සමුගෙන ගිය මාස්‌ටර් සර්



සංගීතඥ නිමල් මෙන්ඩිස්‌ සූරීහු දිවියෙන් සමුගෙන ගොස්‌ සිටිති. ශ්‍රී ලාංකික සංගීත කලා ක්‍ෂේත්‍රය තුළ සුවිශේෂී අනන්‍යතාවක්‌ ගොඩ නගා ගෙන සිටි ඔහු තමන් විසින් විචිත්‍රත්වයට පත් කරන ලද චිත්‍රපට හා ගීතවල සංගීත සංයෝජනයන් නිසාම, සහෘද ජන හදවත් තුළ සදා රැඳී සිටින දුලබ කලාකරුවකු බවට පත්ව සිටියි.

ශ්‍රී ලංකාව තුළ කවර කලාකරුවකුගේ භූමිකාවක්‌ වුවද සුරම්‍ය යෑයි කිව නොහැක. ස්‌වකීය හෘදයංගම කලා මාධ්‍ය උදෙසා ජීවිතයම කැප කළ කලාකරුවන්ගෙන් බොහෝ දෙනකුගේම ජීවිත සැÄවන් විචිත්‍ර යෑයි කිව නොහැක. නිර්මාණ ජීවිතයෙන් ඈත් වී හුදෙකලාව ජීවිත සැඳෑව ගෙවී යන ඔවුන් දුක සැප කෙබඳුදැයි දන්නේ දෙවියන් පමණි. ඇතැම් විටෙක උපන් දිනයකට ලැබෙන සුබ පැතුමකින් හෝ රූපවාහිනි සමීප දසුනකින් හෝ ඔව්හු සිනා සෙති.

සංගීතඥ නිමල් මෙන්ඩිස්‌ සූරීන්ගේ ජීවිත සැඳෑව වුවද මෙයට වඩා වෙනස්‌ වී දැයි මම නොදනිමි. මා දන්නා තරමින් ඔවුන්ගේ සංගීත කලා මෙහෙවර පිළිබඳ නිසි ඇගැයීමක්‌ හෝ සිදුවී නැත. ඒ කුමක්‌ වුවද කලාකරුවකු ලෙස ඔහු තුළ වූ අදීනත්වයත් සිය ක්‍ෂේත්‍රය පිළිබඳ වූ විශාරදත්වයත් ඔහු සමකාලීනයන් අතර සුවිශේෂී සංගීතඥයකු බවට පත් කර තිබිණි. සංගීතය යනු සීමා මායිම් ඉක්‌මවූ විශ්ව කලාවක්‌ බව ඔහු ඉඳුරා දැන සිටියේය. ඔහුගේ නිර්මාණ ව්‍යවච්ඡේදනය කර ඒ පිළිබඳ අගනා සටහනක්‌ ලිවීමට මා වෑයම් නොකරන අතරම ඒ සඳහා ප්‍රාමාණික සංගීත ඥනයක්‌ද මට නොමැති බව පළමුවෙන්ම කිව යුතුය. එහෙත් රසිකයකු ලෙස මම ඔහු අප්‍රමාණව විඳ ඇත්තෙමි.

සංගීතඥ නිමල් මෙන්ඩිස්‌ සූරීන් විසින් සිංහල චිත්‍රපටයට මෙන්ම සිංහල ගීතයටද කරන ලද සම්ප්‍රදානයන් සීමිත වුවද ඒ තුළින්ම ඔවුන්ගේ සංගීත කලා ප්‍රතිභාවද නාද සිත්තම්වල විචිත්‍රත්වයද රසිකයෝ හඳුනා ගත්හ. ඔහු සිය නිර්මාණවලදී විශ්ව සංගීත සම්ප්‍රදායන් ඇසුරු කරමින් ඒවා රසාලිප්ත අත්දැකීම් බවට පත් කළේය.

සිංහල චිත්‍රපට ගීතය භාව පූර්ණ දෘෂ්‍ය සිත්තමක්‌ ලෙස රසික ජනතාවට පිරිනැමීමට ඔහු ගත් වෙහෙස අප්‍රමාණ විය. සංගීත අධ්‍යක්‍ෂවරයෙකු ලෙස මෙන්ම තනු සම්පාදකයකු ලෙස ඔහු වෙනම අනන්‍යතාවක්‌ ගොඩ නගා ගෙන සිටියේය. රාගධාරී සංගීතයේ චමත්කාරයෙන් මෝහනය වීම වෙනුවට එහි සියුම් භාවයන් නිදහසේ බටහිර නාද රටා සමඟ මුසු කිරීමට ඔහු ගත් වෑයම අප්‍රමාණ විය.

'මාස්‌ටර් සර්' ඔහුගේ සංගීත සම්ප්‍රදායේ විචිත්‍ර මතකයක්‌ ලෙස අදත් රසික හද සනහාලති. "වියෝ ගී ගැයෙනා, ඔබෙ රුව ඡායා, උපුල් නුවන් විදහා, නිම් හිම් සෙව්වා" වැනි ගී එයට සාක්‍ෂිය. ගතානුගතික ගී රටාව තුළ නොරැඳී ඉන් ඔබ්බට යමින් අපූර්ව නාද සිත්තම් මැවීම ඔහුගේ අභිප්‍රාය වූ බව පෙනේ.

සංගීතය යනු ස්‌වර ඇසුරෙන් මැවෙන නාද රූපයක්‌ම බව ඔහු ඉඳුරා දැන සිටියේය. චිත්‍රපටයේ අවස්‌ථාව විසින් ඉල්ලන ලද භාවමය නාද රූපය නිවැරැදිව ලබා දීමට ඔහු හැමවිටම කැප විය. ගඟ අද්දර, ගැහැණු ළමයි, අහසින් පොළවට වැනි චිත්‍රපටද මගේ මතකයට නැගෙයි. ගඟ අද්දර චිත්‍රපටය සඳහා ඔහු නිර්මාණය කළ සංගීතය එදා ආචාර්ය තිස්‌ස අබේසේකරයන්ගේ අප්‍රමාණ අගැයුමටද පැසසුමටද ලක්‌ වූ අයුරු මට මතකය.

සංගීතය යනු එක්‌ නියරක්‌, එක්‌ සම්ප්‍රදායක්‌ මත රැඳීම වෙනුවට ස්‌වීයත්වය සුරකිමින් වඩාත් විවෘතව විශ්ව භාෂාවක්‌ බවට පත් කරගත යුත්තක්‌ බව ඔහු වරක්‌ අප සමඟද කීවේය. ගීතය යනු නවීනත්වය සමඟ කෙරෙන අර්ථවත් ගනුදෙනුවක්‌ බව ඔහු ඇදහූ සෙයකි. ඔහුගේ සංගීත රචනා එවන් උත්සාහයක ප්‍රතිඵල සේ දැක්‌වීම වටී. චිත්‍රපට ගීතයට හා සංගීතයට අපූර්වත්වයක්‌ හා විචිත්‍රත්වයක්‌ එක්‌කළ මගේ කාලයේ විශිෂ්ට සංගීතඥයකු ලෙස නිමල් මෙන්ඩිස්‌ මම දකිමි. ඔහුගේ සංගීතමය භාවරූප ඔහුට සංගීත කලා ක්‍ෂේත්‍රය තුළ සුවිශේෂ ස්‌ථානයක්‌ හිමි කර දී තිබෙන බවද මගේ අදහස්‌ය.

සංගීතඥයකු ලෙස තමන් තුළ වූ නිසර්ග ප්‍රතිභාව විදහා දක්‌වමින් එහි අභිනව වර්ධනය උදෙසා ප්‍රමාණවත් මෙහෙවරක්‌ ඉටු කරලීමට ඔහුට අවකාශ ලැබුණිදැයි මම නොදනිමි. කුමක්‌ වුවත් ඔහුගේ ජීවිතයෙන් වසර 30 ක්‌ පමණ ගෙවී ගියේ එංගලන්තයේ දීය. වරක්‌ අපගේ ලන්ඩන් ලේඛක සුජීව නිවුන්හැල්ල සමඟ ලන්ඩනයේ සංගීත ප්‍රසංගයකදී මට ඔහු හමුවිය. ඉතා උණුසුම් අයුරින් අප පිළිගත් ඔහු එදත් කතා කළේ සංගීතය හා ගීතය ගැන බවද මෙවේලේ මට සිහිපත් වේ.

ශ්‍රී ලංකාවේදීත් කීප වරක්‌ මම ඔහු මුණගැසී ඇත්තෙමි. එදත් මා දුටුවේ අව්‍යාජ සිනහවකින් යුතු ඒ නිමල් මෙන්ඩිස්‌ නම් වූ සොඳුරු මිනිසාමය. සිය ජීවිත සැඳෑව උපන්බිමේ ගෙවීම ඔහුගේ අරමුණ බව එදා ඔහු අප සමඟ කීවේය. කී අයුරින්ම ඔහු පෙරළා මෙරටට පැමිණියේය. ඒ කාලය තුළදී වුවත් ඔහු නවක ගායකයන් සහභාගි වූ ඇතැම් වැඩසටහන්වලට එක්‌වී සිය දැනුම හා අත්දැකීම් ඔවුන්ට ලබා දීමටද උනන්දු විය.

නිමල් මෙන්ඩිස්‌ සංගීතඥයාට සංගීත ක්‍ෂේත්‍රය තුළ හිමිතැන ලැබුණද යන්න මම නොදනිමි. මාස්‌ටර් සර් ගීතයේ නාද රූපය මා සවන් තුළ නිනාද වෙයි. ඔහුගේ සිනාබර මුහුණ මා අබියස මැවෙයි. "ඔබෙ රුව ඡායා" මහද පායා නැගෙයි සමුගැනීම තාවකාලික විරාමයක්‌ වුවද වියෝගය සදාකාලික වේදනාවකි. එහෙත් ඒ වියෝ ගී ගැයෙනා නිහඬ ලොවක ඔබ හිනැහෙමින් ඔබගේ නෑයන්ද නොනෑයන්ද රසිකයන්ද හඬවන බව පමණක්‌ මම ලියා තබමි.

ගාමිණී සුමනසේකර
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.