අනාවැකිය
සංස්‌කෘතික ආවර්ජනා

සිංහල සංස්‌කෘතියට තර්ජන දෙකක්‌ වෙයි. අවුරුදු කටේ දී ඒ පිළිබඳ කෙටියෙන් කෙරෙන හැඳින්වීමකි. පළමු තර්ජනය සිංහල සංස්‌කෘතියෙහි විරුද්ධවාදීන්ගෙනි. ඔවුහු සිංහල සංස්‌කෘතිය දඬු කඳේ ගසති. සිංහල සංස්‌කෘතිය ගැන කතාකරන්නන් ළිං මැඩියන්, පසුගාමීන්, ආදීන් ලෙස හඳුන්වමින් ඔවුහු බටහිර මතවාද පට්‌ටා ගසති. ඔවුන්ගෙන් සමහරෙක්‌ පඬියෝ වෙති, එසේත් නැත්නම් ප්‍රබුද්ධයෝ වෙති. ඒ අතර පිචං නමින් හැඳින්වෙන්නෝ ද ජාතිවාදීන් ගැන මැත දොඩවති. පිචං ප්‍රබුද්ධයෝ ද අප ළිංමැඩියන් ලෙස හඳුන්වති.

ඔවුහු ජ්‍යෙdතිෂයට අවඥා කරති. පෘථිවිය හා ග්‍රහ වස්‌තු සූර්යයා වටා අචල ඉලිප්සවල ගමන් නොකරන බව පීචං ප්‍රබුද්ධයෝ නො දනිති. එමෙන් ම ඔවුන් නොදන්නා කරුණක්‌ නම් කොපර්නිකස්‌ට පෙර භාරතයේ ගණිතඥයන් පොළොව සූර්යයා වටේ ගමන් කරන බව දැන සිටි බව ය. ඔවුහු බටහිර විද්‍යාව පට්‌ටපල් බොරු යෑයි කී විට කිපෙති. ඔවුන් බටහිර විද්‍යාවට කිසිම ප්‍රදානයක්‌ කර නැති වුවත් බටහිර විද්‍යාව වෙනුවෙන් පෙනී සිටිති. ඔවුන් ජ්‍යෙdතිෂය පදනම් වී ඇත්තේ පොළොවට සාපේක්‍ෂ චලිතය මත බව දන්නා බවක්‌ නො පෙනෙයි. නිරපේක්‍ෂ චලිතයක්‌ නැති විට චලිතය කුමකට සාපේක්‍ෂව ගන්නේ ද යන්න ප්‍රශ්නයක්‌ නො වේ.

මේ සියල්ලන් අවුරුදු ගණනාවක්‌ තිස්‌සේ තම ප්‍රචාරක කටයුතු කරගෙන යන නමුත් සමාජය විසින් සමස්‌තයක්‌ ලෙස ඔවුහු නොසලකා හැරෙති. එහෙත් ඔවුන්ගේ බලපෑම අන්තර්ජාලයේ හෙවත් සයිබර් අවකාශයේ සැරිසරන තරුණයන්ට වෙයි. එය ඉදිරි කාලයේ දී තරමක ප්‍රශ්නයක්‌ වනු ඇත්තේ මේ තරුණයන් සයිබර් අවකාශයෙන් පිටතට නො එන බැවිනි. ඔවුන්ට අනුව ජාතිය යනුවෙන් දෙයක්‌ නැත. සියල්ලෝ මනුෂ්‍යයෝ වෙති. එහෙත් ඔවුන්ට අමතක කරුණක්‌ නම් සියලු සිරකරුවන් ද මනුෂ්‍යයන් වන බව ය. ඔවුන් එහි අනෙක්‌ පැත්ත අසාවත් නැත. එනම් සියලු මනුෂ්‍යයන් හිරකරුවන් බව ය.

ජාතියක්‌ සංස්‌කෘතියක්‌ නැතැයි කියන්නෝ ඊනියා මනුෂ්‍යත්වයක හිරකරුවෝ වෙති. ඔවුහු ඊනියා විශ්ව ගම්මානයක වැසියෝ වෙති. එහෙත් මේ ගම්මානයේ ගම්මුලාදෑනියා ඔබාමා බව ඔවුහු අමතක කරති. ගම්මුලාදෑනියා අප හිරකර ඇත. ඒ හිරගෙදර ෙ-ලර්ලා බටහිර උගත්තු වෙති. ෙ-ලර්ලාගේ ආධාරයට අප වැනි රටවල උගත්තු වෙති. මේ ආධාරකරුවෝ ද හිරකාරයෝ ම වෙති. ඔවුන් දන්නේ බටහිර දැනුම පුනරුච්චාරණය කිරීම පමණකි. ඔවුහු අපට ජාතිය ගොඩ නැගීමක්‌ ගැන කියති. ඊනියා සංහිඳියාවක්‌ ගැන කියති. ඒ මගින් සිංහලත්වය නැතිකිරීමට උත්සාහ කරති.

එහෙත් ඔවුන්ට වඩා සිංහලයන්ට තර්ජනයක්‌ වන්නේ සිංහලයන්ගේ පැත්තේ සිට කතාකරන්නේ යෑයි කියන පඬිවරුන් ය. ඒ පඬිවරු ගිහි පැවිදි දෙපක්‍ෂයේ ම දැකගත හැකි ය. ඔවුහු ද ඇතැම් විට ලාංකික සංස්‌කෘතියක්‌ ගැන කතාකරති. එහෙත් මේ ලාංකික සංස්‌කෘතිය කුමක්‌දැයි නො කියති. මෙරට ඇති සංස්‌කෘතිය කුමක්‌ ද? එය බහු සංස්‌කෘතියක්‌ ද? ඉහත කී පඬියන්ට අනුව නම් මෙරට බහු සංස්‌කෘතික ය. එහෙත් ලෝකයේ බොහෝමයක්‌ රටවල් බහු සංස්‌කෘතික ය. එසේ වුවත් ඔවුන් නොදකින කරුණක්‌ ඇත. එනම් ඔය කියන බහු සංස්‌කෘතික රටවල එක්‌කෝ අධිපතිවාදී සංස්‌කෘතියක්‌ නැත්නම් විශේෂිත සංස්‌කෘතියක්‌ ඇති බව ය.

එංගලන්තයේ විවිධ සංස්‌කෘතිවල ජනයා වෙසෙති. එහෙත් එරට අධිපතිවාදී සංස්‌කෘතියක්‌ වෙයි. ඒ අන් කිසිවක්‌ නොව ඇංග්ලො සැක්‌සන් ක්‍රිස්‌තියානි සංස්‌කෘතිය යි. හෙට අනිද්දා සෙනසුරාදා හෝ ඉරිදා හෝ දිනයක එංගලන්තයේ වාසය කරන සිංහලයන් අවුරුදු උත්සව පවත්වනු ඇත. ඔවුන්ට අප්‍රේල් 14 වැනි දා අඟහරුවාදා බැවින් නිවාඩු නැත. එබැවින් අවුරුදු උත්සවය පැවැත්වීමට සෙනසුරාදා වන තුරු බලා සිටීමට සිදු වී ඇත. එහෙත් එංගලන්තයේ පාස්‌කුවට නිවාඩු ලැබේ. පැහැදිලිවම එංගලන්තයේ සිංහල සංස්‌කෘතිය හා ඉංගිරිසි ක්‍රිස්‌තියානි සංස්‌කෘතිය සම තත්ත්වයෙහි ලා නො සැලකෙයි.

එහෙත් එංගලන්තයේ උගත්තු එය බහු සංස්‌කෘතික රටක්‌ යෑයි කියමින් සිංහල අවුරුදු දිනයට නිවාඩු දිය යුතු යෑයි නො කියති. එංගලන්තයේ වෙසක්‌ උත්සවයට ද නිවාඩු නැත. එහි වාසය කරන සිංහල බෞද්ධයෝ වෙසක්‌ දිනයට පසුව එන සෙනසුරාදා හෝ ඉරිදා හෝ දිනයක සිල් සමාදන් වෙති. බොහෝ විට සිංහල බෞද්ධයනට පෙහෙවස්‌ රැකීමට සිදු වී ඇත්තේ ක්‍රිස්‌තියානි සංස්‌කෘතියෙහි සබත් දිනය වූ ඉරිදා ය. එංගලන්තයේ ඇංග්ලො සැක්‌සන් සංස්‌කෘතික ආධිපත්‍යය එබඳු ය. මෙරට ක්‍රිස්‌තියානි භක්‌තිකයනට පාස්‌කුව හතර පෝයෙන් එක්‌ දිනක සැමරීමට කිවහොත් කුමක්‌ සිදුවේ ද?

එහෙත් ඒ එසේ සිදු නො වේ. ඉංගිරිසි යටත්විජිත සමයේ දී ඒ සියල්ල සකස්‌ කෙරී අවසන් වී තිබිණි. සිංහල බෞද්ධයනට නම් වෙසක්‌ දිනය හා අවුරුදු දිනය නිවාඩු දින කර ගැනීමට සටන් කිරීමට සිදුවිය. මෙරට ප්‍රශ්නය අන් කිසිවක්‌ නොව සිංහල බෞද්ධ සංස්‌කෘතියට හිමි තැන තවමත් නො ලැබීම ය. සිංහල පමණක්‌ රාජ්‍ය භාෂාව කිරීම, සිංහලෙන් පමණක්‌ ජාතික ගීය ගැයීම ආදිය සිංහල බෞද්ධ සංස්‌කෘතියට හිමි තැන ලබාදීම පිළිබඳ සංකේත පමණකි. එහෙත් අද ඊනියා බහු සංස්‌කෘතිය හා මානව අයිතිවාසිකම් යටතේ එය ද නැති වන දිශාවට කටයුතු සිද්ධ වෙයි. සිංහල බැරි නම් චීන, හින්දි හෝ අරාබි හෝ එංගලන්තයේ රාජ්‍ය භාෂාවන් වී එහි ජාතික ගීය ඒ භාෂාවලින් ගැයෙන්නේ කවදා ද?

අප කුඩා කල සිංහල අවුරුද්දක්‌ නො වී ය. එදා තිබුණේ අවුරුද්ද හා ජනේරුව ය. අවුරුද්ද බක්‌ මාසයේ ද ජනේරුව ජනවාරි පළමුවැනිදා ද පැවැත්විණි. එහෙත් අද ජනේරුවක්‌ නැත. එය අවුරුද්ද බවට පත් වී ඇත. බක්‌ මාසයේ දැන් ලබන්නේ අවුරුද්ද නොව සිංහල අවුරුද්ද ය. එය එකල බටහිර වෙදකම ඉංගිරිසි බෙහෙත් ලෙස ද වෙදමහතාගේ වෙදකම බෙහෙත් ලෙස ද හඳුන්වනු ලැබූ පරිදි ය. අද එය ද වෙනස්‌ වී ඇත. වෙදමහතා සොයා අප යන්නේ සිංහල බෙහෙත් ගැනීම සඳහා ය. බෙහෙත් ගැනීමට අපි බටහිර වෛද්‍යවරයා සොයා යමු. සමාජ පිළිගැනීම වෙනස්‌ වී ඇත්තේ ඒ ආකාරයට ය.

අවුරුද්ද සිංහලයන්ගේ විශිෂ්ට නිර්මාණයකි. එය සිංහලයන්ට උරුමව ඇත්තේ යක්‍ෂ ගෝත්‍රිකයන්ගෙන් යෑයි මම සිතමි. මෙහි ගෝත්‍රය යන්න යෙදෙන්නේ බටහිරයන්ගේ ට්‍රයිබ් යන පටු අර්ථයෙන් නො වේ. අනිද්දා යාපනයට හෝ චෙන්නායි හෝ ගියහොත් සිංහලයන් පවත්වන ආකාරයෙන් එහි අවුරුද්දක්‌ නොපැවැත්වෙන බව දැකගත හැකි වනු ඇත. එබැවින් අවුරුද්දට සිංහල හා දෙමළ අවුරුද්ද යෑයි කීම වැරදි ය. එය සුද්දන්ගේ ව්‍යවහාරයකි. නිවාඩු දින අතර ඊනියා සමානත්වයක්‌ ඇති කිරීමට ඉංගිරිසිහු අවුරුද්ද සිංහල හා හින්දු අවුරුද්ද ලෙස හැඳින්වූහ. මැත කාලීන පඬියකු සිංහල යන්න දෙමළ සමග මිස හින්දු සමග ගැට ගැසිය නොයුතු ය යන ව්‍යාජ පඬි පදනමෙන් එය සිංහල දෙමළ අවුරුද්ද ලෙස නම් කළේ ය. ඇතැමුනට අනුව එය සිංහල දමිළ අවුරුද්ද විය යුතු ය. තවත් පඬියනට අනුව එය ලාංකික අවුරුද්ද විය යුතු ය.

දෙමළ ජනයා පමණක්‌ නොව ලංකාවේ මුස්‌ලිම් ජනයා ද අවුරුදු උත්සවය පවත්වනවාට මගේ විරුද්ධතාවක්‌ නැත. නැකැත් නැති මුස්‌ලිමුනට අවුරුද්දට පල්ලි ගොස්‌ වෙනත් අවුරුදු සිරිත් විරිත් ඉටු කළ හැකි ය. එහෙත් ඒ කොයි කවුරුනුත් එහි දී තමන් කරන්නේ සිංහල සංස්‌කෘතියට අවශෝෂණය වීමක්‌ බව තේරුම් ගත යුතු ය. ජාතිය ගොඩ නැගිය යුතු ය කියන විවිධාකාර පඬියන්ට අප මතක්‌ කර දෙන්නේ සිංහලයන් ජාතිය ගොඩ නැගුවේ බටහිර යුරෝපයේ ධනපති විප්ලවය ඇති වීමට පෙර බව ය. ජාතිය ගොඩ නැගීමට ධනපති විප්ලවය පුර්ව කොන්දේසියක්‌ විය යුතු යෑයි කියන බටහිර වියුක්‌ත දැනුම පට්‌ටපල් බොරුවකි.

මෙරට අවුරුදු දහස්‌ ගණනක සිට සිංහල ජාතියක්‌ ඇත. අවුරුදු හත්සියයකට පමණ පෙර වත්මන් දකුණු ඉන්දියාවෙන් පැමිණි දෙමළ කතාකරන මුස්‌ලිම් ජනයා ද ලන්දේසි සමයේ ගෙන්වනු ලැබූ දෙමළ ජනයා ද තවමත් ජාතියට එකතු වී නැත. බටහිරයෝ හා ඉන්දියානුවෝ එසේ එකතු වීමට ඉඩ නො දෙති. ඉංගිරිසින්ට විරුද්ධව සටන් කළෝ සිංහලයෝ පමණක්‌ වෙති. අද කළ යුත්තේ ජනවර්ග ජාතියට එකතු කර ගන්නේ කෙසේ දැයි සාකච්ඡා කිරීම මිස ඊනියා බහු සංස්‌කෘතියක්‌ හා ජාතිය ගොඩනැගීමක්‌ ගැන කතා කිරීම නො වේ. තම තමන්ගේ සංස්‌කෘතීන් ආරක්‍ෂා කර ගන්නා අතර ජනවර්ග ජාතියේ පොදු සංස්‌කෘතියට අවශෝෂණය විය යුතු ය. ජාතියේ විශේෂිත (අධිපතිවාදී නො වේ) සංස්‌කෘතිය සිංහල බෞද්ධ සංස්‌කෘතිය බව ඔවුන් පිළිගත යුතු ය. මේ අවුරුද්දේ වෙන කිසිවක්‌ කිරීමට නොහැකි නම් සියල්ලන් පන්සලට, කෝවිලට පල්ලියට ගොස්‌ කිරිබත් කා බෙදාහදා ගැනීමක්‌ කළ හැකි නම් එය වැඩ ඇල්ලීමක්‌ වනු ඇත.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.