ඉන්දීය ඔත්තු සේවය ලංකාවට?

2008 නොවැම්බර් 26 වැනිදා එල්ල වූ ත්‍රස්‌ත ප්‍රහාරයෙන් ඉන්දියාවම කම්පනයට පත්විය. එය 2001 සැප්තැම්බර් 11 වැනිදා ඇමරිකාවට එල්ල වූ ප්‍රහාරය හා සමානවම සමස්‌ත දකුණු ආසියාවම කම්පනය කළ බව අමුතුවෙන් කිවයුතු නැත. මේ ප්‍රහාරය සඳහා පකිස්‌තාන ජාතික මුජහිදීන්වරු දස දෙනෙක්‌ පැමිණි අතර එයින් නවදෙනකු මරා දමා 21 හැවිරිදි අඡ්මාල් කසාබ් අත්අඩංගුවට ගෙන සම්පූර්ණ ප්‍රහාරය මැඬපවත්වන්නට පැය හැටකට අධික කාලයත් ඉන්දීය ආරක්‍ෂක අංශවලට ගතවිණි. මුම්බායි පොලිසිය මගින් අත්අඩංගුවට ගත් අඡ්මාල් කසාබ් පාපොච්චාරණය කළේ තම කණ්‌ඩායමේ අරමුණ වූයේ අවම වශයෙන් පන්දහසක්‌ පමණ මරා දැමීම බවයි. අද අඡ්මාල් කසාබ්ද ජීවතුන් අතර නැත. මීට වසර දෙකකට පෙර එම ත්‍රස්‌තවාදියාද එල්ලා මරණ ලදී. එල්ලා මැරීමට සූදානම් වූ දිනයේ සිය අවසන් ආහාරය ලෙස තක්‌කාලි කෑමට අවශ්‍ය බව කසාබ් ප්‍රකාශ කර තිබිණි.

අඡ්මාල් කසාබ් තක්‌කාලි ආහාරයට ගැනීම ගැන අපට ප්‍රශ්නයක්‌ නැත. මේ අතීත සිදුවීම් නැවත මෙනෙහි කළේ ශ්‍රී ලංකාවේ පකිස්‌තාන තානාපති කාර්යාලයේ වීසා භාරව සිටි නිලධාරියා වූ අමීර් සුබයිර් සිද්දීක්‌ නමැති නිලධාරියාගේ මෙහෙයවීමෙන් දකුණු ඉන්දියාවේ වැදගත් ස්‌ථාන 20 කට ප්‍රහාර එල්ල කිරීමේ ත්‍රස්‌ත මෙහෙයුමක්‌ පිළිබඳව තොරතුරු ඉන්දීය බුද්ධි අංශ, විශේෂයෙන්ම ජාතික පරීක්‍ෂණ ආයතනය විසින් සොයාගෙන පුද්ගලයන් කිහිපදෙනකුද අත්අඩංගුවට ගෙන ඇති නිසාය. මේ හෙළිදරව්ව සිදුකරනු ලැබුවේ අද ඊයේ නම් නොවේ. මීට මාස ගණනාවකට ප්‍රථමය. ඒ කාලයේ මහින්ද රාජපක්‍ෂ මහතාගේ රජය මේ ගැන පරීක්‍ෂණ පැවැත්වීම සඳහා ඉන්දීය ඔත්තු සේවා නිලධාරීන්ට ලංකාවට පැමිණීමට ඉඩ ලබාදුන්නේ නැත. නමුත් දැන් ආණ්‌ඩු මාරුව සිදු වී ඇති නිසා තමන්ට ලංකාවට පැමිණීමට ඉඩ දෙන්නැයි ඉන්දීය බුද්ධි අංශ නිලධාරීහු ඉල්ලා සිටිති. මෙයට යහපාලන ආණ්‌ඩුව ඉඩ ලබාදෙයිද? මේ නිසා පකිස්‌තානය හා ශ්‍රී ලංකාව අතර ඇති යහපත් රාජතාන්ත්‍රික සම්බන්ධතා පලුදුවෙයිද? මෙය තරමක අර්බුදකාරී තත්ත්වයකි. අයි.එස්‌.අයි. හෙවත් පකිස්‌තාන ඔත්තුසේවාව ශ්‍රී ලාංකිකයින්ද යොදවාගෙන සිදුකළ මේ කුමන්ත්‍රණය පිළිබඳව නිවැරදි තොරතුරු සොයා ගැනීමට ඉන්දියාවට අවශ්‍යව ඇතත් ඒ සඳහා ඔවුන්ට ලංකාවට පැමිණීමට ඉඩදිය යුතුද යන ප්‍රශ්නය මතුවේ.

මේ රාජතාන්ත්‍රික අර්බුදය හමුවේ මෙරට නීතිපති දෙපාර්තමේන්තුවද ඉන්දීය ඔත්තුසේවා නිලධාරීන්ට ලංකාවට පැමිණීම සඳහා කොල එළි දල්වා නැත. එය එක්‌පැත්තකින් සාධාරණය. ඉන්දියාව කොටි සාමාජිකයින්ට දොහෙරාදාන්හිදී රෝ සංවිධානය හරහා අවි ආයුධ පුහුණුව ලබාදුන් බව ශ්‍රී ලංකා රජය දැනගෙන සිටියද මෙරට බුද්ධි අංශ ඒ කඳවුරු පරීක්‍ෂා කරන්නට උත්සාහ කළේ නැත. පකිස්‌තාන තානාපති කාර්යාලයේ රහස්‌ මෙහෙයුම් පිළිබඳව ශ්‍රී ලංකා රජයට වගකිව නොහැකිය. ඔවුනට රාජතාන්ත්‍රික රැකවරණය තිබේ.

ඉන්දීය ජාතික පරීක්‍ෂණ ආයතනයේ (එන්.අයි.ඒ) හි ප්‍රධානී ශරාද් කුමාර් පවසන්නේ ශ්‍රී ලංකාවේ පකිස්‌තාන තානාපති කාර්යාලයේ වීසා භාර නිලධාරියා මෙහෙයවූ කුමන්ත්‍රණයේ ඉලක්‌ක වී තිබුණේ චෙන්නායිහි ඇමරිකානු කොන්සල් කාර්යාලය, බැංගලෝරයේ ඊශ්‍රායල් කොන්සාල් කාර්යාලය, විශාකාපට්‌නම් හි ඉන්දීය සම්බැරීන අංගනය, කලිපක්‌කම් න්‍යෂ්ටික බලාගාරය, තමිල්නාඩුවේ තන්ජවූර් ගුවන් හමුදා කඳවුරු ඇතුළු වැදගත් ස්‌ථාන රැසකි. මේ කුමන්ත්‍රණ සාර්ථක වූවානම් එය 2008 ප්‍රහාරයටත් වඩා ඉන්දියාවම ත්‍රස්‌ත භීතියෙන් සලිත කිරීමට සමත් වනු ඇත.

අමීර් සුබයිර් සිද්දීක්‌ විසින් දකුණු ඉන්දියාවේ මෙම ප්‍රහාරක ඉලක්‌කවල තොරතුරු සොයා බැලීම සඳහා යොදාගත් ඔත්තුකරුවන් තිදෙනාව එරට බුද්ධි අංශ මගින් අත්අඩංගුවට ගැනීමත් සමඟ මේ කුමන්ත්‍රණය හෙළි විය. එයින් එක්‌ අයකු වන්නේ නුවර ප්‍රදේශයේ මුස්‌ලිම් ව්‍යාපාරිකයකු වන මුහමඩ් සකීර් හුසේන්ය. අනෙක්‌ තැනැත්තා කොළඹ ප්‍රදේශයේ දෙමළ ව්‍යාපාරිකයකු වූ අරුන් සෙල්වරාජන්ය. තමිල්නාඩුවේ තාන්ජවූර්හි තමීම් අන්සාරි නමැති පුද්ගලයාද මෙහි එක්‌ ඔත්තුකරුවෙකි. ඉන්දීය ඔත්තු සේවය 2014 වසරේදී ලංකාවට පැමිණ මේ ගැන වැඩිදුර පරීක්‍ෂණ පැවැත්වීමට අවස්‌ථාව ඉල්ලුවද එයට රාජපක්‍ෂ පාලනය එකඟ වූයේ නැත.

ඉන්දීය ඔත්තු සේවාවට වඩාත් අවශ්‍ය වී ඇත්තේ මෙම කුමන්ත්‍රණයට සම්බන්ධ තවත් ශ්‍රී ලාංකික මුස්‌ලිම් ජාතිකයකු වන මොහොමඩ් සුලෙයිමන් ගෙන් ප්‍රශ්න කිරීමටය. ඔහු මැලේසියාවේ දී අත්අඩංගුවට ගෙන ශ්‍රී ලංකාවට පිටුවහල් කර ඇත.

2008 නොවැම්බර් ප්‍රහාරය සඳහා මූලික සැලසුම් සකස්‌ කරනු ලැබුවේ පකිස්‌තාන අයි.එස්‌.අයි. ඔත්තු සේවාවේ මේජර් ශමීර් අලී හා මේජර් ඉක්‌බාල් විසිනි. ඔවුන් මුම්බායි නගරයේ පහරදිය යුතු ස්‌ථාන ඡායාරූපගත කර අවශ්‍ය තොරතුරු රැස්‌කර ගැනීම සඳහා එවනු ලැබුවේ පකිස්‌තාන සම්භවයක්‌ ඇති ඇමරිකානු ජාතිකයකු වූ ඩේවිස්‌ කෝල්මන් හෙඩ්ලිය. මොහු අවශ්‍ය තොරතුරු ලබාගෙන ලක්‌ෂාර් ඊ ටොයිබා සංවිධානයට ලබාදුන් නිසා ප්‍රහාරය සාර්ථක විය. අවසානයේ කෝල්මන් අත්අඩංගුවට ගනු ලැබුවේ ඇමරිකානු ආරක්‍ෂක අංශ විසිනි. දැන් ඔහු සිරගත කර ඇත.

ශ්‍රී ලංකාව මුස්‌ලිම් අන්තවාදී සංවිධානවල රහස්‌ කඳවුරක්‌ විය යුතු නැත. එහෙත් තානාපති කාර්යාල හරහා විශාල කුමන්ත්‍රණ සිදු වේ. ගාලු මුවදොර පිහිටි ඉන්දීය තානාපති කාර්යාලයේ රෝ ඔත්තුසේවා ප්‍රධානි ඉලන්ගෝවන් පොදු විපක්‍ෂය සමඟ කළ දේශපාලන මෙහෙයුම්ද දැන් ප්‍රකට වී ඇත. ඉන්දීය රෝ ඔත්තු සේවය මහින්ද රාජපක්‍ෂ ධුරයෙන් පහකිරීම සඳහා විශාල කාර්යභාරයක්‌ කළ බව රහසක්‌ නොවේ. අමීර් සුබයිර්ගේ කුමන්ත්‍රණය පිළිබඳ පරීක්‍ෂණවලට ඉඩ නොදීමද මේ අමනාපයට එක්‌ හේතුවක්‌ විය හැකිය. කවරක්‌ නමුත් ඉන්දීය ඔත්තුසේවාවන්ට ලංකාවට පැමිණීමට ඉඩ දෙනවාද යන්න පිළිබඳ යහපාලන ආණ්‌ඩුව වඩා කල්පනාකාරී විය යුතුය.

චතුර පමුණුව

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.