බලය අත්හැරීමට බලය භාවිතකිරීමේ මෛත්‍රී පිළිවෙත

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය තෙවන නිල සංචාරය අරඹමින් පකිස්‌තානය බලා පිටත් වූයේ 19 වැනි ව්‍යවස්‌ථා සංශෝධනයට එරෙහිව අලුයට ගිනි පුපුරු සැඟවී තිබුණු දේශපාලන පසුබිමකය. එහෙත් ජනාධිපතිවරයා සිය නොසෙල්වෙන ගුණය විදහාපාමින් සැහැල්ලු මනසින් යුතුව කරච්චි නුවරට ළඟා විය. පකිස්‌තාන අගමැති නවාස්‌ ෂරීප් මහතා විසින් ශ්‍රී ලංකා ජනාධිපතිවරයාට ඉස්‌ලාමාබාද් නුවරට පැමිණීම සඳහා විශේෂ ගුවන් යානයක්‌ ද සූදානම් කරන ලද අතර නූර්ඛාන් ගුවන් තොටුපළට පැමිණි මෛත්‍රීපාල ජනාධිපතිවරයා පිළිගැනීම සඳහා පකිස්‌තාන අගමැතිවරයා ද එහි රැඳී සිටීම විශේෂ සිදුවීමක්‌ විය.

ශ්‍රී ලංකා ජනාධිපතිවරයා ගමන් ගත් ගුවන් යානය අසලටම පැමිණි නවාස්‌ ෂරීප් අගමැතිවරයා ඔහු පිළිගත්තේ දැඩි සුහදශීලී හා මිත්‍ර හැඟීමකිනි. පකිස්‌තාන මාධ්‍ය වාර්තා කර තිබුණේ මීට ප්‍රථම ශ්‍රී ලංකාවේ කිසිදු රාජ්‍ය නායකයෙක්‌ පිළිගැනීම සඳහා සිය අගමැතිවරයෙක්‌ එලෙස ගුවන්තොටුපළ වෙත නොපැමිණි බවය. පකිස්‌තානයේ ඉස්‌ලාමාබාද් නගරය පුරාම ශ්‍රී ලංකා ජනාධිපතිවරයා වෙනුවෙන් විචිත්‍ර සැරසිලි කර තිබුණු අතර ද ධජ පතාක ද ඔසවා තිබිණි. ගුවන් යානයෙන් පිටතට පැමිණෙද්දීම ශ්‍රී ලංකා ජනාධිපතිවරයා වෙනුවෙන් හමුදා ආචාර වෙඩිමුර 21 ක්‌ පැවැත්වීම ද කැපී පෙනිණි.

ශ්‍රී ලංකා - පකිස්‌තානු මිත්‍රත්වයේ සමාරම්භය 1948 වසර තරම් ඈතට දිවයන්නක්‌ බව දෙරටෙහිම නායකයෝ සිහිපත් කළහ. පකිස්‌තානු අගමැති මන්දිරයේ පැවැත්වුණු නිල පිළිගැනීමේ උත්සවයෙන් අනතුරුව ඔවුහු ඒ අතීත මතක සටහන් සිහිපත් කළහ. එසේම පාකිස්‌තානු අගමැතිවරයා ශ්‍රී ලංකා ජනාධිපතිවරයා දෙස බැලුවේ රටේ අලුත් වෙනසකට තුඩුදුන් දේශපාලන ඇරඹුමක නියමුවකු ලෙස කිසියම් ගෞරවනීය හැඟීමකිනි.

පකිස්‌තානය කවදත් ශ්‍රී ලංකාවේ මිතුරකු විය. ඉන්දු - ශ්‍රී ලංකා මිතුදම් දෙස ඇස හකුලා බැලීමට පකිස්‌තානය පුරුදු වුවත් එරටින් අපට කවදත් ලැබුණේ හොඳ හිත බව ජනාධිපති මෛත්‍රීපාල ද දනී. කීර්තිමත් පකිස්‌තානු නායිකාවක වූ බෙනාසීර් භූතෝ වරක්‌ ප්‍රකාශ කර තිබුණේ ත්‍රස්‌තවාදය පරාජය කිරීමට ඕනෑම උපකාරයක්‌ කිරීමට තම රට සූදානම් බවය.

ශ්‍රී ලංකා ජනාධිපතිවරයා ඉන්දියාව සමඟ මෙන්ම චීනය සමඟ ද සමීපව කටයුතු කරන අයුරින්ම පකිස්‌තානය සමඟ ද කටයුතු කිරීමට අපේක්‍ෂා කරයි. දෙරට අතර ආර්ථික හා වෙළෙඳ කටයුතු ශක්‌තිමත් කළ යුතුය යන රාජ්‍ය නායකයන් දෙපළගේම ස්‌ථාවරය වේ. ශ්‍රී ලංකාවේ නව ආයෝජන අවස්‌ථා පිළිබඳ සොයාබැලීම සඳහා පකිස්‌තාන වෙළෙඳ ඇමැතිවරයා ප්‍රමුඛ ආයෝජක කණ්‌ඩායමක්‌ ඉදිරි තුන්මාසය ඇතුළත ලංකාවට එවීමට ද නවාස්‌ ෂරීප් අගමැතිවරයා කැමැත්ත පළ කර ඇත.

ශ්‍රී ලංකාවේ දරුණුම වසංගතයක්‌ බවට පත්ව තිබෙන මත්කුඩු ජාවාරම පිsළිබඳව ද මෙහිදී සාකච්ඡා වී තිබුණි. මත්කුඩු ප්‍රවාහනය සඳහා ජාවාරම්කරුවන් විසින් පකිස්‌තානය යොදාගනු ලබන ආකාරය මෙන්ම එයට එරෙහිව ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳ සම්මුතියකට එළඹීම ද මෙහිදී ලද සුවිශේෂී ජයග්‍රහණයක්‌ වැන්න.

ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සෞඛ්‍ය ඇමැතිවරයා ලෙස ක්‍රියා කළ අවධියේදී පංජාබ් ප්‍රාන්තයේ ඩෙංගු මර්දනය සඳහා ලබාදුන් සහාය ගැන ද නවාස්‌ ෂරීප් අගමැතිවරයා ප්‍රශංසා කර තිබිණි. එසේම තම රටේ සෞඛ්‍ය සේවය ප්‍රවර්ධනය කරගැනීම සඳහා වෛද්‍යවරුන් හා හෙදියන් පුහුණු කිරීමට ලංකාවේ සහාය ලබාදීමට ද මෙහිදී එකඟතාවක්‌ ඇති විය. මේ හැරුණු විට දෙරට අතර අභිනව ගිවිසුම් 6 කට අත්සන් තැබීම ද සිදුවිය. ජාතික ආරක්‍ෂාව, ආපදා කළමනාකරණය, ජාත්‍යන්තර සබඳතා වැනි ක්‍ෂේත්‍රයන් ද එයට ඇතුළත් විය.

මෙම කෙටි සංචාරයේදී ශ්‍රී ලංකා ජනාධිපතිවරයා පකිස්‌තානු ජනාධිපති මම්හුන් හුසේන් මහතා සමඟ ද විශේෂ සාකච්ඡාවක්‌ පැවැත්වීය. මෙහිදී මෛත්‍රීපාල ජනාධිපතිවරයා සඳහා විශේෂ රාත්‍රි භෝජන සංග්‍රහයක්‌ මෙන්ම පකිස්‌තානු සංස්‌කෘතික අංගවලින් සමන්විත සංගීත ප්‍රසංගයක්‌ ද පැවැත්විණි. ශ්‍රී ලංකා ජනාධිපතිවරයා පකිස්‌තානයේ බෞද්ධාගමික ස්‌ථාන කීපයක්‌ නැරඹීමට ද ගොස්‌ තිබිණි. ඉස්‌ලාමාබාද් නුවර ෂකර් පර්යාන් උද්‍යානයට ගිය ඔහු එහි බෝ පැළයක්‌ ද රෝපණය කර සිය සංචාරය පිළිබඳ අගනා සටහනක්‌ ද තැබුවේය.

පාකිස්‌තානු සංචාරය නිමවා ශ්‍රී ලංකාවට පැමිණි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඒ වන විට තම යහපාලන රජයේ සමහරුන් විසින් ආරම්භ කරන ලද 19 වැනි ව්‍යවස්‌ථා සංශෝධන සටන දෙස උපේක්‍ෂාවෙන් බලා සිටි බව ද නිසැකය. යහපාලන සටන් වේදිකාවේ ප්‍රමුඛ චරිතයක්‌ වූ පාඨලී චම්පික ඇමැතිවරයාගේ නිර්දය දේශපාලන විවේචන මෙන්ම තම පක්‍ෂයේ අයගෙන් ද 19 ට එරෙහිව එල්ල වූ විවේචන ද උග්‍ර වෙමින් තිබුණු බව ජනාධිපතිවරයාට පසක්‌ විය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගෙන් ද තම පක්‍ෂයට විවේචන එල්ල වන අයුරු ඔහුට පෙනුණි. ශ්‍රීලනිපයේ සභාපති ලෙස පක්‍ෂය

රැකගන්නේ කෙසේද යන ප්‍රශ්නයට ද අද ඔහු මැදිව සිටියි. දවසින් දවස උග්‍රවන දේශපාලන අවුල ලිහීම සඳහා දැන් ඔහු මැදිහත්ව සිටින බව ද පෙනේ. 19 වැනි සංශෝධනය සම්මත කරගත් පසු පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ඔහු තීන්දු කරන්නේ මේ දේශපාලන රණ්‌ඩුව සංසිඳවීමටය.

එජාප නායකයන්ට වඩා එහි ප්‍රාදේශීය හා වෙනත් හිතවතුන් ක්‍රියා කරන්නේ බලය පිළිබඳ වැරදි තක්‌සේරුවක පිහිටා බව ද කිව යුතුය. එජාපයට මෙන්ම පාර්ලිමේන්තුවේ සිටින ශ්‍රීලනිපය හා සන්ධානයට අයත් මන්ත්‍රීවරුන්ට ද ඇත්තේ පැරණි ජනවරමය. රටේ ජනතාව අලුත් ජනවරමක්‌ ලබා දී ඇත්තේ මෛත්‍රීපාල සිරිසේන මහතාට පමණි. එනිසා මැතිවරණයකට මුqහුණ දී අලුත් ජනවරමක්‌ ලබාගත යුතුමය.

ශ්‍රීලනිපය ප්‍රමුඛ සන්ධානය අද දෙකඩ වී ගොසින්ය. මහින්ද රාජපක්‍ෂ මහතාගේ කටහඬ යළි නැගෙමින් තිබෙන අතර ඔහුට ජනමතයක්‌ ද තිබෙන බව කාටත් පෙනේ. විධායක ජනාධිපති ධුරය අහෝසි කර විධායක අගමැති ධුරයක්‌ නිර්මාණය කිරීම ද ඉඟුරු දී මිරිස්‌ ගැනීමකට නොදෙවෙනි බව දැන් දැන් බොහෝ දෙනෙක්‌ වටහාගෙන සිටිති.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට අවශ්‍ය වී තිබෙන ව්‍යවස්‌ථා ප්‍රතිසංස්‌කරණ වැඩපිළිවෙළට කුමක්‌ සිදුවේද යන දෙගිඩියාව ද සමහරුන් තුළ තිබේ. සමානුපාතික නියෝජන ක්‍රමය යටතේ මෙම මැතිවරණය පැවැත්වීම එජාපයේ මෙන්ම ජවිපේ ද අරමුණ බව පෙනේ. 19 සමඟ මනාප ඡන්ද ක්‍රමය අහෝසි කළ යුතුය යන දැඩි ස්‌ථාවරය හෙළ උරුමයේ මෙන්ම ශ්‍රීලනිපයේ පිරිසකගේ ද තිබේ.

මෛත්‍රීපාල ජනාධිපතිවරයාට අවශ්‍යව ඇත්තේ දේශපාලන නිදහස සමඟ අර්ථවත් ආර්ථික රාමුවක්‌ ද ගොඩනැංවීමය. රාජපක්‍ෂවරුන් සමඟ ක්‍රියා කළ ඔහු ලැබූ ප්‍රධානම දේශපාලන පාඩම නම් සංවර්ධනයේ නාමයෙන් සිදු වූ දූෂණය මෙන්ම ව්‍යාජ සාටෝපවත් ව්‍යාපෘති රටට බරපතළ ප්‍රශ්න සමූහයක්‌ ඉතිරි කර තිබෙන බවය. කිසි දිනක පරාජය කළ නොහැකි නායකයකු ලෙස බොහෝ දෙනකු විසින් හඳුන්වන ලද මහින්ද රාජපක්‍ෂ මහතාට වඩා තමන්ට මේ රටේ ජනතාව ඡන්දය දුන්නේ කුමක්‌ නිසාද යන්නත් ඔහු ඉඳුරා දනී.

ඡේ. ආර්. ජයවර්ධන විසින් සියුම් හා සටකපට අයුරින් ඇති කරන ලද විධායක ජනාධිපති ක්‍රමය අවසන් කළ යුතුය යන්න ශ්‍රීලනිපයේ දිගුකාලීන සටන් පාඨය විය. එහෙත් 1978 සිට මේවන තුරුම ඒ සඳහා සාධනීය ක්‍රියාමාර්ගයක්‌ ගැනීමට ශ්‍රීලනිපය ප්‍රමුඛ සන්ධාන හවුල් ආණ්‌ඩු අසමත් වූ බව නොරහසකි. දැන් උදා වී තිබෙන්නේ ඒ සඳහා වූ අවසන් අවස්‌ථාව බව ද නිසැකය.

19 වැනි ව්‍යවස්‌ථා සංශෝධනය ජනතාවගේ අපේක්‍ෂාවකි. එහෙත් ඒ අරමුණ ඉටුකළ යුත්තේ සැඟවුණු දේශපාලන න්‍යායපත්‍ර අනුව නොවේ. මේ පනත පිළිබඳව දෙපක්‍ෂයෙන්ම ඉදිරිපත් වූ විවේචන දෙස බලද්දී පැහැදිලි වන්නේ තවමත් රට වෙනුවෙන්, ජනතාව වෙනුවෙන් කෙරෙන ක්‍රියාදාමයකදී වුවත් ප්‍රධාන පක්‍ෂ දෙකටවත් එකඟත්වයක්‌ ඇති කර ගැනීමට තිබෙන දුෂ්කරතාවය හා බලකාමයේ අපේක්‍ෂාව පමණි.

ජනාධිපති මෛත්‍රීපාල බලයට එන්නේම බලය අත්හැරීම සඳහාය. බලය අත්හරින්නට ලිතව ලියමින් ද මැතිවරණ ප්‍රකාශනවල ඇතුළත් කරමින් ද රටම මුලා කළ නායකයන්ට වඩා මෛත්‍රීපාල ඉඳුරා වෙනස්‌ වන්නේ ද ඒ උදාර ප්‍රතිඥව ඉටුකිරීමට දරන ප්‍රයත්නය නිසාය. දේශපාලනය යනු සරදම් සහිතව බැස යන ගංගාවක්‌ බව අන් සියලු දෙනාටම වඩා ජනාධිපති මෛත්‍රීපාල මහතා හොඳින් වටහාගෙන සිටියි. වෙනසක්‌ අපේක්‍ෂා කළ ජනතාවට ඒ වෙනස ලබාදීම සඳහා ප්‍රථම අභියෝගාත්මක පියවර තැබීමට ඔහු අවංකව සූදානම්ය.

ඔහු කිසි විටෙක සිය විධායක බලය පිළිබඳ අධිතක්‌සේරුවක පිහිටා ක්‍රියා නොකළ බව මෙන්ම නොකරන බව ද පැහැදිලිය. එහෙත් නැති බලයක්‌ ආරෝපණය කෙරෙන බොළඳ දේශපාලන හැසිරීම්වල ද අඩුවක්‌ නැත.

එජාපයේ බොහෝ අනුගාමිකයන් ක්‍රියා කරන්නේ ද දේශපාලන වහසිබස්‌ දොඩවමින්ය. යහපාලනය නමින් සිදුවූයේ ද එජාපයට හිතවත් හා එජාපය සමඟ සිටි පිරිස්‌ යළි හිස එසවීමක්‌ පමණි. දේශපාලන පත්වීම් නමැති රෝග බීජය තවමත් විනාශ වී නැත. මෙයින් මිදීමේ එකම මඟ ස්‌වාධීන කොමිෂන් බලගැන්වීමය. එහිsදී කිසියම් යහපාලන ගුණයක්‌ දැකගත හැකි වේ.

විධායක ක්‍රමය මෙන්ම මේ දූෂිත මැතිsවරණ ක්‍රමය ද රටට ශාපයකි. එනිසා මැතිවරණ සංශෝධනයක්‌ ද අත්‍යාවශ්‍යය. ඒ දෙකම එකට යා නොහැකි නම් පළමුව මූලික වෙනස සඳහා පියවර ගැනීම බුද්ධිමත්ය. කළ හැකි දේ කර ඉතිරිය පසුව කිරීම වරදක්‌ ලෙස අපි නොදකිමු.

- ගාමිණී සුමනසේකර

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.