අතීතයෙන් ගලා බසින
සංස්‌කෘතික ප්‍රවාහයෙන් ගත් සුනිල දිය දෝත අලුත් අවුරුද්දයි!

මහාචාර්ය ජේ.බී.දිසානායක
අලුත් අවුරුද්ද ගැන කරන විග්‍රහය

අලුත් අවුරුද්ද සිංහල බෞද්ධයන්ගේ ද දෙමළ හින්දුන්ගේ ද යන නොනිමි විවාදයට මැදිහත් වීමට අපි නොරිසි වන්නෙමු. එහෙත් මේ උත්සවය සිංහල හින්දු අලුත් අවුරුද්ද ලෙස හැඳින්වීම පිළිබඳව නම් අපට විවේචනයක්‌ තිබේ. මන්ද යත්, සිංහල යනු ජනවර්ගයකි. හින්දු යනු ආගමකි. එසේ නම් මෙය බෞද්ධ හින්දු අවුරුද්ද හෝ සිංහල දෙමළ අවුරුද්ද ලෙස හෝ හැඳින්විය යුතුව තිබිණි. සිංහල භාෂාව හා සංස්‌කෘතිය පිළිබඳව ප්‍රකට විද්වතකු මෙන්ම පර්යේෂකයකු ද වන මහාචාර්ය ඡේ. බී. දිසානායකයෝ ද සිංහල හින්දු අලුත් අවුරුද්ද යනු නොගැළපෙන අනුචිත යෙදුමක්‌ බව තහවුරු කරති.

මහාචාර්ය ඡේ. බී. මැනවැයි සඳහන් කරන්නේ සිංහල හින්දු අලුත් අවුරුද්ද වෙනුවට 'බෞද්ධ හින්දු' හෝ 'සිංහල දෙමළ' අලුත් අවුරුද්ද ලෙස යොදා ගැනීමය. එහෙත් සිංහල බෞද්ධ ජනතාව අලුත් අවුරුද්ද තම ප්‍රමුඛ සංස්‌කෘතික උළෙල ලෙස සලකති. දෙමළ හින්දු ජනතාව ද අලුත් අවුරුද්ද සමරන නමුත් එය සිංහල ජනතාවට වඩා අඩු ප්‍රතිශතයක්‌ බව ද සඳහන් කළ යුතුය. අප එසේ පවසන විටම මෙන්න දෙමළ ජනතාවගේ අලුත් අවුරුද්දත් සිංහලයාට අත්පත් කරදීමට සැරසෙනවා යෑයි මහා ඝෝෂාවක්‌ නඟන්ට ද බැරි නැත. එහෙයින් මේ අවුල නිරවුල් කිරීම විද්වතුන්ටම භාර කිරීම උචිතය.

අලුත් අවුරුද්ද පිළිබඳ අවධානය යොමු කළ විද්වතුන්ගේ එක්‌ අදහසක්‌ වූයේ මෙම සිංහල අවුරුදු සංකල්පයේ සමාරම්භය නැකැත් කෙළිය බවය. ඔවුහු ඒ සඳහා සම්භාව්‍ය සාහිත්‍ය උපුටා දක්‌වති. බ්‍රිතාන්‍ය ජාතික රොබට්‌ නොක්‌ස්‌ 'එදා හෙළදිව' නමැති සිය කෘතියේ සිංහල අවුරුද්ද නැකැත් කෙළියක්‌ ලෙස දක්‌වා ඇත. එසේම හින්දු සංස්‌කෘතියේ මෙම උත්සවය වැදගත් ලෙස සැලකූ බවට සාක්‍ෂි ද නැත. ඉන්දියාවේ සංස්‌කෘතිය ගැන ප්‍රබල අවධානයක්‌ යොමුකරන 'අසිරිමත් ඉන්දියාව' (ඔයෑ උදමාeර එය්එ ආs ෂබාස්‌) කෘතියෙහි ද හින්දුන් හා බැඳුණු යාග පිළිවෙත් විනා මෙබඳු උත්සවයක්‌ ගැන සඳහනක්‌ නැත.

මේ අනුව මෙම අලුත් අවුරුද්ද සිංහල බෞද්ධ සංස්‌කෘතියේ ප්‍රධාන හා අභිමානවත් උත්සවය ලෙස හැඳින්වීමට බාධාවක්‌ ද නැත. පවුල නමැති ඒකකය හා පන්සල නමැති බෞද්ධ කේන්ද්‍රස්‌ථානය අලුත් අවුරුද්ද සමඟ දැඩිව බැඳී තිබෙන බව ද ඉතා පැහැදිලිය. එසේම එය අස්‌වැන්න සමඟ මෙන්ම ගෘහණියට මුල්තැනක්‌ දීමට ද වෙන් වූ උළෙලක්‌ බව ද පෙනේ.

ශ්‍රී ලංකාවේ දැනට සිටින ජ්‍යෙෂ්ඨතම මහාචාර්යවරයකු මෙන්ම සිංහල භාෂාව හා සංස්‌කෘතිය පිළිබඳව අග්‍රගණයේ විද්වතකු හා පර්යේෂකයකු ලෙස ද සම්මානයට පාත්‍රව සිටින ෙ-. බී. දිසානායක සූරීන් මේ අලුත් අවුරුද්ද දකින්නේ අපට අපගේ සංස්‌කෘතික අනන්‍යතාව සිහිපත් කර දෙන්නා වූද වසරක්‌ පුරා අප විසින් කරන ලද සියලු කටයුතු ලෙස විමර්ශනය කර ජීවිතය අලුත් කර ගැනීමට ලැබෙන විශිෂ්ටම අවස්‌ථාව ලෙසය.

"ඇත්තටම මේක හරියටම අර ඉංග්‍රීසියෙන් කියන 'ස්‌ටොක්‌ ටේකිං' වගේ. දවස්‌ තුන්සිය හැටපහක්‌ පුරා ගිය ගමන, කරපු දේවල්, හරි වැරදි සේරම ආවර්ජනය කරල, මැනල බලල අලුත් ආරම්භයක්‌ යොදාගැනීමක්‌ තමා මෙතෙන්දි වෙන්නේ. ගේදොර අලුත් වෙනවා. ළිප, ළිඳ විතරක්‌ නෙවෙයි ලුණු පොල්කට්‌ටත් අලුත් වෙනවා. පරණ ඉලපත කුස්‌සිය සමහර බඩුත් අයින් කරනවා. නෑ සබඳකම්, පන්සල හා ගම පිළිබඳ සබඳකම් අලුත් වෙනවා.

මේ නිසා අලුත් අවුරුද්ද කායිකව නැත්නම් භෞතික වගේම ආධ්‍යාත්මික යන දෙවිදියටම අපට අලුත් ප්‍රවේශයක්‌ අරගෙන දෙනවා. අවුරුද්දේ වැදගත්ම දේ තමා නැකැත් චාරිත්‍ර. ඉස්‌සර ගම්වල හිටියා ගණිතයා කියල අයෙක්‌. ගණන්වලට හපන් ඔහු සුබ වෙලාවල් හොයල නැකැත් සීට්‌ටුවක්‌ හදනවා. ළිප ගිනි මෙළවීම, ආහාර අනුභවය, ගනුදෙනු කිරීම, වැඩ ඇල්ලීම, රැකී රක්‍ෂා සඳහා යැම, හිසතෙල් ගෑම, නව සඳ බැලීම සඳහා තමයි මේ නැකැත් සුද්ද කරල දෙන්නෙ.

අද නම් සන්නිවේදනය දියුණුයි. එදා ගණිතයා තමා මේ සන්නිවේදනය කළේ. අලුත් අවුරුද්ද උදාවෙන්නෙ හිරු මීන රාශියෙන් මේෂ රාශියට ගමන් කිරීමෙන්. හිරු මීන රාශියේ ඉන්නෙ පරණ අවුරුද්දෙ. එතැනින් මේෂ රාශියට යන මුල්ම දවස තමා මේ අලුත් අවුරුද්ද කියල හඳුන්වන්නෙ.

ඉස්‌සරනං 'දැවුරුදු වඳිනවා' කියල සිරිතක්‌ තිබුණ. පරණ අවුරුද්ද ගෙවෙන්ට මොහොතකට කලින් පන්සලට යනවා. ගිහිල්ල පරණ අවුරුද්ද වඳිනව. ඊට පස්‌සෙ අලුත් අවුරුද්ද එනව. ඒකත් වඳිනව. මේ නිසා තමා අලුත් අවුරුද්ද පන්සලත් එක්‌ක බැඳිල තියෙන්නෙ. වෙනදට පන්සලට නොයන අයත් නොනගතේදී පන්සලට යනව. නොනගතය කියන්නෙ නැකැත් නැති වෙලාව යන අර්ථයට. සමහරුන් කියන්නෙ හිරු තවම මීන රාශියෙ ඉඳල මේෂ රාශියට ගිහිල්ල නෑ. ගමන් කරමින් සිටින කාලය නොපැමිණි කාලය නොනගතය බවයි. කොහොම හරි මේ කාලය පරිස්‌සමින් ඉන්න හොඳම තැන තමා පන්සල.

පන්සලට යන්නෙ සිංහල බෞද්ධ ජනයායි. ඔවුන්ගේ සිත් පිරිසිදු වෙනව. පන්සලේ තියෙන නිරාමිස පරිසරය තුළ. තුනුරුවන් මෙනෙහි කිරීම නිසා. සිංහල කිතුනුවන් හරි දෙමළ හින්දුන් හරි පන්සල් යන්නෙ නැහැනෙ. මේ නිසා තමයි සිංහල අලුත් අවුරුද්ද කියල කියන්න පුළුවන් වෙන්නෙත්.

සිංහල අලුත් අවුරුද්ද පවුල නමැති ඒකකය මුල්කරගත්තකි. අද ගම හා නගරය ලෙස ප්‍රබල වෙනසක්‌ නැත. සන්නිවේදනය අපගේ සබඳතා සීග්‍ර්‍ර වෙනසකට ලක්‌කර තිබේ. එදා රැකියාවක්‌ සඳහා ගමෙන් පිටවූ අය ආපසු ගමට පැමිණ සිය පවුලේ සාමාජිකයන් සමඟ එක්‌ව ප්‍රීති වූවෝ මෙම අලුත් අවුරුදු දිනයේදීය. ගමට යන්නේ හිස්‌ අතින් නොව අතක්‌ බරට තෑගි බෝග ද රැගෙනය. ඒ තෑගි බෝග දෙමවුපියන් ඇතුළු වැඩිහිටියන්ට ලබාදෙන අතර එයින් මේ සියලු දෙනා සමඟම අලුත් බැඳීම් ද ඇතිකරගත හැකිය.

සාමාන්‍යයෙන් පවුලේ ප්‍රධානියා පියා හෙවත් තාත්තාය. ඔහුට සියලු දෙනාම ගරු කරති. එහෙත් අවුරුදු දිනයේදී ඔහු ගෙදර අය සමඟ මෙන්ම අසල්වැසියන් සමඟ ද එකට හිඳගෙන නොයෙක්‌ ක්‍රීඩාවලට සහභාගි වෙයි. ගෙයි පැදුරේ වාඩි වී, වට වී පංච දමන ඔහු මිදුලේ 'වළකජු' ක්‍රීඩාවට එක්‌වෙයි. ජය පැරදුමට වඩා හොඳ හිත වර්ධනය කර ගැනීම මෙබඳු අවුරුදු ක්‍රීඩාවල අරමුණ වේ.

අලුත් අවුරුද්දේ සුවිශේෂ හා වැදගත්ම දේ නැකතට වැඩ කිරීමේ සම්මුතියයි. නැකැත් පිළිබඳ විශ්වාසය කුමක්‌ වුවත් අවුරුදු සමරන සියලු දෙනාම මේ දිනයේදී එකම මොහොතක සියලු වැඩ අත්හැර දමති. පසුව එකම මොහොතක ළිපි ගිනි මොළවති. එකම මොහොතක ආහාර අනුභව කරති. මෙම ක්‍රියාවන් බුද්ධියට හෝ තර්කයට වඩා හදවතට සමීපය. එය සංස්‌කෘතික අධ්‍යාත්මය විසින් පෝෂණය කරන ලද පොදු සම්මුතියක්‌ බවට පත්වූවකි.

සිංහල බෞද්ධ සංස්‌කෘතියේ සාරධර්ම නමින් විශේෂ චර්යා පද්ධතියක්‌ ඇත. අලුත් අවුරුද්ද මේ සාරධර්ම පිළිබඳ අපට මතක්‌ කරදෙන වැදගත්ම අවස්‌ථාවකි. වැඩිහිටියන්ට සැලකීම යනු එබඳු සාරධර්මයකි. බුලත් අතක්‌ සමඟ තෑග්ගක්‌ ද පිරිනමා වැඩිහිටියන්ගේ ආශිර්වාදය ලබාගැනීම ද අලුත් අවුරුදු දිනවල සිදුවෙයි. පවුලේ අය අතර තිබෙන නොහොඳ නෝක්‌කාඩුකම් දුරලීමට ද අවුරුද්ද උදව් වේ.

මහාචාර්ය ඡේ. බී. දිසානායකයන් පවසන්නේ අලුත් අවුරුද්ද සශ්‍රීකත්වයේ සංකේත ලෙස කිරි, වතුර හා ගිනි යන වස්‌තූන් විශේෂත්වයකින් සලකන බවය.

ඉස්‌සර ගමේ තිබුණා "ලිබ්බොකු ආච්චි" විදීම කියල සිරිතක්‌. අවුරුද්දට කලින් ළිප සුද්ද කරල අළු ටික එකතු කරනව. ඒව සේරම කුල්ලකට දානවා. ඒ කුල්ලට පඬුරකුත් තියල බත්, කැවුම් බුලත් එහෙමත් තියනව. පස්‌සෙ පානකුත් පත්තු කරල ඒ සේරම තුම්මං හන්දියෙ තියනව, 'ලිබ්බොකු ආච්චිට' ගන්ට කියල. අනිත් සිරිත තමා ළිඳත් එක්‌ක ගනුදෙනු කිරීම. මෙතෙන්දි යම් යම් දේවල් අඩංගු පොට්‌ටනියක්‌ හදල ඒක ළිඳට දාල හාපුරා කියල වතුර බාල්දියක්‌ ගන්නවා. ඒ වතුරවලින් කොටහක්‌ බෝතලයකට දාල ඊළඟ අවුරුද්ද වෙනකල් තියාගන්නවා. නැකතට ගිනි මෙළවීමෙන් පස්‌සේ උයන කිරිබත තමා ප්‍රධාන ආහාරය. අවුරුදු රස කැවිලිත් එක්‌ක කිරිබත් අනුභව කිරීම වැදගත්ම සිරිතක්‌. මේ අවුරුදු කෑම මේසයේ වැඩිපුරම තිබෙන්නෙ අපටම ආවේණික කැවිලි. මේ කැවිලි පිඟන් බෙදාගැනීමේ සිරිතකුත් තියෙනවා.

ගෙදර ඔක්‌කොම අලුත් ඇඳුම් ඇඳගෙන ආහාර අනුභව කරනවා. ඊට පස්‌සෙ ගනුදෙනු කරනවා. මෙතනදි තමා කවුරුත් අලුත් නෑකම්, මිත්‍රකම් එහෙම ගොඩනඟා ගන්නෙ. පවුලේ වැඩිහිටියා දරු මුණුපුරන් පිරිවරාගෙන සතුට බෙදාගන්නවා.

මේ විදිහට සිරිත් විරිත් ඉටුකරන අතර අවුරුදු ක්‍රීඩාවලටත් සහභාගි වෙනව. ඔංචිලි පැදීම හා රබන් ගැසීම අවුරුද්aදටම කල එළි බහින ක්‍රීඩා දෙකක්‌. නොයෙක්‌ රබන් පද තාලයට කියලා වාදනය කිරීම තමා එතෙන්දි වෙන්නෙ. ඒ වගේම ඔංචිලි වාරම් කියල ගැයුමකුත් තියෙනවා.

අලුත් අවුරුද්ද අවසන් වෙන්නෙ හිසතෙල් ගෑම හා නෑගම් යැම කියන චාරිත්‍රවලින්. හිසට තෙල් ගාගන්ට යන්නෙත් පන්සලට. ඒ සඳහා විශේෂ නානු වගයක්‌ හදනව. මේ හිසතෙල් ගෑම සතුන්ටත් කරනවා. සමහර පළාත්වල බුදුපිළිම වහන්සේගෙ හිසටත් තෙල් ගෑමක්‌ කරනව. මෙතෙන්දි පිළිම වහන්සෙ ඉස්‌සරහ කණ්‌ණාඩියක්‌ අල්ලලා ඒකට වැටෙන ඡායාවෙ තමා තෙල් බින්දුවක්‌ ගාන්නෙ.

සිංහල බෞද්ධයන් සංක්‍රාන්තිය ලෙස හඳුන්වන කාලය තායිලන්තයේ 'සොන්ක්‍රන්' නමින් හැඳින්වේ. මෙහිදී සිදුවන්නේ ජලය ගසා ගැනීමක්‌. එනිසා දිය කෙළියත් අපේ මේ අවුරුදු උත්සවයට එදා ඇතුළත් වුණා. රජවරුන් මේ සඳහා දැක්‌වූ උනන්දුව සාහිත්‍යයේ තියෙනව.

මහාචාර්ය ජේ. බී. සිය විග්‍රහය සමාප්ත කළහ.

සිංහල අලුත් අවුරුද්ද ජාතික උත්සවයක්‌ ද ලෙස පැවැත්විය යුතු බව සමහරු කියනවා. එහෙත් එහි තිබෙන සංස්‌කෘතික හා ආගමික සංකල්ප නිසා ජනේරුව හෙවත් ජනවාරි පළමු වැනිදා මෙන් සියලු දෙනාටම අලුත් අවුරුද්ද සැමරීමට හැකිද? එහෙත් අවුරුදු ක්‍රීඩාවලට නම් වැඩි පිරිසකට සහභාගි විය හැකි වෙයි. සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට ගමන් කිරීම අලුත් අවුරුද්දේ සංකේත අරුත වුවත් එය හා බැඳුණු සංස්‌කෘතිය හා සාරධර්මතා සිංහල බෞද්ධ ජනතාවගේ උරුමයන් ලෙස හැඳින්වීමට බාධාවක්‌ නොමැත. ජාතික උත්සවයක්‌ යනු ජනවර්ග, ආගම් බේදවලින් තොරව පොදුවේ සියලු දෙනාටම සහභාගි විය හැකි අවස්‌ථාවකි. බෞද්ධ හා හින්දු ජන කොටස්‌ මෙම අලුත් අවුරුද්ද තම ජීවිතයේ උච්චතම අවස්‌ථාවක්‌ ලෙස සලකති. එදා කෘෂි සමාජයක, සූර්ය වන්දනාව උදෙසා ඇරඹුණු අලුත් අවුරුද්ද අද ඊට වඩා වෙනස්‌ සංස්‌කෘතික උළෙලක්‌ බවට පත්ව තිබේ. එසේම අද්‍යතන වෙළෙඳ හා පාරිභෝගික සමාජ වටිනාකම් තුළ මේ අලුත් අවුරුද්ද උඩු යටිකුරු වෙමින් තිබෙන බවට මැසිවිලි ද ඇසෙයි. එහෙත් මෙම අවුරුදු සංකල්පය මෙන්ම ඒ හා බැඳුණු සිරිත් විරිත් ඇදහිලි හා විශ්වාස පරපුරෙන් පරපුරට යන ප්‍රවාහයක්‌ වැන්න.

ශ්‍රී ලංකාවෙන් බැහැරව බටහිර හෝ වෙනත් රටක ජීවත්වන සිංහලයෝ සිංහල අවුරුද්ද සැමරීමට ආපහු මවුබිමට පැමිණෙති. ඒ ඉහත කී සංස්‌කෘතික බැඳීම නිසාය. ජනවාර්ගික අසනීපවලින් පීඩා විඳින ව්‍යාජ පඬිවරු අවුරුද්ද කාගේදැයි විවාද කරති. එබඳු මළකඩක්‌ හිස තුළ නැති සිංහලයෝ අවුරුදු සතුට විඳිති. අලුත් අවුරුද්ද සියලු වාදබේද නොහොඳ නෝක්‌කාඩු දුරලන විශිෂ්ටතම සංස්‌කෘතික උළෙල බව පොදු ජනතාව දනිති.

- ගාමිණී සුමනසේකර

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.