19ට අපි පක්‌ෂයි
ශ්‍රීලනිප මන්ත්‍රීවරු ජනපතිට කියති

අජිත් අලහකෝන් - කුෂාන් සුබසිංහ

මැතිවරණ ක්‍රමය වෙනස්‌ කිරීමේ විසිවැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනය ඉදිරිපත් කළ පසුව දහනව වැනි ව්‍යවස්‌ථා සංශෝධනයට පක්‍ෂව තමන් ඡන්දය ලබා දෙන බව ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ මන්ත්‍රී කණ්‌ඩායම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවේ ප්‍රකාශ කර ඇත.

දහනව වැනි ව්‍යවස්‌ථා සංශෝධනය මෙම 20 සහ 21 යන දිනවල විවාද කිරීමට එකඟවී ඇති මන්ත්‍රීවරු එහි ඡන්ද විමසීම විසිවැනි ව්‍යවස්‌ථා සංශෝධන ඡන්ද විමසීම සමඟ එකම දිනෙක සිදු කළ යුතු බව ද ජනාධිපතිවරයාට ප්‍රකාශ කර තිබේ.

ශ්‍රීලනිප මන්ත්‍රී කණ්‌ඩායම පසුගිය (10) පෙරවරුවේ මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ පාර්ලිමේන්තු සංකීර්ණයේ මෙම රැස්‌වීම පවත්වා තිබේ. එම රැස්‌වීමට සහභාගි වූ ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයා මාධ්‍ය වෙත අදහස්‌ පළකරමින් ප්‍රකාශ කළේ තම මන්ත්‍රී කණ්‌ඩායමේ ඉල්ලීම ජනාධිපතිවරයා ඉතා සාවධානව අසා සිටි බවය.

මෙම රැස්‌වීමේදී විසංවාද කිසිවක්‌ නොතිබූ බව කී මන්ත්‍රීවරයා එස්‌. බී. දිසානායක, ඩිලාන් පෙරේරා මහාචාර්ය ජී. එල්. පීරිස්‌, විපක්‍ෂ නායක නිමල් සිරිපාලද සිල්වා, මහින්ද සමරසිංහ, අනුර ප්‍රියදර්ශන යාපා සහ රංජිත් සොයිසා යන මහත්වරු අදහස්‌ ප්‍රකාශ කළ බවද කීය.

මෙම සංශෝධන දෙක සඳහා එක්‌ දිනක ඡන්දය විමසීම සිදුකරන නිසා අප්‍රේල් විසිවැනිදා පාර්ලිමේන්තුව විසුරුවීම සිදුකළ නොහැකි බව ද මන්ත්‍රීවරයා කීවේය.

තමන්ටද අවශ්‍ය වී තිබෙන්නේ ඉක්‌මන් මැතිවරණයක්‌ බව කී එම මන්ත්‍රීවරයා දහනවය සහ විසිවැනි ව්‍යවස්‌ථා සංශෝධන සම්මත කළ දා සිට පාර්ලිමේන්තුව විසුරුවා හරියා සේ සලකා යම් වගන්තියක්‌ අදාල පනත් කෙටුම්පතේ සඳහන් කළ යුතු බව ද ඊයේ ඇමැති රැස්‌වීමේදී යෝජනා වූ බව ප්‍රකාශ කළේය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.