හිතින් මුකේෂ්

දෙලොවක්‌ අතර චිත්‍රපටය අධ්‍යක්‌ෂණය කළේ ලෙස්‌ටර් ය. දෙබස්‌ ලීවේ තිස්‌ස අබේසේකර ය. ඒ චිත්‍රපටයේ ලංකාවේ පැරණි ධනපතියන් පිළිබ`ද කියෑවෙන සංක්‌ෂිප්ත දෙබසක්‌ මෙසේ ය.

''ලංකාවේ මෝඩ ධනපතියන්ට ජීවිතයට ම බලපාන ප්‍රධාන ප්‍රශ්න දෙකක්‌ තියෙනවා. පළවෙනි එක තමන්ගේ දුව වාහනේ එලවන ඩ්‍රයිවර් එක්‌ක යාළුවෙලා පැනලා යයි කියන බය. දෙවැනි එක තමන්ගේ එකම පුතා වාමාංශික දේශපාලනය කරයි කියන බය.''

තිස්‌ස අද ජීවතුන් අතර සිටියා නම් අනාගතයේ විධායක ජනාධිපති වෙන්න හීන මවන ඊනියා දේශපාලන පිංවතුන්ට මෙසේ ලියනු ඇත.

''ලංකාවේ මේ මොහොතේ දේශපාලනය කරන, පෞද්ගලික න්‍යාය පත්‍ර තියෙන අයගේ ජීවිතයට ම බලපාන ප්‍රධාන ප්‍රශ්න දෙකක්‌ තියෙනවා. එක ලංකාවේ ජාති සහ ආගම් අතර සාමය සහ සංහිඳියාව ඇතිවෙයි කියන බය. දෙවැනි එක තමන් අනාගතයේ ජනාධිපති වෙන්න පෙරුම් පුරන හින්දා ජනාධිපති තනතුරේ විධායක බලතල කප්පාදු වෙයි කියන බය.''

මේ විධායක ජනාධිපති බලතළ කැපෙයි කියලා බයේ ඉන්න අයට චිත්‍රපටයක දී නම් කැපෙන හැටි සහ කපන හැටි උගන්නන්න ඉස්‌සර ටයිටස්‌ තොටවත්ත වත් හිටියේ ය.

ඉස්‌සර චිත්‍රපටි කැපුවෙත් කතුරෙන් ය. සෙලෝලයිට්‌ පටියට. ලයිට්‌ එක අල්ලලා බලලා ගාමිණීගේ පහරකට ඇලෙක්‌සැන්ඩර් වැටෙන්න ඕන තැන, පෙම්වත් විඡේ ළ`ගට දුවගෙන යන ආදර මාලනී නවතින්න ඕනෑ තැන තීරණය කෙරුවේ ය. ටයිටස්‌ තොටවත්ත කියන්නෙත් කතුර හරියටම, නිවැරදිව පාවිච්චි කරපු සංස්‌කරණ සක්‌විති කෙනෙක්‌ ය. දවසක්‌ චිත්‍රපටිකාරයෙක්‌ ඇවිත් ටයි මහත්තයාට මෙහෙම කිව්වේය.

''මට ෆීල්ම් එක ටක්‌ගාලා කපා ගන්න ඕනේ' එතකොට ටයි මහත්තය එයාට මෙහෙම කියනවා. ''ටක්‌ ගාලා කපාගන්න නම් තමුසෙ යනවා කතරගම. මොකද ? මට අත් දෙකක්‌ වුණාට දෙයියන්ට අත් දොළහයි...''

ටක්‌ ගාලා කපන විදිය ගැන හිතන්න ඕනෑ ය. 'ටක්‌' ගාල කපාගන්න ඕන අය හරියට කපන්න ඕනෑ ය. නැත්නම් කොණ්‌ඩෙ වෙනුවට කැපෙන්නෙ 'බෙල්ල' ය.

ටයි මහත්තයා නැති හින්දා දැන් දේශපාලනයේ විධායක ජනාධිපතිකම කියන පෙකණි වැල කපන්න වෙන්නෙ පුරවැසියාට ය. ඒ ස`දහා පුරවැසියා අරගලය පටන් ගන්න ඕන ය. කමල් අද්දරආරච්චි වගේ නළුවෙක්‌ වෙන්න ගිහිල්ලා එහෙම වෙන්න බැරි වෙච්ච සමහර හිකනළුවන්ට ෆීල්ඩ් එකේ කොල්ලො විහිළුවට කියන්නේ ''වෙන්ඩ කමල්'' කියලා ය.

ඡේ. ආර්. ජයවර්ධන වගේ හරි, මහින්ද රාජපක්‌ෂ වගේ හරි විධායක ඒකාධිපතියෙක්‌ වෙන්න හීන මවන කට්‌ටියට මේ දවස්‌වල පුරවැසියන් කියන්නෙ ''වෙන්ඩ චම්පික, වෙන්ඩ රාජිත, වෙන්ඩ සජිත්, වෙන්ඩ රවී, වෙන්ඩ රනිල්, වෙන්ඩ නිමල්, වෙන්ඩ දයාසිරි'' වාගේ දීර්ඝ නාමාවලියක්‌ ය. මේ කට්‌ටිය කවදත් දේශපාලනයේ පාර කියන්නේ ප්‍රහේලිකා විදියට ය. පාරේ කෙළවරට එක්‌කරගෙන යනවා ය. ඊට පස්‌සෙ කියනවා ය.

ඒ, පාරෙ එහෙම යන්ඩ එපා කියලා ය. හරියට මෙන්න මේ වගේය.

''හයිවේ එකේ ඇවිල්ලා ප්‍රධාන පාරෙන් බහින්න. එතන තියෙනවා වයි හංදියක්‌. එතනින් වම් පැත්තට පාරක්‌ තියෙනවා. ඒ පාර දිගටම දිගටම ගියා ම කාක බෝධියක්‌ තියෙනවා. බෝධියෙන් දකුණට හැරුණම ලොකු කොස්‌ ගහක්‌ තියෙනවා. කොස්‌ ගහ පහුකරලා ටික දුරක්‌ ගියා ම බලගතු දේවාලයක්‌ තියෙනවා. දේවාලෙ පහු වුණා ම තියෙන්නෙ වැවක්‌. වැව ගාවින් පාර ඉවරයි. ඒ පාරෙ එහෙම යන්ඩ එපා. හො`දට මතක තියාගන්න.''

මේ දවස්‌වල විධායක ජනාධිපති ක්‍රමය ගැන ''වෙන්ඩ ජනාධිපතිලා'' ඔක්‌කොම කියන්නෙ ඔහොම කතා ය. මේ කතා අහන් ඉන්න කාටවත් දැන් හරි පාර හොයාගන්න බෑ ය.

ජනාධිපති අහස්‌ගව්වෙ ඉන්න අයට පාර දිගේ එන්න කියලා දැන් අපට යෝජනා කරන්න වෙනවාය. ජනාධිපති තරුවක්‌ වීමේ සිහිනයක්‌ ඇති, ''වෙන්ඩ ජනාධිපතිලා'' ඔක්‌කොම දැන් අවසන් දොළොස්‌ දෙනා අතරට ඇවිල්ලාය. අපි ඒ අයට යෝජනා කරන්නෙ තරුවක්‌ වෙන්න ඉස්‌සර පොළොවේ දෙපය තබාගෙන අහස හදාරන්න කියලා ය. පුත්‍ර සමාගමට හෝ සහෝදර සමාගමට වඩා පුරවැසියන්ගේ මිත්‍ර සමාගම විශ්වාසවන්තය. කඩවුණු පොරොන්දුවලට ඉඩ දුන්නා හො`දටෝම ඇතිය. මේ එක`ගතාවයන්ගේ යුගයය. තවම පුරවැසි වීරයා මැරිලා නැත. කැඩපත සාක්‌ෂි කියනවාය. පුරවැසියන් 'දෙවියනි ඔබ කොහිද?' යනුවෙන් අසන්නට පෙර හෘද සාක්‌ෂිය මුණගැසීමට එපොයින්ට්‌මන්ට්‌ එකක්‌ දැමීමට කාලයය. ''වෙන්ඩ ජනාධිපති'' සිහිනයේ ඉන්න නරින්ට මයික්‍රොෙµdaන් ඉස්‌සරහා බුරන්න දුන්නට කමක්‌ නැත. හැබැයි පුරවැසි කුකුළු පැටවුන්ව මරාගෙන කන්න උන්ට ඉඩ දෙන්න බැරිය. මේ විධායක ජනාධිපති සිහින දකිනවුන් ඉදිරියේ දී පුරවැසියන් චණ්‌ඩියා වුණාට කමක්‌ නැත. මෛත්‍රීපාල ජනාධිපතිතුමාත්, රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාත්, හිටපු ජනාධිපති චන්ද්‍රිකා මැතිනියත් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ සුළ`ග එනු පිණිස දැන් කවුළුව හැර තිබේ ය. නිධානය තිබෙන්නේ කවුළුවෙන් ඇතුළුවුවහොත් පමණක්‌ය. ජනාධිපති මකරාක්‌ෂයා මුණගැසෙන ගින්දර සම`ග සෙල්ලම් දැන් දැන් කළ යුතුම ය. ගින්දර කොයි තරම් සිසිලස දැයි හොයන්න ස්‌වීප් ටිකට්‌ සමාජයක ශිෂ්ට ජය අංකයට ඉඩ දිය යුතුම ය. පුරවැසියන්ට කියන්න තියෙන්නෙ හංසයන්ට ආස නම් ගෙදරට වෙලා ඉන්නෙ නැතුව ගං තෙරට එන්න කියලාය. දැන් බල්ලොත් එක්‌ක බැරිය. සංවාදය මිනිස්‌සුත් එක්‌ක පටන් ගන්න ඕනෑය.

ලේක්‌ හවුස්‌ ආයතනයේ කලා ශිල්පියෙක්‌ වෙන්න හිතාගෙන තරුණයෙක්‌ හිටියේ ය. එයා නිතර ම හින්දි සිංදු කිව්වේය. හින්දියෙන් කැසට්‌ එකක්‌ ගහන්නත් තීරණය කළාය. මේකට කවරයක්‌ හදපු හිතවතෙක්‌ මේ කලා ශිල්පියා 'නිතින් මුකේෂ්' වගේ වෙන්න ආස නිසා කැසට්‌ කවරෙට නමක්‌ දැම්මාය. 'හිතින් මුකේෂ්' කියලා ය. හැබැයි ඔහුට කවදාවත් 'නිතින් මුකේෂ්' ගේ ළ`ගටවත් යන්න බැරි වුණා ය. 'වෙන්ඩ කමල්' වර්ගයේ අය මේ වෙලාවෙ 'ජනාධිපති චම්පික', 'ජනාධිපති සජිත්', 'ජනාධිපති දයාසිරි', 'ජනාධිපති රවී', 'ජනාධිපති නිමල්' වාගේ හිතින් මුකේෂ්ලා බව අපි දන්නවාය. කඩචෝරුකාරයා යෝජනා කරන්නේ මෙච්චරක්‌ය.

නිතින් මුකේෂ් වෙන්න හදන හිතින් මුකේෂ්ලා හ`දුනාගන්න.

කමල් අද්දරආරච්චි වෙන්න හදන වෙන්ඩ කමල්ලා හ`දුනාගන්න.

ටයිටස්‌ තොටවත්ත කපපු හැටි ඉගෙන ගන්න.

විධායක ජනාධිපතිගේ බලතල ඔක්‌කොම කපන්න එකතුවන්න.

අත්තනෝමතික ඒකාධිපතියා වෙනුවට සරුසාර වෙල්යායට පඹයා ආරක්‌ෂා සහිත ය.

කඩචෝරුකාරයින්ගේ අලුත් සටන් පාඨය මෙහෙම ය.

'ඒකාධිපතියා එපා. පඹයා ඕනා.'

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.