බිම සිටින ගුවන් සේවිකාවන්
උඩ යන ගාස්‌තුව ගෙවූ ශ්‍රී ලංකන් මහා වංචාව

"රාජ්‍ය ආයතනය බොහෝමයක්‌ අලාභ ලැබීම පිළිබඳ මෙන්ම වංචා දූෂණ හා අකාර්යක්‍ෂමතාවන්වලට හේතුව වී ඇත්තේ එම ආයතනවල ඉහළ තනතුරුවලට නුසුදුස්‌සන් මෙන්ම බලධරයන්ගේ ඥතීන් පත් කිරීමය.

ඒ අප පවසන කාරණයක්‌ නම් නොවේ. පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව විසින් වරින්වර ඉදිරිපත් කළ අනතුරු ඇඟවීම් ය. වාර්තාවේ ලිතව පමණක්‌ද..... නැත. එය එළිදක්‌වද්දිත්, ඉන් පසුවත් වරින්වර එම කාරක සභාවේ සභාපති ඩිව් ගුණසේකර මහතා කී වදන්ය.

රජයේ ඇමැතිවරයකුව සිටියදී කෝප් සභාපතිවරයා කළ ඒ අනතුරු හැඟවීම් පිළිනොගත් එවක ආණ්‌ඩුවේ බලධාරීහු රටේ මුදල්, දේපළ සොරා කෑමට තම ඥති හිත මිතුරු නිලධාරීන්ට අවසර හා අනුබල ලබා දුන්හ.

අවසන් වරට පසුගිය නොවැම්බර් 14 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ කෝප් අතුරු වාර්තාවට අනුව ශ්‍රී ලංකන් ගුවන් සමාගම් බදුවලට පසු අලාභය රුපියල් බිලියන 26 කි. ඒ 2013/2014 මූල්‍ය වර්ෂය සඳහාය.

මේ පිළිබඳ කෝප් වාර්තාව අනතුරු ඇඟවීම් ගණනාවක්‌ කළේය. එහෙත් ඒවා ගඟට කැපූ ඉණි මෙන් විය.

ඉන් මාසයකට පසු ඒ ආණ්‌ඩුව බිඳ වැටිණි. ජනවාරි 08 වැනිදා නව පාලනයක්‌ රටේ ස්‌ථාපිත විය. නව පාලකයන්ගේ ඡන්ද පොරොන්දුව වූ දින සියයේ සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කිරීම ආරම්භ විය. ඉකුත් රජයේ හොරුන්ට, දූෂිතයන්ට දඬුවම් දෙන බව දින සියයේ වැඩපිළිවෙළේ එක්‌ පොරොන්දුවකි.

අර්ජුන රණතුංග මහතා විපක්‍ෂයේ සිටි කාලයේදීත් දූෂණයට වංචාවට එරෙහිව හඬ අවදි කරන දේශපාලනඥයකි. ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනයේ හොර මැරකම් ගැන නිතරම පාර්ලිමේන්තුවේදීත් ඉන් පිටතදීත් හඬ නැඟුවේය. එහෙත් එදා ඒවාට කිසිවකු කන් දුන් බවක්‌ නොපෙනේ.

අර්ජුන දැන් වරාය හා ගුවන් සේවා ඇමැතිවරයාය. ශ්‍රී ලංකන් ගුවන් සමාගම ද අයත් වන්නේ ඔහුගේ විෂය පථයටය. ශ්‍රී ලංකන් පාඩුව හා එහි දූෂණ ප්‍රසිද්ධ රහසක්‌ බව අර්ජුන රණතුංග දැන සිටියේය. එහෙත් ඒ ප්‍රසිද්ධ රහස්‌ එළිපිට කතා කිරීම සඳහා, ඒ පිළිබඳ විමර්ශනය කිරීම සඳහා තීරණය කළ ඔහු ශ්‍රී ලංකන් ගුවන් සේවාවේ කටයුතු පිළිබඳ සොයා බැලීමට දූෂණ විමර්ශන මණ්‌ඩලයක්‌ පත් කළේ ජනාධිපති හා අගමැතිවරයාගේ ද උපදෙස්‌ මතය. පත් කළ දූෂණ විමර්ශන මණ්‌ඩලයේ සභාපතිවරයා නීතිඥ ඡේ. සී. වැලිඅමුණ මහතාය. ඔහු ඒ පිළිබඳ හසල දැනුමක්‌ ඇත්තෙකු ලෙස පිළිගැනේ.

වැලිඅමුණ මහතා ඇතුළු විමර්ශන මණ්‌ඩලය සිය විමර්ශන කටයුතු ආරම්භ කළේය. ඉතා කෙටි කලක්‌ තුළ ශ්‍රී ලංකන් ගුවන් සේවාවේ කටයුතු පිළිබඳ විමර්ශන අවසන් කළ ඔහු එහි වාර්තාව පසුගියදා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට භාර දුන්නේය. ශ්‍රී ලංකන් ගුවන් සේවාවේ ඩොලර් බිලියන ගණනාවක්‌ දක්‌වා දූෂිත ගණුදෙනු සිදුව ඇතැයි වැලිඅමුණ වාර්තාව පෙන්වා දෙයි. ඒ අතර නීතිවිරෝධී සේවා කොන්ත්‍රාත්තු නුසුදුස්‌සන්ට තනතුරු ලබාදීම, අනතුරුදායක ආරක්‍ෂක හිඩැස්‌ පිළිබඳව ද වාර්තාවෙන් අනාවරණය කර ඇත.

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපතිවරයාව කටයුතු කළේ නිශාන්ත වික්‍රමසිංහ මහතා ය. ඔහු හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ සමීපතම නෑයෙකි. විමර්ශන වාර්තාව වැඩි වශයෙන් අනාවරණය කර තිබෙන්නේ මේ හිටපු සභාපතිවරයාගේ ගණුදෙනුය. චර්යාව ගැනය.

ඔහු ශ්‍රී ලංකන් ගුවන් සේවාවේ සිටින තරුණ ගුවන් සේවිකාවන් වෙත බොහෝ හිතවත්කම් දැක්‌වූ අයෙකු බව ද වාර්තාව කියා සිටී. ඒ හිතවත්කම ද, ගුවන් සේවය තිබූ තැනින් තවත් පහළට ගමන් කිරීමට හේතු වූ බව විමර්ශන මණ්‌ඩලය පෙන්වාදී තිබේ.

ඇමරිකානු ඩොලර් බිලියන 2.3 ක්‌ වියදම් කර අලුත් ගුවන් යානාවක්‌ ලබාගැනීමට වූ සූදානම ද මෙහිදී අනාවරණය කර තිබේ. ලාභදායී සහ කාර්යක්‍ෂම ගුවන් යානා තිබියදී මෙම ගුවන් යානය මිලට ගැනීම වෙනුවෙන් එවක ආණ්‌ඩුව පරිපාලනයේ වෙනස්‌කම් සිදු කර ඇති බවද හෙළිදරව් වී ඇත.

එම යානාව පමණක්‌ නොවේ ගුවන් සේවාව සඳහා යානා මිලට ගැනීම සඳහා ගෙන ගිය වැඩපිළිවෙළ ද අතිශය දූෂිත බව වැලිඅමුණ විමර්ශන කමිටුව ප්‍රකාශ කර සිටී. හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ මහතාට විරුද්ධව අපරාධ නීතිය යටතේ චෝදනා ඉදිරිපත් කර නඩු පවරා දඬුවම් නියම කිරීම සඳහා ගුවන් යානා මිලට ගැනීම සඳහා ගෙන ගිය දූෂිත ක්‍රියාමාර්ගය පමණක්‌ සෑහෙන බව ද කමිටු වාර්තාව කියා සිටී.

බිලියන ගණනක්‌ වැය කර ගුවන් යානා මිලට ගන්නා ශ්‍රී ලංකන් ගුවන් සේවාව සුඛෝපභෝගී මෝටර් රථයක්‌ මිලට ගැනීම එතරම් සැලකිල්ලට ගත යුත්තක්‌ද යන්න සාධාරණ සිතිවිල්ලකි. එහෙත්, එය ද වරදක්‌ බව විමර්ශන කමිටුව කියා සිටී. නිශාන්ත වික්‍රමසිංහ මහතා තම සුඛ විහරණය සඳහා අති සුඛොපභෝගී, ජවයෙන් යුක්‌ත මෝටර් රථයක්‌ ගෙන්වා ගෙන ඇත. ඒ සඳහා ශ්‍රී ලංකන් ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා සමග එහිදී අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර ඇතැයි ද වැලිඅමුණ විමර්ශන කණ්‌ඩායම නිශාන්ත වික්‍රමසිංහ මහතාට චෝදනා කරයි. මෙකී වාහනය ඔහු ගෙන්වා ගෙන තිබෙන්නේ ශ්‍රී ලංකන් ආයතනයෙන් ඔහු ලබාගත් මර්සිඩීස්‌ බෙන්ස්‌ රථයට සහ සුපිරි ප්‍රාඩෝ රථයට අමතරවය.

ශ්‍රී ලංකන් සඳහා නව ගුවන් යානා මිලට ගැනීම දූෂිත ගනුදෙනුවකි. ගුවන් සේවාව විසින් ගුවන් ටැක්‌සි සේවාවක්‌ අරඹා අතරමගදී එය අතහැර දමා ඇත. ඒ වෙනුවෙන් කර තිබෙන මුදල් නාස්‌තිය හා සසඳද්දී පෙරකී මෝටර් රථ ගනුදෙනුව සාගරය මතට දිය දොaතක්‌ වැටෙනවා හා සමාන බවද කමිටුව පෙන්වා දේ.

මේ සියලු දූෂිත ගණුදෙනු අතරේ නිශාන්ත වික්‍රමසිංහ විසින් ශ්‍රී ලංකන් ගුවන් සේවිකාවක්‌ ජනාධිපති ලේකම් කාර්යාලයේ සේවයට මුදාහැර ඇත. ඒ ලලිත් වීරතුංග හිටපු ජනාධිපති ලේකම්වරයාගේ ඉල්ලීම මතය. ජනාධිපති ලේකම් කාර්යාලයට අනුයුක්‌ත කළ මෙම රූමත් ගුවන් සේවිකාව හිටපු ජනාධිපති පුත් නාමල් රාජපක්‍ෂගේ දේශපාලන කටයුතු සඳහා නිදහස්‌ කර ඇති බවටද චෝදනා එල්ලකර තිබේ. එහෙත් ඇය. නාමල් මන්ත්‍රීවරයා වෙනුවෙන් කළ සේවාවන් මොනවාද යන්න පිළිබඳව කිසිදු තැනක වාර්තා සටහන්ව නැත.

සාමාන්‍යයෙන් ගුවන් සේවිකාවක උඩු ගුවනේ රාජකාරි කරද්දී ඒ වෙනුවෙන් ද විශේෂ දීමනාවක්‌ ලබාදේ. එහෙත් උඩු ගුවනේ සිට කිසිදු රාජකාරියක්‌ නොකළ, ජනාධිපති
ලේකම් කාර්යාලයේ සිටි තරුණ මන්ත්‍රීවරයකුගේ අවශ්‍යතාවන් සඳහා කැපවී සිටි බව කියන මෙම ගුවන් සේවිකාවට උඩු ගුවන් දීමනාවද ගෙවා ඇත. ජනාධිපති ලේකම් කාර්යාලය උඩු ගුවනේ ගමන් කරන ගුවන් යානාවක්‌ සේ සලකා මෙම ගුවන් සේවිකාවට රුපියල් ලක්‌ෂ 42 කට අධික අමතර දීමනාවක්‌ ගෙවා ඇතැයි දූෂණ විමර්ශන කමිටුව පෙන්වා දේ.

මෙම මුදල යළි අයකර ගන්නා ලෙසත්, ජනතාවගේ මුදල් මෙසේ අයථා ලෙස පරිහරණය කිරීම සඳහා ඇයට අනුබල දුන් නිලධාරීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසටත්

වැලිඅමුණ විමර්ශන කමිටුව අවධාරණය කර සිටී.

ශ්‍රී ලංකන් ආයතනයට සේවය සඳහා බැඳීම පහසු නොවේ. ඒ සඳහා තරග විභාග ඇත. මේ තරග විභාගවලට පෙනී සිට සමත් වූවන්

රැකියාව සඳහා තෝරා ගැනේ. එහෙත් පැවැති පාලනාධිකාරය විභාගවලින් අසමත්වූවන්ටද

රැකියා ලබාදී ඇත. ඒ බලධාරීන්ගේ කටවචනයට ගරු කරමිනි.

හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ ගුවන් සේවිකාවන්ට දැක්‌වූ හිතවත්කම තහවුරු කරන තවත් සාක්‍ෂියක්‌ විමර්ශන කමිටුව පෙන්වා දේ. ඒ ඔහුට හිතවත් ගුවන් සේවිකාවක්‌ "ශ්‍රී ලන්කන් ගුවන් සේවා සන්නාම තානාපතිනිය" ලෙස පත්කර ගැනීමෙනි. ශ්‍රී ලන්කන් කාර්ය මණ්‌ඩලයේ එවන් තනතුරක්‌ නොමැති බව පවසන විමර්ශන වාර්තාව මෙම සන්නාම තානාපතිනිය සමග හිටපු සභාපතිවරයා ශ්‍රී ලංකන් ගුවන් යානාවලින් පමණක්‌ නොව ගුවන් සමාගමේ මුදලින් වෙනත් ගුවන්යානාවලින්ද ලෝකය පුරා සවාරි ගසා ඇතැයිද වැලිඅමුණ වාර්තාව සඳහන් කරයි.

ශ්‍රී ලන්කන් සමාගමේ ඉහළ තනතුරු දැරූ කිහිප දෙනෙක්‌ තවත් සමාගම්වල තනතුරු දරමින් වැටුප් දෙක තුනක්‌ ලබාගෙන ඇතැයිද විමර්ශන මණ්‌ඩලය අනාවරණය කරයි.

හිටපු ජනාධිපතිවරයාගේ තවත් පුතකු වන යෝෂිත රාජපක්‌ෂ මහතාද ශ්‍රී ලන්කන් ගුවන් යානා යොදා ගනිමින් මෝටර් රථ අමතර කොටස්‌ නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වීමේ ජාවාරමක්‌ කරගෙන ගිය බව වාර්තාවේ සඳහන් වේ. ඔහුගේ මෙම නීති විරෝධී ක්‍රියාවට ලන්ඩන්හි ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ කළමනාකරු විරුද්ධ වී ඇත. වරදකරුට දඬුවම් කිරීම නොව පාලනාධිකාරිය කර තිබෙන්නේ වරදට එරෙහිවූ පුද්ගලයාට වහා ලන්ඩන් නුවරින් වෙනත් තැනකට මාරු කිරීමයි. ඒ හිටපු ජනාධිපතිවරයාගේ නියෝගයක්‌ මත බවද වාර්තාව කියා සිටී.

ප්‍රධාන ගුවන් නියමුවන් දෙදෙනකු අතින් සිදු වන්නට වූ භයානක ගුවන් අනතුරු දෙකක්‌ද පරීක්‍ෂණ නොපවත්වා ඥති හිතමිත්‍රාදිකම් මත යට ගැසීමට ගුවන් සමාගම කටයුතු කර ඇතැයිද විමර්ශන වාර්තාවේ සඳහන්ය.

වාර්තාව පෙන්වා දෙන තවත් භයානක කරුණක්‌ නම් ශ්‍රී ලන්කන් ගුවන් සේවය හරහා ඇතැමුන් මිනිස්‌ ජාවාරම් සිදුකළ බවට මතුව ඇති සැකයයි. මෙම ජාවාරම සඳහා සම්බන්ධවූ මාණ්‌ඩලික නිලධාරීන් දෙදෙනකුට එරෙහිව පාලනාධිකාරිය කිසිදු පියවරක්‌ ගෙන නැතැයිද ඇතැම් ගුවන් සේවකයන් මිනිස්‌ ජාවාරම්කරුවන් සමග සෘජුවම සබඳතා පවත්වා ඇතැයිද වාර්තා වී ඇත.

කිසිදු විධිමත් පටිපාටියකින් තොරව බඳවාගෙන ඇති ගුවන් සේවා ආරක්‌ෂක නිලධාරියකු පිළිබඳවද විමර්ශන වාර්තාව පෙන්වා දේ. විශ්‍රාමික මේජර් ජෙනරාල්වරයකු වන ඔහුට ගුවන් සේවා ආරක්‌ෂක කටයුතු පිළිබඳ කිසිදු අත්දැකීමක්‌ නැතැයි පවසන විමර්ශන වාර්තාව ඔහුට රුපියල් හාරලක්‍ෂ හැටපන්දහසක මාසික වැටුපක්‌ද ලබාදී ඇතැයි පවසයි. ඔහු කළේ ගුවන් සේවාවේ ආරක්‌ෂක කටයුතු නොව දේශපාලන කටයුතු බවද වාර්තාව සඳහන් කර සිටී. මෙම පුද්ගලයාගේ සේවය වහා අත්හිටුවන ලෙසද විමර්ශන කමිටුව නිර්දේශ කර ඇත. එපමණක්‌ නොව ඔහු පිළිබඳ වහා විනය පරීක්‍ෂණයක්‌ පැවැත්විය යුතු බවටද යෝජනා කර ඇත.

ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට ආධුනික ගුවන් නියමුවන් බඳවා ගනිද්දී එහි ලකුණු මට්‌ටම පහළ දැමීමටද පාලකයන් තීරණය කර ඇත. එහෙත් මෙම තීරණයට විරෝධය දැක්‌වූ පැට්‌ටි්‍රක්‌ ප්‍රනාන්දු සහ රංගා අමදෝරු යන ජ්‍යෙෂ්ඨ ගුවන් නියමුවන් දෙදෙනා සිය තනතුරුවලින් ඉල්ලා අස්‌වී ඇත. ආධුනික ගුවන් නියමුවන් ලෙස 2013 දී නුසුදුස්‌සන් තෝරා ගැනීම වැළකී ගියේ මෙම ජ්‍යෙෂ්ඨ ගුවන් නියමුවන් දෙදෙනා ගත් එඩිතර තීරණය නිසා බව ප්‍රශංසා මුඛයෙන් පවසන වැලිඅමුණ විමර්ශන කණ්‌ඩායම සම්මත වෘත්තීය ප්‍රමිතීන් ආරක්‍ෂා කිරීමට ඔවුන් දෙදෙනා ගත් සුවිශේෂී අභීත තීරණය පිළිබඳ අගය කළ යුතු බවටද යෝජනා කර ඇත.

සාමාන්‍යයෙන් ශ්‍රී ලන්කන් ගුවන් යානා තුළදීද තීරු බදු රහිත මිලට මත්පැන් ඇතුළු භාණ්‌ඩ මිලට ගැනීමට මගීන්ට හැකිය. මෙම අලෙවියේදී වංචා රැසක්‌ සිදුව ඇති බව හෙළිවී තිබේ. ඒ පිළිබඳ විධිමත් ලෙස අපරාධ නීතිය යටතේ පරීක්‍ෂණ කළ යුතු බවටද නිර්දේශ කර ඇත. එපමණක්‌ නොව ශ්‍රී ලන්කන් ප්‍රධාන අලෙවි නියෝජිතයන් ලෙස රටවල් ගණනාවකට පත්කර තිබෙන්නේද විෂමාචාර ක්‍රියාවන්ට සම්බන්ධ වූවන් බවද මණ්‌ඩලය චෝදනා කරයි.

මේ වන විට ආන්දෝලනයට ලක්‌ව සිටින රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග සහ නිලාන් ආරියවංශ දෙදෙනා මෙසේ අලෙවි නියෝජිතයන් පත්කිරීමේදී මැදිහත්වීම කර ඇතැයිද ඒ පිළිබඳ අපරාධ පරීක්‍ෂණයක්‌ ඇරැඹිය යුතු බවද වැලිඅමුණ විමර්ශන මණ්‌ඩලය අවධාරණය කරයි.

මේ අදාළ වාර්තාවේ සඳහන් ශ්‍රී ලන්කන් විෂමාචාර ක්‍රියා සහ වංචාවන් කීපයක්‌ පමණි. මේ පිළිබඳ අපරාධ නීතිය යටතේ කටයුතු කළ යුතු බවට ඡේ. සී. වැලිඅමුණ මහතා ප්‍රමුඛ විමර්ශන මණ්‌ඩලය නිර්දේශ කර ඇත.

පැවැති ආණ්‌ඩුව වංචාකරුවන් දූෂිතයන් සිටින බවට පුන පුනා ප්‍රකාශ කරන වත්මන් ආණ්‌ඩුව මෙතෙක්‌ ඒ බව ක්‍රියාවෙන් පෙන්වා දී නැතැයි ජනතාව ප්‍රකාශ කරති. අඩුම තරමේ විධිමත් විමර්ශන මණ්‌ඩලයක්‌ විසින් අනාවරණය කරගත් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ වංචා දූෂණ සහ අක්‍රමිකතාවන්ට වගකිව යුත්තන්ට එරෙහිව හෝ නීතිය ක්‍රියාත්මක කරන්නේද යන්න රටේ ජනතාව විමසිල්ලෙන් යුක්‌තව බලා සිටිති.

අජිත් අලහකෝන්

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.