ඇත්ත සරදියෙල් කවුද?

2011 මැයි මස 8 වැනිදා දිවයින ඉරිදා සංග්‍රහයේ "සරදියෙල් එල්ලා මරා වසර 147" යනුවෙන් පළවූ ලිපියේ මහජන ගඟක්‌ මැද පෝරකයට ගිය සම්මාන පුද නොලද වීරයා යනුවෙන් නම් කොට තිබූ සරදියෙල්ගේ ඡායාරූපය මතභේදාත්මක එකකි. බොහෝ ජනමාධ්‍යවල සරදියෙල් වශයෙන් හඳුන්වමින් මේ පින්තූරය පළකර ඇති අන්දම මා දැක ඇත. එසේ වුවද එම ඡායාරූපයේ සිටින්නේ සරදියෙල් නොව ඔහුගේ අපරාධ සහායකයා වන මම්මලේ මරික්‌කාර් නමැත්තාය.

දෙවැනි මහා ලෝක යුද සමයෙහි සිංහලයන්හට යුද පුවත් දැන ගැනීම සඳහා "වීර ලංකා" නමැති පිටු 16 ක කුඩා සතිපතා සඟරාවක්‌, ලංකාවේ රාජකීය හමුදා අග්‍ර සේනාධිපතිතුමාගේ මහජන සම්බන්ධතා කාර්යාලය විසින් පළ කරන ලදී. එම සඟරාවේ මීට වසර 67 කට පෙර නිකුත් කරන ලද 1944 අප්‍රේල් 15 කලාපයේ "උතුවන්කන්දේ සරදියෙල්" නමැති ලිපියක්‌ පළ වී ඇත. ඒ සමඟ ඡායාරූප දෙකක්‌ද පළකර තිබේ. ඉන් එකක්‌ සරදියෙල්ගේය. අනෙක මෙම මත භේදාත්මක ඡායාරූපයමය. එය මම්මලේ මරික්‌කාර්ගේ බව එහි දැක්‌වේ.

එම ලිපියෙහි දැක්‌වෙන ආකාරයට අවසන් සටනේදී වෙඩි වැදුණේ සරදියෙල්ගේ දකුණු අතටය. මම්මලේට වූ උපද්‍රව්‍යයන් ගැන සඳහන් නොවේ. එම ඡායාරූපයේද දකුණු අතට වෙඩි වැදීමෙන් වූ තුවාල නිසා එම අත වෙළුම් පටිවලින් වෙලා බෙල්ලේ එල්ලාගෙන සිටින සරදියෙල් දැක්‌වේ. සිදුවූ ආපදා නිසා ඔහු පින්තූරයට මුහුණ දුන්නේ වාඩිවීගෙනය.

ලිපියෙහි මෙසේද දැක්‌වේ. "වෙඩි පහරකින් තුවාල ලත් අතක්‌ ඇති සරදියෙල් වාඩිවී සිටී මම්මලේ මරික්‌කාර් දෙවැනි පින්තූරයෙන් පෙන්වයි. මේ පින්තූර ගන්නා ලද්දේ වර්ෂ 1864 දී ගන්නා ලද ඡායාරූපයන්ගෙනි.

සරදියෙල් යනු ඉතාමත් කෙසඟ සිරුරක්‌ ඇති පුද්ගලයෙකු බව ජන ප්‍රවාදයන්හිද සඳහන් වේ. "සූර සරදියෙල්" යෑයි කී විට සිතක මැවෙන ප්‍රතාපවත් පෙනුම ඔහු සතුව නැත. එහෙත් මම්මලේගේ පෙනුම වඩාත් හැඩි දැඩිය. මේ නිසා සමහරු තමන්ගේ සිතෙහි මැවෙන ප්‍රතිරූපයට සමාන ඡායාරූපය සරදියෙල් යෑයි සිතනවා ඇත. එනමුත් එය ඔහුට කරන ගෞරවයක්‌ වන්නේ නැත.

මම්මලේද ලේසි පහසු පුද්ගලයෙකු නොවේ. සරදියෙල්ටද වඩා නම පවතින වැඩක්‌ ඔහු කර ඇත. සෑම වසරකම මාර්තු මස 21 වැනිදා ඔහුගේ නම සිහිපත් කරන පිsරිසක්‌ද ලංකාවේ සිටිති. ඒ පොලිස්‌ නිලධාරීන්ය.

ශ්‍රී ලංකා පොලිස්‌ ඉතිහාසයේ ප්‍රථම වරට පූර්ණ බලලත් පොලිස්‌ භටයෙකු රාජකාරියක්‌ ඉටුකිරීමට යැමේදී මරණයට පත්වූ දිනය ලෙස ලේඛනගතව ඇත්තේ 1864 මාර්තු මස 21 වැනිදාය. එදින ශෝක ජනක ලෙස මරණයට පත්වී පොලිස්‌ වීර භට නාමාවලියෙහි අනු අංක 01 ස්‌ථානයට සටහන්ව ඇත්තේ "සභාන්" නම් පොලිස්‌ කොස්‌තාපල්වරයාගේ නාමයයි. පෞද්ගලික එදිරිවාදිකමක්‌ පිරිමසා ගැනීමට නොව තමන් දිවුරුම් දී ප්‍රතිඥ දුන් රාජකාරිය ඉටුකිරීමට යැමේදී මම්මලේ මරික්‌කාර්ගේ වෙඩි පහරින් සභාන් මහතා මරණයට පත් විය.

සේවය වෙනුවෙන් තම වටිනා ජීවිතය පුදකරන ලද නිලධාරීන් අනුස්‌මරණය කොට උපහාර පුද කිරීම "පොලිස්‌ සමරු දිනය" වන මාර්තු 21 වැනිදා සිදුකෙරේ. ඒ සභාන් මහතාටද කරන උපහාරයක්‌ වශයෙනි. සරදියෙල් හා මම්මලේ අත්අඩංගුවට පත් වූයේද එදිනමය.

පොල්ගහවෙල
දයානාත් ධර්මසේන

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.