HDFC බැංකුව "සෞභාග්‍යා"
ණය යෝජනා ක්‍රමය සමග එක්‌වෙයි

නිවාස ණය ක්‌ෂේත්‍රයේ ප්‍රමුඛයා වන ලංකා නිවාස සංවර්ධන මූල්‍ය සංස්‌ථා බැංකුව (HDFC බැංකුව) තම අභිමානවත් තිස්‌ වසරක ගමන් මගෙහි විශේෂ සංධිස්‌ථානයක්‌ සනිටුහන් කරමින් "ලංකා මහ බැංකුව" සමඟ, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකත්වය සදහා වූ "සෞභාග්‍යා" ණය යෝජනා ක්‍රමය යටතේ සහනදායී පොලී අනුපාතයකට ණය ලබා දීමට අදාළව පසුගියදා "ලංකා මහ බැංකු පරිශ්‍රයේදී අවබෝධතා ගිවිසුමකට එළඹුනි.

"සෞභාග්‍යා"ණය යෝජනා ක්‍රමය තුළින් කෘෂිකර්මාන්ත, පශු සම්පත්, සුළු හා මධ්‍ය පරිමාණ මට්‌ටමේ ව්‍යවසායකයත්ව සංවර්ධනය සහ දේශීය ව්‍යවසායකයාගේ නිෂ්පාදන හා සේවා සැපයුම්, යෑපුම් මට්‌ටම අභිබවා වාණිජ මට්‌ටමේ ඉතා දියුණු කර්මාන්තයන් බවට පත් කර වාර්ෂික දළ ජාතික නිෂ්පාදනය වර්ධනය කිරීම මෙහි අරමුණ වේ. මේ යටතේ කෘෂිකර්මාන්ත හා වැවිලි ක්‌ෂේත්‍රය, ආහාර හා බීම නිෂ්පාදනය, උද්‍යාන වගාව හා අලංකරණය, සත්ව පාලනය, ඇගළුම් හා රෙදිපිළි කර්මාන්තය, පාවහන් හා සම්භාණ්‌ඩ නිෂ්පාදනය, මැණික්‌ හා ස්‌වර්ණාභරණ කර්මාන්තය, දැව හා දැව ආශ්‍රිත නිෂ්පාදන, ලුහු ඉංජිනේරු ක්‌ෂේත්‍රය, ගෘහාශ්‍රිත කර්මාන්ත හා අත්කම්, විසිතුරු මත්ස්‍ය කර්මාන්තය, රාපලාවන්‍ය, හෝටල් හා භෝජනාගාර කර්මාන්තය, වාහන සේවා ස්‌ථාන හා නඩත්තු මධ්‍යස්‌ථාන, සුව සේවා නිෂ්පාදන හා මධ්‍යස්‌ථාන, ජායාරූපකරණය වෙනත් විනෝදාශ්වාදය සපයන සේවා සහ අනෙකුත් නිර්මාණාත්මක සුළු හා මධ්‍යම පරිමාණ කර්මාන්තයන් සඳහා ණය පහසුකම් සපයනු ලැබේ.

මෙම අවස්‌ථාව සඳහා HDFC බැංකුවේ සාමාන්‍යාධිකාරී/ ප්‍රධාන විධායක නිලධාරි නිමල් ෙ-. බී. මාමඩුව මහතා, "ලංකා මහ බැංකුවේ" ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ අශෝක හඳගම මහතා, "ලංකා මහ බැංකුවේ" අතිරේක අධ්‍යක්‍ෂිකා ඩී. වී. එස්‌ දයාවංශ මහත්මිය හා නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ඩබ්ලිව්. රණවීර මහතා, HDFC බැංකුවේ ණය අංශයේ ප්‍රධාන කළමනාකාර මංජුල දිසානායක මහතා හා ක්‍ෂුද්‍ර මූල්‍ය ණය අංශයේ කළමනාකාර අනුර දිසානායක මහතා සහභාගි වූහ.

"ලංකා නිවාස සංවර්ධන මූල්‍ය සංස්‌ථා" බැංකුව තම ගනුදෙනුකාර භවතුන් වෙත ලබා දුන් කඩිනම් හා සුහදශීලී සේවාව මඟින් දිනාගත් ගනුදෙනුකාර විශ්වාසය හා තෘප්තිය නිසාම නිවාස ණය ක්‌ෂේත්‍රයේ ප්‍රමුඛයා ලෙස කීර්තිමත් නාමයක්‌ දිනා ගෙන ඇත. මෙම ගනුදෙනුකාර සත්කාරය තව තවත් පුළුල් කිරීමේ හා දේශීය ආර්ථිකය නඟාසිටුවීමේ අභිමතාර්ථය පෙරදැරිව තම ණය කළඹ විවිධාංගීකරණයට ලක්‌ කරමින් ක්‍ෂුද්‍ර මූල්‍ය ණය, අධ්‍යාපන ණය, ලීසිං හා කල්බදු පහසුකම් වැනි සංවර්ධන ණය යෝජනා ක්‍රම රුසක්‌ මේ වන විට "ලංකා නිවාස සංවර්ධන මූල්‍ය සංස්‌ථා" බැංකුව විසින් මූල්‍ය ක්‌ෂේත්‍රයට හඳුන්වා දී ඇති අතර දිවයින පුරා විසිරි ශාඛාවන් හරහා ක්‍රියාත්මක වනු ලබන ජංගම බැංකු සේවාව මගින් මූල්‍ය ආයතන වෙත යැමට අපහසු ගනුදෙනුකරුවන්හට ලබා දෙන දොරින් දොර සේවාව විශේෂත්වයක්‌ ගනී.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.