ඉක්‌මනින්ම පාර්ළිමේන්තුව විසුරුවනවා
- සභානායක හා වැවිලි කර්මාන්ත ඇමැති ලක්‍ෂ්මන් කිරිඇල්ල

ප්‍ර. - ආණ්‌ඩුව 19 වැනි ව්‍යවස්‌ථා සංශෝධනය කැබිනට්‌ මණ්‌ඩලයෙන් අනුමත කළාට පසුව සංශෝධන ගණනාවක්‌ ගෙනාවා. ගැසට්‌ කළ සංශෝධනය නොවෙයි ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළේ.... ඇයි මෙහෙම වුණේ...

පි. - අපේ ව්‍යවස්‌ථාවේ තිබෙනවා ඕනෑම පනතක්‌ කාරක සභා අවස්‌ථාවේදී සංශෝධනය කරන්න පුළුවන් කියලා. නීතීපති උපදෙස්‌ අනුව. කැබිනට්‌ මණ්‌ඩලය අනුමත කළාට පසුවත් සංශෝධන ගේනවා. ඒවා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් විමසා බලන නිසා ගැටලුවක්‌ නැහැ. හැම වගන්තියක්‌ම ශ්‍රේෂ්ඨාධිකරණයට යෑවිය යුතුය හෝ ගැසට්‌ කළ යුතුය කියන්න බැහැ. ඒ තර්කය වැරැදියි.

ප්‍ර. - ඒ වුණාට ජාතික හෙළ උරුමය මේ ගැන දැඩි විරෝධය පළකොට තිබුණා, ගැසට්‌ කළ එකට අමතරව වෙනත් සංශෝධන ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කිරීම ගැන.

පි. - අපිට මේ සංශෝධන ශේ්‍රෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් නොකොට කාරක සභාවේදී ඉදිරිපත් කරන්න තිබුණා. අපි ඒවා ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළේ වැඩි විනිවිද භාවය සඳහායි.

ප්‍ර. - ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව ප්‍රමාද වීමටත් මේ සංශෝධන හේතුවෙන්න ඇති නේද?

පි. - සංශෝධන එහෙම ප්‍රමාදවෙලා ඉදිරිපත් කළේ නැහැ. සඳුදා වනතුරු නීතිඥ මහත්වරු උසාවියේ තර්ක කළානේ. තීන්දුව ලියන්න අඟහරුවාදා සහ බදාදා දින දෙක තිබුණා. බ්‍රහස්‌පතින්දා තීන්දුව ආවා.

ප්‍ර. - හිටපු ඇමැති ජී. එල්. පීරිස්‌ මහතා පවසා තිබුණා මේ පනත හදිසි පනතක්‌ නොවේ. ඒ නිසා ශ්‍රේෂ්ඨාධිකරණයට මෙය විභාග කිරීමට සති 3 ක්‌වත් කල් ලබාදිය යුතුව තිබුණා කියා...

පි.- ඒගොල්ලන්ට ඕන මේක ප්‍රමාද කරන්න. ඒ නිසයි ඔහොම කියන්නේ.

ප්‍ර. - චම්පික රණවක ඇමැතිතුමා ප්‍රසිද්ධියේම චෝදනා කළා මේ ව්‍යවස්‌ථා සංශෝධනයට හොර රහසේම කොටස්‌ එකතු කර තිබෙන බවට?

පි. - කැබිනට්‌ මණ්‌ඩලයේ දී මේ සංශෝධන සාකච්ඡා කළා. චම්පික ඇමැතිතුමා විරුද්ධ වුණා. මම කියන්නේ ඕනම පනතක්‌ ශ්‍රේෂ්ඨාධිකරණයට ගියත්, පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසු එහි වගන්ති වෙනස්‌ කරන්න පුළුවන්.

ප්‍ර. - අප්‍රේල් 20 දා මේ සංශෝධනය විවාදයට ගන්නවා. එදාට මැතිවරණ ක්‍රමය ගැනත් සංශෝධනයක්‌ එනවාද?

පි. - මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම සඳහා යෝජනා ඉදිරිපත් කළේ අපි. දිනේෂ් ගුණවර්ධන කමිටුව ඒ සඳහා පත්කළෙත් අපි. අපි තමයි මැතිවරණ සංශෝධන ඉල්ලුවේ. රනිල් වික්‍රමසිංහ මහතා විසින් දිනේෂ් ගුණවර්ධන කමිටුව පත්කළේ 2002 වසරේදී. දැන් 2015 යි. අවුරුදු 13 යි. දිනේෂ් ගුණවර්ධන කමිටුවේ යෝජනා ගැන මේ දක්‌වා ඒගොල්ලෝ බලයේ ඉඳිද්දී කිසිවක්‌ කළේ නැහැ. ඉතින් ඒගොල්ලන්ට අවුරුදු 13 ක්‌ තිස්‌සේ කරන්නට බැරිවූ දේ අපට පුළුවන්ද දින 100 න් කරන්න.

ප්‍ර. - ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය කියා සිටින්නේ 19 සංශෝධනයත් සමග මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීමත් සිදුකළ යුතු බවයි.

පි. - ඒගොල්ලො දැන් මේ ව්‍යවස්‌ථා සංශෝධනයට බාධා කරන්නයි එහෙම කියන්නේ. මැතිවරණ කොමසාරිස්‌වරයා කියල තියෙනවා ඔහුට අලුත් ක්‍රමයක්‌ ක්‍රියාත්මක කරන්න අවුරුද්දක්‌ වත් ඕන කියලා. මැතිවරණ ක්‍රමය හඳුන්වාදී එය ජනතාවට හුරු කිරීමට අවුරුද්දක්‌ ගතවන බව ඔහු කියා තිබෙනවා.

ප්‍ර. - මේ දින 100 ඇතුළත මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම පිළිබඳව මොකුත් කෙරෙන්නේ නැද්ද?

පි. - මැතිවරණ ක්‍රමය වෙනස්‌ විය යුතුයි කියලා පොදු එකඟතාවක්‌ තිබෙනවා. ඒකට කොමිසමක්‌ පත්කරලා ඒ කොමිසමේ නිර්දේශ අනුව කටයුතු කරන්න හැමෝම එකඟවෙලා තිබෙනවා.

ප්‍ර. - එවැනි කොමිසමක්‌ පත්කිරීමේ වැඩපිළිවෙළක්‌ තිබෙනවාද?

පි. - මා හිතන්නේ බොහෝ දුරට මැතිවරණ කොමිසමක්‌ පත්කරාවි.

ප්‍ර. - පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට කලින් ඒ කොමිසම පත්කෙරේවිද?

පි. - ඔව්. මා හිතනවා පත්කරාවි කියල.

ප්‍ර. - පසුගිය දවස්‌වල මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම ගැන පක්‍ෂ නායකයන්ගේ රැස්‌වීම් ගණනාවක්‌ම තිබුණා. මැතිවරණ කොමසාරිස්‌වරයා එහිදී යෝජනා ගණනාවක්‌ ඉදිරිපත්කොට තිබුණා නේ?

පි. - එහෙම මැතිවරණ පිළිබඳව නොයෙක්‌ ක්‍රමවේද ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ ගැන එකඟතාවකට ඒම නේ අමාරු. දිනේෂ් ගුණවර්ධන කමිටුවත් මැතිවරණ ක්‍රමය ගැන සාකච්ඡා කෙරුවාට එකඟතාවකට එන්න බැරිවුණා. අද වෙලා තියෙන්නෙත් ඒකයි.

ප්‍ර. - ඔබ කියන්නෙ 19 වැනි සංශෝධනය සම්මත වුණත් නැතත් අප්‍රේල් 23 න් පසු පාර්ලිමේන්තුව විසුරුවා හරීවි කියලද?

පි. - ඉතාමත් ඉක්‌මනින් පාර්ලිමේන්තුව විසුරුවා හරීවි. මේ පාර්ලිමේන්තුව පත්වුණේ මහින්ද රාජපක්‌ෂ මැතිතුමාගේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න. දැන් රටේ අලුත් ජනාධිපතිවරයෙක්‌ ඉන්නවා. ඒ නිසා අලුත් පාර්ලිමේන්තුවක්‌ ඕන.

ප්‍ර. - එහෙම නම් ජනාධිපතිවරණය අවසන් වූ විගසම පාර්ලිමේන්තුව විසුරුවා හැර මැතිවරණයකට යන්න තිබුණානේ...?

පි. - ඒ වුණාට ජනාධිපතිවරණයේ දී අපි දින 100 වැඩසටහන ගැන පොරොන්දුවක්‌ දීල තිබුණා. ඒ වැඩසටහනේ දැන් විශාල කොටසක්‌ අවසන් කරල තිබෙනවා.

ප්‍ර. මේ දින 100 වැඩසටහන මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයට ආකර්ෂණයක්‌ ගැනීම සඳහා දැන්වීම් ප්‍රචාරක ආයතනයකින් සකස්‌ කළ එකක්‌ නේද?

පි. - නැහැ. මේක හැදුවේ මන්ත්‍රීවරුන්ගේ දායකත්වයෙන්. දින 100 වැඩසටහන දැන් සෑහෙන දුරට ක්‍රියාත්මක කරල තියෙනවා. ජීවන වියදම අඩු කරනවා කිව්වා. ඒ අනුව අත්‍යවශ්‍ය භාණ්‌ඩ 13 ක මිල අඩුකරල තියෙනවා. අපි ඉන්ධන මිල විශාල ලෙස අඩුකළා. රජයේ සේවක වැටුප් වැඩිකළා. තේ, රබර් සඳහා සහනාධාර ලබාදීමට මුදල් වෙන්කර තිබෙනවා. වීවලට සහතික මිල වැඩිකළා. ඒවා දැන් දෙමින් යනවා. සේනක බිබිලේ වාර්තාව අනුව අපි ඖෂධ පනත සම්මත කළා. 19 වැනි සංශෝධනය ඉදිරිපත් කරල තියෙනවා. විපක්‍ෂය අපට සහයෝගය දිය යුතුව තිබෙනවා. මෙය සම්මත කරගැනීමට.

ප්‍ර. - දැන් 19 වැනි සංශෝධනය අප්‍රේල් 20 දා සම්මත වුණොත් ඒකට අදාළ කොමිෂන් සභා පත් කිරීමට කාලයක්‌ නැහැනේ. පාර්ලිමේන්තුව විසුරුවන නිසා. ඒක අලුත් ආණ්‌ඩුවකින්ද කරන්න වෙන්නේ?

පි. - ඔව්. අලුත් ආණ්‌ඩුවෙන් තමයි කරන්න වෙන්නේ.

ප්‍ර. - ඒ අතරතුර මොනවත් වෙන්නේ නැද්ද?

පි. - ඔව්. ඉතින් සංක්‍රාන්ති කාලයකුත් තිබෙනවා නේ.

ප්‍ර. - එතකොට තොරතුරු දැන ගැනීමේ අයිතිය පිළිබඳ පනත. ඒක එන්නෙත් නැහැ?

පි. - තොරතුරු දැන ගැනීමේ අයිතිය පිළිබඳ පනත සම්මත කරන්න පුළුවන්, 19 වැනි සංශෝධනය සම්මත වුණොත් පමණයි.

ප්‍ර. - එතකොට විගණන කොමිෂන් සභා පනත?

පි. - 19 වැනි සංශෝධනය සම්මත නොකොට ඔය කිසිම පනතක්‌ සම්මත කරන්න බැහැ.

ප්‍ර. - ආණ්‌ඩුව අප්‍රේල් 23 වැනිදායින් පස්‌සේ පාර්ලිමේන්තුව විසුරුවා හැර මැතිවරණයකට යන්න සූදානම් වෙනවා. මීළඟ මැතිවරණයේ දී එජාපයට පැහැදිලි ජයග්‍රහණයක්‌ ලබා ගන්න පුළුවන්ද?

පි. - පැහැදිලිවම මා හිතනවා එක්‌සත් ජාතික පක්‍ෂයට ආසන 100 කට වැඩි සංඛ්‍යාවක්‌ ලැබේවි කියලා.

ප්‍ර. - මේ ආණ්‌ඩුවේ කැබිනට්‌ මණ්‌ඩලයේ සාමුහික වගකීම නැතිවීගොස්‌ තිබෙන අවස්‌ථා දක්‌නට ලැබුණා. ඒ ඇයි?

පි. - කව්ද එහෙම සාමුහික වගකීම පැහැර හැරල තියෙන්නේ?

ප්‍ර. - පසුගියදා චම්පික ඇමැතිතුමා ව්‍යවස්‌ථා කුමන්ත්‍රණයකින් බලය ගන්න හදනවා කියල ඇමැතිතුමාට ප්‍රසිද්ධියේම චෝදනා කරල තිබුණා.

පි. - අපි මැතිවරණ කාලෙ කිව්වෙ එක පුද්ගලයකු සතු බලය පාර්ලිමේන්තුවට ලබාදෙනවා කියලා. පාර්ලිමේන්තුවේ 225 කට බලය දෙන එක හොඳයි. එක පුද්ගලයකුට බලය දෙනවාට වඩා. පාර්ලිමේන්තුවේ ප්‍රධානියා තමයි අගමැතිවරයා. චම්පික අගමැතිට බලය යනවාට අකමැති රනිල් වික්‍රමසිංහ අගමැති නිසා වෙන්න ඇති. ඒක පෞද්ගලික ප්‍රශ්නයක්‌. ඊයේ සෝභිත හාමුදුරුවො කියල තිබුණෙ අපි මේවා ගේන්නේ එක පුද්ගලයකු වෙනුවෙන් නොවේය රටේ අනාගතය බලාගෙනය කියල.

ප්‍ර. - එකට ඉන්න ගමන් මෙසේ ප්‍රසිද්ධියේ විවේචනය කරන්නේ ඇයි?

පි. - ඒක ඉතින් එතුමාගෙන් අහන්න ඕන.

සාකච්ඡා කළේ දයා ලංකාපුර
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.