වික්‍රමසිංහ මහත්තයා
කොග්ගල ගමේ අවුරුදු කෑ හැටි
කොට්‌ටව රාළහාමි කියන කතාව


කොට්‌ටව සිරිසේන වූ කලී දකුණේ එක්‌ ශ්‍රේෂ්ඨ කලාකරුවෙකි. හේ කලාවිදු, කලාභූෂණ, දේශශක්‌ති යන සම්මානවලින් පිදුම් ලැබූ අයෙකි. කොටින්ම කිවහොත් කොට්‌ටව රාළහාමි කියූ සැණින් දකුණේ නොදන්නා කෙනෙක්‌ නොමැති තරම්ය. හේ ප්‍රකටව ඇත්තේ කොට්‌ටව සිරිසේන රාළහාමි යන නමිනි. හෙළයේ මහා ගත්කරු මාටින් වික්‍රමසිංහ සූරීන් දැන හ`දුනා ගැනීමට සිරිසේන රාළහාමිට ඉඩ කඩ විවර වන්නේ ඔහු ගැටවර වියේ පසුවෙද්දිය. ඒ කාලයේ කොට්‌ටව රාළහාමි ගජ ඉලන්දාරියෙකි.

කොට්‌ටව රාළහාමි 1957 වසරේදී රජයේ ලලිත කලා ආයතනයට ඇතුළත් වන්නේය. ඒ චිත්‍ර හා මූර්ති පිළිබ`ද පාඨමාලාවක්‌ හැදෑරීමටය. එහිදී ඔහුට කලාසූරී ෙ-.ඒ.ඩී. පෙරේරා දැන හ`දුනා ගැනීමට හැකිවිය. එකී මිතුදම හරහා මාටින් වික්‍රමසිංහ සූරීන් හ`දුනා ගැනීමට කොට්‌ටව රාළහාමිට අවස්‌ථාව උදාවන්නේය. එදා ඇති වූ මිතුදම සමීප ඇසුරක්‌ දක්‌වා දුරදිග යන්නේ මාටින් වික්‍රමසිංහ සූරීන්ගේ කොග්ගල නිවස යළි සොයා ගැනීමත් සමඟය. දෙවන ලෝක යුද්ධය පැවති වකවානුවේ කොග්ගල ගම අත්හැරුණේය. ගම හමුදා ක`දවුරක්‌ බවට පත්වූයේය. යුද්ධය නිමා වීමත් සමඟ අත්හළ ගම වන දහනට යටවිය.

හෙළයේ මහා ගත්කරු මාටින් වික්‍රමසිංහ සූරීන් උපන් නිවසත් දෙවන ලෝක යුද්ධයෙන් පසු මහ කැලෑවෙන් වැසී ගොස්‌ තිබිණි. එකී නිවස සොයා ගැනීමට මුල්වූ අය අතර කොට්‌ටව සිරිසේන රාළහාමි ද ප්‍රමුඛයෙකි. මේ අතරේ සිරිසේන රාළහාමිට කොග්ගල මලල ගම්මානයේ ගම්මුලාදෑනිකමද ලැබෙන්නේය. හේ තම කාර්යාලය පවත්වාගෙන යන්නේ මාටින් වික්‍රමසිංහ සූරීන්ගේ මහගෙදරය. වික්‍රමසිංහ මහතා කොග්ගලට එන විට විදුලි පණිවුඩයක්‌ මගින් ඒ බව කොට්‌ටව රාළහාමිට දැනුම් දෙන්නේය. වික්‍රමසිංහ මහතා කොග්ගල ගමට ආවිට ගමේ ඇවිදින්න යන්නේද රාත්‍රියට කොග්ගල ඔයේ ඔරු පැදීමට යන්නේද කොට්‌ටව රාළහාමි සමඟය.

මේ නිසා මාටින් වික්‍රමසිංහ මහතාගේ ජීවිතය හා බැ`දුණු හරි අපූරු කතාන්දර සිරිසේන රාළහාමි දන්නේය. දැන් කොට්‌ටව සිරිසේන රාළහාමිගේ වයස අවුරුදු අසූවකි. කොග්ගල ගම්මානයේ සුන්දරත්වය එදා කොග්ගල ගම්වැසියන් අලුත් අවුරුදු සැමරූ අයුරු මාටින් වික්‍රමසිංහ මහතා කොට්‌ටව රාළහාමි සමඟ කීවේය. ඒ අතීත කතාන්දර කොට්‌ටව රාළහාමි ඔහුගේ වචනවලින්ම අප ඉදිරියේ තැබුවේ මෙසේය.

-වික්‍රමසිංහ මහත්තයා කොග්ගල ගමට ආවහම දින දෙක තුනක්‌ ගමේ ඉන්නවා... ගමේ ඇවිදින එක ඇරුණම ලියන එක තමයි ලොකුම රාජකාරිය.... හු`ගක්‌ වෙලාවට මා සමඟ කථා කරන්නේ කොග්ගල ඔයේ ඔරුවෙන් යන විට... මම තමයි ඔරුව පදින්නේ... ආරක්‌ෂාවට ගමේ තරුණයෝ දෙතුන් දෙනෙක්‌ද යනවා... කලටි පොල් සමඟ ඉස්‌සෝ කකුළුවෝ කන්න වික්‍රමසිංහ මහත්තයා කැමතියි... ඔයේ යන විට ඉස්‌සෝ කකුළුවෝ ගෙනවිත් ධීවරයින් ඔරුක`ද යටට දමනවා. අතීත සිද්ධීන් ඔහු එකින් එක හරි අපූරුවට විස්‌තර කරනවා. ඒ කාලයේ කොග්ගල ගම්මානයේ අලුත් අවුරුද්ද සමරපු ආකාරය පිළිබ`ද ගොඩක්‌ කථා වික්‍රමසිංහ මහත්තයා මා සමඟ කියා තියෙනවා.

වික්‍රමසිංහ මහත්තයා තමයි පවුලේ බාලය මෙන්ම එකම පිරිමි දරුවා. ඒ කාලයේ දැන් වගේ මාධ්‍ය තිබුණේ නැහැ. අලුත් අවුරුද්දට මාස දෙක තුනකට කලින් අවුරුදු සීට්‌ටුව රැගෙන සීට්‌ටුකාරයා ගමට එනවා. එදා ඉ`දලා කොග්ගල වගේම අනිකුත් ගම්මානවල ගම්මුන් අලුත් අවුරුද්දට සූදානම් වෙනවා. ගැමි දරුවන්ට එදා ඉ`දලා අලුත් අවුරුද්ද. කොග්ගල තියෙනවා හිරිගල් දේවාලය කියලා පැරණි දේවාලයක්‌. වික්‍රමසිංහ මහත්තයා කුඩා කාලයේ අවුරුද්දට කලින් අම්මා තාත්තා හා පවුලේ අය සමඟ මේ දේවාලයට ගිහින් තියෙනවා පුද පූජා පැවැත්වීමට. සූර්ය නමස්‌කාර ස`දහා තමයි ගිහින් තියෙන්නේ. කිරිබත් පි`ගානක්‌, මල් බුලත් ප`ඩුරු රැගෙන ගිහින් පහන් පත්තු කරලා සූර්යා නමදිනවා.

කොග්ගල ගමේ ඉ`දලා තියෙනවා කළු අප්පු කියලා මනුස්‌සයෙක්‌. ඔහු තමයි වික්‍රමසිංහ මහත්තයාට බඹර උන්චිල්ලා හදලා දීලා තියෙන්නේ. ලෑලි දෙකක්‌ අරගෙන එකට තියලා බැ`දලා පුවක්‌ පටි ගහලා තමයි බඹර උන්චිල්ලාව හදන්නේ. ඒ කාලයේ ගැමි පිරිමි දරුවන් මෙන්ම ගැහැනු දරුවන් බඹර උන්චිල්ලා පදිනවා. කොග්ගල ඔයේ ඒ කාලයේ හැමතැනම ලණු අඹරණ තැන් තිබිලා තියෙනවා. පොල් ලෙලි පල්කරලා ඒවා තළලා කඹ අඹරණවා. ඒ කාලයට ලණුවලට තියෙන ඉල්ලුම වැඩියි. ඒ කාලයේ කඹවලින් සෑම ගෙදරකම පාහේ උන්චිල්ලා බ`දිනවා.

අලුත් අවුරුදු කාලයට ගමේ පිරිමි දරුවන් කජු අහුලන්න යනවා. කජු අහුලන්න යන්නේ වවුල් පළවල්වලට. කොග්ගල ගමේ වවුල් පළවල් තිබිලා තියෙනවා. වික්‍රමසිංහ මහත්තයාත් කොලු ගැටයා කාලේ කොලු ගැටවුන් එක්‌ක කජු ඇහි`දින්න ගිහින් තියෙනවා. වවුලෝ කජු පුහුලන් කාලා කජු ඇට මේ තැන්වලට ගෙනවිත් දමනවා. උදේ රැයින් තමයි කජු ඇහි`දින්න යන්නේ. ගොක්‌කොළවලින් හදපු පෙට්‌ටියක තමයි කජු ඇට දමන්නේ. වල කජු ගහන්නත් කජු ඇට ගන්නවා. ඒ විතරක්‌ නෙවෙයි කැවුම් හදනකොටත් කජු මද දමනවා.

ඒ කාලයේ අවුරුද්දට කලින් වළංකාරයා, රෙදි පොට්‌ටනිකාරයා කරවල තුනපහ අරන් කත්කාරයා ගමට එනවා. ගම්මුන් මේ අයගෙන් තමයි අවුරුද්දට අවශ්‍ය භාණ්‌ඩ මිලදී ගන්නේ. මේ අයට ගම්මුන්ද අවුරුදු තෑගි භෝග ලබා දෙනවා. ඒ කාලයේ කොග්ගල ගමේ හැම ගැමි ගෙදරකම පාහේ රබානක්‌ තිබිලා තියෙනවා. අවුරුද්ද කිට්‌ටු වන විට ගාල්ලට ගිහින් තමයි රබාන්වලට අලුත් හමක්‌ ගහගෙන ඇවිත් තියෙන්නේ. ගැමි කාන්තාවන් එකතුවෙලා රබන්පද කියමින් රබන් ගහනවා. දැන් නම් ගමක රබානක්‌ දකින්නවත් නැහැ.

ගෙවල් පිරිසිදු කිරීමත් කරන්නේ අවුරුද්ද කිට්‌ටුවන විට. ඒ කාලයේ කටුමැටි ගහපු ගෙවල් තමයි වැඩිපුර කොග්ගල තිබිලා තියෙන්නේ. ගම්මුන් කතළුවෙන් තමයි සුදු හුණු ගෙනවිත් ගෙවල් දොරවල්වල හුණු ආලේප කොට තියෙන්නේ. ඒ විතරක්‌ නෙවෙයි, වහලවල්වල පොල් අතු බැඳලා ළිං පිරිසිදු කරන්නෙත් මේ කාලයේ. ගෙවල්වල ඇති කරන ගවයින් නාවලා පිරිසිදු කරලා ඔවුන්ට මල්මාල පවා දමන්න ගැමියන් පුරුදුවෙලා හිටියා. වික්‍රමසිංහ මහත්තයාගේ පවුල කොග්ගල හිටපු ප්‍රභූ පවුලක්‌. සෙක්‌කු එහෙම තිබිලා තියෙනවා. සිල්ලර කඩයක්‌ තිබිලා තියෙනවා. සෙක්‌කුවලින් තමයි ඒ කාලයේ තෙල් හින්දේ. පොල්තෙල් ගන්න ගම්මුන් වික්‍රමසිංහ මහත්තයාගේ ගෙදරට ඇවිත් තියෙනවා.

ඇත්තටම ඒ කාලයේ අලුත් අවුරුදු කුඩා දරුවන්ට රජ මඟුලක්‌ වගේ තමයි. දුව පැන ඇවිදිමින් නොයෙකුත් කෙළි සෙල්ලම් කරනවා. වික්‍රමසිංහ මහත්තයාත් කුඩා කාලයේ කොග්ගල ගමේ කොලු ගැටව් එක්‌ක සෙල්ලම් කරලා තියෙනවා. ඔයේ පැනලා දිය බුන් ගැසීම මෙන්ම චක්‌ගුඩු පැනීම, ඉපිල් පැනීම, ගුඩු පැනීම ගැමි දරුවන් කරපු ක්‍රීඩා තමයි. අලුත් අවුරුදු කාලයට පංචි දැමීම ඒ කාලයේ හැම ගෙදරකම සිදුකරන ක්‍රීඩාවක්‌. වික්‍රමසිංහ මහත්තයාගේ ගෙදරත් පංචි දමලා තියෙනවා. ඔහුගේ අක්‌කලා එක්‌ක තමයි පංචි දමලා තියෙන්නේ. සල්ලිවලට තමයි පංචි දමන්නේ. දැන් තමයි අවුරුද්ද ලබන විට ඒ බව රටට කියන්න රතිඤ්ඤා පත්තු කරන්නේ. ඒ කාලයේ උණ බම්බුවලට භූමි තෙල් වත්කරලා උණ වෙඩිලි තමයි පත්තු කරලා තියෙන්නේ.

ගැමි දරුවන් සමඟ එකතු වෙලා වික්‍රමසිංහ මහත්තයා හරි අපූරු වැඩ තමයි කරලා තියෙන්නේ. ඒ කාලයේ ගැමි කතුන් වතුර ගෙනියන්න ළ`sද ළ`ගට ඇවිත් කථා කරකර ඉන්නවා. වික්‍රමසිංහ මහත්තයා අනික්‌ කොලු ගැටව් සමඟ කළය ඇතුළට කකුළු පැටව් අල්ලලා දමනවා. ඉතින් ගැමි ගැහැනුන් කයි කතාන්දර ඉවර කරලා ඇවිත් කළයට වතුර දමා අත දමලා කළය හෝදනවා එවිට කළය ඇතුළේ ඉන්න කකුළුවන් ගැහැනුන්ගේ අත් අල්ලනවා. ගැහැනු වතුර ගෙනියාම පැත්තක තියලා දුවනවා. නැතිනම් කළය පොළවේ ගහලා යනවා.

අලුත් අවුරුද්ද කිට්‌ටුවන විට පැදුරුකාරයත් ගමට එනවා. පැදුරු වියන්න පුළුවන් ගැමි කාන්තාවන් පන් උගුල්ලාගෙන විත් පැදුරු වියා ගන්නවා. අලුත් පැදුරු දමලා එවායේ වාඩිවෙලා තමයි අවුරුදු කාලා තියෙන්නේ. වික්‍රමසිංහ මහත්තයාගේ ගෙදරත් ජයටම අවුරුදු කාලා තියෙනවා. අවුරුදු කෑම මේසය පිළියෙල කරනවා. පසුව සාලයේ මැද පැදුරු එලනවා. අක්‌කලා පවුලේ අය පැදුරුවල වාඩි වෙලා පොල්තෙල් පහන් එහෙම දල්වලා නිල් මානෙල් කොළවල හා නෙළුම් කොළවල තමයි කිරිබත් ඇතුළු කෑම වර්ග දමාගෙන අවුරුදු කාලා තියෙන්නේ.

වැඩ අල්ලන කොට ගෙදර කාන්තාව තමයි ළි`දත් සමඟ ගනුදෙනු කරන්නේ. ඒ වගේම කිරි ගහක්‌ කපනවා. කොස්‌, දෙල්, වගේ ගස්‌ පිහියකින් කපනවා කිරි වැක්‌කෙරෙනකම්. කුඩා දරුවන් වැඩිහිටියන් සමඟ කැවුම්, කොකිස්‌, ඇතුළු කිරිබත් තැටි තමයි අසල්වැසි හා ඥාති ගෙවල්වලට අරගෙන යන්නේ. බුලත් දීලා වැ`ද නමස්‌කාර කරනවා. ගැහැනු අය ඇන්දේ කම්බාය. පිරිමි අය පට සරම නැතිනම් අල්ලි තියෙන සරම තමයි ඇන්දේ.

ඒ කාලයේ ගැමි ගෙවල්වල රාත්‍රියට පත්තු කරලා තියෙන්නේ නොම්මර 15 චිමිනි ලාම්පු. වවුල්පළවල්වලින් දොඹ ඇට එකතු කරලා දොඹ තෙල් හදාගන්නවා. ගමන් බිමන් යන විට ලැන්තෑරුම වගේම හුළු අතු අරගෙන යනවා.

ඒ කාලයේ බක්‌ මාසේ මඟුල් තුලා වැඩිපුර කෙරෙනවා. ගමට මනාලියෙක්‌ කැන්දාගෙන එනවිට ගැමි ගැහැනුන් ආදර තියලා මංගල ජෝඩුව පිළිගන්නවා. ටීපෝවක බුලත් තට්‌ටුවක්‌ හා ටොනික්‌ බෝතල් කිහිපයක්‌ තියලා තමයි මංගල ජෝඩුව පිළි ගන්නේ. වික්‍රමසිංහ මහත්තයා බල මාළු ඇඹුල් තියලා කන්න හරිම ආසයි. ඔහු ගමට එනදාට ගංදුවේ ජෝන් අයියාගේ හාමිනේ මාළු ඇඹුල් තියලා කරවෙන්න හදලා දෙනවා. කොට්‌ටව රාළහාමි වික්‍රමසිංහයන් පිළිබ`ද මතකය රසවත් කළේය.

ගම්පෙරළිය නව කථාවෙන්, මෙන්ම් අපේගම, උපන්දා සිට මඩොල්දුව යන කෘතිවලින් වික්‍රමසිංහයන් කොග්ගල ගැමි පරිසරය හා එහි සුන්දරත්වය හරිඅපූරුවට විස්‌තරකොට ඇත්තේය. එදා තිබූ ඒ ගැමි පරිසරය වියෑකී යමින් තිබේ. කොග්ගල නවීකරණය වී ඇත්තේය. ඒ කොයිහැටි වුවද පැරණි ගම්මුන් තමන්ට ආවේණික සිරිත් විරිත් රැකගැනීමට දැඩි අරගලයක නිරතව සිටිති.

ගාල්ල ලලිත් චාමින්ද

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.