ප්‍රභාකරන් තම නායකයා යෑයි කියන ශ්‍රීධරන්



"මගේ නායකයා වේළුපිල්ලේ ප්‍රභාකරන්. ඊළාම් ද්‍රවිඩයන්ගේ විස්‌මයජනක සංකේතය ඔහුයි" යෑයි උතුරු පලාත් සභා මන්ත්‍රී එස්‌. ශ්‍රීධරන් ඉන්දියන් එක්‌ස්‌ප්‍රස්‌ පුවත්පත සමග සාකච්ඡාවක යෙදෙමින් පවසා ඇත.

ප්‍රභාකරන් සිය නායකයා යෑයි පවසන ශ්‍රීධරන් කවුරුන්ද? යාපනයේ කොටි හමුදා නායකයා වූ තීපන්ගේ මස්‌සිනාය.

කොටි සංවිධානයේ නියෝග මත ද්‍රවිඩ සංධානයට සිදු වූයේ කිලිනොච්චිය ආසනය ශ්‍රීධරන්ට දීමටය. ප්‍රභාකරන් ත්‍රස්‌තයකු යෑයි සමහරු කියනවා. එහෙත් අපිට ඔහු ත්‍රස්‌තයෙක්‌ නොවෙයි ද්‍රවිඩයන්ට අනන්‍යතාව දුන්නේ ප්‍රභාකරන් යෑයි ශ්‍රිධරන් කියා සිටියේය.

කිලිනොච්චියේ පිහිටි සිය කාර්යාලයේදී ඉන්දීය මාධ්‍ය පාර්ශවයන් සමග සාකච්ඡාවක්‌ පැවැත්වූ ශ්‍රීධරන් මෙසේද ප්‍රකාශ කර ඇත.

"ෙච්ර, චෝල, පාණ්‌ඩ්‍ය ද්‍රවිඩ රජවරුන්ගේ ශ්‍රේෂ්ඨ ක්‍රියාදාමයන් අපට අසන්නට ලැබුණා.

නමුත් යුද ගුවන් නාවික සහ පොලිස්‌ හමුදා මත ස්‌වාධීන රාජ්‍යයක්‌ ඇති කර ගත හැකි බව ප්‍රභාකරන් අපිට පෙන්නුවා. ඔහුගේ ප්‍රගතිය අපි දෑස්‌වලින් දුටුවා. චෙල්වනායගම් අවිහිංසාවාදී ක්‍රම භාවිත කළා. එහෙත් අපේ නායක ප්‍රභාකරන් ඉතිහාසය සහ ස්‌වභාව ධර්මය මත කටයුතු කළා. ද්‍රවිඩයන් කිසිවිටෙක ඔහුගේ ඡායාරූපයකින් තොරව විරෝධතාවන් පැවැත්වූයේ නැහැ.

ශ්‍රීධරන් කිලිනොච්චියේ පැවැති සංගම් ද්‍රවිඩ උත්සවය අමතමින් තවදුරටත් පැවසුවේ ඉතිහාසය තුළ ප්‍රභාකරන්ට විශිෂ්ට ස්‌ථානයක්‌ හිමි වී ඇති බවයි.

ශ්‍රී ලංකා රජය ද්‍රවිඩ සංහාරයක යෙදී ඇති බව ඉන්දීය පාර්ලිමේන්තුවේදී හිටපු ඉන්දීය අගමැතිනි ඉන්දිරා ගාන්ධි කළ ප්‍රකාශයද තමා අගය කරන බව ශ්‍රීධරන් තවදුරටත් කියා සිටියේය.

ශ්‍රී ලංකාවට එරෙහිව තමිල්නාඩු පාර්ලිමේන්තුවේ සම්මත කළ යෝජනාද ඔහු ඇගයීමට ලක්‌ කරනු ලැබීය.

මෙලෙස කොටි ත්‍රස්‌ත නායක ප්‍රභාකරන් තම නායකයා යෑයි ප්‍රසිද්ධියේ පැවසූ ශ්‍රීධරන් 2012 අප්‍රේල් මස පැවසුවේ ප්‍රභාකරන් ජීවතුන් අතර සිටින බවත් ඔහු මතුවන බවත්ය.

තමිල්නාඩුවේ මදුරෙයි නගරයේ නීතිවේදී සමුළුවක්‌ ඇමතූ ශ්‍රීධරන් ප්‍රභාකරන් මළේ නැහැ. එය අමූලික බොරුවක්‌ යෑයි පවසන අවස්‌ථාවේ එකී නීතිවේදීහු අත්පොළසන් දුන්හ.

ප්‍රභාකරන් මීන්දු මරාවාර් යෑයි ඔහු ද්‍රවිඩ භාෂාවෙන් ප්‍රභාකරන් මළේ නැතැයිද කෑගැසීය.

කිලිනොච්චි මධ්‍ය මහා විදුහලේ හිටපු විදුහල්පති ලෙස සේවය කළ ශ්‍රීධරන්ගේ සොහොයුරු ශ්‍රීකූගන් ස්‌විට්‌සර්ලන්තයේ කොටි ගුවන්විදුලි සේවාවක්‌ මෙහෙයවන අතර ඉන් ශ්‍රීධරන්ගේ උතුරේ ප්‍රචාරක කටයුතුවලට සහාය වෙයි.

එසේම යාපනය යනු ඉන්දියාවේ ආරක්‍ෂාවට වැදගත් වන නගරයක්‌ බවත් යාපනය ස්‌ථාවරතාවයක තිබිය යුතු බවත් ශ්‍රීධරන් තවදුරටත් ඉන්දීය මාධ්‍ය අමතා සඳහන් කර ඇත.

අපිට ඉන්දියාවේ සහාය නැතිව අපේ ප්‍රශ්න විසඳාගත නොහැකියි. යාපනය යනු වෙඩි බෙහෙත් ගොඩක ඇමිණි වෙඩි නූලක්‌ එය පිපිරුවොත් දකුණු ඉන්දියාව කම්පනයට ලක්‌වෙයි යෑයි ශ්‍රීධරන් කියා සිටියේය.

ඊළාම් ද්‍රවිඩයන්ගේ නිදහස්‌ අරගලය මෙහෙය වූයේ වේළුපිල්ලේ ප්‍රභාකරන්. ද්‍රවිඩයන්ට යුක්‌තිය සඳහා සටන් කිරීමට ඔහු නායකත්වය දුන්නා යෑයි හෙතෙම පළ කළේය.

ශ්‍රීධරන් මෙලෙස ප්‍රභාකරන් තම නායකයා යෑයි පවසා ඇත්තේ ද්‍රවිඩ සංධානයට හා ඉලංකෙයි තමිල් අරසුකච්චි නායකත්වයට අභියෝග කරමිනි.

පසුගියදා ඔහු යාපනයේ කොටි හමුදා නායකයකුව සිටි බාල්රාඡ් සටන් මෙහෙය වූ ප්‍රදේශය නිරීක්‍ෂණය කිරීමටද ගියේය.

බාල්රාඡ්ගේ ස්‌මාරකය කඩා දමා තිබෙනු දුටු ශ්‍රීධරන් කම්පාවට පත්විය.

ශ්‍රීධරන් මෙලෙස ප්‍රභාකරන් තම නායකයා යෑයි පැවසීමේ යථාර්ථය කුමක්‌ද?

ඔහු හිටපු කොටි 12000 කට යළි ජීවය දීමට උත්සාහ කරන බව පැහැදිලිය. 2009 මැයි මස 18 දා මුල්ලිවයික්‌කාල්හිදී ප්‍රභාකරන් ඝාතනය විය. චැනල් 4 අධ්‍යක්‍ෂ කැලම් මැක්‌රේද පසුගිය සතියේ ප්‍රභාකරන් ගැන තොරතුරු හෙළි කරමින් ඔහුට ශ්‍රී ලංකා හමුදාව වෙඩි තබා ඇති බව කියා සිටියේය.

මේ පසුබිම මැද ශ්‍රීධරන් ව්‍යාජ ප්‍රභාකරන් නමැත්තකු යළි උතුරේ කරලිය වෙත ගෙන ඒමේ සැලැස්‌මක්‌ දියත් කර තිබේද?

* කීර්ති වර්ණකුලසූරිය

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.