බණ්‌ඩාරගම පොලිසියේ උප පොලිස්‌ පරීක්‍ෂක ඝාතනය
ඝාතකයා සැඟවූ අබිරහස පොලිස්‌ සුනඛයා සොයාගනී!

මෙවර සිවිල් ජනතාව වෙනුවෙන් පෙනී සිටින ප්‍රධානතම රාජ්‍ය ආයතනය වනුයේ පොලිස්‌ දෙපාර්තමේන්තුවයි. එම දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්ය වනුයේ සිවිල් ජනතාවගේ නීතිය හා සාමය ආරක්‍ෂා කරමින් නිදහසේ ජීවත් වීමේ පරිසරයක්‌ නිර්මාණය කර දීමයි. එම කාර්යයේදී පොලිස්‌ නිලධාරීන්ට විශාල වගකීමක්‌ දැරීමට සිදුවේ. එවැනි අවස්‌ථාවලදී නිලධාරීන්ටද විවිධ ගැටලුවලට මුහුණදීමට සිදුවන අතර සමහර අවස්‌ථාවලදී ජීවිතවලින් පවා වන්දි ගෙවීමට සිදුවේ. ඉතිහාසය එයට සාක්‍ෂි දරයි. පසුගිය දිනක පානදුර ප්‍රදේශයෙන්ද අපට අසන්නට ලැබුණේ එවැනි පුවතකි. එනම් බණ්‌ඩාරගම පොලිසියේ සේවය කළ උප පොලිස්‌ පරීක්‍ෂකවරයකු වූ රූබන් පලිහවඩන මහතාව නිදි යහනේදීම ඝාතනය කිරීම එම සිද්ධියයි.

රූබන් පලිහවඩන මහතා ශ්‍රී ලංකා පොලිස්‌ දෙපාර්තමේන්තුවට සම්බන්ධ වූයේ මෙයට දශක ගණනාවකට පෙරදීය. ඔහු මෙරට පොලිස්‌ ස්‌ථාන කිහිපයකම සේවය කර ඇති අතර අත්දැකීම් බහුල නිලධාරියෙකි. සෑම මොහොතකම රැකියාව වෙනුවෙන් පෙනී සිටි ඔහුට රාජකාරි කිරීමේදී රැයක්‌ දවාලක්‌ නොතිබුණි. ඔහුගේ රාජකාරිය දේවකාරියක්‌ සේ සැලකූ නිසා පොලිස්‌ නිලධාරීන් මෙන්ම සිවිල් ජනතාව අතරද හේ ජනප්‍රිය චරිතයක්‌ බවට පත්වී තිබිණි.

පලිහවඩන මහතා දෙදරු පියෙකි. සිය බිරිඳ හා දරුවන් සමග පදිංචිව සිටියේ පානදුර බෙක්‌කේගම ප්‍රදේශයේය. සමහර පොලිස්‌ නිලධාරීන්ට මෙන් නිල ඇඳුමේ උෂ්ණය ඔහුට වැළඳී තිබුණේ නැත. අසල්වැසියන් සමගද ඔහු සුහදව ඇසුරු කළේය. ලද සෑම විටම ප්‍රදේශයේ සමාජ සේවා කටයුතුවලටද ඔහු සහභාගි විය. එම නිසා හිතමිතුරන් රාශියක්‌ද ඔහුට සිටියේය. අන් අයටත් ආදර්ශයක්‌ වෙමින් ජීවත්වන නිසා පලිහවඩන පවුලට එම ප්‍රදේශයේ ඉහළ පිළිගැනීමක්‌ හිමිවී තිබුණි.

ඝාතනය වන මොහොත දක්‌වාම පලිහවඩන මහතා බණ්‌ඩාරගම පොලිසියේ නඩු මෙහෙයුම් අංශයේ ස්‌ථානාධිපතිවරයා වශයෙන් කටයුතු කළේය. පසුගිය 07 වැනිදාද ඔහු රාජකාරියට ගියේ සුපුරුදු පරිදිය. එදින ඔහුට වැඩ අධික දවසක්‌ විය. උසාවිය වෙත ඉදිරිපත් කිරීම සඳහා තිබූ නඩු රාශියක ලිපිගොනු සැකසූ ඔහු එදින පොලිසියෙන් පිට වූයේ රාත්‍රි 8 ට පමණය.

පලිහවඩන මහතාට බෙක්‌කේගම ප්‍රදේශයේ වෙළෙඳසලක්‌ද තිබේ. එය ඔහුට බිරිඳගේ පාර්ශ්වයෙන් උරුම වූවකි. එම වෙළෙඳසල පවත්වාගෙන ගියේ ඔහුගේ බිරිඳ විසින්ය. ලද සෑම මොහොතකම එම වෙළෙඳසලට ගොස්‌ ව්‍යාපාර කටයුතු කිරීමද ඔහුගේ ජීවිතයේ සිරිතක්‌ විය. එදිනද පොලිසියෙන් පිටවූ පලිහවඩන කෙළින්ම ගියේ තම වෙළෙඳසල වෙතය. එහි ගිය ඔහු සිය බිරිඳ සමග නැවත නිවෙස බලා පිටත් වූයේ රාත්‍රි 10.30 ට පමණය.

තම දරු දෙදෙනාට පලිහවඩන මහතා පණ මෙන් ආදරය කළේය. ඔහුගේ එකම සිහිනය වූයේ දරු දෙදෙනාට හොඳින් ඉගැන්වීමය. ඒ සඳහා අවශ්‍ය සියලු කටයුතු ඔහු නොපිරිහෙලා ඉටුකළේය. කොතරම් රාජකාරි බහුල වුවත් ඔහු දරු දෙදෙනාගේ අධ්‍යාපන කටයුතු කෙරෙහි විශාල උනන්දුවක්‌ දැක්‌වූවේය. පාසලට පවා ගොස්‌ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ගැන සොයා බැලුවේය.

රාත්‍රි 10 පසුවී තිබුණත් දරු දෙදෙනා තම දෙමාපියන් නිවසට පැමිණෙන තුරු බලා සිටියේය. වෙහෙස මහන්සි වී පැමිණියත් නිවසට පැමිණි ගමන් දරු දෙදෙනා සමග සුළු මොහොතක්‌ හෝ සතුටු සාමීචියේ යෙදීම පලිහවඩනගේ එක්‌ සිරිතකි. එදිනද ඔහු දරු දෙදෙනා තුරුලු කරගෙන තම සෙනෙහස ඔවුන්ට පෙන්වූවේය. මේ දරු දෙදෙනා සහ තම ආදරණීය බිරිඳ සමග ගෙවන අවසන් හෝරා කිහිපය බව ඔහු දැන සිටියේ නැත.

දරු දෙදෙනා සහ බිරිඳ සමග රාත්‍රි ආහාරය ගත් පලිහවඩන මහතා තනිවම නින්දට ගොස්‌ ඇත්තේ පහළ මහලයේ කාමරයකය. බිරිඳ සහ දරු දෙදෙනා ඉහළ මහලයේ වෙනත් කාමරයක නිදාගෙන තිබේ.

රැකියාවට යැම සඳහා උදැසන 4.30 ට අවදිවීමට පලිහවඩන මහතා පුරුදු වී සිටියේය. එය ඔහුගේ දින චර්යාවේ එක්‌ අංගයක්‌ විය. කීයට නිදාගත්තත් උදැසන 4.30 වන විට අනිවාර්යයෙන්ම ඔහු අවදි වෙයි. නමුත් එදින ඔහු වෙනදා මෙන් අවදි නොවීය. බිරිඳට මෙය මහත් ප්‍රහේලිකාවක්‌ විය. ඇය තම සැමියා නිදා සිටි කාමරය වෙත පිය නැගුවේ සැමියා අවදි කරවීම සඳහාය. නමුත් කාමරය වෙත ගිය ඇය දුටුවේ තම සැමියා ලේ විලක්‌ මැද වැටී ඇති අයුරුයි. එම දසුනින් ඇයට උන්හිටි තැන් අමතක වූවාය. ඇය පිස්‌සියක්‌ මෙන් යටිගිරියෙන් කෑගැසුවාය. විනාඩි ගණනක්‌ යනතුරු ඇය පියවි සිහියට නොපැමිණියාය.

වහාම ඇය මේ බව අසල්වැසියන්ට දන්වා තිබේ. ඔවුන් පැමිණ 119 ඔස්‌සේ පොලිසියට දන්වා ඇති අතර පානදුර පොලිසියටද මේ බව දන්වා තිබේ.

වහාම ක්‍රියාත්මක වූ පානදුර පොලිසියේ අපරාධ අංශයේ නිලධාරියා එම ස්‌ථානයට පැමිණ ඒ මොහොතේම පරීක්‍ෂණ ආරම්භ කළහ. පලිහවඩන මහතාගේ ගෙලෙහි තියුණු කැපුම් තුවාලයක්‌ තිබුණු අතර උරහිසෙහි දෙපළකද කැපුම් පහරවල් කිහිපයක්‌ තිබී ඇත. ඝාතකයා ගෙලට එල්ල කළ මුල්ම ප්‍රහාරයෙන් ඔහු මියයන්නට ඇතැයි පොලිසිය සැක පහළ කරයි. නිවසේ පිටුපස දොර විවෘත කරගෙන ඝාතකයා එහි ඇතුළු වී තිබේ. නිවසේ වටිනා බඩු කිසිවක්‌ මෙම ඝාතකයා විසින් රැගෙන ගොස්‌ නැති බවද අනාවරණය විය. ඉන් පැහැදිලිවන්නේ ඝාතකයා නිවසට ඇතුළු වී ඇත්තේ පලිහවඩන මහතා ඝාතනය කිරීමේ අරමුණෙන්ම බවයි.

මීට වසර 10 කට පමණ ඉහතදී පානදුර ප්‍රදේශයේ පැවැති සංගීත සංදර්ශනයක රාජකාරි සඳහා ගොස්‌ සිටි ඔහුට කිසියම් පිරිසකගේ ප්‍රහාරයකට ලක්‌වී තිබුණි. එහිදී ද බරපතළ කැපුම් තුවාල ලැබූ ඔහු මාස ගණනක්‌ තිස්‌සේ රෝහල්ගතව ප්‍රතිකාර ලබා ගත්තේය. පසුව එම සිද්ධිය සම්බන්ධ සැකකරුවන් 4 දෙනකු පොලිසිය විසින් අත්අඩංගුවට ගත්තේය. අවසානයේ ඔවුන් වරදකරුවන් වී රුපියල් ලක්‍ෂ 8 ක පමණ වන්දි මුදලක්‌ පලිහවඩන මහතාට ගෙවීමට නියම විය. මෙම ඝාතනය සහ එම සිද්ධිය අතර සම්බන්ධයක්‌ තිබේද යන්න පිළිබඳවද පොලිසිය පරීක්‍ෂණ සිදුකරයි.

බස්‌නාහිර නියෝජ්‍ය පොලිස්‌පති කපිල ගුණසේකර, පානදුර කොට්‌ඨාස භාර පොලිස්‌ අධිකාරිවරුන් වන එම්. එන්. එස්‌. මෙන්ඩිස්‌, සුසිල් විඡේගුණවර්ධන යන මහත්වරුන්ගේ අධීක්‍ෂණය හා උපදෙස්‌ මත පානදුර වැඩබලන මූලස්‌ථාන පොලිස්‌ පරීක්‍ෂක ටෙරන්ස්‌ ද සිල්වා එහි අපරාධ අංශයේ ස්‌ථානාධිපති උ.පො.ප. ජයසිංහ ඇතුළු නිලධාරීහු කණ්‌ඩායමක්‌ මේ පිළිබඳ ඉදිරි පරීක්‍ෂණ සිදුකරති.

විශේෂ ස්‌තුතිය බණ්‌ඩාරගම පොලිසියේ උ.පො. පරීක්‍ෂක කහටපිටිය මහතාට.

ගයාන් සමරසිංහ

"වෘෂි" ගේ හැසිරීම් රටාව අනුව ඝාතකයා නිවස තුළ රැඳී ඇත්තේ කිසිදු අපහසුවකින් තොරව වීමද පරීක්‍ෂණ නව මගකට යොමු කරන්නක්‌ විය.

ඝාතනයට ලක්‌වූ පලිහවඩන මහතා නිදාගත් කාමරයේ සිට පිටතට යැමට තිබෙන දොර හැර තිබීම පොලිස්‌ පරීක්‍ෂණ නොමග යෑවීමට කළ අසාර්ථක උත්සාහයක්‌ විය හැකි බව ද පැවසේ. එම දොරේ යතුර නිල සුනඛ වෘෂිට ඉව කිරීමට සැලැස්‌වීමෙන් අනතුරුව වෘෂි නිවසේ අභ්‍යන්තරයේම පිහිටා තිබෙන පියගැටපෙළෙන් උඩුමහලට යැමද පරීක්‍ෂණ පවත්වන නිලධාරීන්ගේ දැඩි අවධානයට යොමුවී තිබේ.

එසේම ඔහු ඝාතනයට ලක්‌වීමට පෙර ලබාගත් රාත්‍රි ආහාරවලට තදින් නින්ද යැම සඳහා යම් දෙයක්‌ මිශ්‍ර කළාද? එසේත් නැතිනම් නින්ද ගිය පසුව යම් රසායනිකයක්‌ මගින් ඔහු තද නින්දකට පත් කළේද? යන්න පිළිබඳව වෛද්‍ය විද්‍යාත්මක පැත්තෙන්ද පරීක්‍ෂණ ක්‍රියාත්මක වේ. මෙම ඝාතනය සැලසුම් සහගතව සිදුකළ එකක්‌ බවට පෙනෙන බවත් උසස්‌ පොලිස්‌ නිලධාරියෙක්‌ පැවසීය.

ගයාන් සමරසිංහ

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.