හැම සංශෝධනයක්‌ම ගෙනාවේ කඩි මුඩියේ
- ජනතා විමුක්‌ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක

ප්‍ර- ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට ගෙන ඒමට යන 19 වැනි සංශෝධනය පිළිබඳ අලුත්ම තත්ත්වය කුමක්‌ද?

පි - මෙය අප්‍රේල් 9 සහ 10 දිනවල පාර්ලිමේන්තුවේ සාකච්ඡා කොට සම්මත කිරීමටයි නියමිතව තිබුණේ. එහෙත් ඒ පිළිබඳ ශේ්‍රෂ්ඨාධිකරණයේ තීන්දුව ලැබුණේ අප්‍රේල් 8 දා සවසයි. එය අධ්‍යයනය කිරීමට කාලය ප්‍රමාණවත් නැති බැවින් පක්‍ෂ නායක රැස්‌වීමේදී තීරණය කළා අප්‍රෙAල් 20 දා පාර්ලිමේන්තුවේ විශේෂ රැස්‌වීමක්‌ කැඳවා 19 වැනි සංශෝධනය සම්මත කිරීමට.

ප්‍ර - මෙය 20 දා එක දවසින්ම විවාද කොට සම්මත කරනවාද?

පි. - ඒක කියන්න බැහැ. එය පක්‍ෂ නායක රැස්‌වීමකදී තමයි තීරණය කෙරෙන්නේ මෙයට සංශෝධන ගණනාවක්‌ ඇතුළත් කිරීමට තිබෙනවා. ඒවාත් ඇතුළත් කොට සාකච්ඡා කර සම්මත කිරීම තමයි වැදගත්.

ප්‍ර- ජනමත විචාරණයකින් සම්මත කළ යුතු බවට ශේ්‍රෂ්ඨාධිකරණය තීරණය කොට තිබුණේ සංශෝධනයේ කුමන වගන්ති ද?

පි - කථානායකතුමා නිල වශයෙන් ඒක පාර්ලිමේන්තුවට දැනුම් දේවි. මෙහි සඳහන් අගමැතිවරයා ආණ්‌ඩුවේ නායකයා ය කියන වගන්තිය සම්මත කරනවා නම් ජනමත විචාරණයකින් එය සිදු කළ යුතු බව එම තීන්දුවේ දක්‌වා තිබෙනවා. කැබිනට්‌ මණ්‌ඩලයේ ඇමැතිවරුන්ගේ විෂයයන් තීරණය කළ යුතු වන්නේ ද අගමැති විසින් හෝ ජනාධිපති විසින් බවද ශේ්‍රෂ්ඨාධිකරණය එහි දක්‌වා තිබෙනවා. එසේ නැතිනම් ජනමත විචාරණයකට යා යුතුවෙනවා. නමුත් අප ප්‍රයත්න දැරිය යුත්තේ ජනමත විචාරණයකට නොයා පාර්ලිමේන්තුවේ 2/3 ක ඡන්දයෙන් මෙය සම්මත කර ගැනීමටයි. විධායක බලය යම් ප්‍රමාණයක්‌ ජනාධිපතිට, තවත් ප්‍රමාණයක්‌ ඇමැති මණ්‌ඩලයට, තව ප්‍රමාණයක්‌ පාර්ලිමේන්තුවට පැවරෙනවාට ප්‍රශ්නයක්‌ නැහැ. නමුත්, ශේ්‍රෂ්ඨාධිකරණයේ තීන්දුවට අප ද ගරු කළ යුතුයි.

ප්‍ර- මේ තත්ත්වය යටතේ දැන් හෙළ උරුමය 19 වැනි සංශෝධනයට කැමැති වේවි නේද?

පි- හෙළ උරුමය එතරම් ගණන් ගත යුතු නැහැ. ඔවුන්ට පාර්ලිමේන්තුවේ එතරම් බලයක්‌ නැහැ. ඇත්තටම පාර්ලිමේන්තුව තුළ හෝ රට තුළ ඔවුන්ට බලයක්‌ නැහැ. ඔවුන්ගේ තීරණයට වඩා වැදගත් වන්නේ ශ්‍රී ලනිප නායකයා හැටියට මෛත්‍රීපාල සිරිසේන මහතාගේ තීරණයයි. ඉතින් එතුමා සමග කළ සාකච්ඡාවේදී එතුමා අපට ඒත්තුගන්වලා තිබෙනවා ශේ්‍රෂ්ඨාධිකරණ තීරණයට අනුකූල වන පරිදි මෙය පාර්ලිමේන්තුව තුළදී සම්මත කර ගත යුතු බව.

ප්‍ර- ඔබ ප්‍රකාශ කළා." හඬ ඡේකොබ්ගේ අණ ඊසොප්ගේ" කියල. ඒ කියන්නේ චම්පික කියන්නේ මෛත්‍රීගේ අදහස්‌ බව?

පි - ඒක මෛත්‍රීපාල සිරිසේන මහත්තයා තහවුරු කළ යුතුයි. මම ඉක්‌මන් වෙන්නේ නැහැ. දැන්ම ඒක එහෙම නොවෙයි කියන්න. ඉදිරි දින කිහිපය තුළ එතුමාගේ මැදිහත්වීම අනුව අපට තේරුම් ගන්න පුළුවන්වේවි එතුමා මේ 19 වැනි ව්‍යවස්‌ථා සංශෝධනය සම්මත කරගැනීම වෙනුවෙන් එතුමා දරණ ස්‌ථාවරය තුළින්.

ප්‍ර - මේ 19 වැනි සංශෝධනය පිළිබඳව මේ තරම් ප්‍රශ්න ඇති වුණේ එය කඩිමුඩියේ සම්මත කර ගැනීමට ආණ්‌ඩුව දැක්‌වූ උත්සාහය නිසා නේද?

පි - ඇත්තටම කඩිමුඩියේ කළොත් තමයි මේක සම්මත කර ගන්න පුළුවන් වන්නේ. ඔබට මතක ඇති 17 වැනි සංශෝධනය සම්මත කර ගත්තේ ද මේ ආකාරයට බව.

ඒ වෙලාවේ ඇතිවී තිබු බලතුලනයේ ගැටලුව නිසා තමයි මේ වගේ සංශෝධන අපට ගෙන ඒමට හැකියාව ලැබිල තිබෙන්නේ. 17 වැනි සංශෝධනයත් එදා චන්ද්‍රිකා කුමාරතුංග මැතිනියගේ ආණ්‌ඩුව පවත්වාගෙන යැම සඳහා පාර්ලිමේන්තුවේ බහුතරයක්‌ නොතිබුණු අවස්‌ථාවේ, බලතුලනයේ ගැටලුව මතු වුණා. ඒ වෙලාවෙ තමයි හැකියාව ලැබුණේ එය සම්මත කර ගැනීමට. ජනතා විමුක්‌ති පෙරමුණ 17 සංශෝධනය සම්මත කළ යුතු බවට නිශ්චිත දිනයක්‌ තීරණය කොට තිබුණා. ඒ අනුව එදින රාත්‍රී 11 වනතුරු පාර්ලිමේන්තුව රැස්‌වී එය සම්මත කරගත්තා. ඉතින් මේ පාලකයන්ගෙන් වැඩ කරගන්න සිද්ධවෙලා තියෙන්නේ ඒ විදියට තමයි. මේ පාලකයන්ට කල් දුන්නොත්, මේ පාලකයන් කල් ඇද්දොත් එයින් පෙන්නුම් කරන්නේ මේක නොකෙරෙන බව. ඒ නිසා දුබලතා මධ්‍යයේ හෝ මෙය සම්මත කර ගැනීම වැදගත් වෙනවා.

ප්‍ර. - ඇයි මේ 19 වැනි සංශෝධනය වරින්වර වෙනස්‌ කළේ? ඒ නිසානේ මේ ගැන ප්‍රශ්න ඇති වුණේ?

පි. - ආණ්‌ඩුව තුළ මෙම සංශෝධනය පිළිබඳව එකඟතාවයට ඒමට නොහැකිවීම තමයි එයට හේතුව. විවිධ අවස්‌ථාවල විවිධ සංශෝධන ඉදිරිපත් කිරීම හොඳ තත්ත්වයක්‌ නොවෙයි.

ප්‍ර - භාණ්‌ඩාගාර බිල්පත් මගින් රුපියල් බිලියන 400 ක්‌ ලබා ගැනීමට අනුමැතිය පතා පාර්ලිමේන්තුව ඉදිරිපත් කළ යෝජනාව පරාජය වුණා. ඒ නිසා ආණ්‌ඩුව තුළ සසලවීමක්‌ ඇති වූ නිසාද මේ සංශෝධනය පිළිබඳ විවාදය අප්‍රේල් 20 දාට කල් දැම්මේ.

පි. - රුපියල් කෝටි 40,000 ක මුදලක්‌ භාණ්‌ඩාගාර බිල්පත් මගින් ලබා ගැනීමට ආණ්‌ඩුව ඉදිරිපත් කොට තිබූ යෝජනාවට සාධාරණ හේතු දක්‌වා තිබුණේ නැහැ. එහි ඇති අවශ්‍යතාව ඔවුන් පැහැදිලි කළ යුතුව තිබුණා. ඒ නිසා එය ඉතාමත් අපැහැදිලි යෝජනාවක්‌ නිසා ම තමයි ජනතා විමුක්‌ති පෙරමුණේ අපි එයට විරුද්ධව ඡන්දය පාවිච්චි කළේ. නමුත් 19 වැනි සංශෝධනය අප්‍රේල් 20 දා තෙක්‌ කල්දැමීමේ ශේ්‍රෂ්ඨාධිකරණයේ තීන්දු පමාවී ලැබුණු නිසයි.

ප්‍ර- 19 වැනි සංශෝධනය පිළිබඳ ව ශ්‍රී ලනිපයත්, ජාතික හෙළ උරුමයත් කටයුතු කරන්නේ එකම විදියටයි. ඔවුන් එක පෙරමුණකට ඇවිත්ද?

පි. - නැහැ. මම හිතන්නේ නැහැ. නමුත් සමහර කෙටි කාලීන උවමනාවක්‌ මත ඔවුන් එකඟව එක්‌සත්ව වැඩ කරනවා වෙන්න පුළුවන්.

ප්‍ර.- හෙළ උරුමය කියල තිබුණා 19 සංශෝධනය වෙනුවට ශ්‍රී ලනිප යත් සමග එක්‌වී ඔවුන් අලුත් ව්‍යවස්‌ථා සංශෝධනයක්‌ ගේනවා කියල, එහෙම වුණොත් ජවිපෙ එයට සහාය දෙනවාද?

පි. - මම හිතන්නේ නැහැ එහෙම එකක්‌ ගෙනේවි කියලා. මොකද වෙන්නේ කියල අපි බලාගෙන ඉමු.

ප්‍ර. - දැන් මේ 19 වැනි ව්‍යවස්‌ථා සංශෝධනය අප්‍රේල් 20 දා සම්මත කිරීමට යනවා. අප්‍රේල් 23 දායින් පසු පාර්ලිමේන්තුව විසුරුවා හරින බව කියනවා. ආණ්‌ඩුවේ කටයුතු හරියට ම දින 100 ට සීමා කර තිබෙන්නේ ඇයි?

පි. - ඇත්තටම මේ පාලනයටත්, මේ පාර්ලිමේන්තුවටත් දිගුකාලයක්‌ යන්න ජනවරමක්‌ නැහැ. මේ පාර්ලිමේන්තුවේ අගමැති ලෙස කටයුතු කිරීමට එජාප නායකයාට ජනවරමක්‌ ලැබිල නැහැ. ඒ වගේම එජාපයටත් ශ්‍රී ලනීපයටත් එකතුවී ආණ්‌ඩුව ගෙනියන්න ජන වරමක්‌ ලැබිලත් නෑ. ඒ වගේම 2010 නියෝජනය කළ පාර්ලිමේන්තුවේ සංයුතිය වෙනස්‌වෙලා. පාර්ලිමේන්තුවේ විපක්‍ෂ නායක ධුරය පවා අද අර්බුදයට පත්වී තිබෙනවා. ඒනිසා රට තවදුරටත් මේ ඒ විදියට ඉස්‌සරහට යන එක සුදුසු නැහැ. ඒ නිසා මේ ආණ්‌ඩුව දින 100 ට සිSමා විය යුතු බව තමයි ජනතා විමුක්‌ති පෙරමුණේ මතය.

ප්‍ර.- එක්‌සත් ජාතික පක්‍ෂයත් අගමැතිතුමාත් කියනවා අප්‍රෙAල් 23 දායින් පසු පාර්ලිමේන්තු විසුරුවනවා කියල නමුත් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය තියෙන්නේ ජනාධිපතිතුමාට. එතුමා විසුරුවා හැරීයේ නැත්නම් මොකද වෙන්නේ?

පි.- ඇත්තටම විසුරුවා හැරිමේ බලය තිබෙන්නේ ජනාධිපතිවරයාටයි. එක්‌සත් ජාතික පක්‍ෂය කවර අරමුණකින් පාර්ලිමේන්තුව විසුරුවා හැරිය යුතු බව කියනවා දැයි අප දන්නේ නැහැ.

ඒ වගේම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඔහුගේ මැතිවරණ ව්‍යාපාරයේදීත් ඉන්පසුවත් ඔහු විසින් කළ ප්‍රකාශ තුළ අලුත් ජනවරමක්‌ සඳහා පාර්ලිමේන්තුව විසුරුවා හරින බව කියා තිබෙනවා. අපි ඉක්‌මන් විය යුතු නැහැ. ඔහු පාර්ලිමේන්තුව විසුරුවා හරීවිද නැද්ද යන්න පිළිබඳ නිගමනයකට එන්නට. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා දෙන ලද එකඟතාව අනුව කටයුතු කරාවි කියල අපි බලාපොරොත්තු වෙනවා.

ප්‍ර. - මැතිවරණ ක්‍රමය වෙනස්‌ කිරීම ගැන ආණ්‌ඩුව කොමිසමක්‌ පත් කරන්න යනවාද?

පි.- අපේ රටේ මැතිවරණ ක්‍රමය වෙනස්‌ විය යුතුයි. ඒ පිළිබඳව සාකච්ඡා සම්මන්ත්‍රණ සිදුවී තිබෙනවා. ඒ සාකච්ඡාවලට ඔය මැතිවරණ ක්‍රමයේ වෙනස්‌aකම් ගැන කතා කරන මහත්වරු සහභාගි වෙලත් නැහැ. මැතිවරණ කොමසාරිස්‌තුමාගේ ප්‍රධානත්වයෙන් පැවැති රැස්‌වීම්වලටවත් ඔවුන් සහභාගි වෙලා නැහැ. විශේෂ මැතිවරණ ක්‍රමයක්‌ ගැන සාකච්ඡා වූ රැස්‌වීමට විපක්‍ෂ නායක නිමල් සිරිපාලවත් ජාතික හෙළ උරුමයවත් සහභාගි වුණේ නැහැ. මැතිවරණ ක්‍රමයක්‌ ගැන දක්‌වන අඬහැරය ඔවුන් ඇතුළේදී දක්‌වන්නේ නැහැ. ජනතා විමුක්‌ති පෙරමුණේ අපි මැතිවරණ ක්‍රමය ගැන මෙන්ම මැතිවරණ මූලධර්ම ගැනත් අපි අදහස්‌ දක්‌වා තිබෙනවා. මැතිවරණ ක්‍රමය ගැන එකඟ වන්නේ නැතිනම් මැතිවරණ මූලධර්ම අනුව කොමිෂන් සභාවක්‌ පිහිටුවා ඒ මගින් නව ක්‍රමයක්‌ සකස්‌ කළ යුතු බවයි අපේ යෝජනාව.

සාකච්ඡා කළේ දයා ලංකාපුර

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.