මෛත්‍රී - මහින්ද එකතුවට තියෙන ලොකුම බාධාව
'ඇගේ වෛරයයි'
ඩලස්‌ අලහප්පෙරුම

ප්‍රශ්නය - මට හිතෙනවා ඔබේ ආයු කාලය තව දින 20 යි කියලා. ඔබ එය පිළිගන්න කැමතිද?

පිළිතුර - ඔබට එහෙම හිතන්න පුළුවන්. එහෙම නම් ඔබ අංජනම්කාරයෙක්‌. නැත්නම් මරණ වරෙන්තු නිකුත් කරන පාතාල නායකයෙක්‌ වෙන්න ඕන.

ප්‍රශ්නය - කලබල වෙන්න එපා. මම අදහස්‌ කළේ ඔබේ පාර්ලිමේන්තු ආයු කාලය ගැන.

පිළිතුර - ඒකට නම් 2016 අප්‍රේල් 08 වැනිදා වෙනකම් ඉන්න එපායැ.

ප්‍රශ්නය - නමුත් යූ.එන්.පී එකයි ඡේ.වී.පී එකයි දෙකම කියන්නේ අප්‍රේල් 23 වැනිදාට අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුව විසුරුවා හැරිය යුතු බවයි. විසුරුවා හරින බවයි.

පිළිතුර - ඔය කිසිම කෙනකුට නෛතික හෝ ව්‍යවස්‌ථාපිත බලයක්‌ ප්‍රදානය කරල නැහැ පාර්ලිමේන්තුව පිළිබඳ තීරණයක්‌ ගන්න. සමහරුන්ට තියෙන්නේ පිනට ලැබුණ දේවල්. තවත් සමහරු කුලී හේවායෝ විදියට කුලියට කහිනවා. ඊට වැඩි දෙයක්‌ නැහැ.

ප්‍රශ්නය - පසුගිය අඟහරුවාදා (07 වැනිදා) පාර්ලිමේන්තුවේදී ආණ්‌ඩුව පනතකින් පරාද වුණා. එය මුදල් පනතක්‌ නිසා ඉබේටම ආණ්‌ඩුව විසුරුවා හැරෙන බවටත් සමහරු තර්ක කරනවා.

පිළිතුර - නැහැ. ඒ පරාද වුණේ මුදල් අමාත්‍යාංශයට සම්බන්ධ පනතක්‌ නොවෙයි. විධානයක්‌ (Reටමක්‌එසදබ). ඒක නිසා අර වගේ සිදුවීමක්‌ වෙන්න ඉඩක්‌ නෑ. ඒත් ඉතින් ආණ්‌ඩුවේ ආත්මය කඩා වැටුණු බව ඇත්ත. ක්‍රමිකව පහළ යමින් තිබුණ රටේ දේශපාලන අස්‌ථාවර භාවය විශාල අගයකින් බිමට වැටුණා. අනික 77 ක්‌ ඉන්නවා ඇමැතිවරු විතරක්‌. ලැබුණේ ඡන්ද 31 යි. ඒක දින 100 ට ලැබුණ ටොන් 100 ක්‌ විතර බර ලොකුම ලැඡ්ජාවක්‌.

ප්‍රශ්නය - රටේ ආර්ථිකය හා අනාගතය බරපතළ අර්බුදයක බව ද ඔබ කියන්න උත්සාහ කරන්නේ.

පිළිතුර - පැහැදිලිවම ඔව්. කොටස්‌ වෙළෙඳපොළ කඩා වැටිලා. රුපියල වේගයෙන් අවප්‍රමාණය වෙනවා. විදේශ සංචිත මාස දෙකට ඩොලර් බිලියනයකින් අඩුවෙලා. ඉදිකිරීම් කර්මාන්තය ඇතුළු කර්මාන්ත රාශියක්‌ම කඩා වැටිලා. ලක්‍ෂයකට විතර

රැකියා අහිමි වෙලා. රාජ්‍ය සේවකයන්ට පඩි ගෙවන්නත් සල්ලි නෑ. මහ බැංකු අධිපතිට කම්බා හොරකමක්‌, ඉතිහාසයේ විශාලතම තනි හොරකම ගැන චෝදනා එල්ල වෙලා. විනිමය වංචාවක්‌ ගැන මහාධිකරණයේදී රටේ මුදල් ඇමැති විත්තිකාරයෙක්‌ වෙලා. ලෝකයේ එකම මුදල් ඇමැති ඒ වගේ චෝදනාවක්‌ තියෙන. පටන් ගත්තේ මේක 'සරදියෙල්ගේ' කියලා. දැන් බලනකොට මේක වෙලේසුදාගේ ආර්ථිකයක්‌. 'ජිනා මැඩම්' ආර්ථිකයක්‌.

ප්‍රශ්නය - ඔබ ඔය කියන තරම් භයානකකමක්‌ නම් අපිට පේන්න නෑ. එහෙම නම් එහෙම තියාගෙන කොහොමද මේ රජය මැතිවරණයකට සූදානම් වෙන්නේ.

පිළිතුර - ඒකට වෙන්න ඇති මෙයාලා 'ෆුල්ෆේස්‌' හෙල්මට්‌ තහනම් කළේ. මොකද මේ වගේ දස දහසක්‌වත් ඉදිරියේදී 'සිරිකොතට' අවශ්‍ය වේවි.

ප්‍රශ්නය - සිරිකොතට විතරක්‌ ඇඟිල්ල දික්‌ කරලා බැහැ. ඔබ උප සභාපතිවරයා වෙච්ච පක්‍ෂයේත් 30 ක්‌ විතර ආණ්‌ඩුවේ ඉන්නවනේ....

පිළිතුර - ඒක නම් තනිකරම විකෘතියක්‌. මේ හරහා මහින්ද රාජපක්‍ෂ අවරෝහණය කරන්න පුළුවන් කියල විශ්වාස කරන අය, ජාතික ගැටලුවකට මේ වගේ එකඟත්වයකින් මුහුණ දෙන්න පුළුවන් කියලා හැබැහින් ම විශ්වාස කරන අය, නිල නිවාස, බොඩිගාඩ්ලා, නිලරථ නැතිව දේශපාලනය කරන්න බැහැ කියලා හිතන අය, කිල්ලෝටවල හුණු පුරවාගත්ත අය වැනි අය තමයි ඔය ගමන ගියේ. ඔය අතර වැඩිපුරම ඉන්නේ මහින්ද පුනරාගමනයකට අකමැති අයයි. බෙල්ලේ කුරුසිය එල්ලාගෙන සිවුරු පොරවාගත්ත අයෙකුගේ රුව තමයි මට නම් ඒ මගේ මිත්‍රයන් තුළින් මැවිලා පේන්නේ.

ප්‍රශ්නය - හිතේ අමාරුවෙන් වගේ කතා කරන්නේ ඇයි. ඔබටත් ආරාධනාවක්‌ ලැබුණේ නැද්ද?

පිළිතුර - මම පළමු තත්පරයේදී ම ප්‍රතික්‍ෂේප කළානේ. ශ්‍රී ලංකාකාරයෙක්‌ විදියට වීරයාගේ චරිතයයි. දුෂ්ටයාගේ චරිතයයි දෙකම එකවිට රඟපාන්න බැරි බව ඔවුන් ඉක්‌මනට තේරුම් ගනීවි.

ප්‍රශ්නය - විපක්‍ෂ නායක ධුරයට මොකද වෙන්නේ?

පිළිතුර - කථානායකතුමා නිසි තීන්දුවක්‌ දේවි. ඒක මොක වුණත් මම කියන්නේ ශ්‍රීලනිපය විදියට අපට කිසිම ශීලාචාර අයිතියක්‌ නැහැ විපක්‍ෂ නායකකමට. මොකද අපේ පක්‍ෂයේ නිලධාරීන් 28 දෙනයි. ඉන් 21 ක්‌ ම ආණ්‌ඩුවේ ඇමැතිවරු. එම නිසා දිනේෂ් ගුණවර්ධන මැතිතුමාගෙයි සම්පන්දන් මැතිතුමාගෙයි තර්කවලට දේශපාලන වටිනාකමක්‌ තියෙනවා. විපක්‍ෂයේ වැඩිදෙනා ඉන්නේ කොතැනද කියල ඉදිරියේදී දැනගන්න පුළුවන් වේවි.

ප්‍රශ්නය - දැන් ඔන්න පාර්ලිමේන්තුවට 19 වන ව්‍යවස්‌ථා සංශෝධනයක්‌ ගේනවා. ඒක ගොඩයාවිද?

පිළිතුරු - ගොඩ යයිද මිය යයිද කියල කියන්න අපි ඉක්‌මන් වැඩියි. ඒත් ඉතින් ආණ්‌ඩුවේ ප්‍රධානම නායකයෙක්‌ වන චම්පික ඇමැතිතුමාත් කියනවානේ මේක බරපතළ කුමන්ත්‍රණයක්‌ කියලා. ඒ ගැන අපි හරි සංවේදීයි. විධායක ජනාධිපති ධුරයෙන් බැහැරවීම, මැතිවරණ ක්‍රමයේ සංශෝධන, විගණන කොමිසම වගේ දේවල් ඉතාම විශිෂ්ට දේවල්. හැබැයි මෛත්‍රී ජනාධිපතිතුමාට අමතරව රාජ්‍ය නායකයෝ නායිකාවෝ දුසිම් භාගයක්‌ ඉන්න නිසා, මොකක්‌ ද හරි, මොකද්ද වෙන්නේ කියලා 77 දෙනයි, අනුර දිසානායක මහත්තයත් හැර අපේ රටේ මිලියන 22 න් මෙලෝ මිනිහෙක්‌ මුකුත්ම දන්නේ නෑ කියන එක නම් මම දන්නවා.

ප්‍රශ්නය - ශ්‍රීලනිප බරපතළ අර්බුදයක හිරවෙලා නේද ඉන්නේ.

පිළිතුර - හිරවෙලා නොවෙයි අර්බුදයකට තල්ලු කරලා.

ප්‍රශ්නය - කවුද තල්ලු කරන්නේ? ඒක නවත්තගන්න ඔබලාට පුළුවන්නේ?

පිළිතුර - ඒ සම්බන්ධයෙන් චන්ද්‍රිකා කුමාරතුංග මැතිනියට ඇඟිල්ල දික්‌ කරන්න මට කිසිම චකිතයක්‌ නෑ. 'ඇගේ වෛරයයි' මෛත්‍රී - මහින්ද එකමුතුව විනාශ කරන්නේ.

ප්‍රශ්නය - චන්ද්‍රිකා මැතිනිය කියන්නේ නම් අරක්‌කුවලට, බත් පැකට්‌වලට අඬන මිනිස්‌සු විතරයි මහින්දට ඉන්නේ කියලා.

පිළිතුර - එතුමියට අරක්‌කු පිළිබඳව තියෙන විශේෂඥ දැනුමට නම් මම අභියෝග කරන්නේ නැහැ. මුළු රටම ඒක දන්නවා. ඒත් අපේ හිටපු නායිකාවට මම ඉතාම ගෞරවයෙන් කියන්නේ ඡේ. ආර්. ජයවර්ධන මැතිතුමාගෙන් විශ්‍රාමික ජනාධිපතිවරයක්‌ හැසිරිය යුත්තේ කෙලෙසද කියන පාඩම ඉගෙන ගන්න කියලයි.

ප්‍රශ්නය - ඇයි ඔබලා මහින්ද රාජපක්‍ෂ මේ රටේ ප්‍රතික්‍ෂේප වුණා කියන එක පිළිගන්න කැමැති නැත්තේ.

පිළිතුර - කරුණාකරලා පරාජයේත්, ප්‍රතික්‍ෂේපයේත් වෙනස හඳුනාගන්න. ඒක අමාරු නැහැ. එතන වුණේ අර අප්‍රිකාවේ, නැගෙනහිර යුරෝපයේ වගේ 'මහින්ද ගෙදර පල' කියල පාරට බැහැලා එලෙව්වා නොවෙයිනේ. ජනවාරි 08 වැනිදාට වඩා අද වන විට මේ රටේ ජනතාවගේ ආදරය ගෞරවය මහින්ද කෙරෙහි වැඩි වුණ බව පොඩි එවුන් පවා දන්නවා.

ප්‍රශ්නය - නමුත්.... ඔහුට පක්‍ෂයේ අනුශාසකකමට වඩා භූමිකාවක්‌ පක්‍ෂය තුළ නැති බවයි චන්ද්‍රිකා මැතිනිය ඇතුළු ඔබේ පක්‍ෂයේ බහුතරයකගේ මතය වෙලා තියෙන්නේ. උපදෙස්‌ දීම හැර වෙන දෙයක්‌ කළ හැකිද?

පිළිතුර - මතක තියාගන්න. ඒක පක්‍ෂයේ බහුතරය නොවෙයි, සුළුතරයක්‌. බහුතරයකගේ මතය වන්නේ මීළඟ මැතිවරණයේදී මෛත්‍රී මැතිතුමාත් සමඟ මහින්ද රාජපක්‍ෂ ශ්‍රීලනිපය මෙහෙයවිය යුතුයි කියන එක. පසුව අගමැති කළ යුතුයි කියන එක. සංගක්‌කාරට ක්‍රිකට්‌වල තියෙන ඉල්ලුම මහින්ද රාජපක්‍ෂට දේශපාලනයේ තියෙන බව කුහකකමකින් තොරව පිළිගත යුතුයි.

ප්‍රශ්නය - ජනාධිපතිවෙලා ඉඳලා ආපහු අගමැතිකමට යන එක අවනම්බුවක්‌නේ.

පිළිතුර - ඔහොම තර්කයක්‌ ගෙනාපු හිටපු කැබිනට්‌ ඇමැතිවරයෙක්‌ අපේ පළාතෙත් හිටියා. ඊට පස්‌සේ උප අමැතිකමකුත් ගත්තා. ලෝක දේශපාලනය ගැන කියවන ඕනෑම අයෙකුට ඕක ප්‍රහේලිකාවක්‌ නොවෙයි. හොඳම උදාහරණය රුසියාවේ පුටින්. එයා දෙවැනිවර අවසානයේ අගමැති වෙලා දිමිද්‍රියෙව් ජනාධිපතිතුමා යටතේත් හිටියා. මතක තියාගන්න. මෛත්‍රී - මහින්ද සුසංයෝගය තරම් මේ මොහොතේ රටට වලංගු වෙන කිසිම දේශපාලනයක්‌ නෑ. එදා පක්‍ෂයේ සභාපති ලේකම් මෙදා ලේකම් සභාපති.

ප්‍රශ්නය - චන්ද්‍රිකා කියනවා මහින්දගේ පිරිස හොරා කාල කාල මුළු රටම විනාශ කළා කියලා. ඒ ගැන මොනවද කියන්නේ.

පිළිතුර - මම කැමතියි එතුමිය ළඟ දැන් නැතිනම් වික්‌ටර් අයිවන් ලියපු පොත නැවත ඇයට පරිත්‍යාග කරන්න. මෑත කාලයේදී අපේ රටේ ඉතිහාසයේ වුණ මහජන දේපළ කොල්ලකෑම් ගැන එහි අපූරුවට ලිsයවිලා තියෙනවා. ඒක ඇයගේ දැනුමට ප්‍රයෝජනවත් වේවි. ඒ වගේම මම කියනවා අපේ ආණ්‌ඩුවේ කවුරු හරි මහජන දේපළ විනාශ කරල තියෙනවා නම් හොරාකාල තියෙනවා නම් හෙළිදරව් කරන්න. දඬුවම් කරන්න. නිකම් බොරුවට මාධ්‍ය ඉස්‌සරහ කැමරා ඉදිරියේ වෛරය වපුරන්නේ නැතිව.

ප්‍රශ්නය - පසුගිය දිනක ඔබේ ප්‍රකාශයක්‌ මාධ්‍යවල ප්‍රචාරය වුණා. ඔබ කිව්වා සරත් ෙµdන්සේකාට දඬුවම් දීම එදා සිදුවෙච්ච වැරැද්දක්‌ කියලා.

පිළිතුර - අපේ අතින් වැරදි සිදුනොවුණා නොවෙයිනේ. අඩුපාඩු වුණා. අපි නිහතමානීව ඒ ගැන සාකච්ඡා කරන්න ඕන. නිවැරදි වෙන්න ඕන. හැබැයි ඉතින් ඒ වැරදි අඩුපාඩු ඔක්‌කොම මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ ගිණුමට විතරක්‌ දාල අත පිහදා ගන්න කාටවත් බෑ. අද ඉන්න මෛත්‍රී ජනාධිපතිතුමන්ගේ ඉඳල මම ඇතුළු කැබිනට්‌ මණ්‌ඩලයේ සියලුදෙනා, පක්‍ෂ නායකත්වය ආදී මේ හැම දෙනා අතරම ඒ වැරදි, ඒ අඩුපාඩු බෙදිල යා යුතුයි. අපි ඒ වැරදි පිළිගත යුතුයි. සරත් ෆොන්සේකා මහතාට වගේම ශිරාණි බණ්‌ඩාරනායක මැතිනියටත් වුණ දේ මේ අතර ප්‍රමුඛයි. මේ ආණ්‌ඩුව ඒ වැරදි නිවැරදි කරන එක හොඳයි. නමුත් එක වරදක්‌ නිවැරැදි කරන්න තවත් වැරදි කරන එක හරිද. දැක්‌ක නේද හිටපු අගවිනිසුරු මොහාන් පීරිස්‌ මැතිතුමාට කරපු දේ. අප්‍රිකානු වනචාරී ගෝත්‍රික රටකවත් එහෙම දෙයක්‌ කරන එකක්‌ නෑ.

ප්‍රශ්නය - ඉදිරි මැතිවරණය ගැනත් කතා කරමුද. ඔබ තරග කරන්නේ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයෙන්ද, නැතිනම් මහින්ද පිලෙන් ද?

පිළිතුර - මහින්ද පිල කියල දෙයක්‌ නැහැ. අපි සියලුම දෙනා ශ්‍රී ලංකා නිදහස්‌ පාක්‍ෂිකයෝ.

ප්‍රශ්නය - හැබැයි ඔබේ පක්‍ෂයම ඔබේ භාණ්‌ඩාගාරික ධුරය නැති කළා නේද?

පිළිතුර - ඒක බරපතළ කාරණයක්‌ නොවෙයි. නාවින්න මැතිතුමා මට වඩා ඒ තනතුරට සුදුසුයි, කාර්යක්‍ෂමයි, අවංකයි කියලා එතුමන්ලා තේරුම් ගන්න ඇති.

ප්‍රශ්නය - දිස්‌ත්‍රික්‌ නායකත්වයට මොකක්‌ වෙයිද? ජාතික ලැයිස්‌තුවට මොකක්‌ වෙයිද?

පිළිතුර - මතක තියාගන්න. මම දිස්‌ත්‍රික්‌කයේ මැතිවරණ තුනකදී ම පළමු වැනියා වුණ බව. දිස්‌ත්‍රික්‌ නායකකම ගැන නම් චන්ද්‍රිකා මැතිනිය දැනටමත් තීරණයක්‌ ගෙන තියෙන බව ආරංචියි. මට ඕවා ආභරණ නොවෙයිනේ. මේ ගල මගේ කියලා කවුරු හරි රණ්‌ඩුවකට ආවෙත් මම කියන්නේ උඹේ නම් උඹ ගනින් කියලයි. දේශපාලනය කියන වාණිජ ව්‍යාපාරයේ මම ආයෝජනය කරල තියෙන්නේ මනුස්‌සකම විතරක්‌ය කියන කතාව මම කැමතියි නැවත උපුටා දක්‌වන්න. ඒක නියතයක්‌.

සාකච්ඡා කළේ - බුලිත ප්‍රදීප් කුමාර

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.