ළමයින්ට අහිමි කළ
සෞන්දර්ය සොයා යැම!
'ලස්‌සන ලොව මල් පිපිලා'


විශාරද නන්දා මාලිනියගේ "ලස්‌සන මල් පිපිලා" ගීත සංයුක්‌ත තැටිය හා ඒ ගී පද මාලා ග්‍රන්ථයක්‌ ලෙස එළිදැක්‌වීමේ උළෙලට එක්‌වූ සිය රසික ජනතාවට ඇය විසින් විවර කරන ලද්දී මෙයින් වසර පනහක්‌ තරම් පැරණි සොඳුරු සංස්‌කෘතික කවුළුවකැයි මට සිතේ. නන්දා මාලිනිය විසින් දස හැවිරිදි වියෙහිදී ගයන ලද ඒ ගී එවක ළමා පරපුරෙහි සංස්‌කෘතික ආධ්‍යාත්මය පුබුදු කළ අපූර්ව අත්දැකීම් මාලාවක්‌ වූ බවද නිසැකය.

විශාරද නන්දා මාලිනිය වූ කලී සිංහල ගීතයට විශිෂ්ට සම්ප්‍රදානයන් කරන ලද්දා වූද, ශ්‍රී ලාංකික සංගීත කලාවේ අග්‍රස්‌ථානයේ සුදිලෙන්නා වූද අතිශයින්ම සුදුර්ලභ කලාකාරියක සේ ගෞරවයට ද ප්‍රශංසාවට ද පාත්‍රව සිටින්නා වූ පින්සරු ලියකි. චාම් දිවි පෙවෙතකින් සන්තෘප්ත වූ ඇගේ සංගීත කලා ජීවිතය රසික ජන ආධ්‍යාත්මය නිවී පහන් කරමින් ගලා බස්‌නා සුනිල ගඟුලක්‌ වැන්න.

නන්දා මාලිනිය විසින් ගායනා කරන ලද ගී සිංහල ජන මනස තුළ නිදන්ව ඇත්තේ යුගයේ අභීත කලාකාරියකගේ දුලබ ගායන ප්‍රතිභාවේ ද සමාජ විඥනයේ ද ප්‍රබල ප්‍රකාශනයන් ලෙස යයි මම කල්පනා කරමි. ඕ සිය මධුර හඬ සුවහසක්‌ රසික ජන හද නිබඳ රැව් දුන් වධ වේදනා නිවාලන්ටද ඔවුන් තුළ ප්‍රඥවේ පහන් සිල දල්වා ලන්ටද නිර්ලෝභීව කැප කළාය. 'ඔබට ගී ගයන මම කෝකිලාවක නොවෙමි' යනු ඇගේ ආත්මීය ප්‍රකාශනය විය. පන්ති සමාජය විසින් පීඩාවට පත් කරන ලද ජීවිතවල වේදනා සියුම් භාව ප්‍රකාශන බවට පත් කරන්නට ඕ සමඟ සංසාරගත ගිවිසුමක බැඳී සිටින මහාචාර්ය සුනිල් ආරියරත්නයන් සමග ඇය සමාජයට කළ ආමන්ත්‍රණය කොතරම් ප්‍රබල ද?

සිය කුටුම්බය දෙදරා ගිය වේදනා කටු මතින් නැඟී "සත්‍යයේ ගීතය ගයන ඇය දුකට පත් ලියන් වෙනුවෙන් විමසන්නී "පතිනිවරුන්ගේ ප්‍රාර්ථනා ලොව එය දැයි" යනුවෙනි. ශෝකය යනු රසයක්‌ බව දත් මහාචාර්ය සුනිලුන්ගේ පන්හිඳ තියුණු වන්නේ මේ අභීත කලාකාරිය තළ නිදන් වූ ස්‌ත්‍රිත්වයේ අභිමානය ද අධිෂ්ඨානය ද සිය කවි හදින් ස්‌පර්ශ කිරීම නිසාමය. සමාජ අසාධාරණයට එරෙහිව ඇගේ මියුරු සරය 'පවනක්‌' සේ නැගෙද්දී දේශපාලන අධිපතීහු මහත් සේ කැළඹුණහ.

අලුත් ලොවක්‌ ගැන සිතීම දඬුවම් දෙනවරදක්‌ දැයි ඇය අසන්නී ඒ ජරපත් සමාජය පිළිබඳ පිළිකුලෙනි. බලවතුන් රකින පන්තිය වරදවා ගත් දේශපාලන විකටයන් ගෙන්ද නිල ඇඳුම්වලින් විභූෂිත නිලබලවලින් ද ඇය අසන්නී "අයුක්‌තියේ අණ පිලිපැද කුමටද නුඹ පළඳින තරු" යනුවෙනි. මේ සමාජ ප්‍රශ්න කිරීම නිසා නන්දාට මෙන්ම මහාචාර්ය සුනිල්ට ද රට හැර ගොසින් සැඟවී සිටීමට සිදුවූ බව ප්‍රකට රහසකි.

සුනිල් - නන්දා සුසංයෝගයෙන් බිහිවූ ඇතැම් ගී වර්ගවාදීන්ට සිත් සේ යොදා ගත හැකි උත්තේජන බවට පත්වූ අවස්‌ථා ද විය. "මේ සිංහල අපගෙ රටයි එයට හොඳම නිදසුනකි. මේ ගීතය ලියූ මහගමසේකර කිසි දිනක ජාතිවාදය පෝෂණය කළ අයෙකු නොවීය. එහෙත් ඒ ගීතය සිංහල ජාතිවාදය දල්වන වෙඩි මුරයක්‌ බවට පත් කිරීමේ චෝදනාව ඇය වෙත ද එල්ල විය.

දේශපාලන හා සමාජ සංස්‌කෘතික වශයෙන් වියපත් වූ ද , පරිණත වූද නන්දා පසු කලක ඉතා නිවැරැදිව මානව දයාව උදෙසාම සිය ගීතය කැප කළාය. 'සිංහල, දෙමළ, මුස්‌ලිම් සහෝදරයිනි එක්‌වව්" යන්න හෘදයාංගම අයුරින් සමාජ ගත කිරීමට ඇය උනන්දු වූවාය. ජීවිත පරිඥනය යනු සමාජය තුළ ගැටීමෙන් ද ශාස්‌ත්‍ර අධ්‍යයනයෙන්ද ලබන බලයක්‌ වැන්න. කලාව යනු මානව වර්ගයාගේ යහපත ද අභිවෘද්ධිය ද සලසා දෙනු ලබන ඥානමය භාවිතයක්‌ බව ඇය පසක්‌ කර ගන්නී ඒ පසුබිම තුළය.

පනස්‌ වසරකට පෙර කොටහේන ගුණානන්ද විදුහලේ කුඩා දැරියකව සිටි නන්දා මාලිනිය හා පුරා කියා ගුවන් විදුලියට එන්නී මාග්‍රට්‌ පෙරේරා නමැති ගුරු මවකගේ සුරතෙහි එල්ලී ගෙනය. එදා ගුවන් විදුලි ළමා මණ්‌ඩපයෙන් හිස්‌ අහසට නැඟී විසිරී ගිය ඒ දැරියගේ හුරතල් කටහඬ මතුයම් දිනක ජාතියේ යසෝරාවය බවට පත්වනු ඇතැයි කිසිවෙක්‌ සිතන්ට ඇද්ද? එහෙත් ලක්‍ෂ්මිය පෑල දොරින් පිටව ගිය කුඩා පැලක්‌වන් ගෙතුළ සරසවිය ලැඟුම් ගෙන ඇති බව නන්දාගේ දෙමවුපියන්ට නම් ඉවෙන් මෙන් දැනෙන්ට ඇති බව ද නිසැකය.

නවීන තාක්‍ෂණයේ පිමි පනින සන්නිවේදන ලොවක කොළහලයෙන් මිදුණු එදා ගුවන් විදුලිය නන්දා මාලිනියගේ ගැයුම් විලාසය සුමට කළ අයුරු නම් විස්‌මිතය. එයට බලපෑ වෙනත් සාධනීය හේතු ද විය. එකල මේ රටේ දරුවන් සවනට ඇසුණේ කුමාරතුංග මුනිදාස, ආනන්ද රාජකරුණා, ඇස්‌. මහින්ද හිමි වැනි කවීන්ගේ රසාලිප්ත ළමා කවි රචනාවන්ය. ඒ බොහෝ නිර්මාණ ළමා සිත් සතන් පහන්කළා වූද සොබා දහමේ චමත්කාරය වඩන්නා වූද කවි සිතිවිලිය.

නන්දා මාලිනිය වැඩුණේ ඒ ළමා කවිය සමඟය. ළමයින්ගේ නිර්මල සිත් මඬල සුපුෂ්පිත කළ කවි නිතර දෙවේලේ සවනත ගැටෙන යුගයක ළමා සිතක ජනිත වන සෞන්දර්යය කෙබඳු දැයි අමුතු විවරණ නුවුවමනාය. ළමා සිත කෙතරම් ප්‍රභාස්‌වරදැයි ඒ කවි ඇසුරු කළ වැඩිහිටියෝම දනිති. අද ළමා සිතට ඇතුළු වන්නේ කෙබඳු කසල මළ දැයි බොහෝ විද්යුත් මාධ්‍ය දෙස බලද්දී නොපෙනේද?

නන්දා මාලිනිය ළමා වියේදී ගැයූ බුදු සාදු... සඳුන් ගසක්‌ වෙන්නම්, ගම්මානේ ගං ඉවුරේ, හුරතල් පොඩි හාවා වැනි ගීs වෙනුවට අද දරුවන් විසින් ගයනු ලබන ගී කෙබඳුq ද? ළමා වැඩසටහනක්‌ ලෙස හැඳින්වුණු විචිත්‍රංගයක ඉතා කුඩා දරුවකු "කුමරියක පා සළඹ සැලුණා" ගීතය ගයනු ඇසූ මම විස්‌මයට පත්වීමි. ශෘංගාරය යනු ළමා වියට උචිත තේමාවක්‌ නොවන බව ඒ ගීතය ළමා මුවට නැංවූ කිසිවකුට නොදැනීම කෙබඳු ෙ€දවාචකයක්‌ ද? උචිතානුචිත විවේක බුද්ධියකින් තොරව කෙරෙන මෙබඳු, ගැයුම් සංදර්ශනවලට එවන් ළපටි දරුවන් යොදා ගැනීම අපරාධයක්‌ නොවේද?

අනෙක්‌ අතට මෙබඳු ගී ළමා ලොවක්‌ නිරූපණය කරන්නේද? ළමයින්ගේ සිතුම් පැතුම් ඒ ගී තුළ දිදුලන්නේ ද? වැඩිහිටියන්ගේ කාමභෝගී ජීවිත සමග බැඳුණු අත්දැකීම් ළමා මනසට අගෝචර බව කවුරු නොදනිත්ද? ප්‍රේමයේ වියෝගය, අනුරාගයේ ප්‍රාර්ථනා ළමා මුවින් ගායනා කරවමින් අත්පුඩි නගන දෙමවුපියෝ හසරක්‌ නොදත් පිරිසක්‌ නොවෙත්ද?

නන්දා මාලිනියගේ මෙම ගීත අද අප වසනා ජරපත් සමාජ තතු නමැති නිරයෙන් මිදීමට අපට අනුබල දෙන සොඳුරු අත්දැකීම් මාලාවකැයි මා කියන්නේ ඒ අරුතින්ය. අද ළමයින්ට ඔවුන්ගේ ලෝකය අහිමි කරනු ලැබ ඇත. ළමා මනස තුළ රජයන්නේ ද ඊර්ෂ්‍යා, ක්‍රෝධ, මද මාන, මාත්සර්ය බඳු විසය. ඒ සිත් නිරන්තරව කිළිටි කරවන කෙලෙස්‌ මළ බොහෝ මාධ්‍ය ඔස්‌සේ ද බොහෝ වැඩිහිටි සමාජ ඔස්‌සේ ද ගලා යමින් ද තොරම්බල් කරමින්ද තිබේ.

ළමා ලොව විචිත්‍ර කරවන කවි, ගී අප තුළ දල්වන චමත්කාරය කෙබඳු ද? දාරක ප්‍රේමය අප සිත් නිවාලන ඔසුවක්‌ වැන්න. දරුවන් වියපත් විය යුත්තේ සෞන්දර්ය මනසක්‌ හා දයාද්‍ර පරිසරයක්‌ සමගය. එබඳු ළමයා වැඩෙන විට උතුම් මිනිසකු වන්නේ නිරායාසයෙනි.

ශ්‍රී රාහුල හිමියන් විසින් "කාව්‍යශේaඛරයට එක්‌ කරන ලද මේ කව මොනතරම් සුන්දරදැයි විමසා බලනු මැනවි.

දත් කැකුළු පාලා

සුරතල් සිනා සීලා

බොළඳ බස්‌ දීලා

කෙළී සියලඟ දූලි ගාලා

හැම දරුවකුගේම යථා ස්‌වභාවය මෙයයි. එහෙත් දරුවන් පෙලන, උන්ට තලන, උන්ගෙන් වහල් මෙහෙවර ගන්නා, අය කොපමණ සිටිත්ද? ඒ මල් කැකුළු අපහරණය කරන අශිෂ්ටයෝ කොපමණ සිටිත්ද? මෙවන් සමාජයක දාරක ප්‍රේමයක්‌ තිබිය හැකිද?

මෙලෙස ළමා ලෝකය පිළිබඳ දල්වන ලද බොහෝ අපේක්‍ෂාවන් අද විනාශයට ගොසින්ය. අද දරුවා තාක්‍ෂණ දියුණුවේ පිනුම් ගසන්නෙකැයි කෙනෙක්‌ කීමට බැරි නැත. පරිගණකය ඇතුළු විද්‍යා ශාස්‌ත්‍ර හරඹ ළාබාල වියෙහි සිටම අතැඹුල් සේ දන්නා ළමෝ සිටිතියිද කියන්ට බැරි නැත. එදා අප දුටු සුන්දර ළමා ලෝකය අද කොහිද? එබඳු අහිංසක ළමෝ කොහි සිටිත්ද? යනාදී ප්‍රශ්න මගේ හද ප්‍රකම්පිත කරවමින් නැගෙයි.

ලස්‌සන මල් පිපිලා අපට ආරාධනා කරන්නේ ඒ සොඳුරු ළමා ලොව මිහිර විඳින්ටය. මානව වර්ගයාගේ පැවැත්ම හා සංවර්ධනය හුදෙක්‌ ළමා සම්පත බව අද පිළිගනු ලැබේ. දරු පෙම නොහඳුනන කුරිරු වැඩිහිටියෝ ඒ තතු නොතකමින් දරු සම්පතට නොයෙක්‌ වින කරති. දරුවන්ට පමුණුවන වධ හිංසා ගැන නිතර ඇසෙයි. දම්වැල් දමා බඳින, සිගරැට්‌ දැල්ලෙන් සිරුර පුළුස්‌සන, කප්පම් ඉල්ලා දරුවන් මරණ, සමාජයක්‌ නොවේද මේ?

ළමා විය අහිමි කරන ලද ළමයින් රේස්‌ අසුන් බවට පත් කරගත් අවස්‌ථා ද බොහෝය. පහේ ශිෂ්‍යත්වය නමැති මාරක කඩුල්ල ළඟ වැටෙන ළමෝ කොපමණ සිsටිත්ද?

නන්දා මාලිනියගේ මේ "ලස්‌සන මල් පිපිලා" ගී පහන් වැට යළි දැල්වෙන්නේ මේ විකෘති සමාජ යථාර්ථය ප්‍රකෘති සමාජ අර්ථයක්‌ බවට පත් කර ගැනීමේ අභිලාෂයෙන් බව මගේ වැටහීමයි. අප විසින් දරුවන්ගෙන් උදුරා ගන්නා ලද ඒ සුන්දරත්වය අප්‍රමාදව ඔවුන්ට හිමි කර නොදී කිසිසේත් මේ ගමන යා නොහැකි බව ඇගේ අවධාරණයයි.

ලස්‌සන මල් පිපිලා ග්‍රන්ථයෙහි එන අලංකාර චිත්‍ර ළමා සිතුවම් කලාවෙහි වෙසරද සිබිල් වෙත්තසිංහගේ පරිකල්පනයෙහි අග්‍ර ඵලයක්‌ වැන්න. ළමා නිර්මාණ සංග්‍රහයකට උචිත වර්ණ සංකලනයෙන් සෝබා සම්පන්න වූ ඒ සිතුවම් ද අගය කළ යුතුය.

නන්දා මාලිනියගේ මේ අගනා සමාජ සත්කාරය මල්පල ගන්නේ ඇයගේ අප්‍රතිහත ධෛර්යත් ඇය සමග එක්‌වූ සහෘද සංගීතඥ රෝහණ වීරසිංහයන්ගේ අසාමාන්‍ය ප්‍රයත්නය නිසාත් බව ඇය අනාවරණය කළාය. ඇය විසින් එදා ගයන ලද මේ ගී බොහොමයකම පද රචකයා කවරෙක්‌ද යන්න පවා සඳහන්ව නැත. ගී තනු නිර්මාණය ඩී. ඩී. ඩැනී තිලකසිරි ප්‍රනාන්දු වැනි ශිල්පීන්ට ද මෙහිදී ප්‍රශංසාවක්‌ හිමි විය යුතුය.

පසුකාලීනව මහාචාර්ය සුනිල් ආරියරත්න හා මහින්ද අල්ගම ලියූ ගීත කීපයක්‌ ද මෙහි එයි. මේ සියල්ල මෙලෙස යළි අපට විඳගත හැකි ආස්‌වාදනීය අත්දැකීමක්‌ බවට පත් වූයේ හෙළ දිව මහා පොත්හල ලෙස විරුදාවලි ලද ගුණසේන සමාගමේ කාරුණික මැදිහත්වීම නිසා බවද සඳහන් කළ යුතුය. කෙසේ හෝ ඒ අහිමි වී ගිය ළමා ලෝකය හෙට උපදින දරුවන්ට ලබාදීමට මෙමගින් කෙරෙන හෘදයාංගම ආයාචනයට අපට පිටුපෑමට නොහැකි බවද සඳහන් කළ යුතුය.

- ගාසු

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.