හදිසි ව්‍යවස්‌ථා සංශෝධනය රට අවුලකට ඇද දමයිද?

යහපාලන ආණ්‌ඩුවේ ඉදිරි ගමන යම් අර්බුදයකට ලක්‌ව ඇති බව අමුතුවෙන් කිවයුතු නැත. එවක ශ්‍රී ලනිප මහ ලේකම් සමඟ රාජපක්‍ෂ ආණ්‌ඩුවෙන් එළියට පැමිණි ශ්‍රී ලංකා ලිබරල් පක්‍ෂයේ නායක රජීව විඡේසිංහ මහතා නැවතවරක්‌ විපක්‍ෂයේ අසුන්ගෙන තිබේ. යහපාලන ආණ්‌ඩුවේ ඇමැතිකම් බෙදීමේදී උසස්‌ අධ්‍යාපන කැබිනට්‌ අමාත්‍ය ධුරය තමාට නොලැබීම ගැන විඡේසිංහ මහතාට බලවත් මැසිවිල්ලක්‌ පැවැතිණි. කබීර් හෂීම් ඇමැතිවරයාගේ නියෝගයෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ හිටපු සභාපතිනිය සේවයෙන් ඉල්ලා අස්‌වීම ගැනත් විඡේසිංහ මහතා සතුටු වූයේ නැත.

එයින් පසු ඇමැතිකමින් ඉල්ලා අස්‌වූ හෙතෙම ආණ්‌ඩු පක්‍ෂයේ අසුන්ගෙන සිටියද ඉකුත් අඟහරුවාදා දිනයේ 19 වැනි ව්‍යවස්‌ථා සංශෝධනයට විරෝධය පා, සිරිසේන-වික්‍රමසිංහ ආණ්‌ඩුවෙන් ඉවත්ව විපක්‍ෂයේ අසුන්ගත්තේය. බොදුබල සේනාවට එරෙහිව පොදු අපේක්‍ෂක දිනවීමට පැමිණි µයිසර් මුස්‌තාපා ඇමැතිවරයාද යහපාලන ආණ්‌ඩුවේ ගුවන්සේවා අමාත්‍ය ධුරයට ආයුබෝවන් කීවේ මීට සති ගණනාවකට පෙරය.

19 වැනි ව්‍යවස්‌ථා සංශෝධනය මගින් විධායක ජනාධිපති ධුරයේ යම් බලතල සීමාවන් අඩු කිරීමක්‌ සිදුකරන නමුත් එය සම්පූර්ණයෙන්ම ඉවත් කරන්නේ නැහැ. අප පෞද්ගලිකව සිතන්නේ විධායක ජනපති ක්‍රමය අනිවාර්යයෙන්ම පවත්වාගෙන යා යුතු බවයි. එහෙත් යහපාලනය රජකරවීමට බොහෝ උනන්දුවෙන් කටයුතු කළ විවිධ රාජ්‍ය නොවන සංවිධානවල ක්‍රියාකාරීන්, සිංහල ජාතිකත්වයට එරෙහිව කටයුතු කරන සංවිධාන මෙන්ම යහපාලන වේදිකාවේ කෑ මොර දුන් පුරවැසි බලය වැනි සංවිධාන 19 වැනි ව්‍යවස්‌ථා සංශෝධනය මගින් විධායක ජනපති ක්‍රමය සම්පූර්ණයෙන් අහෝසි නොකිරීම ගැන උරණ වී සිටිති.

මාදුළුවාවේ සෝභිත හිමියන් කලක පටන්ම විධායක ජනපති ක්‍රමය අහෝසි කිරීම වෙනුවෙන් සටන් කළ බව අමුතුවෙන් කිව යුතු නැත. මහින්ද රාජපක්‍ෂ පාලනය පෙරළන්නට මූලිකව භාවිත කළ අවිය වූයේ විධායක ජනපති ක්‍රමය අහෝසි කළ යුතුය යන්නය. සාධාරණ සමාජයක්‌ උදෙසා ජාතික ව්‍යාපාරය පොදු අපේක්‍ෂක කලඑළි බැසීමට පෙර සිටම විධායක ජනපති ක්‍රමයට එරෙහිව අවි අමෝරාගෙන සිටිනු දක්‌නට ලැබිණි. මහින්ද විරෝධීහු මෙන්ම විවිධ රාජ්‍ය නොවන සංවිධානද මේ ව්‍යාපාරයට සහාය ලබාදෙනු දක්‌නට ලැබිණි. එක්‌ කලෙක කියවුණේ පොදු අපේක්‍ෂක ලෙස සෝභිත හිමියන් කරලියට පැමිණෙනු ඇති බවය. නමුත් අවසානයේ සිරිසේන මහතා කරලියට පැමිණියේය. ඔහු සිය පොදු අපේක්‍ෂක තීරණය දැන්වීමෙන් පසු මුලින්ම ගියේ කෝට්‌ටේ නාග විහාරයටය.

දේදුනු සන්ධානයකින් නිර්මාණය වූ යහපාලන ආණ්‌ඩුව වෙනුවෙන් මාදුළුවාවේ සෝභිත හිමියන්ද දැවැන්ත කාර්යභාරයක්‌ කළ බව අමුතුවෙන් කිවයුතු නැත. කෙසේ වෙතත් දැන් මේ 19 වැනි ව්‍යවස්‌ථා සංශෝධනය යටතේත් විධායක ජනපති ක්‍රමය අහෝසි නොකිරීම ගැන සාධාරණ සමාජයක්‌ උදෙසා ජාතික ව්‍යාපාරය කියන්නේ කවරක්‌ද? ඔවුන් විරුද්ධ වන්නේ මහින්ද රාජපක්‍ෂ විධායක බලතල පාවිච්චි කිරීම ගැන පමණක්‌ද? අප විධායක ජනපති ක්‍රමය අනිවාර්යයෙන් පවත්වාගෙන යා යුතු බව පිළිගන්නෙමු. එහෙත් මේ ඊනියා සමාජ ව්‍යාපාරවල කුහකත්වය හෙළි කළ යුතුය. මේ හරහා සිදු වුණේ රට අවුලකට ඇදවැටීම පමණකි.

සාධාරණ සමාජයක්‌ උදෙසා ජාතික ව්‍යාපාරය විසින් පසුගිය සතියේ දී කැඳවනු ලැබූ පුවත්පත් සාකච්ඡාවකදී ද ප්‍රකාශ කර සිටියේ දින සියයේ පොරොන්දු ඉටු නොකර මැතිවරණයක්‌ කරා යැම සිදු නොකළ යුතු බවයි. එහෙත් එක්‌සත් ජාතික පක්‍ෂය තරයේ අවධාරණය කරන්නේ අප්‍රේල් 23 න් පසු වහාම මැතිවරණයකට යා යුතු බවය. මේ අනුව දේදුනු සන්ධානයේ මත ගැටුම් දින සියය ඉක්‌මවීමටත් පෙර උග්‍රව ඇති බවක්‌ පැහැදිලිව පෙනී යයි. කවරක්‌ වෙතත් යහපාලන ආණ්‌ඩුවේ කරන හොඳ නරක සියල්ලටම එය පත්කිරීම වෙනුවෙන් කැපවූ පුද්ගලයෝ වගකිව යුතුය. අතරමැදි පුවත්පත් සාකච්ඡා තබා වර්තමාන ආණ්‌ඩුවට දොස්‌නඟා එයින් පැනයා නොහැකිය. එය සාධාරණ සමාජයක්‌ සඳහා වූ ජාතික ව්‍යාපාරයට මෙන්ම පිවිතුරු හෙටක්‌ සඳහා වූ ව්‍යාපාරයටත් පොදුය.

මහින්ද රාජපක්‍ෂ ගෙදර යවනවා යෑයි කෑගැසුවේ පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ය. දැන් මේ යහපාලන ආණ්‌ඩුවේ ගමන ගැන පැහැදීමක්‌ නැත යෑයි කියා පුවත්පත් සාකච්ඡා පවත්වා වගකීමෙන් මිදී පලා යා නොහැකිය. මෛත්‍රීපාල සිරිසේන මහතා බලයට පත්කළා නම් ඔහුගේ පාලනය නිවැරැදි කිරීමට සහාය දිය යුතුය. එසේ නොමැතිව පුවත්පත් සාකච්ඡා තබා මාධ්‍ය වීරයන් වීමෙන් යහපතක්‌ වන්නේ කාටද? මාසයකට දෙකකට ජනපති පත්කරන්නේ නැත. රාජපක්‍ෂ පාලනය පෙරළා දැමීමට එක්‌වූ මේ බොහෝ සංවිධාන දේශපාලනය කළේ මාධ්‍ය සාකච්ඡා හරහාය. ඒ දේශපාලනයේ බංකොලොත්භාවය දින සියය ඉක්‌ම යන්නත් පෙරම ජනතාවට අවබෝධ වී ඇති බව නම් පැහැදිලිය.

19 වැනි ව්‍යවස්‌ථා සංශෝධනය සම්බන්ධයෙන් එක්‌සත් ජාතික පක්‍ෂය අතර මෙන්ම ශ්‍රී ලනිපය අතර පැහැදිළි එකඟතාවක්‌ නැත. ඇත්තෙන්ම රටේත් ජාතියේත් අනාගතයට බෙහෙවින් බලපාන මෙවැනි ව්‍යවස්‌ථා සංශෝධන හදිසියේ ගෙන එන්නේ කවර හේතුවකටද?

කෙසේ නමුත් විධායක ජනපති ක්‍රමයේ ඇති වැදගත්කම මෛත්‍රීපාල සිරිසේන මහතාටද දැන් අවබෝධවී ඇති බව නම් පැහැදිළිය. නැත්නම් විවිධ බලවේග නියෝජනය කරන යහපාලන ආණ්‌ඩුව පවත්වාගෙන යැමට හැකිවන්නේ විධායක ජනපති ක්‍රමය යම් පමණකට හෝ ආරක්‍ෂා වුවහොත් පමණකි.

මැතිවරණ කොමසාරිස්‌ මහින්ද දේශප්‍රිය මහතා පක්‍ෂ නායකයන් හමුවේ ප්‍රකාශකර ඇත්තේ නව ඡන්ද ක්‍රමයක්‌ හඳුන්වා දීමෙන් පසු එය අධ්‍යයනය සඳහා වසරක කාලක්‌වත් ඡන්ද දායකයින්ට ලබාදිය යුතු බවයි. එසේනම් මේ ව්‍යවස්‌ථා සංශෝධන හා මැතිවරණ සංශෝධන අප්‍රේල් 23 ට පෙර සම්මත කළ හැකිද? එජාපයත් ශ්‍රීලනිපයත් අතර කඹ ඇදීම උග්‍රවී ඇත. ජාතික හෙළ උරුමය මනාප ක්‍රමය අහෝසි කළ යුතු බව කියමින් රැස්‌වීම් පවත්වයි. සැබවින්ම ඔවුන්ට ඉදිරි මැතිවරණයේ මනාපය ගැන ප්‍රශ්නයක්‌ මතුවී ඇති බවනම් පැහැදිළිය. මේ හදිසි ව්‍යවස්‌ථා සංශෝධන හරහා රට අර්බුදයකට ගමන් කරන්නේද? මේ ගැන අප තුළ ඇත්තේ බලවත් සැලයකි. එය තවදුරටත් තහවුරු වන්නේ යහපාලන ආණ්‌ඩුව අභ්‍යන්තරයේ ඇති මත ගැටුම් උග්‍රවීම නිසාය.

චතුර පමුණුව

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.