මේ ව්‍යවස්‌ථා සංශෝධනය අසම්පුර්ණයි
- පාඨලී චම්පික රණවක

ප්‍ර - දහනම වැනි ව්‍යවස්‌ථා සංශෝධනයේ අලුත්ම තත්ත්වය කුමක්‌ද?

පි. - අපි 19 වැනි සංශෝධනය ගැන කියපු දේවල් ශ්‍රේෂ්ඨාධිකරණය පිළිඅරන් තිබෙනවා. ඒක තමයි අලුත්ම තත්ත්වය. එම සංශෝධනයේ තිබූ 'අගමැතිවරයා ආණ්‌ඩුවේ නායකයා ද වන්නේය' කියන වගන්තියට අපි විරුද්ධ වුණා. ශ්‍රේෂ්ඨාධිකරණයත් එය ක්‍රියාත්මක කරනවා නම් ජනමත විචාරණයක්‌ පැවැත්විය යුතු යෑයි දන්වා තිබෙනවා. අපි මුලදීම කියා සිටියේ මෙම ව්‍යවස්‌ථා සංශෝධනයේදී ප්‍රායෝගිකව කරගන්න පුළුවන් දේ පමණක්‌ ඉදිරිපත් කරමු කියල. එය පිළිනොගෙන අනවශ්‍ය ව්‍යවස්‌ථා සංශෝධනයක්‌ කරන්න ගියා කුමන්ත්‍රණකාරී විධියට. එය අධිකරණය ඉදිරියේ පුපුරලා ගියා. දැන් ඉතින් වෙච්ච දේ හොඳයි. දැන් මේ අධිකරණය කියපු ක්‍රියාමාර්ගත් අනුගමනය කරගෙන විධායක ජනාධිපති ධුරය ප්‍රජාතන්ත්‍රියකරණය කිරීම තමයි කළ හැකි දේ. ඒ ප්‍රජාතන්ත්‍රියකරණය කළ හැකි දේ අපි කරමු.

ප්‍ර. - අප්‍රේල් 9 හා 10 විවාද කරන්න තිබූ මේ 19 වැනි සංශෝධන විවාදය අප්‍රේල් 20 දාට කල් දැම්මේ ඇයි?

පි. - තීන්දුව ලැබුණේ ප්‍රමාද වෙලානේ. තීන්දුව ඇවිල්ල පක්‍ෂ නායකයො එක්‌ක සාකච්ඡා කරන්න ඕන. මේක පාස්‌ කරගන්න එපැයි. මේක මේ කට්‌ටියකට සටන් පාඨවලට තදියම් වුණාට කරන්න දෙයක්‌ නැහැ. මේක හදාරන්න ඕන. මේක ඉදිරිපත් කළේ හරිම තදියමකින්නේ. මේක සම්මත කර ගැනීමට පාර්ලිමේන්තුවේ 2/3 ක්‌ අවශ්‍යයි. ජනමත විචාරණයකට නොයන පරිදි මේක කෙටුම්පත් කරන්න ඕන. ඒ එකක්‌වත් සිද්ධවෙලා තිබුණේ නැහැ. දැන් හොඳයි. මේක 20 දා වෙන කොට විවාද කරල සම්මත කරගන්න පුළුවන්.

ප්‍ර. - එතකොට 20 දා විතර ද මේක විවාද කරන්නේ?

පි. - ඒක තීරණය කරන්න ඕන පාර්ලිමේන්තුවේ කටයුතු පිළිබඳ කොමිටිය විසින්.

ප්‍ර. - දැන් මේ තත්ත්වය යටතේ 19 සංශෝධනයට ජාතික හෙළ උරුමය පක්‍ෂද?

පි. - මෙහෙමයි. 19 වැනි සංශෝධනය ගැන අගමැතිතුමා මාර්තු 13 දා ගෙනා කෙටුම්පතට අපි කරුණු කිහිපයක්‌ නිසා විරුද්ධ වුණා. පළවැනි කාරණය තමයි මෙම ව්‍යවස්‌ථා සංශෝධනය අසම්පූර්ණ වීම. මේ ව්‍යවස්‌ථා සංශෝධනය පිළිබඳව අපට තිබුණා වැදගත් කරුණු 3 ක්‌ විස¹ ගැනීමට. එකක්‌ විධායක ජනාධිපති ක්‍රමය. අනික ස්‌වාධීන කොමිෂන් සභා. අනික මැතිවරණ ක්‍රමය. එතකොට මේ කරුණු 3 න් මේ ගෙනාපු සංශෝධනයේ තිබුණේ විධායක ජනාධිපති ක්‍රමයත් ස්‌වාධීන කොමිෂන් සභා යන කරුණු දෙක පමණයි. මැතිවරණ ක්‍රමය ඉවත් කොට තිබුණා. ඒක බලගතු අඩුපාඩුවක්‌. ඉතින් ඒක නිසා එය ප්‍රධාන ප්‍රශ්නයක්‌ බවට පත්වෙනවා. මෙය අසම්පූර්ණයි. දෙවැනි එක මේ ගෙනාපු ව්‍යවස්‌ථා සංශෝධනය වෙන මොකක්‌වත් නොවෙයි 1972 පැවැති ව්‍යවස්‌ථාවේ ෙµdටෝ කොපියක්‌ වගෙයි. ඒකම තමයි මේ ගෙනත් තිබුණේ.

දැන් ඇත්තටම 72 සහ 78 ව්‍යවස්‌ථාවල තිබිච්ච ප්‍රධාන වෙනස අපි ගත්තොත් 72 ව්‍යවස්‌ථාවට අනුව ජනාධිපතිවරයා රාජ්‍යයේ ප්‍රධානියා, විධායකයේ ප්‍රධානියා, ඒ වගේම සේනාධිනායකයා. එතකොට කැබිනට්‌ මණ්‌ඩලයේ ප්‍රධානියා වීම හරහා ආණ්‌ඩුවේ ප්‍රධානියා වුණේ අගමැති. ඒ වගේම ජනාධිපති ක්‍රියාකළ යුතුව තිබුණේ අගමැති කියන විධියට. කැබිනට්‌ මණ්‌ඩලය පත් කිරීම හා පවත්වාගෙන යැම අගමැතිගේ කාර්යයක්‌ හැටියට තමයි 72 ව්‍යවස්‌ථාවේ තිබුණේ. එක්‌තරා ආකාරයකට කැබිනට්‌ ආණ්‌ඩු ක්‍රමයක්‌ තමයි ඒ තිබුණේ.

දැන් 78 ව්‍යවස්‌ථාවේදී වෙච්ච දේ මොකක්‌ද. අර රාජ්‍යයේ නායකයා, විධායකයේ නායකයා සේනාධි නායකයා හැටියට හිටපු ජනාධිපතිට තව අමතර බලයක්‌ ලැබුණා. මොකක්‌ද? ආණ්‌ඩුවේද නායකයා වීම. එතකොට ඔහු කැබිනට්‌ මණ්‌ඩලයේ ද නායකයා බවට පත් වුණා. මේ 72 හා 78 ව්‍යවස්‌ථාවල තිබිච්ච මූලිකම වෙනස තමයි ආණ්‌ඩුවේ නායකයා කවුද කියන එක. ආණ්‌ඩුවේ නායකයා ජනාධිපති වුණාම එය විධායක ජනාධිපති ක්‍රමය වෙනවා. ආණ්‌ඩුවේ නායකයා අගමැති වුණාම ඒක කැබිනට්‌ ක්‍රමය කියනවා. නමුත් දැන් මේක කරන්න බැහැනේ ජනමත විචාරණයකින් තොරව. 72 ව්‍යවස්‌ථාවේ ජනාධිපති කිව්වාම ඔහු රාජ්‍යයේ නායකයා විධායකයේ නායකයා හා සේනාධි නායකයා. 72 ව්‍යවස්‌ථාවේ ආණ්‌ඩුවේ නායකයා වුණේ අගමැති. ඉතින් මේ ආණ්‌ඩුවේ නායකයා කවුද කියන එක උඩ තමයි මේ ඔක්‌කොම වෙනස්‌ වෙන්නේ. එතකොට ඊළඟට අගමැති රනිල් වික්‍රමසිංහ මහත්තයා ගෙනාපු ව්‍යවස්‌ථා සංශෝධනය 72 ව්‍යවස්‌ථා සංශෝධනයමයි. ජනාධිපති තවදුරටත් රාජ්‍යයේ නායකයා, විධායකයේ නායකයා, සේනාධි නායකයා. ඒ වුණාට ආණ්‌ඩුවේ නායකයා සහ කැබිනට්‌ මණ්‌ඩලයේ ප්‍රධානියා අගමැති. මේක 72 ව්‍යවස්‌ථාව. 72 ව්‍යවස්‌ථාවේ ප්‍රශ්නයක්‌ නැහැ. මොකද ඒ ජනාධිපති පත්කළේ ජනතාව නෙවෙයි. අගමැති තමයි ඔහු නාමික ජනාධිපති ලෙස පත් කළේ. ඒ නිසා ඒ ජනාධිපති පඹයෙක්‌ වීම ප්‍රශ්නයක්‌ නොවෙයි. හැබැයි දැන් ඉන්නෙ ජනතාව පත් කළ ජනාධිපති කෙනෙක්‌. එතකොට අගමැතිවරයා කියන්නේ දිස්‌ත්‍රික්‌කයකින් මනාපෙන් පත්වන කෙනෙක්‌. එතකොට ඒ රටේ මනාපෙන් පත්වෙන ජනාධිපතිවරයා දිස්‌ත්‍රික්‌කයක මනාපෙන් පත්වන අගමැති යටතේ තියන්න කිසිම ව්‍යවස්‌ථාවකට බැහැ. ඒක තමයි අපි පෙන්නල දුන්නේ. අපි පෙන්නල දුන්නා මේක අසම්පූර්ණ බවත් ජනතා පරමාධිපත්‍යයට පටහැනි බවත්. රටේ ජනතාවගේ මනාපෙන් එන පුද්ගලයා දිස්‌ත්‍රික්‌කයක මනාපෙන් පත්වන පුද්ගලයකුට යටකරන්න බැහැ.

ප්‍ර. - ශ්‍රේෂ්ඨාධිකරණය දීල තියෙන්නෙ ඒ තීන්දුව නේද?

පි. - ඒකමනේ දීල තියෙන්නේ මේගොල්ලො මේ උඩ පැනගෙන ගියාට.

ඊළඟට අනිත් එක තමයි ආණ්‌ඩුවේ නායකයා ජනාධිපති විය යුතු යෑයි අපි කිව්වා. මේ පාර්ලිමේන්තුවේ 2/3 ගන්න ඕන බවත් ජනමත විචාරණයකට තුඩුදෙන කිසිවක්‌ නොකළ යුතු බවත් අපි කිව්වා. නමුත් ඒක වුණේ නැහැ.

ඒ නිසා අපි මාර්තු 15 දා රැස්‌වීමක්‌ කැඳෙව්වා. ඒකෙ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයත් හිටියා. සියලු දෙනාම සාකච්ඡා කරල රාජ්‍යයේ නායකයා වගේම ආණ්‌ඩුවේ නායකයාත් ජනාධිපති විය යුතු යෑයි කියල ජනාධිපතිගෙ බලතල 8 ක්‌ ඉවත් කිරීමටත් තීරණය කළා. ඔය ඇමැති මණ්‌ඩලය පත් කිරීම, ඇමැතිවරුන්ගේ විෂය බෙදීම, පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට තිබෙන බලය, අධිකරණයට යටත් නොවෙන මුක්‌තිය, ශ්‍රේෂ්ඨාධිකරණයේ, අභියාචනාධිකරණයේ, විනිසුරුවරුන් පත්කිරීම, අමාත්‍යාංශ ලේකම්ලා පත් කිරීම, පාර්ලිමේන්තුව විසුරුවීම, අපරාධකාරයන්ට සමාවදීම, ධුර කාල දෙකකට වඩා තරග කිරීම යන මේ කරුණු ඔක්‌කොම අපි ඉවත් කළා. ඒ වුණාට මොකද වුණේ? ඒ කැබිනට්‌ තීන්දුවට පටහැනි දේවල් තමයි ගැසට්‌ කළේ. ඒකට හාත්පසින්ම විරුද්ධ එකක්‌ තමයි ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කෙළේ. මේකෙ 70 (2) වගන්තියට පැහැදිලිවම විරුද්ධයි.

ප්‍ර. - 19 වැනි සංශෝධනයට මැතිවරණ ක්‍රමයත් ඇතුළත් කරයිද?

පි. - ඇතුළත් කරන්න ඕන. 20 වැනි සංශෝධනය වශයෙන් එය ඉදිරිපත් කළ යුතුයි.

ප්‍ර. - ඒකත් අප්‍රේල් 20 දා ගෙනේවිද?

පි. - ගේන්න ඕන. ඒකත් එදාටම ගෙනේවි කියල තමයි බලාපොරොත්තු වෙන්නේ.

ප්‍ර. - එතකොට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය කියන්නෙත් ඒකමනේ?

පි. - ඔව්. මේකට ඒගොල්ලන්ගෙ සහායත් ගන්න ඕනනේ.

ප්‍ර. - අනුර කුමාර දිසානායක මහත්තයා මේ ව්‍යවස්‌ථාව ගැන සඳහන් කරමින් කියල තිබුණා හඬ ඡේකොබ්ගේ අත ඊසොප්ගේ කියලා. ඒ ඔබ ගැනනේ කියල තිබුණේ? ජනාධිපතිතුමාගෙ හඬයි ඔබ ප්‍රකාශ කරන්නෙ කියලා.

පි. - අනුර කුමාර දිසානායක මහත්තයලා එක පැත්තකින් ඉන්නෙ හීන ලෝකෙක. ඔවුන් විධායක ජනාධිපති ක්‍රමය වහාම වෙනස්‌ කළ යුතුයි කියනවා. ඒක මගින් ඒගොල්ලො බලාපොරොත්තු වන්නේ ජනතාවට යහපාලනය පිළිබඳව ආදර්ශයක්‌ දීම නොවෙයි. මොකද අපි දන්නවා බොල්ෂෙවික්‌ පක්‍ෂ මොනවාද ජනතාවට දීපු ප්‍රජාතන්ත්‍රවාදය. තනි පක්‍ෂ පාලනයක්‌. කොමියුනිස්‌ට්‌ රටවල කෙරෙන්නේ තනි පක්‍ෂ පාලනයක්‌. ඉතින් ඒ හින්ද ඒගොල්ලන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රම ගැන අපි උනන්දු වෙන්නේ නැහැ. විශේෂයෙන්ම මේ රටේ මැතිවරණ ප්‍රචණ්‌ඩ විධියට මැතිවරණ මර්දනය කරපු ව්‍යාපාර දෙකයි තිබුණේ. එකක්‌ එල්. ටී. ටී. ඊ. ය. අනික ජනතා විමුක්‌ති පෙරමුණ. ඒගොල්ලන්ගෙන් අපට බොරු සටන්පාඨ මිසක්‌ ප්‍රජාතන්ත්‍රවාදය බලාපොරොත්තු වෙන්න බෑ. ප්‍රායෝගිකව කරන්න පුළුවන් දේවල් තමයි අපි කිව්වෙ. ඒක දැන් වෙලා තියෙනවා. අනුර කුමාර දිසානායක මහත්තයලා දැන් ඒකට සහාය දෙන්න ඕන.

ප්‍ර. - 19 වැනි සංශෝධනය සම්මත වුණත් ඒක යටතෙ තිබෙන ස්‌වාධීන කොමිෂන් සභා පත්කරන්න වෙලාවක්‌ එන්නෙ නැහැනේ?

පි. - අනික්‌ ඒවා නැති වුණාට විශේෂයෙන් මැතිවරණයට කලින් මැතිවරණ කොමිසම පත් කළ යුතුයි. ඒක පත්කරල තමයි මැතිවරණය තියන්නේ.

ප්‍ර. - විගණන කොමිසම ආදිය?

පි. - විගණන කොමිසම ප්‍රමාද වුණාට කමක්‌ නැහැ. මැතිවරණ කොමිසම ඉක්‌මනින්ම පත් කළ යුතුයි. මැතිවරණ කොමිසම පත්කරන්නම ඕන. ඊළඟ මැතිවරණය පාලනය කිරීමට නොහැකිනම් මේක එතනෝල්කාරයන්ගෙ, මෙගා ඩීල් කාරයන්ගේ මැතිවරණයක්‌ වේවි.

ප්‍ර. - අප්‍රේල් 23 න් පස්‌සෙ ආණ්‌ඩුව විසුරුවා හැරියොත් කොහොමද මේක කරන්නේ?

පි. - විසුරුවා හැරියාට පසු අන්තර්කාලීන වැඩසටහනක්‌ හදන්න වෙනවා. ඒ අනුව තමයි මැතිවරණය තියන්න ඕන.

ප්‍ර. - එක්‌සත් ජාතික පක්‍ෂය කියන්නේ නව මැතිවරණ ක්‍රමය ඊළඟ මහ මැතිවරණයේදී ක්‍රියාත්මක කරන්න කියලනේ?

පි. - එහෙම කරන්න බැහැ. මේ මැතිවරණය අනිවාර්යයෙන්ම මැතිවරණ කොමිසම යටතේ පැවැත්වෙන්න ඕන.

ප්‍ර. - මෙතන එතකොට ගැටුමක්‌ ඇතිවෙනවනේ. එජාපය කියනවා. දැන් තිබෙන ක්‍රමයට මැතිවරණය පැවැත්විය යුතුය කියලා.

පි. - මේ ක්‍රමය යටතේ තමන්ට දිනන්න පුළුවන් කියල එජාපය කල්පනා කරනවා. ජනතා විමුක්‌ති පෙරමුණත් හිතනවා ඔවුන්ගේ ආසන ගණන වැඩි කරගන්න පුළුවන් කියල. නමුත් රටට අවශ්‍ය ජනවරමක්‌ තිබෙන මේ පාර්ලිමේන්තුව නිශ්චිත මැතිවරණ ක්‍රම සංශෝධනයකුත් එක්‌ක, මැතිවරණ කොමිසමක්‌ පිහිටුවලා, ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයක්‌ පැවැත්විය හැකි වටපිටාවක්‌ හදන්න ඕන.

සාකච්ඡා කළේ දයා ලංකාපුර
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.