නොබෙල්ගේ අන්තිම කැමැත්ත ප්‍රදර්ශනයේ...

ඇල්ෆ්‍රඩ් නොබෙල් කියූ සැණින් සමහරු නොදනිතත් නොබෙල් ත්‍යාගය ගැන නෑසූ කෙනෙක්‌ නොමැති තරම්ය. ස්‌වීඩන් ජාතිකයකු වූ ඇල්ෆ්‍රඩ් නොබෙල් ලොවට දායාද කළේ ඩයිනමයිට්‌ නමින් අද අප දන්නා පුපුරණ ද්‍රව්‍යයයි. පුපුරණ ද්‍රව්‍යයක්‌ හඳුන්වා දුන්නද ඔහුගේ හදවත වෙඬැ පිඩක්‌ මෙන් විය. එම සත්‍යය හෙළි කරන පැහැදිලි සාක්‍ෂිය නොබෙල් ත්‍යාගයයි. නොබෙල් ත්‍යාගයත් ඔහුගේ අන්තිම කැමති පත්‍රයත් අතර ඇත්තේ සෘජු සම්බන්ධතාවයකි. වසර එකසිය ගණනක්‌ අප්‍රසිද්ධියේ පැවැති එහි මුල් පිටපත ප්‍රදර්ශනය කරන්නට පසුගියදා ස්‌වීඩන් රජය තීරණය කළේය.

ඇල්ෆ්‍රඩ් නොබෙල්ගේ අන්තිම කැමති පත්‍රය ස්‌වීඩන් ඉතිහාසයේ අතිශය වැදගත් භූමිකාවක්‌ රඟපායි. ඒ වර්තමානයේ කීර්තිමත් තත්ත්වයක්‌ ලබා ඇති නොබෙල් ත්‍යාගය බිහි කිරීමේලා පුරෝගාමී වූ බැවිනි. මෙම ලියවිල්ල ප්‍රථමවරට ස්‌ටොක්‌හෝම්හිදී ප්‍රදර්ශනයේ තැබීමට ස්‌වීඩනය පියවර ගෙන තිබේ.

1895 වසරේදී ලියන ලද එය දෑසින් දැක තිබුණේ දෑතේ ඇඟිලිවලින් ගැනිය හැකි තරම් සුළු පිරිසකි. මෙතෙක්‌ කලක්‌ එය ස්‌ටොක්‌හෝම් නුවර නොබෙල් පදනමේ සේප්පුවක්‌ තුළ සුරක්‍ෂිතව අගුළුලා තිබිණි.

මේ තත්ත්වය වෙනස්‌ කරනු ලැබුවේ නොබෙල් කෞතුකාගාරයයි. ඔවුන්ගේ නවතම, ප්‍රදර්ශනය, අවස්‌ථාව LEGACY හෙවත් " උරුමය" ලෙස නම් කර තිබේ. අන්තිම කැමති පත්‍රය මහජන ප්‍රදර්ශනය සඳහා තැබෙන්නේ ඒ වෙනුවෙනි.

ප්‍රදර්ශනය මූලික අවධානය යොමු කරනු ලැබුවේ වඩාත් වැදගත් දේ ඉදිරිපත් කිරීමටයි. අන්තිම කැමති පත්‍රය එහි ප්‍රධානම අංගයයි. එය සරල ලියවිල්ලක්‌. නමුත් තාමත් එය (නොබෙල්) ත්‍යාගය සමග බැඳී සිටිමින් අපේ කාර්යයේ මූලික අරමුණ සටහන් කරනවා."

ප්‍රදර්ශනයේ භාරකාරිය වන කැරීන් ජොන්සන් ප්‍රකාශ කළාය.

"අපගේ ඉලක්‌කය වන්නේ ඇල්ෆ්‍රඩ් නොබෙල්ගේ උරුමයන් මහජනයාට ප්‍රදර්ශනය කිරීමයි. එමගින් ඔහුගේ ජීවන චරිතය බොහෝදෙනෙකු වටහා ගනීවි"

ඇගේ සහායක ගුස්‌ටාෆ් කේල්ස්‌ට්‍රෑන්ඩ් පවසයි.

"නොබෙල් ත්‍යාගය කියන්නේ ස්‌වීඩනයේ ප්‍රධාන සන්නාම (BRANDS) වලින් එකක්‌."

මෙසේ පවසන්නේ ස්‌වීඩන් ආයතනයේ ප්‍රකාශකයකු වන සර්ජියෝ ගිමාරේස්‌ය.

ඇල්ෆ්‍රඩ් නොබෙල් විසින් සිය අන්තිම කැමති පත්‍රය ලියා ඇත්තේ කහ පැහැති කඩදාසි හතරකය. කළු පැහැති තීන්ත භාවිතා කර වටකුරු පැරණි මෝස්‌තරයේ අකුරුවලින් එය ලියා තිබේ. ඇතැම් වචන අතර තීන්ත පැල්ලම් ගැසී ඇත. සටහන් හා එකතු කිරීම් කඩදාසියේ පැත්තෙන් පැත්තට උඩ, යට ගොස්‌ ඇත.

ඩයිනමයිට්‌ සොයා ගැනීමේ පුරෝගාමියා වන නොබෙල්, නොබෙල් ත්‍යාගය පිළිබඳව පේළි 26 ක හෙවත් පිටු තුන්කාලක පමණ සටහනක්‌ යොදා තිබේ.

එවකට ක්‍රෝනර් මිලියන 31.5 ක්‌ වර්තමාන තක්‌සේරුව අනුව යුරෝ මිලියන 200 ක්‌ හෙවත් ඩොලර් මිලියන 220 කට වැඩි ප්‍රමාණයක්‌ වන සිය ධනය අරමුදලක යොදවන ලෙස ඔහු ඉල්ලා තිබේ. වඩා වැදගත් කාරණය වන්නේ එම අරමුදල මගින් ඒ ඒ වර්ෂය තුළ මනුෂ්‍ය වර්ගයාට ශ්‍රේෂ්ඨ සේවයක්‌ කරන පුද්ගලයන් තෝරා ඔවුන්ට ත්‍යාග පිරිනැමිය යුතු බව එහි සඳහන් කර තිබීමයි. ඒ අනුව වෛද්‍ය විද්‍යාව, භෞතික විද්‍යාව, රසායන විද්‍යාව, සාහිත්‍ය හා සාමය වෙනුවෙන් නොබෙල් ත්‍යාග ප්‍රදානය ආරම්භ විය.

ත්‍යාග ප්‍රදාන කටයුතු සඳහා ඔහු ත්‍යාග කමිටු හතරක්‌ නම් කරනු ලැබීය. තුනක්‌ ස්‌ටොක්‌හෝම් නගරයෙහි වූ අතර සාම ත්‍යාගය සඳහා වූ කමිටුව ඔස්‌ලෝ නගරයෙහි නම් කර තිබිණි. එවකට නෝර්වේ පැවතියේ ස්‌වීඩනය හා එක්‌ව සමූහාණ්‌ඩුවක්‌ ලෙසිනි.

ආර්ථික විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගය ආරම්භ කරනු ලැබුවේ 1968 දී ස්‌වීඩනයේ මහ බැංකුව විසිනි. ඒ රික්‌ස්‌ බැංකුවේ (RIKS BANK) තුන්සිය වන සංවත්සරය වෙනුවෙන් වන අතර එම බැංකුව ඒ සඳහා අරමුදල් සැපයීය.

අන්තිම කැමති පත්‍රයේ පේළි 26 ක්‌ මගින් නොබෙල්ගේ කීර්තිය සදාකාලික කරනු ලැබ තිබේ. එමෙන්ම වසරක්‌ පාසා එය ස්‌වීඩනයේ නාමයද ලෝකයට අනාවරණය කරයි.

මියයන විටදී ඇල්ෆ්‍රඩ් නොබෙල්, ඩයිනමයිට්‌වල යුද්ධයේ මිතුරා පළමු නිෂ්පාදකයා ලෙස දැන සිටියද වර්තමානයේ ඔහු ලෝකයට ශාන්තිය ගෙනා පුද්ගලයකු ලෙස සම්භාවනාවට පාත්‍ර වී තිබේ.

"මේ ත්‍යාගයන් ලබාදීම මගින් ඔහුට අවශ්‍ය වූයේ සත්‍ය වශයෙන්ම තමා කවරෙක්‌ද යන්න ලෝකයාට වටහා ගන්නට ඉඩ සැලසීමයි.

පැරිස්‌හි සෝබෝන් සරසවියේ ස්‌කැන්ඩිනේවියානු භාෂා හා සාහිත්‍යය පිළිබඳ සම්මානිත මහාචාර්යවරයෙකු වන ජීන් ෆ්‍රeන්කොයිස්‌ බැටේල් පැහැදිලි කරයි.

1921 දී භෞතික විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගය ලැබුවේ ඇල්බට්‌ අයින්ස්‌ටයින්. ඔහුගේ අදහස වන්නේ නොබෙල් විසින් සාමය සඳහා ත්‍යාගය ආරම්භ කරනු ලැබුවේ තම සිරගත වූ හෘද සාක්‍ෂියට සහනයක්‌ අපේක්‍ෂාවෙන් බවයි."

බැටේල් පවසයි

නොබෙල් සිය අන්තිම කැමති පත්‍රය ලියා ඇත්තේ පැරිස්‌හි ඔහු සතුව තිබූ නිවසේදී 1896 නොවැම්බර් 27 වන දා බව එහි දාතම මගින් පැහැදිලි වේ. පසුව එය ස්‌ටොක්‌හෝම්හි එන්ස්‌කිල්ඩා බැංකුවේ ආරක්‍ෂිත සේප්පුවක දමා අගුළු දමනු ලැබීය.

1896 වසරේ දෙසැම්බර් මස ඉතාලියේදී ඔහු මියගියේය. ඊළඟ වසර ආරම්භයේදී ඔහුගේ අන්තිම කැමති පත්‍රය සේප්පුවෙන් පිටතට ගන්නා ලදී. සිය පවුලේ අය කම්පනයට පත් කරමින් ඔවුන් ගැන කිසිදු සඳහනක්‌ ඔහු එහි කර තිබුණේ නැත.

ඔහුට සෘජු උරුමකරුවන් කිසිවකුත් සිටියේ නැහැ. සරල ගෞරවනීය කිහිපදෙනෙකු පමණක්‌ ඔහු ආශ්‍රය කළා. නමුත් නීති මාර්ගයේ අන්තිම කැමැත්ත වෙනස්‌ කර ගැනීම සඳහා සමහරු උත්සාහ කළා.

බැටේල් පැහැදිලි කළේය.

"නොබෙල් ත්‍යාගය මේ දක්‌වා පවත්වාගෙන ඒමේ ගෞරවයෙන් වැඩි කොටසක්‌ ඔහුගේ පොල්මඃකාරයන් හට හිමි විය යුතුයි. විශේෂයෙන් රැග්නර් සෝල්මාන් හට......"

ඔහු වැඩිදුරටත් පැවසීය.

නොබෙල්ගේ හිටපු සහායකයකු වූ සෝල්මාන් සිය ප්‍රධානියාගේ අවසන් කැමැත්තට ගෞරව කරමින් ලොව පුරා පැතිර සිsටි ශ්‍රේෂ්ඨයන් එකතු කර ත්‍යාගයට සුදුස්‌සන් කරවීමට මූලික වූයේය. ස්‌වීඩන් රජුට ඔහු ඒත්තු ගැන් වූයේ සැකැන්ඩිනේවියානු රටවල පුද්ගලයන්හට පමණක්‌ නොබෙල් ත්‍යාගය ප්‍රදානය කිරීම අසන්තෘප්ත කාර්යයක්‌ බවයි.

1900 දී නොබෙල් පදනම පිහිටුවීමට ඔහු මූලික විය. මේ දක්‌වා එය නොබෙල්ගේ උරුමය පවත්වාගෙන යමින් නොබෙල් ත්‍යාග කමිටුවල කාර්යය අධ්‍යයන කිරීමටද දායක වෙයි.

පළමුවරට නොබෙල් ත්‍යාගය පිරිනමන ලද්දේ 1901 වසරේදීය.

ස්‌වීඩනයේත් ඉන් පිටතත් මිනිසුන් තේරුම් ගෙන ඇත්තේ ජගත් වේදිකාවේ සුවිශේෂී ස්‌ථානයක්‌ ස්‌වීඩනයට ලබා දීම සඳහා නොබෙල්ගේ අවසන් කැමැත්ත උපකාරී වී ඇති බවයි.

කේල්ස්‌ට්‍රෑන්ඩ් ප්‍රකාශ කරයි. නොබෙල් ත්‍යාගය ලබාගැනීම සඳහා සුදුස්‌සන් සෙවීම අදටත් ඉතා දුෂ්කර කාර්යයක්‌ වී තිබේ. වසරක්‌ පාසා නොබෙල් ත්‍යාගයට සුදුස්‌සන් තේරීම සිත පෙළන ගැටලුවක්‌ බවට පත් වී ඇත.

ප්‍රංශ ජාතික ලේඛකයකු වන ජීන් පොල් සාත්‍රේ 1964 වසරේදී ඔහුට හිමි වූ සාහිත්‍ය සඳහා වන නොබෙල් ත්‍යාගය ප්‍රතික්‍ෂේප කළේය. එසේ වුවද බලයට පත්ව මාස නවයක්‌ වැනි කෙටි කාලයකදී ඇමරිකානු ජනාධිපති බරක්‌ ඔබාමාට නොබෙල් සාම ත්‍යාගය ලබාදීමට ත්‍යාග කමිටුව නිර්දේශ කළේය. ඒ 2009 වසරේදීය. කිසිදු ලැඡ්ජාවකින් තොරව ඔබාමා එය පිළිගත්තේ ඇෆ්ගනිස්‌ථානයට හා ඉරාකයට ප්‍රහාර එල්ල කරන අතරේය.

සමස්‌තයක්‌ ලෙස ගත් විට ලොව පුරාම ස්‌වීඩනය සම්බන්ධයෙන් ධනාත්මක ප්‍රතිරූපයක්‌ මතු කිරීමට නොබෙල් ත්‍යාගය ඉවහල් වී ඇත.

ඇල්ෆ්‍රඩ් නොබෙල්ගේ අන්තිම කැමති පත්‍රය අඩු තරමේ මැයි මස අවසානය තෙක්‌ හෝ ප්‍රදර්ශනයට තැබීමට තීරණය වී ඇත.

Ö වසන්ත විඡේරත්න

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.