කාන්තා දිනයට උඩින් ගිය
බිරිඳගේ පොත


බිරිඳ කුස්‌සියේ සිට පොල්ගාන හඬ මට ඇසේ. ඇයගේ සහයට යැමට මගේ සිත ඉඩ නොදේ. මම තවමත් බොරු නින්දේ පසුවුණෙමි.

මාව නින්දෙන් අවදිකර ගැනීම සඳහා ඇය විවිධ උපක්‍රම සිදුකළහ.

හැම මිනිහාම දේශපාලනය කරන්න හදනවා. අපේ මනුස්‌සයා දේශපාලනය කරලා දියුණු වෙන්න කැමැති නැහැ. මන්ත්‍රී කෙනෙක්‌ හරි ඇමැති කෙනෙක්‌ හරි ප්‍රාදේශීය සභා මන්ත්‍රී කෙනෙක්‌ වුණානම් අද හොඳ සල්ලිකාරයෙක්‌ වෙන්න තිබුණා. කොහෙද ඉතින් පවට පින දෙන්න බැහැනේ. ඇය පොල් ගෑම නතර කර මහ හයියෙන් එසේ කියන්න පටන් ගත්තාය.

අද දේශපාලනයට තියෙන්නේ නියම තැනක්‌. ඔය මහින්ද මහත්මයා අලුතින් පක්‍ෂයක්‌ ආරම්භ කරන්න යනවාලු. ඒ ගැනවත් අපේ මනුස්‌සයා හිත යොමු කරන්නේ නැහැනේ.

බිරිඳගේ ප්‍රකාශය නිසා බොරු නින්දේ පසුවුණු මම එකවරම කෑ ගැහුවෙමි.

කෙහෙල්මල.... නිවාඩු දවසකවත් සැනසිල්ලේ ටිකක්‌ නිදාගන්න බැහැ. එෆ්.එම්. රේඩියෝ එකක සින්දු ඉල්ලන වැඩසටහනක්‌ වගේ. ඔය ඝෝෂාව නතර කරන්න.

මම කතා කළොත් වැරදියි. ඔය නින්ද පැත්තකට දාලා මට උදව් වුණොත් නරකද? ඉස්‌පිරිතාලේ ලෙඩ වෙලා ඉන්න අම්මාව බලන්න යන්නත් ඕනෑ. ඇටන්ඩන්ලා හිටියට පලක්‌ නැහැ. අම්මාගේ ඔක්‌කොම සාත්තු සප්පායම් ලෙඩාගේ පවුලේ අය බලා ගන්න ඕනෑ. පුදුම සේවකයෝ ලෙඩා ළඟ තනියට පැය 24 ම කාවහරි දාලා ඉන්න ඕනෑ. තේරුණාද?

මේ සාත්තු සේවකයින්ට වචනයක්‌ කියන්න බැහැ. වැඩ වර්ජනය කරනවා මේ ක්‍රම නතර කරන්න ඕනෑ. සාත්තු සේවකයින්ගෙන් වැඩ ගන්න ඕනෑ. ඇමැතිතුමාට ඒවා පෙනෙන්නේ නැහැ. ඔහේ දේශපාලනයට ආවානම් ඔය සාත්තු සේවකයෝ ඔයාටත් සැලුට්‌ ගහයි.

දැන් ඉවරද ඔහේගේ ඝෝෂාව. එකකින් පටන් ගන්නේ එකකින් ඉවර කරන්නේ. හරියට විමල් මහත්මයාගේ කතාව වගේ. ඇමරිකාවට මුලින්ම බනිනවා. ඊට පස්‌සේ රනිල්ට බනිනවා. එයාටත් කාටහරි දොස්‌ කියන්න ඕනෑ. ඔය මනුස්‌සයා දන්න කාලේ ඉඳලා හැම කෙනාම විවේචනය කරනවා. ඔය මනුස්‌සයා කවදාවත් කියල නැහැ බුදුසරණයි දෙවි පිහිටයි කියලා බනින නැකතක ඉපදිලා තියෙන්නේ.

ඔය වැඩක්‌ නැති කතා නතර කරලා මට පොල් ගාන්න උදව්කරන්න. තේරුණාද දැන් පොල් ගිනි ගණන්. ගෑස්‌ මිල පිටි මිල හැම ජාතියක්‌ම අඩු කරලා පලක්‌ නැහැ. ඒ ලාභය පොල් වලටයි, හාල් වලටයි වැය කළාම ඔක්‌කෝම ඉවරයි. පොල් ටික ගාලා... ගේ පොඩ්ඩක්‌ අතුගාලා දාන්න. තනි ගැහැණියකුට මේ ඔක්‌කෝම කරන්න බැහැ. ගෑනු වෙලා උපත ලැබීම දුකක්‌. ඇය හැඟුම්බරව කීවාය.

තනි ගැහැණියෙකුට ගෙදර වැඩ ඔක්‌කෝම කරන්න බැරි නම් තවත් ගැහැණියක්‌ ගෙනෙමු. මම පුංචි විහිළුවක්‌ කළෙමි. මාව යකා අවුස්‌සන්න එපා තේරුණාද? පොල් ටික ගාන්න බැරි නම් යන්න. මම තනිවම කර ගන්නම්. ඇය කෑ ගැහුවාය.

ඒ සමග ඉස්‌සරහ දොරට කව්දොa තට්‌ටු කළේය.

ඔක්‌කොම වැඩ ඉවරයි. අනුමානයක්‌ නැහැ. රොයිටර් අක්‌කා ඇවිල්ලා වගේ කියමින් ඇය දොර විවෘත කළාය.

අනේ මේ ඔයා කියමින් මහා හිනාවකින් මගේ බිරිඳ මේ අමුත්තිය පිළි ගත්තාය.

මහත්මයා ඉන්නවාද?

ඔව්... ඔව්. අද එයා ගියේ නැහැ. කාමරයේ පොතක්‌ කියවනවා යෑයි ඇය මහා බොරුවක්‌ කියනවා ඇසුණි.

ඇය කුස්‌සියට පැමිණ රහසින් කතා කළාය.

ඇහුණද අපේ විමලා ඇවිල්ලා. මම කිව්වා ඔයා පොතක්‌ කියවනවා කියලා. ගිහින් එයත් එක්‌ක කතා කරන්න. බිරිඳ මට නියෝගයක්‌ කළාය.

විමලාට ඇය තේ හදන්න පටන් ගත්තාය.

නෝමන් මහත්මයා මම ඔයාව හොයාගෙනයි ආවේ. අපේ කාන්තා දිනය නිමිත්තෙන් පැවත්වෙන උත්සවයට ආරාධනා කරන්න ආවේ.

ඔබ තුමාගෙන් හොඳ කතාවක්‌ බලාපොරොත්තු වෙනවා.

මොකක්‌ද මාතෘකාව?

පිරිමි පක්‍ෂය කුස්‌සියේ වැඩට හවුල් කරගන්නා ගැහැණුන්ට විරුද්ධව පැයක දේශනයක්‌ ඕනෑ.

මගේ බිරිඳ සාලයට පැමිණියාය. ඒ කතාවට ඔබිනම කෙනා තමයි මගේ මහත්මයා. කොහෙද ඉතින් අපේ නෝමන් මහත්මයා කාමරයට වෙලා නිවාඩුවට පොතක්‌ කියවනවා මිසක්‌ කුස්‌සියේ පැත්තකටවත් එන්නේ නැහැ. අපි පිරිමින්ගෙන් වැඩ ගන්න නරකයි.

බිරිඳගේ කතාවට මම පුදුම වුණෙමි. කාන්තාවන් වෙනුවෙන් හඬක්‌ නඟන පිරිමි ගැනද මම මතක්‌ කළෙමි.

නෝමන් පළිහවඩන

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.