මහින්ද මෛත්‍රී එකමුතුවට බාධාව චන්ද්‍රිකාලු



මේ උදා වී ඇත්තේ අලුත් ආණ්‌ඩුවේ අවුරුද්දේ අලුත් අවුරුදු උත්සවයයි. රටේ ජනතාව ලහි ලහියේ අවුරුදු කන්නට සූදානම් වෙමින් පසුවන උණුසුම් දින කිහිපයක්‌ ගෙවී යමින් තිබේ. එහෙත් මේ රටේ දේශපාලනයේ නියෑළෙන ආණ්‌ඩු පක්‍ෂයටත් විපක්‍ෂයටත් මේ දිනවල අවුරුදු කන්නට ලෑස්‌ති වන්නට විවේකයක්‌ නැති ගානය.

ඒ සියල්ලෝම තම තමන්ගේ දේශපාලන න්‍යාය පත්‍රවලට අනුව රෑ දවල් නොමැතිව වැඩ රාජකාරිවල සිරව සිටීම ඊට හේතුවයි.

ඒ අතරින් මේ දිනවල වඩාත්ම ක්‍රියාකාරී දේශපාලන බලවේගය බවට පත්ව සිටියේ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය හා එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ දේශපාලන බලවේගයි. ඇතුළේ අර්බුද රැසක්‌ තිබීම නිසාත් ඒ අර්බුද විස¹ගෙන ඉදිරියට යන්නට සැමටම වුවමනාව තිබූ නිසාත් ඒ වෙනුවෙන් ඒ ඒ පාර්ශ්වවලට වෙන වෙනම දේශපාලන න්‍යාය පත්‍ර තිබූ නිසාත් ඔවුන්ගේ ක්‍රියාශීලිත්වය විශේෂයෙන් කැපී පෙනිණි.

එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ සිටින, වත්මන් රජයට සම්බන්ධ තනි විකල්ප කණ්‌ඩායම වෙහෙස වූයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ යළි දේශපාලන කරළියට ගෙන ඒමටය. ඒ සඳහා යන ගමනට සවියක්‌ ලෙස විපක්‍ෂයේ බලය ඇල්ලීමට පසුගිය දිනවල ඔවුහු අතුරු සටනක්‌ අරඹා තිබුණේ දිනේෂ් ගුණවර්ධන විපක්‍ෂ නායක කරවීමේ මෙහෙයුම හරහාය. පසුගිය සතිය පුරාවටම විපක්‍ෂයේ දේශපාලනයේදී අපේ රටේ කැපී පෙනුණේ එම සටන ඉදිරියට ගෙන යැමට විකල්ප කණ්‌ඩායම ගෙන ගිය සටන හා එය නවත්වන්නට ශ්‍රීලනිපයේ ආණ්‌ඩුවට හිතවත් කණ්‌ඩායම දැක්‌වූ ප්‍රතිවිරෝධය වටා ගොඩනැඟි ක්‍රියාකාරකම්ය.

මහින්දගේ ඇත්ත ගැන මෛත්‍රී පහදයි

ගිය සිකුරාදා 03 පෝය දිනයයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එදින විශේෂ ප්‍රාදේශීය දේශපාලන රැස්‌වීමක්‌ පවත්වන්නට තීරණය කර තිබිණි. මේ සඳහා ආරාධනය ලැබ තිබුණේ බස්‌නාහිර මධ්‍යම හා වයඹ පළාත්වල පළාත් පාලන ආයතනවල සභාපතිවරු හා නගරාධිපතිවරු පිරිසය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මෙම සභාව අමතමින් විශේෂ කාරණා කිහිපයක්‌ කීවේය.

පසුගිය ජනාධිපතිවරණය ගැන එක එක අය එක එක කතා කිව්වා. ජනාධිපති මහින්දට හදිසි ජනාධිපතිවරණයක්‌ අවශ්‍ය වුණේ "ජ්‍යෙdතිෂ්‍ය කතා" නිසාය කියල පෙන්නන්න සමහරු උත්සාහ කළා. ඒත් ඇත්ත කතාව ඒක නොවෙයි. මහින්දට ලොකු තර්ජනයක්‌ තිබුණා. ජිනීවා මානව හිමිකම් සමුළුවෙන්. ඉතින් එයා බැලුවේ ඡන්දයක්‌ දිනලා රටේ එයාට ලොකු බලයක්‌ තියෙනවා කියල ලෝකෙට පෙන්නන්නයි. ඒකයි හදිසි ජනාධිපතිවරණයක්‌ තිබ්බේ. එහෙම නැතුව ජ්‍යෙdතිෂය කියපු නිසා නොවෙයි.

කොහොමහරි ජිනීවා ප්‍රශ්න කල්දාන්න පුළුවන් වුණේ මම දිනපු නිසයි. අපි දැන් ඒ ප්‍රශ්න විසඳගෙන තියෙනවා. මට ඉදිරියට ඔයගොල්ලන්ගේ උදව් ඕන.... ඉදිරි මහ මැතිවරණයට.

මීළඟට කතා කළේ මොරටුව සමන් ලාල් ප්‍රනාන්දුය.

ජනාධිපතිතුමනි, කවුරු කොහොම කිව්වත් තවමත් අපේ ගමේ ඡන්දදායකයන්ගේ අවශ්‍යතාව මහින්ද... මහින්ද ජනාධිපතිතුමාව කරලියට නොගෙන අපට ඡන්ද දිනන්න බෑ. ඔබතුමාලා එතුමන් මේ වැඩවලට හවුල් කර ගන්න ඡන්දය දිනන්න ඕන නම්. සමන් එලෙස කීවත් ඊට කිසිවෙක්‌ මොනවත් කීවේ නැත. නිමල් සිරිපාල, අනුර යාපා, සුසිල් ප්‍රේමජයන්ත යනාදීහු ද මේ කතාව අහගෙන නිහඬව සිටියහ. ඊළඟට කතා කළේ අත්තනගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රියන්ත හෙට්‌ටිආරච්චිය.

ජනාධිපතිතුමනි, සමහරු කියනවා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ පක්‍ෂය දෙකඩ කරන්න යනවා කියලා. නමුත් ඇත්ත කතාව නම් පක්‍ෂය දෙකඩ කරන්න හදන්නේ එතුමා නොවෙයි. හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා. එයා දැන් අත්තනගල්ලට ගිහින් වෙනම වැඩ කරන්න යනවා. මට කතා කරන්නේත් නැහැ. කියන්නේත් නැහැ ඔහොම වැඩ කරන්න පුළුවන්ද?

මෙහිදී කතා කළ ප්‍රාදේශීය සභාපතිවරු සිටියේ එක මතයකය. ඔවුන්ගේ අවශ්‍යතාව මහින්ද පක්‍ෂය ඇතුළට ගෙන ඒම බව පෙනුණත් වගකිවයුත්තන් කිසිවෙක්‌ ඒ ගැන කතා නොකරන්නට වග බලා ගත්හ.

කෙසේ වෙතත් මේ පිරිස ඊට පසුවදා ඒ වෙනුවෙන්ම සංවිධානය වූහ. එදා හවස ජනාධිපති ලේකම් කාර්යාලයේ විශේෂ තේ පැන් සංග්‍රහයක්‌ පැවැත්විණි. ඊට සභාපතිවරුන්ට ආරාධනා කළහ. සමන් ලාල්, මිලාන් ජයතිලක, ප්‍රියන්ත හෙට්‌ටිආරච්චි ඇතුළු පිරිසක්‌ තේ බොන්නට ද ගියේ නැත.

"ඔයාලා කියන්න මීට පස්‌සේ මහින්ද මහත්තයාව මේ වැඩවලට එකතු කර ගන්නේ නැතිනම් අපි මීට පස්‌සේ මේ තැන්වල තියෙන කිසිම තේ පැන් සංග්‍රහයකට භෝජන සංග්‍රහයකට එන්නේ නෑ කියලා... එසේ කියමින් ඔවුන් විසිර ගියහ.

කරුට කන්න දුන් අරුම පුදුම බෙහෙත

පසුගිය සෙනසුරාදා කටුගම්පල තිස්‌සව රජමහා විහාරයට ගිය අමාත්‍ය කරු ජයසූරියට හා අකිල විරාඡ් කාරියවසම්ට අමුතුම අත්දැකීමකට මුහුණපාන්නට සිදුවිය. එහි අධිපති මුගුණුවටවන සිද්aධන්ත නාහිමියෝ මේ අමුත්තන්ට ශාක පත්‍රයක්‌ ලබාදී මෙසේ කීවේය.

මහත්තයලා ඕක හොඳට හපල කන්න. ඕක ලොකු ලොකු මහත්තුරුන්ට වටිනා බෙහෙතක්‌. එසේ කී හාමුදුරුවෝ එම පත්‍රය කෑ අමුත්තන්ට සීනි හැන්ද බැගින් බෙදාගෙන ගියේය. දැන් ඕකත් කන්න...

අමුත්තන් සීනි හැන්දද ආහාරයට ගත්තත් කිසිදු පැණි රසයක්‌ ඉන් නොදැනීම නිසා පුදුමයට පත්වූහ.

මොනවද හාමුදුරුවනේ මේ කොළේ. හරි පුදුමයි.... ඇමැතිවරු කීහ.

ඕක තමයි මහත්තයෝ සීනිවලට තියෙන හොඳම බෙහෙත. අපි මේ ගැන පර්යේෂණයක්‌ කළොත් අපේ ආයුර්වේද වෙදකමේ හපන්කම් මුළු ලෝකයටම බෙදාදෙන්න පුළුවන්. හාමුදුරුවෝ කීහ. ලොකු හාමුදුරුවෝ එසේ ඇමැතිවරුන්ට කන්නට ලබා දී තිබුණේ අතිශය දුර්ලභ ඖෂධයක්‌ වූ "මස්‌බැද්ද" කොළය. කරු හා අකිල එදා එම විහාරස්‌ථානයට ගියේ උන්වහන්සේගේ 70 වැනි ජන්ම දින උත්සවයට සමගාමීව සූදානම් කර තිබූ විශේෂ ගුණ සමරු උත්සවයකට සහභාගි වන්නටය.

එදින හවස තවත් විශේෂ කටයුත්තකට සහභාගි වන්නට කරු ජයසූරිය ඇමැතිවරයා ගම්පහ සුමේධ ශාලාවට ගියේය. සූරිය පදනම විසින් මෙහෙයවන ලද වෘත්තීය පුහුණු පාසලේ නොමිලයේ වෘත්තීය පුහුණුව හැදැරූ සිසු සිසුවියන් 800 ක්‌ දෙනා විසිර යැමේ උත්සවයක්‌ එදා හවස එම ශාලාවේ පැවැත්විණි. මෙයට එරාන් වික්‍රමරත්න ඇමැතිවරයා ද පැමිණ සිටි අතර ඔහු සිය කතාවේදී ඒ ගැන විශේෂ අදහසක්‌ පළ කළේය.

අපේ කරු ජයසූරිය ඇමැතිතුමා මේ වගේ සමාජ සත්කාර වැඩ කරන්නේ අප්‍රසිද්ධියේ. අණබෙර ගහල නොවෙයි. මේ වගේ තරුණ තරුණියන්ට වෘත්තීය ශක්‌තියක්‌ ලබාදෙන්න විශාල වියදමක්‌ දරල කරන මේ වගේ උතුම් වැඩ අපි අගය කරන්න ඕන... එරාන් කීවේය.

චන්ද්‍රිකා දැන් ගම්පහ වැඩ පටන් අරන්ලු

මේ දිනවල හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරතුංග බණ්‌ඩාරනායක වැඩිපුර වෙහෙසෙන්නේ ගම්පහ ප්‍රදේශයේ වැඩ කටයුතුවලටය. විශේෂයෙන් අත්තනගල්ලේ රැස්‌වීම්වලට නිතර නිතර සහභාගි වීම ඇය ඉතා ඕනෑකමින් කරන අයුරු දැක ගන්නට ලැබිණි. පසුගිය 05 වැනිදා ගම්පහ නගර ශාලාවේ ප්‍රාදේශීය සහ නගර සභා මන්ත්‍රීවරුන්ගේ විශේෂ සැසියක්‌ පැවැත්විණි. මෙය සංවිධානය කර තිබුණේ පණ්‌ඩු බණ්‌ඩාරනායක ඇතුළු සංවිධායකයින් පිරිසකි. එහෙත් බොහෝ ප්‍රාදේශීය සභා සභාපතිවරු සහ නගර සභිකයෝ මීට පැමිණ සිටියේ නැත.

චන්ද්‍රිකා මෙම සභාව අමතා ආන්දෝලනාත්මක ප්‍රකාශයන් කිහිපයක්‌ද කළේ එදාය.

"මටත් පුළුවන් ඕන නම් සෙනග ගෙන්නව ගන්න. කන්න බත් පැකටුයි බොන්න අරක්‌කුයි දුන්න නම් ඔය වගේ මිනිස්‌සු ඇවිත් අපි වටේත් පෙරළි පෙරළි අඬාවි. ඕව කරන්න අවශ්‍ය නැහැ දේශපාලනයේ දී..."

දැන් සමහරු ආයිත් සැරයක්‌ දේශපාලන වැඩවලට මහින්දව ගේන්න දඟලනව. එයාටත් පුළුවන් ඕන නම් ඇවිල්ල ඔළුව නමාගෙන මෙතැන ඉඳගෙන වැඩ කරන්න. ඕන්නම් ඇවිල්ල එහෙම වැඩ කරන එකයි ඇත්තෙ. මේව අවුල් කරන්න එන්නෙ නැතුව."

මේ අයුරින් චන්ද්‍රිකා එදා කළ කතාව එක එක පැතිවලින් ප්‍රචාරය වන්නට පටන් ගත්හ. සමහරු එය හොඳට අරගත් අතර තවත් සමහරු එය ගත්තේ නරකටය. කෙසේ වෙතත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂට ද ඉන් බොහෝ සේ පහර වැදුණු බව පැහැදිලි විය. ඊට ඔහු දුන් උත්තරවල ඒ ආකාරයේම ප්‍රහාරාත්මක උත්තර විය.

මේ අතර පසුගිය හයවැනිදා දිවංගත ජෙයරාඡ් ප්‍රනාන්දු පුල්ලේගේ 07 වැනි ගුණසමරු උත්සවයද කටානේ පැවත්විණ. එය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ ඇතුළු පිරිස සංවිධානය කළ අතර ආගමික හා බහුජන සංවිධානවලද ලොකු දායකත්වයක්‌ ඊට ලැබී තිබිණි.

මෙහිදී දක්‌නට ලැබුණු විශේෂත්වය වූයේ හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්‌ඩාරනායක ද ඊට සහභාගී වීමය. එයට ඇයට කිසිවෙක්‌ ආරාධනා කර තිබුණේද නැත. එහෙත් ඇය එබඳු තැන්වලට දැන් ඉතා උනන්දුවෙන් පැමිණීම පුරුද්දක්‌ කරගෙන සිටී. මෙතැනදී ඇයව දකින්නට අපේක්‍ෂා නොකළ සමහරු ඇයගේ පැමිණීම විවේචනය කරන්නටද වූහ.

"ජෙයරාඡ්ගේ මළගෙදරවත් මෙයා ආවේ නැහැ. ඒ කාලයේ මෙයා ලංකාවේ සිටියා. නමුත් ආවෙ නැහැ. දැන් මොකද දන්නෙ නැහැ මෙච්චර උනන්දුවෙන් එන්නෙ..." කියමින් කසුකුසුවක්‌ සභාවේ ඇතිවී තිබුණේ උත්සාහයකින් තොරවය.

මුදල් පනතකින් ආණ්‌ඩුව පරාද කරලා

පසුගිය අඟහරුවාදා උදේ තවත් විශේෂ සිද්ධියක්‌ පාර්ලිමේන්තුවේදී ද සිදුවෙමින් තිබිණි. එය එක්‌ අතකින් ලොකු සටනක පුංචි මෙහෙයුමක්‌ පමණක්‌ ලෙස සැලකිනි.

අඟහරුවාදා උදේ විමල් වීරවංශ, දිනේෂ් ගුණවර්ධන, වාසුදේව නානායක්‌කාර, ටී. බී. ඒකනායක, මහින්දානන්ද අලුත්ගමගේ ඇතුළු පිරිසක්‌ පාර්ලිමේන්තුවේ සිටියේ මොකක්‌දෝ කුමන්ත්‍රණයකට හොරගල් අහුලමින් මෙනි. නිතර නිතර සාකච්ඡා කරමින් කතාබහ කරමින් විසිර ගිය ඔහු තම හිතවතුන්ට කීවේ "හවස වැඩක්‌ තියෙනවා. යන්න නම් එපා අද දවසම ඉන්න..." කියාය. හුඟ දෙනෙක්‌ සිතුවේ මේකත් මේ කියන්නේ විපක්‍ෂනායක තේරීමේ සටන ගැනය කියාය. එහෙත් එය වෙනත් මෙහෙයුමක්‌ බව කිසිවෙකු සැක කළේ නැත.

මේ අතර විපක්‍ෂ නායකවරයා තේරීමටද ලොකු සටනක්‌ යටිතලයේ ක්‍රියාත්මක වෙමින් තිබිණි. දිනේෂ්ලා ඒ සඳහා පාර්ලිමේන්තුවේ විපක්‌ෂ මන්ත්‍රීවරු හැට ගණනකින් දිවුරුම් ප්‍රකාශ ලබාගෙනද තිබිණි. විපක්‍ෂ නායක නිමල් සිරිපාල සිල්වා ඇතුළු පිරිස සිටියේ එම උගුලෙන් ගැලවෙන්නේ කෙසේද යන සිතුවිල්ලෙනි.

බිලියන 400 ක භාණ්‌ඩාගාර බිල්පත් මුදාහැරීම පිළිබඳ නීති රෙගුලාසි අඩංගු පාර්ලිමේන්තු යෝජනාව පැමිණියේ ඔය අතරය. විපක්‍ෂයේ මන්ත්‍රීවරු මේ පිළිබඳ එකවරම ඡන්දයක්‌ ඉල්ලා සිටියේ ආණ්‌ඩුව කිසිවිටකත් නොසිතූ නොපැතූ මොහොතකය.

කල්තියා කතා කරගත් පරිදි විපක්‍ෂයේ මන්ත්‍රීවරු එකා දෙන්නා පැමිණ සභා ගැබෙහි අසුන් ගත්හ. අන්තිමේ ඡන්ද ප්‍රතිඵලය වූයේ යෝජනාවට පක්‍ෂව ඡන්ද 21 ක්‌ හා විපක්‍ෂව ඡන්ද 52 ක්‌ ලැබීමය. මෙය මේ මොහොතේ ආණ්‌ඩුව ලැබූ අති විශාල පරාජයක්‌ ලෙස විපක්‌ෂය තේරුම් ගත්හ. මුදල් යෝජනාව පරාජය වීමත් සමග ආණ්‌ඩු පක්‍ෂය ද කලබල විය. කෙසේ නමුත් මෙයින් අමන්දානන්දයට පත් විපක්‍ෂයේ මන්ත්‍රීවරු එදා සභා ගැබෙන් නැගිට ගියේ ප්‍රීතිඝෝෂා නගමින් ගීතද ගායනා කරමිනි.

මහින්දානන්ද අලුත්ගමගේ හෙළ ජාතික අභිමානේ ගීතය පටන්ගත් අතර විමල් ලා ඊට අත්වැල් අල්ලන්නට වූ නිසා ගීතය නැගල ගියේය. සභා ගැබෙන් පිටව මන්ත්‍රීවරු පහත මාලය වෙත ආවේද සින්දුවෙනි.

එදා සිදුවූ අනෙක්‌ විශේෂ කාරණාව වූයේ විපක්‍ෂ නායකයාට ඇතිවූ විවාදයයි. විපක්‍ෂයේ මන්ත්‍රීවරු කථානායක ඉදිරියේ දෙපිළට බෙදී විපක්‍ෂ නායකයා තෝරන්නට තර්ක කරද්දී කථානායකටද තීන්දුවක්‌ ගත නොහැකි විය. ඔහු කීවේ පක්‍ෂයේ මහ ලේකම් මේ පිළිබඳව තීන්දුවක්‌ ගෙන තමන්ට දැන්විය යුතු බවය.

මහින්දගෙන් චන්ද්‍රිකාට උත්තරයක්‌

පසුගිය අඟහරුවාදා සවස තවත් විශේෂ ආගමික උත්සවයක්‌ මහර සිරි සුධර්මාරාම විහාරය්ථානයේදී පැවැත්විණි. එම විහාරස්‌ථානයේ දහම් පාසලේ ගොඩනැඟිල්ලක්‌ විවෘත කිරීම ඊට හේතුව වුණත් එහෙත් මුළුමනින්ම දේශපාලන උත්සවයක සිරි ඉසිලීය. මෙය සංවිධානය කර තිබුණේ ගුණසිරි ජයනාත් විසිනි. විශේෂත්වය වූයේ එයට හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂට ආරාධනා කිරීමයි. ඒ හැරුණු විට ප්‍රසන්න රණතුංග, දුලිප් විඡේසේකර, උපේක්‍ෂා ස්‌වර්ණමාලි, සරණ ගුණවර්ධන ඇතුළු පිරිසක්‌ද පැමිණ සිටීමයි. මෑතකදී මහින්ද සහභාගි වන රැස්‌වීමකට උපේක්‍ෂා හෙවත් පබා පැමිණ සිටියේ පළමු වතාවටය.

මහින්ද වේදිකාවට ගොඩවූයේම "කෝ මේ ආසනයේ සංවිධායකවරයා" කියා අසමිනි. සැබවින්ම එදා ලසන්ත පේන්නට සිටියේ නැත.

"එයාට මේ වගේ තැන්වලට එන්න බැහැනේ සර්... ඇමැතිකම ගත්ත දවසෙ ඉඳලා මිනිස්‌සු අතරට එන්න එපා කියල අපේ පැත්තෙ ජනතාව එයාට කියලයි තියෙන්නෙ..." කියා ගුණසිරි කීවේය.

ජනාධිපතිවරයා විශේෂයෙන් එදා වේදිකාවේ කළේ ආගමික කතාවකට වඩා දේශපාලන කතාවකි. ඔහු ඊට පෙරදා ගම්පහදී තමන්ට වාග් ප්‍රහාර එල්ල කළ චන්ද්‍රිකාට හොඳ උත්තරයක්‌ දුන්නේ ජනතාවගේද ආශ්වාදය නිසාය.

"ඔයගොල්ලො මං එන එන තැන්වලට රොක්‌ වෙන්නෙ මම අරක්‌කුයි බතුයි දෙන නිසාද... නැත්නම් මට ආදරේ නිසාද... අන්න ඒ අපහාසය කළේ මට නෙවෙයි ඔය ගොල්ලන්ටයි. මම ඒකට කැමැති නෑ... අනිත් එක තමයි මම ඔළුව නමන්නෙ ජනතාවට විතරයි. ඔයගොල්ලන්ට මම ඔළුව නමනවා. එහෙම නැතුව ඔය එක එක අය කියන විදියට ඒ අයට ඔළුව නමාගෙන ඉන්න මම කැමැති නැහැ. ඒක මේ මහින්ද රාජපක්‌ෂගෙ විධිය නෙවෙයි..."

මෙසේ හිටපු ජනාධිපතිවරයා කියන විට ජනතාව අතරින්ද ලොකු ඔල්වරසන් හඬක්‌ නැගිණි. සමහරු චන්ද්‍රිකාට බැණ වදින්නටද පටන් ගෙන තිබිණි.

මෙම රැස්‌වීම තරමක්‌ නොසන්සුන් එකක්‌ විය. එය ඉවර වී මහින්ද ආපසු එන අතරේÊඔහුට දුරකථන ඇමතුමක්‌ ලැබිණි.

"සර්... අද අපේ අතින් මොකක්‌ හරි වරදක්‌ වුණාද... මොකක්‌ද සර් අවුල..." කියා ඇසීය.

"ඔව්. අවුලක්‌ වුණා තමයි. ඔයගොල්ල එතන දේශපාලනය කතා කරන්න පටන්ගත් හින්ද මටත් දේශපාලනය කතා කරන්න වුණා. ඒක තමයි අවුල..." කියමින් මහින්ද ද සිනාසෙන්නට පටන් ගත්තේය.

පෙරළිකාර 40 ට ප්‍රසන්නගෙන් සාදයක්‌

ප්‍රසන්න රණතුංග මහර සිරි සුධර්මාරාමයේ රැස්‌වීමට ගොස්‌ සිටින අතරවාරයේ පාර්ලිමේන්තුවේ සිදුවූ විප්ලවය ගැන දැනගෙන සිටියේය. එතැන පෙරළිකාර මන්ත්‍රීවරු පිරිස පාර්ලිමේන්තු අලකලංචිය හමාර කළ පසුව කෙළින්ම ගොස්‌ තිබුණේ කොළඹ ප්‍රසන්න රණතුංගගේ නිල නිවසටය. එදා එහි ඔවුන් වෙනුවෙන් සාකච්ඡාවක්‌ සහ විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයක්‌ද සූදානම්ව තිබිණි.

ප්‍රසන්න රණතුංග ද පැමිණියේ එතැනටය. ප්‍රසන්න නිවසට එන විටම කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා ශබ්ද නගමින් තම ප්‍රීතිය ප්‍රකාශ කර මෙසේ කීවේය.

"ඔන්න මල්ලි අපි දැන් වැඩ පටන් ගත්තා... පාර්ලිමේන්තුවේ විප්ලවය ඇරැඹුණා. දැන් ඉතින් පළාත් සභාවත් එතැනට එන්න ඕන."

"ඔව්... ඔව්... මේක ආණ්‌ඩුවේ අන්ත පරාජයක්‌. මෙහෙම දෙයක්‌ එයාල හිතුවෙ නැහැ. අපි සටන බාල කරන්න නරකයි. දැන් අපි විපක්‍ෂ නායකකම දිනා ගන්න සටනත් මේ විදිහටම කරන්න ඕන. ඊළඟට තමයි තියෙන්නෙ ලොකුම සටන. මහින්ද මහත්තය ගෙනෙන සටන...." බන්දුල ගුණවර්ධන කීවේය.

"දැන් කොහොමද අත්සන්..." ප්‍රසන්න විමසීය.

"මේ වෙනකොට 60 ක්‌ දිව්රුම් ප්‍රකාශ දීල තියෙනව. අපි ඉස්‌සරහට තව කට්‌ටිය ගන්නව..." ටී.බී. කීවේය.

"එහෙම නම් අපි හෙට ඒ දිවුරුම් ප්‍රකාශ ටික කථානායකට භාරදීලා තීන්දුවක්‌ ගන්න කියමු. කථානායක ඒක කරන්න එපායෑ..."

මේ අයුරින් මධ්‍යම රාත්‍රිය නික්‌ම යන තුරුද සාදය පැවැත්විණි. ඉස්‌තරම් පාන වර්ග හා රසමසවුළුද ඕනෑ තරම් තිබිණි. නොයෙකුත් කතා මේ සාදය අතරේÊඒ මේ අත යමින් තිබිණි. සමහරු කතා කළේ මැයි දිනය ගැනය. මහින්ද රාජපක්‌ෂව ශ්‍රිලනිප මැයි දිනයට ගෙන්වා නොගන්නේ නම් බොහෝ දෙනෙක්‌ ඊට සහභාගි වීම සැක සහිත බව සමහරු කීහ.

කතා කරන්නට තවත් මාතෘකාවක්‌ වූයේ දැනට ආණ්‌ඩුවේ ඇමැතිකම් ලබාගෙන ගොස්‌ සිටින ඇමැතිවරුන්ට තිබෙන අඩුපාඩු ගැනය.

සමහරුන්ට ඉන්නවත් තැනක්‌ නෑලු. සමහරුට නිල රථ නෑලු. සමහරුන්ට කාර්ය මණ්‌ඩලවලට පහසුකම් නෑලු. උදාහරණයක්‌ වශයෙන් ඔන්න පියසේන ගමගේ ඇමැතිතුමා දැන් වැඩ කරන්නෙත් ගෙදර ඉඳන් ලු. එතුමට නාරාහේන්පිට කාර්යාලයේ තවමත් ඉඩක්‌ ලැබිල නැහැලු... තාමත් ඉන්නෙ නිරෝෂන් පෙරේරා ඇමැතිවරයා. එයා තවම එතැන බාර දීලා නැහැ. ඔය වගේ ආණ්‌ඩුවේ ඉන්න අපේ කට්‌ටියත් සතුටින් නෙමෙයි ඉන්නෙ.

එහෙනම් මොකටද ඉන්නෙ ඔතන. එන්න එපායෑ අපිත් එක්‌ක අර තිස්‌ස කරලියද්ද ආව වගේ... මන්ත්‍රීවරු කීහ.

මහින්දගේ රැස්‌වීමකට අනුර යාපාත් ඇවිල්ලා

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මේ දිනවල වැඩිපුරම කාලය ගත කරන්නේ නාරාහේන්පිට අභයාරාම විහාරස්‌ථානයේය. ඔහු දැන් ජනතාව මුණගැසෙන කාර්යාලය පවත්වාගෙන යන්නේ එහි බැවින් එතැන දැන් නිරතුරුවම කාර්යබහුල ස්‌ථානයක්‌ වී හමාරය. පසුගිය බ්‍රහස්‌පතින්දා දහවල් කණ්‌ඩායම් දෙකක්‌ ඔහු හමු වන්නට අභයාරාමයට පැමිණ සිටියේය. වේලාසනින් පැවැත්වුණේ උතුරු මැද පළාතේ වන්නි දිස්‌ත්‍රික්‌කයේ ජනතා නියෝජිතයන් පිරිසකගේ රැස්‌වීමකි. දහවල් දකුණු පළාතේ පළාත් පාලන ආයතන නියෝජිතයන්ගේ විශේෂ රැස්‌වීම පැවැත්විණි.

දකුණු පළාතේ ප්‍රාදේශීය සභාවල මන්ත්‍රීවරු 317 දෙනෙක්‌ සිටිති. ඉන් 300 දෙනෙක්‌ම එතැනට පැමිණ සිටියහ. පළාත් සභා මන්ත්‍රීවරු 32 ක්‌ සිටිති. ඉන් 27 දෙනෙක්‌ම පැමිණ සිටියහ. ශාන් විඡේලාල් ඇතුළු කිහිප දෙනෙක්‌ පැමිණියේ නැත. සමහරු ආණ්‌aඩුවට ගොස්‌ ඇමැතිකම් ගත් ඇමැතිවරුන්ගේ පුත්තුය. නෑ හිතවත්තුය.

මෙතැනදී දකුණේ මන්ත්‍රීවරු එක්‌ යෝජනාවක්‌ ගෙනැවිත් සම්මත කරගත්හ. යෝජනාව වූයේ මෙවර මැයි දිනයට මහින්ද රාජපක්‌ෂව ගෙන්වා නොගන්නේ නම් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ මැයි දින උත්සවයට මෙහි සිsටින කිසිවකු සහභාගි නොවන බවයි. මේ අයුරින් කතා කරමින් යෝජනා ස්‌ථිර කරමින් සිටින ශාලාවට හිටි හැටියේම අමුත්තකු පැමිණියේය. අමුත්තා ශ්‍රීලනිප මහ ලේකම් අනුර යාපා ය. අනුර යාපා එහි එන බව දුටු දකුණේ මන්ත්‍රීවරු ඔල්වරසන් දෙන්නට පටන් ගත්හ. සමහරු හිතුවේ අනුර ආවේ මහින්දගේ රැස්‌වීමට සහභාගි වන්නට කියාය. එහෙත් අනුර පැමිණ සිටියේ මැයි දිනයට සහභාගි වන ලෙස හිටපු ජනපති මහින්දට ආරාධනා පත්‍රයක්‌ ලබාදෙන්නටය.

කෙසේ වෙතත් අනුර යාපා දුටු තැන සිට දකුණේ මන්ත්‍රීවරුන් ඔහුට එක එක දේවල් කියන්නට පටන් ගත්හ. ඔබතුමා ගිහින් මෛත්‍රිපාලට කියන්න... හැබෑ ජනතා බලවේගය තියෙන්නෙ එතැන නෙවෙයි මෙතන කියලා කියන්න. මහින්ද මහත්තය එක්‌ක එකතු වෙන්න කියල කියන්න. චන්ද්‍රිකාගෙ ලණු කන්න එපා කියල කියන්න... ආදී ලෙස පැමිණි යෝජනා, චෝදනාවල කෙළවරක්‌ නොවීය.

එනපොට හොඳ නැති බව දැනගත් අනුර යාපා එතැනින් ඉවත්ව කාර්යාලය වෙත ගියේ ජනාධිපති මහින්ද හමුවීමටය. ජනාධිපතිවරයා ආරාධනාව බාර ගත්තේය.

"හරි එහෙනම් දැන් අනුර යන්න... මෙතැන තත්ත්වය හොඳ නැහැ. මහින්ද රාජපක්‍ෂ කීවේය.

එසේ පිටව යන අනුර යාපා එළියෙදී වටකර ගත්තේ මාධ්‍යවේදීන්ය. ඔබතුමා ඇයි ආවේ... ආදී නොයෙකුත් ප්‍රශ්න ඔව්හු අසන්නට විය. මේ අතර තවත් මාධ්‍යවේදියෙක්‌ මෙසේ ඇසුවේය.

"ඔබතුමාලගෙ හිටපු ජනාධිපතිනියට අද උදේ කුරුණෑගලදි හූ කිව්වලු නේද... බැන්නලු නේද... ඇත්තටම මොකක්‌ද එතැන වෙලා තියෙන්නෙ..."

"ආ... ඒක මේ සුළු ප්‍රශ්නයක්‌" අනුර කීවේය.

"ඒ කියන්නෙ මේවගෙ නායිකාවකට හූ තියන එක සුළු ප්‍රශ්නයක්‌ද..." කියා මාධ්‍යවේදියා අසද්දී අවට සිටි ජනතාව එක එක ආකාරයෙන් අනුර යාපාටද හූ කියන්නට පටන් ගත්තේය. මෙම තත්ත්වය සංසිඳී ගියේ මහත් ආයාසයකිනි.

චන්ද්‍රිකාට වයඹ ජනතාවගෙන් "හූ" ප්‍රහාරයක්‌

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ දිස්‌ත්‍රික්‌ සමුළු මාලාවේ පළමු සමුළුව පසුගිය බ්‍රහස්‌පතින්දා උදේ පැවැත්වුණේ කුරුණෑගලදීය. කුරුණෑගල ශ්‍රීලනිප ක්‍රියාකාරීහු මෙම සමුළුවට පැමිණ සිටියහ. මූලාසනයේ සිටියේ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා හා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනය.

මෙම සමුළුව ඇරැඹීමට පෙර විශේෂ අමුත්තන්ට පොල්තෙල් පහන පත්තු කරන්නට ආරාධනා කරද්දී විශේෂ සිද්ධියක්‌ විය. ජනාධිපතිනී චන්ද්‍රිකාට ලැබුණු ආරාධනයට අනුව ඇය පහන පත්තු කරන්නට ගියා පමණි. සභාවෙන් "හූ" හඬක්‌ නැගෙන්නට විය. මොහොතකින් එය මුළු ශාලාව පුරාම පැතිර ගියේය. සභාව මෙහෙයවූ ජයරත්න හේරත්ට එය පාලනය කරන්නට තරමක්‌ අසීරු වුවත් ටික මොහොතකින් නතර වූයේ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මැදිහත් වීමෙනි.

ඉන්පසු සභාව නිසොල්මන්ව පැවැතිණි. ජයරත්න හේරත් කතා කළ පසු ජනාධිපති මෛත්‍රීපාල කතා කළේය. ඔහුගේ කතාව තරමක්‌ නිවුණු සැනසුණු එකක්‌ විය. මෙම ගමන යා යුත්තේ ශ්‍රීලනිපය සමගි කරගෙන බව ඔහු කීවේ හිටපු ජනාධිපතිවරු දෙදෙනාගේම සහායත්, හිටපු අගමැතිවරුන්ගේ සහායත් තමන්ට ඊට අවශ්‍ය බව මෛත්‍රීපාල කීවේය. විශේෂයෙන් මහින්ද රාජපක්‍ෂ පක්‍ෂයට අවශ්‍ය බව ඔහු කීවේය.

අවසානයේ දී ස්‌තූති කතාව කළේ මහ ඇමැති දයාසිරි ජයසේකර ය. ඔහු සිය කතාවේදී මහින්ද රාජපක්‍ෂගේ අගය ගැන විශේෂයෙන් කතා කළේය. ගම්වල ජනතාවගේ පපුවේ සිටින නායකයා මහින්ද බව පෙන්වා දුන් ඔහු මහින්දව නොමැතිව ඡන්දයක්‌ දිනිය නොහැකි බව අවධාරණය කරද්දී සභාව ආයිමත් නොසන්සුන් වූහ. මේ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නැගිට සභාවෙන් පිටව ගියේය. උණුසුම මැද සභාව අවසන් කෙරිණි. හිටපු ජනාධිපතිනියද නැගිට එළියට එන්නට උත්සාහ කළාය. ඇයට අවශ්‍ය වූයේ ජනතාවට අතරට ගොස්‌ ඔවුන් සමග සුහදව කතා කර තම මතය ප්‍රකාශ කිරීමය. එහෙත් ජනතාව අතරින් ඊට ඉඩක්‌ නොලැබිණි. ජනතාව එක හඬින් ඇයට "හූ" කියන්නටත්, බැණ වදින්නටත් පටන් ගත්තේය. වටකරමින්, තල්ලු කරමින් බැණ වැදුණ ජනතාව අතරින් බේරී ඕ සිය රථයට නැග ගත්තේ මහත් ආයාසයෙනි.

චන්ද්‍රිකා පිටව ගිය පසු ජනතාව නැවතත් එතැන සිටි අනුර යාපා ඇතුළු ඉහළ නායකයන් වටකර ගත්හ.

"සර්... අපි එකක්‌ කියන්නම්. මහින්ද මහත්තය නැතුව අපිට වැඩ කරන්න බැහැ. අපි විපක්‍ෂයෙ ඉන්න කැමැති නැහැ. අපට ඕන ආණ්‌ඩුවක්‌. ඒකට මහින්ද මහත්තය ඕන... ඕක ගිහින් කියන්න ඒගොල්ලන්ට කියමින් ජනතාව බෙරිහන් දෙන්නට පටන්ගත් විට අනුර යාපා මෙසේ කීවේය.

"හරි හරි බං... අපිත් හදන්නෙ මේ ඒක කරන්න තමයි. උඹලා කෑනොගහ හිටහල්ලා. අපි ඒක කරන්නම්. අපිටත් ඕන ඒක තමයි... කියමින් අනුර ජනතාව අස්‌වසාලන විට නිකවැරටියේ මන්ත්‍රීවරු දෙදෙනෙක්‌ ගෝරනාඩුවක්‌ පටන් ගත්තේය. චන්ද්‍රිකාට සලකපු විදිය වැරැදියි කියමිනි.

සෙසු පිරිස ඔවුන් දෙදෙනාට වටකරගෙන පහර දෙන්නට පටන් ගත්හ. මේ ගාලගෝට්‌ටිය මහා විනාශයක්‌ වූයේ ඒ අයුරිනි.

ඇමැතිකම තොපිට එපානම් ඔන්න මටත් එපා

තිස්‌ස කරලියෑද්ද මන්ත්‍රීවරයා පසුගිය සතියේ පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීවරු පිරිසක්‌ වටකරගෙන රස කතාවක්‌ කියමින් සිටියේය. ඔහු වටා සිටියේ කුමාර වෙල්ගම, මහින්දානන්ද, රෝහිත අබේගුණවර්ධන, නාමල් රාජපක්‌ෂ, වීරකුමාර දිසානායක, විමල් වීරවංශ ඇතුළු පිරිසකි. ඔහු කතා කළේ ඇමැතිකම අතහැරීම ගැනය.

"ඔන්න මම මේ මඟුල අරගෙන ගමට ගියානෙ... ගිහින් බැලින්නම් ගමේ එකෙක්‌වත් මාත් එක්‌ක කතා කරන්නෙ නැහැ... ගෙදර මිනිස්‌සුත් මඟහරිනව. ගමේ එවුනුත් මඟහරිනව. මම බැලුව මේ මොකද කියල. තව කට්‌ටියක්‌ ඇවිල්ල මට බැනගෙන බැනගෙන ගියා. උන් බැන්නෙ මේ ඇමැතිකම ගත්තට. මට තේරුණා වැඩේ. මම ඇහුවා... එහෙනම් තොපිට මේ ඇමැතිකම එපාද කියලා. මිනිස්‌සු කියපි එපා කියල. ඔන්න තොපිට එපා නම් මටත් එපා කියල මම ඒ වෙලාවෙම අස්‌වීමේ ලිපිය ලියලා කොළඹට µeක්‌ස්‌ කළා. µeක්‌ස්‌ කළා විතරයි විනාඩි ගණනින් මට කෝල් එකක්‌ ආවා... චන්ද්‍රිකා මැඩම්ගෙන්.

එයා අහනව මගෙන් "ඇයි තිස්‌ස ඉල්ලා අස්‌වුණේ කියලා..." මම කිව්වා "මේ මඟුල තියාගෙන මම කොහොමද ගමේ ඉන්නෙ කියලා..." එතුමිය කිව්වා "අපරාදෙ ඔයාට මීට වැඩිය හොඳ ඇමැතිකමක්‌ දෙන්නයි තිබුණෙ කියලා..." මම කිව්වා "කොච්චර හොඳ ඇමැතිකමක්‌ අරගෙන ගියත් මේ වෙලාවේ ගමේ එවුන්ට ඒකෙන් වැඩක්‌ නැහැ කියලා. ඒ මොකද ගමේ එවුන්ගෙ පපුව ඇතුළෙ තවමත් ඉන්නෙ මහින්ද රාජපක්‌ෂය කියලා" මම එතුමියට කිව්වා. එතුමිය දඩස්‌ ගාල ෙµdaන් එක තිබ්බ. ඔන්න ඕකයි කතාව කියමින්..." සියල්ලෝම සිනා සෙන්නට පටන් ගත්හ.

පාර්ලිමේන්තුවේ සී.අයි.ඩී. කාර්යාල

බ්‍රහස්‌පතින්දා උදේ විපක්‍ෂයේ මන්ත්‍රීවරු විස්‌සක පමණ පිරිසක්‌ කොළඹ අපරාධ විමර්ශන ඒකකය වෙත පැමිණීම විශේෂ සිද්ධියක්‌ විය. ඔවුන් මෙසේ පැමිණියේ ටිරාන් අලස්‌ මන්ත්‍රීවරයා සමගය. ටිරාන් අලස්‌ට එරෙහිව අල්ලස්‌ කොමිසමේ හා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ ගොනුකර තිබූ ප්‍රශ්න කිහිපයක්‌ ගැන සාකච්ඡා කරන්නට ඔහු එහි ගියේ තම හිතවතුන්ද එකතු කරගෙනය.

මේ අවස්‌ථාවට චානක වක්‌කුඹුර පැමිණෙමින් එහි සිටි ගාමිණී ලොකුගේට මෙසේ කීවේය.

"ඔබතුමා දන්නවද... මෙතැනට එන්න වෙන ඊළඟ කෙනා ඔයා තමයි"

"ඇයි මම. මම නෙමේ මෙන්න මෙයා තමයි එන්න ඉන්නෙ..." කියමින් ලොකුගේ බන්දුලව පෙන්වූවේය.

"ඔව් ඔව් ඉතින් මේ විදිහට අපි කාටත් එන්න වේවි තමයි... මොනා කරන්නද... මේ ආණ්‌ඩුව යන විදිහ එහෙම නම් අපිට අත්වන ඉරණමත් ඒකයි..." බන්දුල කීවේය.

මම කියන්නම් වැඩක්‌. අපි යෝජනාවක්‌ කරමු කථානායකතුමාට පාර්ලිමේන්තුවෙයි පළාත් සභාවෙයි දෙකේම සී.අයි.ඩියෙයි අල්ලස්‌ කොමිසමෙයි කාර්යාල දෙකක්‌ අරින්න කියල. එතකොට අපිට කටඋත්තර දෙන්න ලේසිනෙ කියමින් ප්‍රසන්න රණතුංගද මෙම සංවාදයට එකතු විය. කෙසේ වෙතත් ටිරාන් අලස්‌ට සෑහෙන වේලාවක්‌ එතැන ඒ අයුරින් කටඋත්තර දෙමින් රැඳෙන්නට සිදුවී තිබිණි.

මන්ත්‍රීවරු 67 ක්‌ ප්‍රසන්නගේ නිවසේ

බ්‍රහස්‌පතින්දා රාත්‍රියේ ප්‍රසන්න රණතුංගගේ නිවසේ විශේෂ රහස්‌ සාකච්ඡාවක්‌ පැවැත්විණි. විපක්‍ෂයේ මහින්දවාදී පිලේ මන්ත්‍රීවරු 67 දෙනෙක්‌ම ඊට සහභාගි වී සිටියහ. මේ පිරිස දිනේෂ් ගුණවර්ධන විපක්‍ෂ නායක කරන සටනේත් මහින්ද රාජපක්‍ෂ අගමැති කරවන සටනේත් නිත්‍ය සාමාජිකයෝ ලෙස මේ වන විට හඳුනා ගෙන තිබිණි. මීට අමතරව විපක්‍ෂයේ තවත් මන්ත්‍රීවරු පිරිසක්‌ නුදුරේදීම මේ සටනට එක්‌වන බවද කියෑවිණි.

මේ පිරිස සාකච්ඡා කළේ මැයි දිනය ගැනය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ සති අන්තයේ තංගල්ල බලා පිටත්ව ගියේ අවුරුදු ඉවර වන තුරු ඔහු තංගල්ලේ රැඳෙමින් ජනතාව සමග සිටින බව කියමිනි. 15 වැනිදා කොළඹ රැස්‌ව මන්ත්‍රීවරු 67 දෙනා තංගල්ලට නෑගම් යන්නටද විශේෂ සාකච්ඡාවක්‌ පැවැත්විණි. එම ගමන යන අයුරුත්, එහිදී කරන කියන දේවලුත් එම රාත්‍රියේ හොඳින් කතාබහට ලක්‌විය. ප්‍රසන්න මේ සඳහා ආහාරපානාදී උත්තේජකයන් සපයා දී තිබිණි. මන්ත්‍රීවරු ඉන් සන්තර්පනය වෙමින් සිය සාකච්ඡාව ඉදිරියට ගෙන ගියහ. ඊට අමතරව මැයි දිනයද ඔවුන්ගේ ප්‍රමුඛ මාතෘකාවක්‌ වූහ. ශ්‍රීලනිප මැයි දිනය සඳහා හයිඩ්පාක්‌ නොගොස්‌ දිනේෂ් ලා හා විමල්ලා සංවිධානය කරන කිරුළපන පිටියේ මැයි දිනයට සහභාගී වන්නට එහි පොදු එකඟතාවක්‌ ඇති විය. මේ අනුව එම මැයි දිනය සංවිධානය කරන ආකාරය කතා බහ කරගත්හ. විමල්, වාසු, දිනේෂ්, ගම්මන්පිල, මහින්දානන්ද, ලොකුගේ, බන්දුල, මනූෂ, ටී. බී. ඇතුළු මේ මන්ත්‍රීවරු 67 දෙනා ඉදිරි දිනවල රටේ තීරණාත්මක සටනක්‌ දියත් කරනු ඇතැයි කතාබහ වූහ. එය ඉදිරි සති කිහිපය තුළ ලංකාවේ දේශපාලන වාතාවරණය අලුත් පාරකට හරවනු නිසැකය.

බුලිත ප්‍රදීප් කුමාර
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.