පොළී අනුපාත අඩු කිරීමේ ආර්ථික බලපෑම්!

ආර්ථිකයේ පොලී අනුපාත තීරණය වීමට බලපාන මහ බැංකුවේ ප්‍රධාන ප්‍රතිපත්තිමය පොලී අනුපාත හදිසියේම අඩු කිරීමට මහ බැංකුව පියවර ගෙන ඇත. මේ අනුව මහ බැංකුවේ මුදල් මණ්‌ඩලය විසින් සිය ප්‍රතිපත්ති පොලී අනුපාත ඉකුත් අප්‍රේල් 15 දින සිට ක්‍රියාත්මක වන පරිදි පදනම් අංක 50 කින් (එනම් සියයට 0.5 කින්) අඩුකර ඇත. එනම් මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සියයට 6.5 සිට 6.00 දක්‌වා සහ මහ බැංකුවේ නිත්‍ය ණය පහසුකම් අනුපාතය සියයට 8.0 සිට සියයට 7.5 දක්‌වා, මේ අනුව අඩුකර තිබේ. මහ බැංකුව වහාම පොලී අනුපාත අඩු කිරීමට පියවර ගත්තේ ඇයි? එහි ආර්ථික බලපෑම් මොනවාද? සහ ආර්ථිකයේ හෙට දවස කෙබඳුද? යනාදී කරුණු කාරණා ගැන අපි මේ ලිපියෙන් සාකච්ඡා කරමු.

මේ පොලී අනුපාත අඩුකිරීම ගැන මහ බැංකුව ප්‍රකාශ කළේ ආර්ථිකයේ පවතින වත්මන් වාතාවරණය ගැන සැලකිල්ලට ගෙන එම තීරණය ගත් බවයි. එහෙත් එහිදී මතුවන ප්‍රශ්නය වන්නේ පසුගිය කාලයේ ඉමහත් ආන්දොaලනයට තුඩු දුන් 30 ස්‌ අවුරුදු භාණ්‌ඩාගාර බැඳුම්කර වෙන්දේසියේ දී ඉතා ඉහළ පොලියට ඉදිරිපත් කර තිබූ ලංසු පිළිගත්තේ මන්ද යන්නයි. වෙළෙඳපොළ පොලී අනුපාත පහළ මට්‌ටමේ තිබියදීත් එවැනි ඉහළ පොලියට ඉදිරිපත් කර තිබූ ලංසු පිළිගැනීම හරහා රජයට සිදුව ඇති පාඩුව අති දැවැන්ත එකකි. එහි වාසිය වැඩියෙන්ම ලැබුණේ මහ බැංකු අධිපතිගේ බෑණා විසින් ඉහළ තනතුරක්‌ හොබවන සමාගමටය. ඒ අවස්‌ථාවේ අධික පොලියට බැඳුම්කර මිලදී ගැනීමට ඉදිරිපත් කළ ලංසු පිළිගෙන දැන් තවදුරටත් මහ බැංකුව ප්‍රතිපත්තිමය පොලී අනුපාත අඩු කිරීමට ක්‍රියා කිරීමේ පරස්‌පරයක්‌ පවතී. එසේම මේ සම්බන්ධයෙන් කළ විමසුමකට පිළිතුරු දෙමින් මූල්‍ය වෙළෙඳපොළ නියෝජිතයන් ප්‍රකාශ කළේ චෝදනාවට ලක්‌වූ එම තිස්‌ අවුරුදු බැඳුම්කර මිලදී ගත් අයටද මේ පොලී අනුපාත අඩු කිරීම හරහා තවදුරටත් රුපියල් කෝටි ගණනක වාසියක්‌ අත්වන බවයි.

මේ අතර රු. බිලියන 5 ක ණය ලබා ගැනීම සඳහා ඉකුත් 16 වැනි බ්‍රහස්‌පතින්දා පැවැති භාණ්‌ඩාගාර බිල්පත් වෙන්දේසියේදී ඉදිරිපත්ව තිබූ සියලු ලංසු ප්‍රතික්‍ෂේප කිරීමට මහ බැංකුව කටයුතු කළේය. ඒ සඳහා මහ බැංකුව තවමත් හේතුවක්‌ දක්‌වා නැති බවද මූල්‍ය වෙළෙඳපොළ නියෝජිතයෝ පවසති. මේ ආකාරයටම මහ බැංකුවට අවශ්‍ය නම් ප්‍රශ්නයට තුඩු දී තිබෙන 30ස්‌ අවුරුදු භාණ්‌ඩාගාර බැඳුම්කර වෙන්දේසියේ දී ඉහළ පොලියට ඉදිරිපත් ව තිබූ ලංසු ප්‍රතික්‍ෂේප කිරීමේ හැකියාව හොඳටම තිබුණි. එහෙත් මහ බැංකුව එවැන්නක්‌ සිදු නොකළේ ඇයි? එසේ නොකළේ මහ බැංකු අධිපතිගේ බෑණාගේ සමාගමට වාසි සලසන්නට නොවේදැයි අපට ප්‍රශ්න කිරීමට සිදුවේ. මෙකී භාණ්‌ඩාගාර බැඳුම්කර අක්‍රමිකතාව ගැන පරීක්‍ෂණ කිරීමට පත් කළ කමිටුවේ වාර්තාවද තවමත් ඉදිරිපත්ව නැත. එම කමිටුව සාධාරණ පරීක්‍ෂණයක්‌ පවත්වනු ඇතැයි කිසිසේත්ම විශ්වාස කළ නොහැකි බවත් එය හොරාගෙ අම්මාගෙන් පේන අහන කමිටුවක්‌ බවටත් විවේචන එල්ල වී තිබේ. ඒ නිසා අදාළ කමිටුව පත් කරනු ලැබුවේ චෝදනාවට ලක්‌වූවන් ආරක්‍ෂා කිරීම සඳහාමය යන්න බොහෝ දෙනකුගේ පිළිගැනීම වී තිබේ. මේ සිදුවීම් හරහා ශ්‍රී ලංකා මහ බැංකුවේ විශ්වාසනීයත්වයද බරපතළ පළුදුවීමකට ලක්‌ව තිබෙන බව අමුතුවෙන් කිව යුතු නැත. මේවාට සහාය දෙන මහ බැංකුවේ ඇතැම් නිලධාරීන් ද මේ තත්ත්වයට වගකිව යුතු බවත් ඒ බව ඉතිහාසය තුළ සටහන් වනු ඇති බවත් කිව යුතුව තිබේ.

මේ වනවිට පොදු ජනතාවටද යහපාලන ආණ්‌ඩුවේ අයහපත් කල්කිරියාවේ අහිතකර ප්‍රතිඵල භුක්‌ති විඳින්නට සිදුව ඇත. කොටස්‌ වෙළෙඳපොළ පසුබෑමකට ලක්‌ව ඇත. විදෙස්‌ සංචිත සහ රුපියලද පිරිහෙමින් තිබේ. රටේ සංවර්ධන වැඩ නැවතී හෝ බොහෝ දුරට මන්දගාමී වී ඇත. ඒ නිසා මේ වසරේ (2015) ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයද සියයට 6.9 දක්‌වා පසුබෑමට ලක්‌ වන බවට ද ලෝක බැංකුව විසින් පුරෝකථනය කර ඇත. රටේ වෙළෙ¹මද පහත වැටී ඇත. ඒ නිසා ඔවුන්ගේ ආදායම් මට්‌ටමද අඩුවී තිබේ. මේ නිසා ආර්ථිකය තුළ මේ වන විට කිසියම් අස්‌ථාවර තත්ත්වයක්‌ ගොඩනැඟී ඇත. රටේ දේශපාලන කරළිය තුළ ඇත්තේද දැඩි අස්‌ථාවර ස්‌වභාවයකි. පසුගිය මහින්ද රාජපක්‍ෂ රාජ්‍ය පාලනයේ වැරදි නොතිබුණා නොවේ. එම පාලනය තුළද අසීමිතව වැරදි තිබුණු අතර ඒවා අපි නිරන්තරයෙන්ම විවේචනයට ද ලක්‌ කළෙමු. එහෙත් එම කාලයේ දී රටේ ආර්ථිකය තුළ කිසියම් ස්‌ථාවරත්වයක්‌ තිබුණි. බොහෝ අඩුපාඩු සහ වැරදි මධ්‍යයේ වුවත් රටද සංවර්ධනය විය. එහෙත් ඊට සාපේක්‍ෂව වත්මන් යහපාලන ආණ්‌ඩුවේ ආර්ථික කළමනාකරණය අතිශයින් දුර්වල බව හැම අතින්ම පෙනෙන්නට තිබෙන බවද කිව යුතුය.

* ශ්‍යාම් නුවන් ගනේවත්ත

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.