙනෙත් වසා ගෙන සිටින ක්‍රිස්‌ටීන් දුටු මට සිතුනේ ඔවුන් කිසිවෙකු එන තුරු එහි රැඳී සිටින බවය. එය මිහිරි සිතුවිල්ලක්‌ මෙන්ම අකරුණාවන්ත සිතුවිල්ලක්‌ ද වූයේය. එහෙත් ඇත්තෙන්ම මා කැමති වූයේ ක්‍රිස්‌ටීන් හැමදාම අප අතර සිටී නම්ය. එහෙත් එය කෙසේ සිදුවිය හැකිද?

ඇය අප අතරින් වෙන්වී ගියේ එක්‌ සිකුරාදාකය. තමන්ගේ රාත්‍රි ගවුමත්, ඇඳ ඇතිරිල්ලත් පිරිසිදුව ඇත්දැයි ඇය මගෙන් අසා නිශ්චය කොට දැනගත්තාය. එමෙන්ම දිනය වෙලාවද ඇය මගෙන් අසා දැන ගත්තාය. අනතුරුව ඈ මගෙන් ඇසුවේ පිටත හිම වැටෙන්නේ දැයි යන්නය.

අපි සියලු දෙනාම ඇගේ ඇඳ වටා සිටියෙමු. රුතී ඇගේ මව, ඉංග්‍රිඩ් ජෝන් අපි සියල්ලන්ම අවාසනාවකට එඩී සිsටියේ පාසලේය. ක්‍රිස්‌ටීන් හෝවඩ් ඉතා ශාන්තව මඳ සිනාවෙන් යුතුව දැස්‌ වසා ගෙන සිටියාය. ඇය මිය ගොස්‌ සිටින්නීය යන්න අපට විශ්වාස කළ නොහැකි විය.

එහෙත් ඕ අප අත්හැර කඳු මුදුනේ සැරි සැරූ සුරඟනක්‌ වෙත ඒ වන විට ගොස්‌ සිටියාය. එය සිදුවූයේ කොයිතරම් මුදු සුමුදු ශාන්ත අන්දමකටද යන්න සිතාගත නොහැකි තරම් විය.

"අහෝ ක්‍රිස්‌ටීන් මගේ දයාබර හිතවතිය, මරණය හා ජීවිතය පිළිබඳව ඔබ අපට කියා දුන් පාඩම කිසිදාක අමතක නොවේ. ජීවිතය සඳහා තවදුරටත් පිංසෙන්ඩු වෙමින් කේවෙල් නොකොට පරිහානිය, ප්‍රතික්‍ෂේප කිරීම වැනි කටුක ඉරණම බාර ගනිමින් ඔබ අපට ශක්‌තිය දුන්නාය. මරණයේ කුරිරු මුහුණුවරට හා භයංකර හුදකලා බවට අප තුළ මුල් බැස තිබූ බිය අප සිත් තුළින් පිසදා හරින ලද්දේ ඔබ නොවේද?"

මාර්තු මාසයේ ඇඟ හිරි ගඩු පිපෙන සීත සුළඟත් සමඟ මනුෂ්‍යත්වයේ සැබෑ අත්දැකීම් ද කවදා හෝ අප අපේ කුඩා ලෝකවලින් වෙන්වී යා යුතු බවේ පෙර අත්දැකීම්ද ඔබ අපට ලබාදුන් හැටි අමතක නොවේ.

හිතාදර ක්‍රිස්‌ටීන්ෘ ඔබේ මව රුතී කියන්නාක්‌ මෙන් ඔබ අප සැමගේම හදවත් සාමයේ හා ආදරයේ රනින් පුරවා ඇත. මරණ මංචකයේ වැතිරී සිටි ඔබ වෙනුවෙන් ඔබ වටා සිටියාට අසරණ ඔබ දුන් එම තිළිණය අපට කෝටියක්‌ වටිනා බව කිව යුතුය.

ඉතින් ක්‍රිස්‌ටීන් නියත වශයෙන්ම ඔබ අර සුරංගනාවන් සමග යන්නට ඇති බව අපි කව්රුත් විශ්වාස කරන්නෙමු.

Ö ලීලානන්ද වික්‍රමසිංහ

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.