රටට-දැයට-සමයට අභීතව උපදෙස්‌දුන් අස්‌ගිරි මහා නාහිමිපාණෝ

ලෝකයෙහි කොතෙකුත් මිනිසුන් ජීවත්වෙති. ඒ අතර දුර්ලබ ඝණයේ පිළිගත් නායකත්වයක්‌ ඇති තත්ත්වයකට පත්වන පුද්ගලයෙක්‌ දක්‌නට ලැබෙන්නේ කලාතුරකිනි. ලෝකයෙහි අභිවෘද්ධියටත් - රටේ සහනශීලී බව රැකදෙන්නටත් - භවාන්තර ගත පුණ්‍ය මහිමයක්‌ ඇති - එබඳු උතුමන් නිසා ජන සමාජය මෙතරමින්වත් සහජීවනයකින් යුතුව - පැවැතෙන බව ඉඳුරාම කිව යුතුව තිබේ. කලින් කල ලොව පහළවන ආගමික ශාස්‌තෘවරු ඉහළම මට්‌ටමට ගැනෙන අතර - නැණවතුන් - බලවතුන් - ගුණවතුන් - අනුශාසකවරුන් ක්‍රියාකාරීත්වයෙන් අති දක්‌ෂ පුද්ගලයන් ඒ අතර වෙති. මෙවැනි ශ්‍රේෂ්ඨ ගිහි පැවිදි උතුම් පුද්ගලයෝ අපේ රටේ ද විටින් විට පහළ වී ඇත. ඒ ශ්‍රේෂ්ඨ ගිහි පැවිදි උතුමන්ගේ ආදර්ශවත් නායකත්වය මේ කුඩා රට - පෙරදිග සයුරේ මුතු ඇටය සේ බැබලවීමට හේතුවී ඇත. එනයින් සලකා බලන විට ඉකුත් අටවෙනි දින අපවත් වී වදාළ - ශ්‍යාමෝපාලි වංශික මහා නිකායේ අස්‌ගිරි පාර්ශ්වයෙහි මහා නායක ධූරන්දර අති ගෞරවාස්‌පද - අග්ගමහා පණ්‌ඩිත උඩුගම ශ්‍රී බුද්ධරක්‌ත මහා ස්‌වාමීන්ද්‍රයන් වහන්සේද - එවන් මගක ගමන් කළ ශ්‍රේෂ්ඨ උත්තමයෙක්‌ බව සඳහන් කළ යුතුය.

උන්වහන්සේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ගුණවත්ය, කාරුණිකයහ. සේවයට කැපවීම සඳහාම දෛනික කටයුතු යොදාගත්තේය. ගිහි පැවිදි වෙනසකින් තොරව - දුප්පත් - පොහොසත් පරතරයක්‌ නොසලකා - කුඩා දරුවාගේ පටන් - මහල්ලා දක්‌වාම - වියපත්ව ඇති සමාජයට මෙහෙවරක්‌ කිරීමට කල්පනා කළේය. අරුණ නැගෙනවාත් සමගම පිබිදෙන උන්වහන්සේ - බුද්ධානුස්‌සති භාවනාවෙන් දවසේ ආගමික වතාවත් ආරම්භ කිරීම දෛනික සිරිතක්‌ව පවත්වාගෙන ආවේය. එතැන් පටන් රාත්‍රිය නින්දට යනතුරා - එන යන හැම කෙනෙක්‌ම හමු වී රටේ කවර තැනකට හෝ ආරාධනාවක්‌ කළේනම් දුර බැහැර නොබලා යමින් - එමින් කටයුතු කිරීම අපේ අස්‌ගිරි මහානායක හිමිපාණන් වහන්සේගේ සිරිතක්‌ව පැවැත්තේය. විදේශීය රට රාජ්‍යයකින් වුවද - ආගමික සේවාවන් පිණිස ආරාධනාවක්‌ ලදහොත් එය මැනවින් ඉටු කිරීම උන්වහන්සේගේ පිළිවෙත වූහ.

තමන් වහන්සේ දරන ඉහළ පැවිදි තනතුර පිළිබඳව කිසිසේත්ම උන්වහන්සේ තුළ අමුතු උද්දාමයක්‌ නොවීය. කුඩා දරුවෙක්‌ වුවද - යමක්‌ කීවිට එයට ඇහුම්කම්දීම මෙතුමන්ගේ උතුම් ගුණයකි. විහාරස්‌ථානයේ වැඩසිටිත් නම් නැත්තම් මගතොටදී හමුවුනි නම් හෝ කෙනකුට කථාබස්‌ කිරීමට අප කථානායකයණන් වහන්සේගෙන් කිසිදු තහනමක්‌ නොවීය. මෙවන් ගුණසමුදායකින් - පිරිපුන් අති පූජ්‍ය උඩුගම බුද්ධරක්‌ත මහා නාහිමිපණෝ සහජයෙන්ම කඩිසර ක්‍රියාශීලි කෙනෙකුන් වූහ. වඩා උස මහත ශරීරයක්‌ නොතිබුණ ද - උන්වහන්සේ බෙහෙවින්ම ඉක්‌මන්කාරීය. ක්‍රියාකරන ආකාරය දකින කෙනකුට ආදර්ශයක්‌ වගේම - ධෛර්යයක්‌ ඇතිවීමට ද හේතුවිය. දළදා වහන්සේගේ තේවාව කරන කාලයෙහි - අලුයම 4.00 ට පිබිද ජලස්‌නානය කොට - සීතලෙන් - වෙව්ල වෙව්ලා මනා චිත්ත ධෛර්යයකින් යුතුව. පුරාකෘත පුණ්‍ය බලයෙකින් ලැබුණ බුද්ධෝපස්‌ථානය සඳහා - මහා මෙහෙවරක යෙදෙන ආකාරය - දැනුදු අපේ මතකයට නැගේ.

බුද්ධෝපස්‌ථායක අනඳ මහ තෙරුන් වහන්සේ එදා යම් කිසි ආකාරයකින් තථාගත උපස්‌ථානය සිදු කෙළේ නම් ඒ ආකාරයෙන් දැනුදු තේවාවට කැපවූ - මල්වතු අස්‌ගිරි නාහිමිවරු - ක්‍රියා කරනු දැක්‌ම නූතන ගිහි පැවිදි බෞද්ධ ජනතාවගේ සිත් සතන් සනසාලීමට සමත්ව ඇත. එපමණක්‌ නොව - විදේශීය රට රාජ්‍යවලින් පැමිණෙන බෞද්ධ - අබෞද්ධ ජනතාව ද මුන් වහන්සේ තුළ පැවැතුන බුද්ධ භක්‌තිය පිළිබඳව, විමතිය පළකළ අවස්‌ථා ද බොහෝය. මේ කාර්යභාශ්ය මල්වතු - අස්‌ගිරි දෙපාර්ශ්වීය වගකිවයුතු මහා සංඝයා වහන්සේ විසින් ඉටුකිරීම අති ශ්‍රේෂ්ඨය. මහ පදවියට පත් වන මල්වතු - අස්‌ගිරි දෙපාර්ශ්වයේ මහා නාහිමිවරු ද කලින් කල මේ උදාර සේවාවට කැපවෙති. අපවත් වී වදාළ උඩුගම ශ්‍රී බුද්ධරක්‌ත මහා නාහිමිපාණෝ ද තුරුණු වියේ පටන් - ගුණාත්මක ගති පැවැතුම්වලින් සැරසී මේ දළදා තේවාවට කලින් කල සහභාගීවීමෙන් ලද පුණ්‍ය මහිමයම උන් වහන්සේට මෙතරම් දේශීය - විදේශීය ගරු සැලකිලි ලැබීමට හේතු වන්නට ඇතැයි පිළිගත හැකිය.

මෙවන් උදාර සාසනික සේවාවන් දේශීය විදේශීය - ගිහි පැවිදි දෙපක්‌ෂයටම ඉටු කොට - අසුපස්‌ වසරින් - හැත්තෑපස්‌ වසරකට වැඩි කලක්‌ මහඟු සාසනික සේවාවක යෙදී, අපවත් වී වදාළ අග්ගමහාපණ්‌ඩිත අතිපූජ්‍ය - උඩුගම ශ්‍රී බුද්ධ රක්‌ත මහානාහිමිපාණන් වහන්සේට - අමාමහ නිවන් සම්පත් ලැබේවා. උන්වහන්සේගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන කටයුතු මෙම 12 වෙනි ඉරුදින මහනුවරදී අති උත්කර්ෂවත් අන්දමින් සිදු කිරීමට නියමිතය.

මහෝපාධ්‍යාය අග්ගමහා පණ්‌ඩිත කොටුගොඩ ධම්මාවාස අමරපුර නිකායේ
අනුනායක හිමිපාණන් විසිනි

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.