ගුවන්යානා ගෙනයන නැවක අසිරිය

නිමිට්‌ස්‌ පංතිය (Nimitz class) එක්‌සත් ජනපද නාවික හමුදාවට අයත් විශාලතම ගුවන්යානා ගෙනයන න්‍යෂ්ටික බල ගැන්වූ නෞකාවන් අයත් වන පංතියකි. එම පංතියේ මුල්ම නැව දෙවන ලෝක යුද්ධයෙදි ඇමෙරිකානු පැසිෆික්‌ නාවුක බලකායේ අණදෙන නිළධාරිව සිටි අද්මිරාල් චෙස්‌ටර් නිමිට්‌ස්‌ සිහිවීම පිණිස යූ එස්‌ එස්‌ නිමිට්‌ස්‌ ලෙසින් නම් කර තිබේ. දැනට නිමිට්‌ස්‌ පංතියට අයත් නැව් 10 ක්‌ සේවයේ යෙදී සිටී. වර්තමානයේ ගොඩනඟමින් පවතින ජෙරල්ඩ් ආර්. ෆොaර්ඩ් පංතියට පමණක්‌ දෙවන විය හැකි නිමිට්‌ස්‌ පංතියේ නැව් සැලකෙන්නේ ගොඩනැගූ සහ සේවයේ පවතින විශාලතම යුද්ධ නෞකා ලෙසිනි. නිමිට්‌ස්‌ නැවකට ගුවන් යානා 90 ක්‌ ගෙනයා හැකිය. එසේම න්‍යෂ්ටික බලය යොදා ගැනීම නිසා නැවත ඉන්ධන ලබා දීමක්‌ නැතිව වසර 20කට වැඩි කාලයක්‌ ක්‍රියාවේ යෙදීමට හැකිය. පනස්‌ වසරකට වැඩි ආයු කාලයක්‌ මේ පංතියේ නැව් වලින් අපේක්‌ෂා කෙරේ.

නිමිට්‌ස්‌ පංතියේ 4 වන නැව එක්‌සත් ජනපදයේ 26 වන ජනාධිපති වූ තියඩෝර් රූස්‌වෙල්ට්‌ මහතාට ගෞරව පිණිස යූ එස්‌ එස්‌ තියඩෝර් රූස්‌වෙල්ට්‌ නම ලැබූවකි. මේ දිනවල එම නැව එක්‌සත් රාජධානියේ හැම්ප්ෂයර් වෙරළෙන් එපිට නැංගුරම් ලා තිබේ. අඩි 1092 ක්‌ දිග සහ පුර්ණ බරක්‌ ඇති විට දළවශයෙන් ජල ටොන් 100,000 ක ඉඩ ගන්නා යුද්ධ නැව රාජකීය නාවික හමුදාවේ ඓතිහාසික පෝට්‌ස්‌මවුත් තටාකාංගනයට යාත්‍රා කිරීමට විශාල වැඩි නිසා එසේ එපිටින් නැංගුරම් දැමීමට සිදුව ඇත. සති කීපයකින් එය සිරියාවේ අයි එස්‌ ත්‍රස්‌තයන්ට එරෙහි ගුවන්යුද්ධයට එක්‌වීමට නියමිතය. සති දෙකකට පෙර එක්‌සත් ජනපදයේ වර්නියාහි නෝර්ෆොaල්ක්‌ නුවර සිට පැමිණි නැවේ මේ පළමු නැවතුමයි. නැවත යාත්‍රා කිරීමට පෙර නාවික පිරිසට ලන්ඩනයේ ස්‌ථාන නරඹන්නට, නැවේ මත්පැන් නැති නිසා අවන්හලකට ගොස්‌ මදක්‌ විනෝදවීමට අවස්‌ථාවක්‌ ලැබී තිබේ. විනෝදවීම් සංවිධානය කරනුයේ ෆන් බොස්‌ ලෙසින් හඳුන්වන නැවේ වැඩ කරන එකම සිවිල් සේවකයා විසිනි.

යූ එස්‌ එස්‌ තියඩෝර් රූස්‌වෙල්ට්‌ නාවික පිරිසට නාවිකයන් 3200 ක්‌ සහ ගුවන්නැවියන් 2480 ක්‌ ඇතුළුව 5600 කට අධික පිරිසක්‌ ඇතුළත් වේ. වැඩමුර ක්‍රමයට පැය 24 ම සේවයේ යෙදෙන නාවික පිරිස වෙනුවෙන් දිනකට 4 වරක්‌ ආහාර පිළිගැන්වීම කෙරේ. දින 90 කට තරම් සෑහෙන ආහාරද්‍රව්‍ය නැව ගෙනයයි. නැව සතු ජලපෙරන පද්ධතිය මඟින් නිවෙස්‌ 2000 කට සෑහෙන තරම් නැවුම් ජලය ගැලුම් 400,000 ක්‌ මුහුදු ජලයෙන් පෙරා දිනපතා සපයනු ලබයි. නාවික පිරිසෙන් 16% ක්‌ කාන්තාවන්ය. කාන්තා සහ පිරිමි සැමටම වෙන්කළ විවේකාගාර සහ නිවෙස්‌ වේ. සමස්‌තයක්‌ වශයෙන් කොට්‌ට උර 14000 ක්‌ ඇතිරිලි 28000 ක්‌ දුරකථන 1400 ක්‌ ආලෝක සවිකිරීම් 30000 ක්‌ සහ සැතපුම් 1600 ක්‌ දිග විදුලි රැහැන් ඇදීමක්‌ එය සතු වේ.

යූ එස්‌ එස්‌ තියඩෝර් රූස්‌වෙල්ට්‌ නවතා ඇත්තේ නැවට සම්බන්ධ අඩි 1080 ක්‌ දිග ලෝහ දම්වැල් දෙකකට ඇමිණූ ටොන් 30 ක්‌ බර නැංගුරම් දෙකක්‌ හෙළීම මඟිනි. එහි දියඉමෙන් ඉහළට තට්‌ටු 20 ක්‌ පිහිටා ඇත. පියාසැරීමේ තට්‌ටුව අක්‌කර 4.5 ක්‌ විශාලය. එහි විවිධ වර්ගයේ ගුවන්යානා 60 ක්‌ වේ. පහළින් අක්‌කර 3.5 ක්‌ විශාල අහස්‌යාත්‍රාංගන ප්‍රවේශමාර්ගයක්‌ ඇති අතර එය ගුවන්යානා ආරෝහක 4 ක්‌ මඟින් පියාසැරීමේ තට්‌ටුවට ඔසවනු ලැබේ. ගුවන්තරණය සඳහා ඉන්ධන ගැලුම් මිලියන 3.3 ක්‌ නැවේ රඳවාගෙන පවතී. සී ස්‌පැරෝ ලෙසින් හඳුන්වන මිසයිල දෙකකින් යූ එස්‌ එස්‌ තියඩෝර් රූස්‌වෙල්ට්‌ සන්නද්ධව සිටී. ඒවා සැතපුම් 10 දුරක සිට ඉලක්‌කවලට පහරදීමට සමත් වේ.

මේ නෘකාවේ සුක්‌කානම ඇල්ලීම කෙරෙනුයේ පියාසැරීමේ තට්‌ටුවේ දකුණු පැත්තේ සිට තට්‌ටු 10 ක්‌ උස කුළුණක මැදිරියක සිටය. 15 ත් 18 ත් අතර පිරිසක්‌ එහි සේවයේ නිරත වේ. මෙහෙයුම් මැදිරියේ වීජ බෝඩ් ලෙසින් හඳුන්වනු ලබන පුවරුවක ඕනෑම අවස්‌ථාවක පියාසැරීමේ තට්‌ටුවේ ඇති ගුවන්යානා ස්‌ථානගතකර ඇති අන්දම පෙන්වන ආදර්ශ යානා පෙලගස්‌වා තිබේ.

නැව අවසන්වරට ඉතා විශාල මෙහෙයුමක යෙදුණේ 2002 දිය. එහිදී පිළිවෙලට දින 159 ක්‌ම මුහුදේ ගමන් කිරීම නිසා පළමු ලෝක යුද්ධයෙන් පසු දිගම කාලයක්‌ මුහුදු ගමනේ යෙදුණු නැව වීමේ වාර්තාව තබන්නට එය සමත්විය. තම වත්මන් මාස 8 ක මෙහෙයුම අතරතුර තේජස විහිදාපාමින් හැම්ෂයර් වෙරළ එපිටින් මදකට නැවතී සිටින යූ ඒස්‌ එස්‌ තියොඩෝර් රූස්‌වෙල්ට්‌ ඉක්‌මනින්ම මැදපෙරදිග බලා ගමන්කරනු ඇති.

Ö නිල්මිණි රාජපක්‍ෂ රදලගේ

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.