අද දවසේ ලෝකයේ උසම ගොඩනැගිල්ල

ඔබ ලෝකයේ ඇති උසම දේවල් පිළිබඳව තොරතුරු සොයන රසවතකු ද? එසේ නම් මේ වර්තමානයේ ඉදිකිරීම් ක්‍ෂේත්‍රය තුළ විරාජමානව අහසේ ඉහළට නැගී සිටින ලෝකයේ උසම ගොඩනැගිල්ල පිළිබඳ කතාවය.

එක්‌සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි නගරයේ ඉදිකර ඇති මෙම ගොඩනැගිල්ල හැඳින්වෙනුයේ බර්ඡ් ඩුබායි (Burj Dubai) හෙවත් බර්ඡ් ඛලිෆා (Burj Khalifa) යන නමිනි. මෙහි ඉදිකිරීම් අරඹා ඇත්තේ 2004 ජනවාරි මස 04 වන දිනය. 2009 දෙසැම්බර් 30 වන දින වැඩ අවසන් කරන ලද මෙය විවෘත කරන ලද්දේ 2010 ජනවාරි 04 වන දිනය. ඒ අනුව මුළු ඉදිකිරීම සඳහා ගතකර ඇති කාලය හරියටම අවුරුදු 6 කි. මෙහි උස අඩි 2722 කි. එය මීටර්වලින් නම් 829 යි දශම 8 කි. තනිව අහසේ ඉහළට නැගි උසම ගොඩනැගිල්ල සඳහා වන ලෝක සම්මානය ද හිමිකරගෙන ඇති මෙය අද ලෝකයේ මහපෙළොව මත ඇති උසම ගොඩනැගිල්ල පමණක්‌ම නොවේ. එය වැඩිම මහල් සංඛ්‍යාවක්‌ ඇති ලෝකයේ ඇති එකම ගොඩනැගිල්ල ද වේ. මෙහි මහල් හෙවත් තට්‌ටු ගණන 163 කි.

මෙය 2010 ට පෙර ලෝකයේ උසම ගොඩනැගිල්ල ලෙස නම් දරා සිටි කැනඩාවේ ටොරෙන්ටෝ නගරයේ පිහිටි සීඑන් කුළුණ (CN Tower) ද අභිබවා සිටී. එමෙන්ම මෙය ලෝකයේ තවත් උසම ගොඩනැගිල්ලක්‌ ලෙස සැලකෙන ප්‍රංශයේ පැරිස්‌ නුවර පිහිටි අයිµල් කුළුණ (Eiffel Tower) මෙන් තුන් ගුණයක්‌ උසය. අයිෆල් කුළුණේ උස වනුයේ අඩි 987. 5 කි.

අක්‌කර 77 ක්‌ පුරා පැතිර පවතින මෙම බරඡ් ඛලිෆා ගොඩනැගිල්ල සැලසුම් කර ඇත්තේ හයිමෙනොකෝලිස්‌ (Hymenocallis) මලේ අනුරුව පදනම් කරගෙනය. එනම් එකී මලෙහි පෙත්ත ඉතා දිගු බව කියෑවේ. මෙහි සැලසුම් කටයුතු භාරව සිටියේ අමෙරිකාවේ චිකාගෝවෙහි වාස්‌තු විද්‍යා ආයතනයකි. මෙහි පිටත ජනෙල් සඳහා වීදුරු පැනල් 26000 ක්‌ භාවිත කර ඇත. පිටත බිත්තිවල තහඩු ආවරණය (cladding) සඳහා චීන ජාතික විශේෂඥයින් 300 කගේ සහාය ලබාගෙන ඇත.

මෙහි මහල් 163 තුළ ඇති සමහර නිවාස ඒකකවල අමෙරිකානුවෝ පදිංචිව සිටිති. තවද මෙහි වාණිජ කාර්යාල සංකීර්ණ, අති සුඛෝපභෝගී වෙනත් නිවාස ඒකක, මහජන නැරඹුම් මැදිරියක්‌, ශරීර සුවතා සහ ක්‍රීඩා පහසුකම් සඳහා වූ ඒකකයක්‌ යනාදී වශයෙන් නා නා පහසුකම් ද ස්‌ථාපිත කෙරී ඇත. මෙම පසුබිම් තත්වය යටතේ මෙම ගොඩනැගිල්ල අද ලෝකයේ වඩාත් අවධානය දිනාගත් තැනක්‌ බවට පත්වී ඇත.

මෙම බරඡ් ඛලිෆා ගොඩනැගිල්ල තිරසාර බලශක්‌ති ඉතිරිය ද ඉලක්‌ක කරගත් ඉංජිනේරුමය ඉදිකිරීමකි. එහි සැරිසරන මානව අවශ්‍යතා සඳහා වසරකට මෙහි ඇති ජල ටැංකිවලට ජලය ගැලුම් මිලියන 15 ක්‌ එක්‌රැස්‌ කෙරේ. තවද මෙහි දිනකට ජලය ලීටර් 1,40,000 ක්‌ උණුසුම් කෙරේ. එම කාර්යය කෙරෙනුයේ සූර්ය බලශක්‌තිය ප්‍රයෝජනයට ගැනීමෙනි.

මෙම ගොඩනැගිල්ල හා සම්බන්ධිත තොරතුරු ආශ්‍රිතව ඇති තවත් විශේෂත්වයක්‌ වනුයේ මෙහි බර ද ගණනය කර තිබීමය. ඒ අනුව මෙහි බර ලෙස සැලකෙනුයේ ටොන් 500000 කි. එය වෙනත් විධියකට කියෑවෙනුයේ අලින් 100000 කගේ බරට සමාන බවය. මෙම බර ප්‍රමාණය අදාළ වනුයේ බඩු-භාණ්‌ඩ සහ මිනිසුන්ගෙන් තොර හිස්‌ ගොඩනැගිල්ල සඳහාය.

ගොඩනැගිල්ලෙහි ඉදිකිරීම් ඉතා ශීඝ්‍ර ලෙස සිදු කෙරුණු වකවානුවේ දී දිනකට සේවකයින් 12000 ක්‌ මෙහි සේවයේ යෙදී ඇත. වැඩ අවසන් වනවිට ආසන්න වශයෙන් මිනිස්‌ පැය මිලියන 22 ක්‌ වැය වූ බවට කරුණු හෙළිවී ඇත. ඉදිකිරීම් පිරිවැය වනුයේ අමෙරිකානු ඩොලර් බිලියන 1.5 කි.

ගොඩනැගිල්ලේ මුදුනත කි.මී. 95 ක්‌ ඈත දුර සිට ද නැරඹිය හැකි බව කියෑවේ. එම දුර ශ්‍රී ලංකාවාසී අපට සාමාන්‍යයෙන් කොළඹ - මහනුවර අතර වූ දුරට සමාන වේ.

විදුලි සෝපානයක්‌ මඟින් වැඩිම දුරක්‌ ඉහළට නැගිය හැකි ගොඩනැගිල්ල ලෙස සැලකෙනුයේ ද මෙම බර්ඡ් ඛලිෆා ගොඩනැගිල්ල ය. එපමණක්‌ නොව මෙහි ඇති විදුලි සෝපානය වැඩිම වේගයෙන් දිවෙන විදුලි සෝපානය ලෙස ද සැලකේ. එහි වේගය තත්පරයට මීටර් 10 කි. ඒ අනුව මෙම ගොඩනැගිල්ලේ ඉහළම ඇති 163 වන මහලට යාමට දළ වශයෙන් ගතවනුයේ විනාඩියක පමණ කාලයකි.

කාලයෙන් කාලයට රටවල් ඇතුළත මෙන්ම රටවල් - රටවල් අතර ද තරගකාරී ලෙස උසින් වැඩි ගොඩනැගිලි ඉදිවන ප්‍රවණතාවක්‌ දැන් කාලයක සිට ලෝකය පුරා දක්‌නට ලැබේ. එක්‌ අතකින් එය ඉදිකිරීම්වලට අදාළ ඉංජිනේරුමය ක්‍ෂේත්‍රයේ ඉහළ ඵලදායිතාව ලෝකයට හඬගා කීමක්‌ වැනිය. ඒ අනුව ඩුබායි නගරයේ බරඡ් ඛලිෆා ගොඩනැගිල්ලටද වැඩිකල් සිය වාර්තාව රැක ගැනීමට නොහැකිවනු ඇත. ඒ අන් කවරක්‌වත් නිසා නොව මීටත් වඩා උස ඊළඟ ගොඩනැගිල්ල නුදුරේදීම ඉදිකිරීමට සැලසුම් සකසා ඇති බව අසන්නට ලැබීමෙනි. එය ඉදි කෙරෙනුයේ සවුදි අරාබියේය. එය නම්කර අත්තේ රාජධානි කුළුණ (Kindom Tower) යනුවෙනි. එහි උස වනුයේ මීටර් 1000 ක්‌ හෙවත් කි.මී. 1 කි. මේ ආශ්චර්යවත් කුළුණු රාජයා අහසට නැගෙන තෙක්‌ ලොව මානව ක්‍රියාකාරකම්හි අසිරිය නරඹන අපි පෙරමඟ බලා සිටිමු.

- චන්ද්‍රපාල ලේකම්ගේ

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.