දැන් මොකද රටට වෙන්නේ
හය දෙනෙක්‌ හය විධිහකට පාවිච්චිකළ විධායක ජනාධිපති ධූරය

19 වන ව්‍යවස්‌ථා සංශෝධනයේ හෙට දවස කුමක්‌ වේදැයි අද රට හමුවේ ඇති ප්‍රශ්නයයි. ඒ තරමට එය ව්‍යාකූල තත්වයකට පත්ව තිබේ. රටට, ජනතාවට, දේශපාලන පක්‌ෂවලට මෙන්ම අඩුම තරමින් පාර්ලිමේන්තුවට පවා හොරෙන් මේ නව යෝජිත ව්‍යවස්‌ථාව ගෙන ආ බවට ඇතැම්හු චෝදනා කරති. මැති ඇමතිවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පවා පවසන්නේ සංශෝධිත ව්‍යවස්‌ථාව තමන් නොදන්නා බවය. මේ තත්ත්වය ඉතාම භයානක තත්වයකි. රටේ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව කුමක්‌දැයි නොදැන එයට ඡන්දය දීම අතිශය භයානකය. මෙය එක්‌පැත්තකින් ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව මගින්ම ජනතාවට ලබාදී ඇති මුලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක්‌ වන අතරම අනිත් අතට මෙය කවර හෝ ආකාරයකින් සම්මත කරගතහොත් ඊට විරුද්ධව ජනතාව පෙළ ගැසෙනු ඇත.

කෙසේ වෙතත් එය සම්මතවීම තවමත් ඇත්තේ බොහෝ අවිනිශ්චිත තැනකය. මේ තත්වය යටතේ පුජ්‍ය මාදුළුවාවේ සෝභිත නාහිමියන් වැනි අය මැදිහත්වී යෝජිත සැබෑ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව කුමක්‌දැයි රට හමුවේ ප්‍රකාශ කළයුතුය. මේ තරම් හදිසියකින්, රටටම හොරෙන් මෙය ගෙන එන්නට යන්නේ ඇයිදැයි රටට පැහැදිලි කළ යුතුය. එසේම අවසන් ව්‍යවස්‌ථා කෙටුම්පත අධ්‍යයනය කර ඊට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට යන්නට ජනතාවට කාලයක්‌ ලබාදිය යුතුය.

ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ ජනාධිපති බලතල සංශෝධනය සඳහා වන 19 වැනි සංශෝධනයට එරෙහිව සංවිධාන හා මහජනයා විසින් ශේ්‍රෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සම් අනුව එම සංශෝධනය එලෙසින්ම සම්මත කරගන්නේ නම් ජනමත විචාරණයකට යායුතු බවට ශේ්‍රෂ්ඨාධිකරණය උපදෙස්‌ ලබා දී ඇත.

කථානායක චමල් රාජපක්‌ෂ මහතා ශේ්‍රෂ්ඨාධිකරණයේ මතය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පැවසූයේ අගවිනිසුරු ශ්‍රී පවන් ඇතුළු ත්‍රිපුද්ගල විනිශ්චය මණ්‌ඩලය එහි වගන්ති කිහිපයක්‌ ගැටළු සහගත බවත් ඒ සඳහා ජනමත විචාරණයකට යායුතු බවත් ප්‍රකාශ කර ඇති බවය.

සෙසු වගන්ති ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට පටහැනි නැති බවත් ශේ්‍රෂ්ඨාධිකරණය තීන්දු කර ඇත. අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සභාවට දැන්වූයේ ජනමත විචාරණයකට යායුතු වගන්ති ඉවත් කරන බවයි. කෙසේ වෙතත් ජනාධිපතිවරයාගේ බලය අඩු කිරීම හෝ වෙනස්‌කිරීම යන කාරනා සම්බන්ධයෙන් ජනමත විචාරණයකට යා යුතු බවට ප්‍රකාශවී ඇති බව සඳහන්ය. එය එසේනම් 19 වන ව්‍යවස්‌ථා සංශෝධනය මුළුමනින්ම පාහේ පදනම්වී ඇත්තේ ජනාධිපතිවරයා සතු බලතල අඩුකිරීම හෝ එය පාර්ලිමේන්තුවට හෝ විධායක අගමැතිවරයකුට පැවරීම පදනම් කරගෙන නම් එය අනිවාර්යයෙන්ම ජනමතවිචාරණයකට ලක්‌කළ යුතුව තිබේ. එහි තුනෙන් දෙකක වැඩි ඡන්දයෙන් සම්මත කරගත හැකිවන්නේ ස්‌වාධීන කොමිසන් සභා පිහිටුවීම වැනි කාරණා කීපයක්‌ පමණි.

රටේ කළයුතු සංශෝධන වෙනවෙනම කීපවාරයකදී ගෙන විත් පාර්ලිමේන්තුවේ සම්මත කරගෙන රටට යහපතක්‌ කල හැකිව තිබු අවස්‌ථාවක්‌ කීපදෙනකුගේ බල ලෝභය නිසා අහිමි කර ගැනීම රටේම අවාසනාවකි. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා තමන් සතු බලතල නිර්ලෝභීව අහිමි කරගන්නට කැමැත්තෙන් සිටියදීත් එය කරගන්නට නොහැකිවුවහොත් යලිත් කිසිදිනෙක මේ ව්‍යවස්‌ථාව වෙනස්‌ කිරීම අපහසු වනු ඇත.

මේ අතර රටේ සිටින ජ්‍යෙෂ්ටතම දේශපාලනඥයකු මෙන්ම කථානායකවරයාද වන චමල් රාජපක්‌ෂ පවසා ඇත්තේ ආණ්‌ඩුC්‍රම ව්‍යවස්‌ථාවක්‌ සකස්‌ කිරීමේදී පුද්ගලයින්ගේ හෝ විවිධ කණ්‌ඩායම්වල අවශ්‍යතා මත එය සිදුවන්නේ නම් ඉන් සියලු දෙනා අපහසුතාවට පත් වන බවත්, පොරොන්දු ඉටුකිරීමට සියලු දෙනා කැප විය යුතු බවත්, එය කලබලයෙන් නොකළ යුතු බවත්ය.

ව්‍යවස්‌ථාවල් හදනකොට පුද්ගලයන්ගේ හෝ කණ්‌ඩායම්වල අවශ්‍යතාවයන් මත මේවා හදන්න ගියොත් අපි සදාකාලිකවම අමාරුවේ වැටෙනවා, හදන්න යන ව්‍යවස්‌ථාව කලබල වෙන්නත් ඕන නැහැ. හැබැයි දීපු ප්‍රතිඥාවන් ඒ ආකාරයෙන්ම ඉෂ්ඨ විය යුතුයි. 78 ව්‍යවස්‌ථාව හදනකොට අපිත් දේශපාලනයට ඇවිල්ලා හිටියේ, අපි අවොත් වෙනස්‌ කරනවා කියලා , 94 ආවා. ටික දවසක්‌ යනකොට ඉතින් ඒක වෙනස්‌කරන්න හිතෙන්නේ නැහැ රටේ තියෙන ප්‍රශ්නත් එක්‌ක. 2000දී කිව්වා, 2005 කිව්වා. ඒක උනෙත් නැහැ. 2010 දී කිව්වා උනේ නැහැ, යනුවෙන් ඔහු පවසා සිටියේ ශ්‍රීලංකා නිදහස්‌ පක්‌ෂ තරුණ සම්මේලනයකදීය.

විධායක ජනාධිපති ධුරය වෙනස්‌ විය යුතුයි යන්න තමන් ද විශ්වාස කරන නමුත් එක්‌ තැනකින් ඉවත් වන බලතල තවත් තැනකට ලබාදීම අනුමත කළ නොහැකි බවද චමල් රාජපක්‌ෂ මහතා පවසා තිබේ.

රටේ බොහෝදෙනා සිටින්නේ විධායක ජනාධිපති ධුරයේ අහිතකර වගන්ති පමණක්‌ වෙනස්‌ කල යුතුය යන ස්‌ථාවරයේය. අප වැනි රටක විශේෂයෙන්ම සුළු ජාතික පක්‌ෂ පාලනය කරගන්නට , විවිධ බලවේග හරහා රට වෙනස්‌ කරන්නට උත්සාහයන් ආදිය පාලනය සඳහා විධායක ජනාධිපති ධුරයක්‌ අවශ්‍යවේ. අනිත් අතට අදවනවිට විධායක ජනාධිපති ධුරය දරන මෛත්‍රීපාල සිරිසේන මහතා රට පාලනය කරන ආකාරය ගැන රටේ ජනතා විරෝධයක්‌ නොමැත. මෙතෙක්‌ බලයේ සිටි විධායක ජනාධිපතිවරුන් වන ඡේ. ආර්. ජයවර්ධන, ආර්. ප්‍රේමදාස, ඩී.බී.

විඡේතුංග, චන්ද්‍රිකා බණ්‌ඩාරනායක,මහින්ද රාජපක්‌ෂ, මෛත්‍රීපාල සිරිසේන යන හයදෙනා එම විධායක ජනාධිපති ධුරයේ බලතල පාවිච්චි කළේ හය ආකාරයකටය. එබැවින් වරද ඇත්තේ එය භාවිත කරන ආකාරයේ මිස ක්‍රමයේ නොවේ. එහෙත් එහි අත්තනෝමතික බලතල සීමා කිරීම හරහා එය යම් ලෙසකින් නුසුදුසු කෙනකු අතට ගියහොත් එහි පාලනයක්‌ සිදුවේ. වර්තමානයේ සිටින බොහෝදෙනකු අද කුමක්‌ කීවත් ඔවුන්ටද මේ විධායක බලතල ලැබුනහොත් ඔවුන් එදිනට කුමක කරාවිදැයි විශ්වාස කළ නොහැක්‌කේ අද ඇතැමුන් විධායක බලතල කිසිත් නොමැතිව කරන කටයුතු දෙස බලන විටය.

යෝජිත ව්‍යවස්‌ථාව යටතේ රටේ ව්‍යවස්‌ථා අර්බුදයක්‌ නිර්මාණය වුවහොත් එහි වාසිය සුළුජාතීන්ට හා පළාත් සභාවන්ට ලැබෙන බවද අප මතකයේ තබා ගත යුතුය. මධ්‍යම රජය දුර්වල වන විට එහි වාසිය පළාත් සභාවන්ටය. එවිට පළාත් ආණ්‌ඩු එනම් පළාත් සභා ශක්‌තිමත් වේ. යුද්ධයෙන් ලබාගත නොහැකි වූ දේ තමන් කෙලෙස හෝ ජයගන්නා බව සම්බන්ධන් පසුගියදා පවසා තිබුණි. රටේ අර්බුද ඇතිකර, විධායක ජනාධිපති ධුරය නැතිකර, අස්‌ථාවර පාර්ලිමේන්තුවක්‌ ඇතිකිරීම ඔවුන්ගේ අභිලාෂයන් කරා යා හැකි හොඳම ක්‍රමවේදයයි.එබැවින් මේ සියලු දේ ගැන රටේ වගකිවයුතු පුද්ගලයන් පක්‌ෂ භේදවලින් තොරව නැවත සිතා බැලිය යුතුව තිබේ.

අනෙක්‌ අතට අද සුළු ජාතීන් කරන බලපෑම සුළුපටු නොවේ. අද රිෂාඩ් බදුර්දීන් ඇමතිවරයා වාණිජ හා කර්මාන්ත ඇමති ධුරය දරමින් අමාත්‍යාංශ හතරක කටයුතු තම පාලනයට ගෙන තිබේ.එනම් වාණිජ හා කර්මාන්ත අමාත්‍යාංශය, වෙළඳ අමත්‍යාංශය, රාජ්‍ය සම්පත් අමාත්‍යාංශය හා සාම්ප්‍රදායික කර්මාන්ත අමාත්‍යංශයේ කටයුතුය. රිෂාඩ් බදුර්දීන් ඇමතිවරයා යටතේ ආයතන හතලිස්‌ ගනනක්‌ පවතී.

එක්‌සත් ජාතික පක්‌ෂයේ හිටපු සභාපතිවරයකු මෙන්ම ජ්‍යෙෂ්ඨයකු වන ආහාර සුරක්‌ෂිතතා ඇමැති ගාමිණී ජයවික්‍රම පෙරේරා ඇමතිවරයාට අයත්ව තිබු ලංකා සතොස, රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්‌ථාව, පාරිභෝගික අධිකාරිය වැනි බොහෝ ආයතන රිෂාඩ් බදුර්දීන් ඇමතිවරයා තමන් යටතට ගෙන ඇත. මේ නිසා තම අමාත්‍යංශයේ කටයුතු කරගන්නට නොහැකිව ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා අසරණව සිටී. එහෙත් මේ අවනඩුව කියන්නට කෙනෙක්‌ නැත. ග්‍රාමීය කර්මාන්ත ඇමති ධුරයට එස්‌. බී. දිසානායක පත්වුවත් ඔහුට තිබිය යුතු ආයතන ඇත්තේ රිෂාඩ් බදුර්දීන් යටතේය. පසුගිය ජනාධිපතිවරණයේ රිෂාඩ් බදුර්දීන් නියෝජනය කළ මන්නාරම දිස්‌ත්‍රික්‌කයෙන්ම ඔහු නිසා ලැබුණු ඡන්ද සංඛ්‍යාව කොතරම්ද යන්නත් ඔහු අද ඒ හරහා ලබාගෙන ඇති බලය, පාලනය කරන ආයතන ගැනත් රජයේ ප්‍රධානීන් යළි සිතා බැලිය යුතුය. ජනාධිපතිවරණයේදී ලක්‌ෂ ගණන් ඡන්ද ලබාදුන් දිස්‌ත්‍රික්‌කවල ඇමතිවරුන්ට ලැබී ඇති ඇමති තනතුරු, ඔවුන්ට හිමි ආයතන සංඛ්‍යාව හා මේවා සසඳා බැලිය යුතුය. බහුතර සිංහල ඇමතිවරුන්ට ලැබී ඇති අමාත්‍යාංශ හා ආයතන මේවා සමග සසඳා බැලිය යුතුය. මේවා ගැන කතා කිරීම ජාතිවාදය නොවේ.අද සාධාරණය ගැන කතා කිරීම ජාතිවාදී ලේබලයෙන් වසා දමන්නට ඇතැම්හු උත්සහ දරති.

අද වන විට ලංකා සතොස ආයතනයේ මිලදී ගැනීම් සම්බන්ධව ජනාධිපතිවරයාට පවා පැමිණිලි කරන්නට පසුගියදා මෙරට ව්‍යාපාරික ප්‍රජාව කටයුතු කළහ.

ශ්‍රී ලංකා මුස්‌ලිම් කොන්ග්‍රසයේ රවුµa හකීම් ඇමතිවරයා සම්බන්ධයෙන්ද ඇත්තේ මෙවැනිම තත්වයකි. ඔහු නාගරික සංවර්ධන හා ජල සම්පාදන ඇමැතිවරයාය. දිගම්බරන් සම්බන්ධයෙන්ද කිව හැක්‌කේ එවැනිම දෙයකි. මීට අමතරව මෙවැනි උදාහරණ ගණනාවකි. පසුගිය රජයෙන්ද විවිධ වරප්‍රසාද ලබා අවසන් මොහොතේ එය අතහැර පැමිණ ඊටත් වඩා වරප්‍රසාද තනතුරු මොවුහු ලබා ගත්හ. සත්‍ය නම් මොවුන් නොපැමිණියද ඒ මොහොත වන විට එම ප්‍රදේශවල ජනතාව සිටියේ පැවති ක්‍රමය වෙනස්‌ කළ යුතු බවට තීරණයකය.

වත්මන් රජය පාර්ලිමේන්තුවේදී ලද රුපියල් මිලියන හතලිස්‌දහසක බැඳුම්කර යෝජනාව පරාජය වීම සම්බන්ධයෙන් රජය සිත හදාගන්නට කුමන අන්දමේ කතා කීවත් රජයෙහි ඇත්ත තත්වය එයින් රටටම පෙනී ගියේය. එම නිසා ඉදිරියේදී කවර තත්වයක්‌ උද්ගතවේදැයි කිව නොහැක්‌කේ විපක්‌ෂයේ බහුතරය කවර ඉදිරි පියවරක්‌ ගනීදැයි කිව නොහැකි නිසාය. ඕනෑම පනතක්‌ පරදවන්නටත්, ජයග්‍රහණය කරවන්නටත් හැකියාව ඇත්තේ විපක්‌ෂයටය. කෙසේ වෙතත් 19 වන ව්‍යවස්‌ථා සංශෝධනය 20 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර සම්මත කරගත් වහාම පාර්ලිමේන්තුව විසුරුවා හරින බව ජනාධිපතිවරයා පවසා තිබේ. මේ සම්බන්ධයෙන් විවිධ මත ගැටුම් පවතී. එම නිසා අවසන් තීරණය කුමක්‌දැයි කිව නොහැක. විවිධ පාර්ශ්ව එල්ලකරන පීඩනය හමුවේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා තනි නොකිරීමට ශ්‍රීලංකා නිදහස්‌ පක්‌ෂ මන්ත්‍රීවරු කටයුතු කළ යුතුය.

එසේ කලවිට එහි වාසිය එක්‌සත් ජාතික පක්‌ෂයටය. ජනාධිපතිවරයාද ශ්‍රීලංකා නිදහස්‌ පාක්‌ෂිකයන්ගේ සිතැඟි තේරුම් ගත යුතුය. මන්ත්‍රීවරුන්ට සවන්දිය යුතුය. විශේෂයෙන්ම මහින්ද රාජපක්‌ෂ හිටපු ජනාධිපතිවරයා සම්බන්ධයෙන් ගන්නා තීරණ තීන්දු මත ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය කැබලි නොකරන්නට සියලු දෙනා වග බල ගත යුතුය. මෛත්‍රීපාල - චJද්‍රිකා - මහින්ද යන පාර්ශ්ව තුන එක්‌ වුවහොත් මිස පක්‌ෂයට ජයගත නොහැකි බවත් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය දෙකඩවීම යනු එක්‌සත් ජාතික පක්‌ෂය ජයගැනීම බවත් මතකයේ තබාගත යුතුය.

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂ බල මණ්‌ඩලයේ කුරුණෑගල රැස්‌වීමේදී පිරිසක්‌ හිටපු ජනාධිපතිනි චJද්‍රිකා කුමාරතුංග මහත්මියට බැන වැදී හූ කියමින් ඇයට අප්‍රසාදය පළ කර තිබේ. මෙය චන්ද්‍රිකා කිසිදිනෙකත් බලාපොරොත්තු වුවක්‌ නොවේ. එක පැත්තකින් තම පක්‌ෂයේ ඉතාම අසීරු අවස්‌ථාවක එය බලයට ගෙන ආ නායිකාවට මෙලෙස සැලකීම යුතු නොවේ. එහෙත් අද පාක්‌ෂිකයන් සිටින්නේ බලය නොමැතිව දැඩි පීඩනයකය. පාර්ලිමේන්තු මැතිවරණයකින් තොරව එක්‌සත් ජාතික පක්‌ෂයට බලය දීම ගැන පාක්‌ෂිකයා තුළ දැඩි විරෝධයක්‌ තිබේ. මෙනිසා ඉදිරියේදී මේ තත්වය පාලනය කරගන්නට සියලු දෙනා එක්‌විය යුතු බවට මේ හරහා පණිවිඩයක්‌ ලබාදී තිබේ. ජනතා බලය අන් හැමදේට වඩා විශාල බව මේ සියලු දෙනා දැනගත යුතුව තිබේ.

ජාතීන් අතර සුහදතාව සහයෝගීතාව ඇතිකිරීම සඳහා ප්‍රතිසංධානය භාරව ඇත්තේ චන්ද්‍රිකා බණ්‌ඩාරනායක කුමාරතුංග මැතිනියටය. ඇය එම කටයුත්ත ආරම්භ කළ යුත්තේ තම පක්‌ෂය තුළින්මය. කවුරුන් කුමක්‌ කීවත් අද ශ්‍රීලංකා නිදහස්‌ පක්‌ෂය යම් තාක්‌ දුරට අතරමංව සිටී. පක්‌ෂය හා නායකත්වය මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සතුව තිබුනත් බහුතර පාක්‌ෂිකයා මහින්ද රාජපක්‌ෂ හිටපු ජනාධිපතිවරයා සතුය. මෛත්‍රීපාල - චන්ද්‍රිකා - මහින්ද එකමුතුවක්‌ නොමැතිව ඉදිරි මහමැතිවරණය ජයගත නොහැකි බව ශ්‍රීලංකා නිදහස්‌ පක්‌ෂ ප්‍රබලයන්ගේ අදහසය. මහින්ද යම් ලෙසකින් වෙනම තරඟ කළ හොත් එය එක්‌සත් ජාතික පක්‌ෂයට ජයග්‍රහණය ලියා දීමක්‌ වැනි බව අද ඔවුහු ප්‍රසිද්ධියේ පවසති. චන්ද්‍රිකා බණ්‌ඩාරනායක මැතිනිය සම්බන්ධයෙන් මහින්ද රාජපක්‌ෂ හිටපු ජනාධිපතිවරයා කටයුතු කල ආකාරය රටේ ජනතාව අනුමත නොකරති. එහෙත් චන්ද්‍රිකා බණ්‌aඩාරනායකද එය ඒ ආකාරයෙන්ම එකට එක කරනට ගොස්‌ පක්‌ෂය විනාශ නොකරගත යුතුය. මහින්ද යනු තමන් යටතේ තම කැබිනට්‌ටුවේ සිටි කෙනෙක්‌ ලෙස බලා සිදුවූ වැරදි වලට සමාව දෙන තැනකට ගොස්‌ පක්‌ෂය ආරක්‌ෂා කරන්නට චන්ද්‍රිකා කටයුතු කළ යුතුය.

අද රටේ සිදුවන බොහෝ දේ පළිගැනීමේ ෙච්තනාව, ඊර්ෂ්‍යාව පදනම් කරගෙන සංවිධානාත්මකව සිදුවන බව පෙනේ. අඩුම තරමින් යම් යම් සිද්ධීන් ගතහොත් ඒවායේ සිරස්‌තල, ලියා ඇති ආකාරය පවා සියලු දේ එකය. පලිගැනීමේ ෙච්තනාවෙන් කරන බොහෝදේ අසාර්ථකය. එම නිසා සිදුවන යම් යම් සිදුවීම් සම්බන්ධයෙන් ජනතාව විශ්වාස නොකරන තත්වයක්‌ ඇතිවෙමින් පවතී. පුද්ගලික පලිගැනීම් කරන්නට යාම නිසා සැබෑ දුෂිතයන්ට දඬුවම් කරන්නට නොහැකිවනවා සේම ජනතා විශ්වාසයද අහිමිවන බව රජය දැනගත යුතුය.

රටේ බහුජන සංවිධාන ගැන ජනතා විශ්වාසය පලුදුවෙමින් පවතී. පෙර පැවති රජය සමයේ ප්‍රබල හඬක්‌ නැගූ බොහෝ සමාජ ක්‍රියාකාරකයින් අද නිහඬය. විවිධ බහුජන සංවිධාන

රැසක ප්‍රධානීන් ආණ්‌ඩුවේ සභාපති ධූර භාරගෙන තිබේ. එයින්ම ඔවුන්ගේ සැබෑ ස්‌වරූපය හෙළිදරව්වී තිබේ. බටහිර තානාපති කාර්යාලවලින් මුල්‍යාධාර ලබන බොහෝ බහුජන සංවිධාන අද සැබෑ ප්‍රශ්නවලට පවා මුනිවත රකිති. ජනතාව මෙය තේරුම් ගත යුතුය.

මේ අතර මහ බැංකු බැඳුම්කර චෝදනාව, අල්ලස්‌ කොමිසමේ අධ්‍යක්‌ෂ ජනරාල්වරියට එරෙහි චෝදනාව සම්බන්ධයෙන් කිසිදු පියවරක්‌ ගන්නා බවක්‌ පෙනෙන්නට නැත. එය මෙතෙක්‌ කල් රනිල් වික්‍රමසිංහ මහතා විසින්

රැකගෙන සිටි පිරිසිදු නාමයට හොඳ නැත. රනිල් දුෂිත යෑයි ඔහුගේ තරහකාරයෙකුවත් නොසිතති. එබැවින් රනිල් වික්‍රමසිංහ තම ආණ්‌ඩුවේ චෝදනා ලබන පිරිස්‌ සම්බන්ධයෙන් ගන්නා පියවර ගැන සැලකිලිමත් විය යුතුය. අද එක්‌සත් ජාතික පක්‌ෂයේ ප්‍රබලයන්ගෙන් දුෂිත නැතැයි ජනතාව විශ්වාස කරන ප්‍රධාන චරිතය වන තමන්ගේ නාමය මෙන්ම පක්‌ෂයේ අනාගතය අද රැඳී ඇත්තේ මේ මොහොතේ ඔහු විසින් ගන්නා තීරණ මතය. ශ්‍රි ලංකාවේ ජනතාව සිතන පතන ආකාරය ගැන මීට වඩා එක්‌සත් ජාතික පක්‌ෂය අවධානය යොමු කළ යුතුය.

රටේ ජනතාව වෙත ලබාදුන් සහන ජනතාව වෙත ඒ ආකාරයෙන්ම ගමන් කරවන්නට එජාපය පියවර ගත යුතුය.එසේම පසුගියදා බැංකු ගිණුම් මත පැනවුණු පොලිය මත සියයට දෙකහමාරේ රඳවා ගැනීමේ බද්ද ගැන ජනතා විරෝධය එල්ලවී තිබේ. එය පසුගිය රජයේ අයවැය යෝජනාවක්‌ නම් අතුරු අයවැයෙන් එය ඉවත් කළ යුතුව තිබුණි. එහෙත් එය එසේ කර නැත.

ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා ඉහළ පොලී අනුපාත ලබාදීමේ ක්‍රමයද මාසිකව පොලිය ලබාගත නොහැකි බැවින් බොහෝ විශ්‍රාමිකයන් පවසන්නේ එය අසාර්ථක බවය. අනික්‌ අතට ලැබිය හැකි උපරිම පොලිය රුපියල් දොළොස්‌ දහස්‌ පන්සියය බැවින් එම මුදලින් මාසයක්‌ ගත කිරීමද අපහසුය. මේ අතර උකස්‌ රන් භාණ්‌ඩ පොලී අනුපාත ගැන මහජනතාව මැසිවිලි නගති. ක්‍රෙඩිට්‌ කාඩ් සඳහා පොලී අනුපාත අඩුකරන්නටද පුද්ගලික බැංකු කටයුතු කර නොමැත. මේවා ගැන රජය අවධානය යොමු කළ යුතුය.

ජනිත සෙනෙවිරත්න

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.