සුප්‍රකට ලාංකික චිත්‍රපට නිෂ්පාදක
මුජහදීන් හෙවත් කුඩු රජා


මේ පිංබිම ජාත්‍යන්තර මත් කුඩු ජාලය හා බද්ධ කළ මහ මොළකරු වූ කුඩු ඔටුන්න හිමි සිද්ධික්‌ කුමාරයා හෙවත් මොහොමඩ් සිද්ධික්‌ මෙරටින් පැන ගොස්‌ ඉන්දියාව වාසභූමිය කරගනිමින් සිය ගමන ගිය හැටි ඉකුත් සතියේ අපි මැනවින් සටහන් කළෙමු.

එහිදී සිද්ධික්‌ට එසේ ගමන යැම සඳහා මඟ පෙන්වමින් ජාත්‍යන්තර මත් කුඩු ජාලයේ කෙරුම්කරුවන් හා සබඳතා ගොඩනඟා දුන් ප්‍රකට චරිතයක්‌ පිළිබඳ කියන්නටද අමතක නොකළෙමු. විශේෂයෙන් ඉන්දීය ඩාවුඩ් ඊබ්‍රාහිම් කල්ලිය සමඟ සිද්ධික්‌ සබඳතා ගොඩනඟා ගනුයේ එකී සුපිරි චරිතයේ පිහිටෙනි.

එකී චරිතය වන්නේ මොහොමඩ් මුජහදීන් නොහොත් "ඩොක්‌ටර්"ය. මේ මුජහදීන් යනු සිද්ධික්‌ට ජාත්‍යන්තර මත් කුඩු ඒජන්තයන්ගේ සබඳතා ගොඩනඟා දී පසෙකට වී බකන්නිලාගෙන සිටි චරිතයක්‌ නම් නොවිණි. පැහැදිලිවම සිදු වූයේ මොහොමඩ් සිද්ධික්‌ ජාත්‍යන්තර කුඩු ඒජන්තවරුන් හා සම්බන්ධ වෙද්දී ඒ ඒජන්තයන් අතර සිටි මුජහදීන් නොහොත් "ඩොක්‌ටර්" හරහා සිද්ධික්‌ට මත් කුඩු තොග ඇති තරම් ලැබීම විය.

ඒ අනුව බලන කල පැහැදිලි වන තවත් කරුණක්‌ද ඇත. ඒ කවුරුන් කෙසේ කීවද වෙළේ සුදා, සිද්ධික්‌ ආදී ලෙසින් ගත් කල මුජහදීන් නොහොත් ඩොක්‌ටර් යනු මෙරටට මත්කුඩු පොම්ප කිරීමේ ජාලයේ ඉහළින්ම සිටින්නකු බවය. මෙකී මුජහදීන් යනු කවරෙක්‌ද?

හේ දැනට ස්‌ථානගතව සිටිනුයේ මැලේසියාව තුළය. ඒ එරට සිටින ප්‍රකෝටිපතියකු ලෙසිනි. මැලේසියාවේ ඇති මන්දිර දෙක තුනකම සහ හමර් සුපිරි රථ, ලැම්බෝගිනි ආදී ලෙසින් විශාල වත්කම් ප්‍රමාණයක හිමිකරුවකු වන මුජහදීන්ට මැලේසියානු භූමියේ සුපිරි ගොල්µa ක්‍රීඩාංගණයක්‌ද ඇත.

ඉකුත් කාලයේ ඇතැම් අවස්‌ථාවල මැලේසියාව බලා පිටත්ව ගිය අපේ දේශපාලන අප්පලා පමණක්‌ නොව ඒ අප්පලාගේ පුතුන් මෙන්ම අඹුවන්ද මුජහදීන් පිළිබඳ දැන හෝ නොදැන මැලේසියාවේදී නවාතැන් ගත්තේ ඔහුට අයත් මන්දිරවලය. මෙකී මුජහදීන් යනු මැලේසියා රජයෙන් ඉහළම ගෞරව නාමය පවා ලබා සිටින්නෙකි. ඒ ඔහුට ඇති ධනස්‌කන්ධය හේතුවෙනි.

එලෙස මැලේසියාවේ ජීවත් වුවද ශ්‍රී ලාංකිකයකු වූ මුජහදීන් ඉකුත් කාලයේ මෙරට තුළද බොහෝ දේ සිදු කරන්නට සමත්ව සිටියෙකි. හේ කුඩු ජාවාරමෙන් උපයා ගත් සිය මුදල් පොදි මෙරට තුළ ආයෝජනය කළේය. එක්‌ අවස්‌ථාවක මෙරට කලාකරුවන් හා සමීප වෙමින් චිත්‍රපටයක්‌ද නිෂ්පාදනය කළේය. එම චිත්‍රපටයේ අධ්‍යක්‍ෂවරයා වූයේ මෙරට නමගිය චිත්‍රපට අධ්‍යක්‍ෂවරයෙකි. නමුත් මුජහදීන් යනු කුඩු ඒජන්තයකු බව හේ දැන ගත්තේ සියල්ල සිදු කර කලක්‌ ගත වීමෙන් පසුව විය.

එසේ මුජහදීන් කවරෙක්‌දැයි දැන ගත් දිනයේ මෙකී චිත්‍රපට අධ්‍යක්‍ෂවරයා බියෙන් වෙව්ලා ගියේය. එහෙත් ඒ වන විට සියල්ල සිදුවී අවසන්ව තිබිණ. මුජහදීන් ශ්‍රී ලංකාව තුළදී ඇසුරු කළේ මෙරට සමාජයේ ඉහළම ස්‌ථරය විය. ඒ අතරේ කලාකරුවන්, ප්‍රකට දේශපාලනඥයන් මෙන්ම ව්‍යාපාරිකයෝද වූහ. නමුත් මුජහදීන් යනු කුඩු රජෙක්‌ බව ඉන් අති බහුතරය දැන නොසිටියේය.

එසේ මෙරට ප්‍රභූ+ සමාජයේ ගැවසුණ මුජහදීන්ට මෙරට තුළ අපූරු නෑකමක්‌ද තිබිණි. ඒ මීට කලකට ඉහත කොළඹ වෝඩ් පෙදෙසේ නිවසකදී සුපිරි මත්කුඩු කිලෝ ග්‍රෑම් හයක්‌ සමඟ පොලිස්‌ අත්අඩංගුවට පත් වූ කුඩු සියාම්, මුජහදීන්ගේ මස්‌සිනා වීමය.

මෙම සිද්ධිය හමුවේ මොහොමඩ් සියාම් දැනට සිටිනුයේ වැලිකඩ මහඋළු ගෙදර සිරබතේ රස බලමිනි. ඒ තනිවම නොව මුජහදීන්ගේ නැඟණිය වූ සිය බිරිඳද සමගින්ය. කුඩු රජකු වූ මොහොමඩ් මුජහදීන් නොහොත් "ඩොක්‌ටර්" මෙසේ සුදු චරිතයක්‌ ලෙස මෙරට ඉහළ සමාජයේද ගැවසෙද්දී මුල් වරට ඔහු කුඩු ඒජන්තයකු බව හඳුනා ගන්නේ පොලිස්‌ මත්ද්‍රව්‍ය කාර්යාංශයේ දක්‍ෂ නිලධාරින් කණ්‌ඩායමක්‌ මහනුවර දිගන ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදීය.

නමුත් මෙහිදීත් මුජහදීන් නොහොත් ඩොක්‌ටර් යනු කුඩු රජෙක්‌ යෑයි එකවරම චෝදනා කිරීමට තරම් සාධක පොලිසියට හමු නොවීය. එහෙත් මේ මොහොතේත් මත්කුඩු වසංගතය මෙරටින් තුරන් කිරීම සඳහා ප්‍රශස්‌ථ වැඩකොටසක්‌ සිදු කරමින් සිටින පොලිස්‌ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය, සාධක නොමැති වුවද මුජහදීන් පිළිබඳ වුණු හෙළිදරව්ව නොසලකා හරින්නට කටයුතු නොකළේය.

එහි අවසන් ප්‍රතිඵලය වූයේ මීට වසර එකහමාරකට පමණ ඉහත සුපිරි මත් කුඩු කිලෝ ග්‍රෑම් පනස්‌නවයක්‌ සමඟ මුජහදීන්ගේ තවත් මස්‌සිනා කෙනකු වූ මොහොමඩ් සබ්රි නමැත්තා මහනුවර කටුගස්‌තොට ප්‍රදේශයේදී කොටු කර ගැනීමට පොලිස්‌ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සමත් වීමය.

මෙසේ පොලිසියට කොටු වූ මොහොමඩ් සබ්රි පසුව කොළඹට ගෙනවිත් ප්‍රශ්න කරන්නට පොලිසිය කටයුතු කළේය. මුලදී තමන් දන්නා කිසිත් හෙළි නොකර සිටීමට මොහොමඩ් සබ්රි උත්සාහ දැරුවද ඒ වන විට මුජහදීන් පිළිබඳ පොලිස්‌ මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරින් අනාවරණය කරගෙන තිබූ තොරතුරු එකින් එක ගෙන සබ්රිගේ මොලේ හිරිවැටෙන අන්දමින් කළ ප්‍රශ්න කිරිම් හමුවේ මුජහදීන් නොහොත් "ඩොක්‌ටර්" පිළිබඳ පමණක්‌ නොව අලගිය මුලගිය තැන් සියල්ල හෙළි කිරීමට සබ්රිට සිදු විය.

නමුත් එසේ සියල්ල හෙළි කර ගත්තද මුජහදීන් දක්‌වා පැමිණ ඒ විමර්ශනය එදා තාවකාලිකව නතර කරන්නට පොලිසියට සිදු විය. ඒ මුජහදීන්ගේ මුදල් හා දේශපාලන බලය හමුවේ විය. රටේ ජනතාවට කුඩු ජාවාරමට තිත තබන බව කියමින් දහසක්‌ පොරොන්දු දෙන මෙරට තුට්‌ටු දෙකේ දේශපාලනය හැමදාමත් පොලිසියට හරස්‌ වූයේ එසේය.

පොලිසියේ සිටින දක්‍ෂ නිලධාරිහු කුඩු ජාවාරමින් රට වන සන වල්තිරිසනන් මොකුන්දැයි හඳුනාගනිමින් උන් පසුපස හඹා යන්නට බොහෝ අවස්‌ථාවල සමත් වූහ. නමුත් රට තුළ ක්‍රියාත්මක ජඩ දේශපාලනය හමුවේ අවසානයට පොලිසියට සිදු වූයේ එසේ හඳුනාගත් තිරසනුන්ට වෙඩි තැබීමට නොව උන් නාවන්නට බව මෙහිදී කිව යුතුය. මන්ද බලයේ සිටින ඇතැම් දේශපාලනඥයන් නිදා ගත්තේ ඒ තිරිසනුන් සමඟ නිසාය. එහිදී සතා සමඟ නිදා ගත් විට ඇඟට එන මැක්‌කන් පිළිබඳ ප්‍රශ්නයක්‌ද එකී දේශපාලනඥයන්ට නොවීය.

එහෙත් මෙහිදී වැඩේ නොකරන බව කියමින් රටේ ජනතාව දොස්‌ නැගුවේ පොලිසියටය. එය සාධාරණද? නැත කිසිසේත්ම සාධාරණ නොවන්නක්‌ බව මේ මොහොතේ අප සඳහන් කරන්නේ ජනතාවට යථාර්ථය අවබෝධ කරගනු පිණිසය. රටේ දේශපාලනය පොලිසියට හරස්‌ වන්නේය. එහිදී අකමැත්තෙන් වුව නිහඬව සිටිනු හැර පොලිසියට වෙන කරන්නට දෙයක්‌ද නැත.

එය එදාද සිදු විය. අද ද සිදු වන්නේය. හෙට ද සිදු වනු ඇත. ඒ හමුවේ අවසානයට සිදු වන්නේ කිසි දිනක මේ බිමෙන් මත් කුඩු වසංගතය තුරන් කිරීමට නොහැකි වීමය. දැනට හඳුනාගෙන ඇති පැහැදිලි ඉලක්‌ක එකොළහකට පමණ රිසි සේ පහර දෙන්නට නිසි අවසර ලැබෙන්නේ නම් මෙරට මත් කුඩු ජාවාරමෙන් සියයට අසූවක්‌ නිශ්චිතවම තුරන් කර දැමීමට හැකි බව අද දවසේ පොලිසියේ ඇතැම් උසස්‌ නිලධාරින්ම කියා සිටින්නකි.

එය සිදු කිරීමට සැදී පැහැදී සිටින අතිදක්‍ෂ පොලිස්‌ නිලධාරින්ද පොලිස්‌ දෙපාර්තමේන්තුවේ ඕනෑතරම් සිටින්නේය. නමුත් නොලැබෙන්නේ ඉහත කී අවස්‌ථාවය. අවසරය ය. ඉඩහසරය. ඉතින් පොලිසිය කුමක්‌ කරන්නද? අප වගකිවයුත්තන්ගෙන් එසේ විමසනු ලබන්නේ මේ මොහොතේ වෙළේ සුදා සහ සිද්ධික්‌ සීඅයිඩීය භාරයේ තබාගෙන රහස්‌ පොලිසිය සිදු කරනු ලබන විමර්ශනය පිළිබඳවද සිහිපත් කරමිනි.

සිද්ධික්‌ සහ වෙළේ සුදා පිළිබඳ විමර්ශන කටයුතු භාර දිය යුත්තේ සීඅයිඩියට නොව පොලිස්‌ මත්ද්‍රව්‍ය කාර්යාංශයට නොවේදැයි අපි අවස්‌ථා ගණනාවකදීම වත්මන් යහපාලනයෙන් විමසා සිටියෙමු. ඒ ඔවුන් දෙදෙනා පාකිස්‌තානයේ සිට මෙරටට ගෙන එන අවස්‌ථාව වන විටත් වෙළේ සුදා සහ සිද්ධික්‌ කරගෙන යනු ලබන මහා පරිමාණ මත් කුඩු ජාවාරම පිළිබඳ බොහෝ දේ පොලිස්‌ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් අනාවරණය කරගෙන තිබූ බැවිනි.

නමුත් එය සිදු නොවීය. ආණ්‌ඩුව සිදු කළේ වෙළේ සුදා සහ සිද්ධික්‌ සීඅයිඩියට භාර දී "පොලිස්‌ කඩුවෙන්" කොස්‌ කෙටීමය. යහපාලනය එසේ කරද්දී මුජහදීන්ගෙන් සිද්ධික්‌ට, සිද්ධික්‌ගෙන් වෙළේ සුදාට ආදී ලෙසින් ඉකුත් කාලයේ හෙරොයින් මත් කුඩු කිලෝ ග්‍රෑම් දහසකට අධික ප්‍රමාණයක්‌ වෙළේ සුදා මෙරටට එවා තිබෙන බව සීඅයිඩී විමර්ශන මගින් හෙළි වී ඇතැයිද පොලිසිය කීවේය.

එහෙත් එසේ එවන ලද මත් කුඩු තොගවලින් එක කුඩු කඳුළක්‌ සොයා ගැනීමට සීඅයිඩීයට නොහැකි විය. සීඅයිඩීය සිදු කළේ ආණ්‌ඩුවේ වුවමනාව අනුව වෙළේ සුදා සහ සිද්ධික්‌ තබාගෙන දේශපාලන "මඩ ඇනීමට" කුරුමානම් ඇල්ලීම විනා අන් යමක්‌ නොවීම ඊට හේතු විය. නිසි විමර්ශනයක්‌ තුළින් වෙළේ සුදා සහ සිද්ධික්‌ මෙන්ම මුජහදීන් ද සම්බන්ධ ජාත්‍යන්තර කුඩු ජාලයට පහරදීමක්‌ සීඅයිඩීය සිදු නොකළේය.

එහි අවසාන ප්‍රතිඵලය ලෙස අද සිදුව තිබෙන්නේ කුමක්‌ද? අපි වගකීමෙන් යුතුව කියා සිටින්නෙමු. වෙළේ සුදාගේ කුඩු තවමත් සමාජයේ තිබෙන්නේය. ඒ කුඩු ගහන කුඩ්ඩෝ හෙවත් අපේ කොල්ලෝ සිහින ලෝකවල පාවෙන්නාහ. මේ වන විට එසේ වෙළේ සුදාගේ කුඩු ජාවාරමේ බෙදා හරින්නන් ලෙස බොරැල්ලේ සුන්දරා, කනත්තේ සුදූ මෙන්ම පෑලියගොඩ කුඩු මෝවින්ගේ බිරිඳ හා මිතොටමුල්ලේ තෙල් චූටි නමැත්තන් සක්‍රීයව සිටින බවද පොලිස්‌ වාර්තා මගින් තහවුරු වන්නකි.

මේ අතරින් කනත්තේ සුදූ සහ මීතොටමුල්ලේ තෙල් චූටි යනු දැනට මත්කුඩු චෝදනා සම්බන්ධයෙන් බන්ධනාගාරගතව සිටින්නෝ වෙති. එහෙත් බන්ධනාගාරයේ සිටියද ජංගම දුරකථන ඔස්‌සේ ඔවුන් aසුපුරුදු ජාවාරමේ යෙදෙන බව පොලිස්‌ හා ආරක්‍ෂක බුද්ධි තොරතුරු මගින් තහවුරු වී තිබේ.

ඒ අතරේ බඩෝවිට ජෙමාද තවත් පැත්තකින් ක්‍රියාත්මකව ඇත. වෙළේ සුදාගේ කතාව එසේ වෙද්දී දැනට ඉන්දියාවට පැන ගොස්‌ සිටින තෙල් බාලා, මොරිල් ඇතුළු ජාවාරම්කරුවන් මේ මොහොතේත් රට තුළට පොම්ප කරන කුඩු තොග අද දවසේ තොටළඟ, මෝදර ඇතුළු තදාසන්න ප්‍රදේශවල තිබෙන බව ඉකුත් සතියේ අප කළ විමර්ශනයකදී තහවුරු විය.

වෙළේ සුදා සහ සිද්ධික්‌ පොලිසියට කොටු වීම තුළ මෙරට මත් කුඩු ජාවාරමේ පැහැදිලි එක්‌ වෙනසක්‌ පමණක්‌ සිදුව ඇත. ඒ වෙනදාට වඩා කුඩ්ඩා බොන කුඩු පැකට්‌ටුවේ මිල තරමක්‌ ඉහළ ගොස්‌ තිබීමය. වෙළේ සුදා සහ සිද්ධික්‌ සීඅයිඩීය භාරයේ සිටියද ඉන් එහා සිදුව ඇති දෙයක්‌ නම් ඇත්තේම නැත.

මේ හමුවේ අපට ආණ්‌ඩුවෙන් අසන්නට ඇත්තේ වෙළේ සුදා සහ සිද්ධික්‌ පාකිස්‌තානයේ සිට මෙරටට රැගෙන ආවේ මෙවන් "බබා ලන්තයේ" නාටකයක්‌ රඟන්නටදැයි කියාය. සුන්දරාලා, කනත්තේ සුදූලා, බඩෝවිට ජෙමාලා, තොටළඟ පොඩ්ඩිලා පමණක්‌ නොව මෝවින්ගේ බිරිඳ මෙන්ම තෙල් චූටි ඇතුළු පිරිස මෙසේ ජාවාරමේ යෙදෙනුයේ මහ කුඩු රජා මුජහදීන් විසින් තෙල් බාලා, මොරිල් හරහා දැනට රට තුළට පොම්ප කරන සහ වෙළේ සුදා සහ සිද්ධික්‌ හරහා මෙරටට එවන ලද මත් කුඩු තොග ගෙන බව මේ වන විට බද්ධි වර්තා අනුව කියෑවෙන්නකි.

මින් පැහැදිලිවම පෙනී යන කරුණ වන්නේ වෙළේ සුදාගේ පැකට්‌ එක තවමත් සමාජගතව තිබෙන බවය. එහෙත් වෙළේ සුදා සහ සිද්ධික්‌ යන දෙදෙනාම සීඅයිඩීය භාරයේ සිටියදී එසේ වන්නේ කෙසේද? ගැටලුව ඇත්තේ එතැනය. "ආණ්‌ඩුව අද දවසේ පොලිස්‌ කඩුවෙන් කොස්‌ කොටමින්" සිටින්නේයෑයි අප කියන්නේද මේ නිසාය.

මතු සම්බන්ධයි
සමන් ගමගේ

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.