2015 අප්‍රේල් මස 19 වැනිදා ඉරිදා

හෙණ ගෙඩියක්‌ පුපුරයි

හිටි ගමන් හෙණ ගෙඩියක්‌ පත්තු වුණාක්‌ මෙන් ඇමීබාවකුගේ වේගයෙන් ශ්‍රී ලංකාවේ දේශපාලනය බෙදෙන්නට පටන් ගෙන තිබේ. ශ්‍රී ල.නි. පයෙන් විශාල පලුවක්‌ කැඩී ඉදිරි ඡන්දයේදී මහින්ද සමඟ යැමට නියමිත අතර ජවිපෙන් පලුවක්‌ කැඩී සෝමවංශ අමරසිංහගේ නායකත්වයෙන් අලුත් පක්‍ෂයක්‌ ලෙස එළියට පැමිණීමට නියමිතය. එජාපය යනු කොතරම් කැඩුණත් විදුලි වේගයෙන් නැවත යා වන පක්‍ෂයකි. ඡේ. ආර්. බලයේ සිටින කාලයේදී පවා එජාපය කඩාගෙන ගිය කට්‌ටිය අලුත් පක්‍ෂ සාදාගත් නමුත් පසු කාලයේදී එම පක්‍ෂ වාෂ්ප විය. ජ.වි.පෙ. වසර දහයක්‌ තුළ දෙකඩ වන දෙවන වතාව මෙය වන්නේ ය. මෙයට වසර කිහිපයකට පෙර පෙරටුගාමී පක්‍ෂය බිහි වන්නේ ද ජවිපෙන් කැඩී ගිය කැබැල්ලක්‌ ලෙස ය. එදා එයට නායකත්වය දුන්නේත්, අදටත් එහි නායකයා ලෙස සිටින්නේත් කුමාර් ගුණරත්නම් නමැති ජවිපෙ ප්‍රබල ක්‍රියාකාරිකයා ය. ජවිපෙ සමඟ සිටි කාලයේදී ඔහු සෝමවංශ අමරසිංහටත් වඩා බලවත් වූ අතර පක්‍ෂයේ ෂබබැර ජසරජකැ හෙවත් අභ්‍යන්තර පාලක මණ්‌ඩලයේ බලගතු තනතුරක්‌ දැරුවේය. ඔහු බලවත්ව සිටි කාලයේදී අනුර දිසානායක, විජිත හේරත්, කේ. ඩී. ලාල් කාන්ත වැනි අය පක්‍ෂය තුළ සිටි චූටි ළමයි ය. ඔහු කඩාගෙන ගිය කැබැල්ල පෙරටුගාමී පක්‍ෂය ලෙස එළියට පැමිණ ජවිපෙ සතුව තිබූ මෙරට ශිෂ්‍ය සටන් ව්‍යාපාරයේ ඒකාධිකාරය ඩැහැගත්තේය. ඒ නිසාම ජවිපෙට මේ රටේ දේශපාලන ව්‍යාපාරය තුළ තිබූ එකම තීරක බලයත් අහිමි විය. මෙවර ජවිපෙන් කැඩී යන්නේ තවත් බලගතු පුද්ගලයකු වූ සෝමවංශ අමරසිංහ ය. ඔහු සාදන පක්‍ෂය මේ රටේ වාමාංශික මතධාරී පහළ මධ්‍යම පන්තියේ සහ ඉහළ මධ්‍යම පන්තියේ බලය පැහැර ගතහොත් ජවිපෙට සිදුවන්නේ ශිෂ්‍ය බලයත් නැති දේශපාලන බලයත් නැති මරණාධාර සමිතියක තත්ත්වයට පත් වන්නට ය.

ජවිපෙ තම ඉතිහාසය තුළ කරගත් ඉතා දරුණු දේශපාලන වරදක්‌ තිබේ. එයින් ප්‍රධානම වරද වන්නේ මේ රටේ දිරාගිය දේශපාලන පක්‍ෂ වන යූඑන්පිය සහ ශ්‍රීලනිපය සමඟÊකාලයෙන් කාලයට සෙට්‌ වීම ය. 88 - 89 කාලයේදී රෝහණ විඡේවීර ඇතුළු තම පක්‍ෂය සමූලඝාතනය කළ යූඑන්පිය සමඟ ඔවුහු වරක්‌ සෙට්‌ වූහ. එක්‌දහස්‌ නවසිය හැත්තෑ එකේදී තම කේඩරය සංහාරය කළ ශ්‍රීලනිපය සමඟ ඔවුහු තවත් වරක්‌ එකතු වූහ. ආසියානු සංස්‌කෘතිය තුළ සතුරා සමඟ යහන්ගත වීම එතරම් හොඳ කාරණයක්‌ ලෙස සැලකෙන්නේ නැත. එය එක්‌කෝ නිවට කමකි. නැතහොත් බල ලෝභය තකා ගත් ගොන් පියවරකි. විශේෂයෙන්, දිරා ගිය දක්‍ෂිණාංශික පක්‍ෂ සමඟÊසමාජවාදී මූලයකින් එන පක්‍ෂයක්‌ එකතු වූ විට එහි කිසිදුÊගත යුත්තක්‌ නැත. ජවිපෙ කළ තව වරදක්‌ වන්නේ විඡේවීරගේ මූලික දේශපාලන ප්‍රතිපත්තියක්‌ වූ සමාජ සංස්‌කෘතික වාදයෙන් ඉවත් වීම ය. විඡේවීර එක්‌දහස්‌ නවසිය හැට ගණන්වලදී සෝවියට්‌ කොමියුනිස්‌ට්‌ පක්‍ෂයේ ආභාෂය හරහා සිය දේශපාලන ජීවිතය පටන් ගත්ත ද, පසු කාලයේදී චීනයේ මාවෝ සේතුංගේ ජාතික සංස්‌කෘතිවාදී වාමාංශික හරයන් සමඟÊඑකතු විය. චීනය කවදත් තම රට තුළ මාක්‌ස්‌වාදය පරිහරණය කළේ රටේ සංස්‌කෘතික හරයන් සුරැකෙන පරිදිය. සංස්‌කෘතිය යනු ආසියාතිකයාට ඉතාම වටිනා දෙයක්‌ බව මාවෝ සේතුං දැන සිටි අතර ඔහු සිය දේශපාලන බීජ වපුරන ලද්දේ සංස්‌කෘතියට හානි නොවන පරිදි ය. කාල් මාක්‌ස්‌ විසින් ආගම යනු අබිං යයි කියන ලද්දේ වී නමුදු මාවෝ සේතුං කවදාවත් එසේ කීවේ නැත. ඔහු විරුද්ධ වූයේ වැඩවසම් ක්‍රමයට සහ සූරාකෑමට පමණි. තිබ්බතය නමැති බෞද්ධ රාජ්‍යය තම රටට ඈ¹ගත් මොහොතේ පවා චීනය කළේ පන්සල් විනාශ නොකර සමාජවාදයට සහයෝගයක්‌ වන පරිදි පන්සල් පවත්වා ගෙන යැමට හොඳින් හෝ නරකින් භික්‍ෂුන් වහන්සේලා පෙළඹවීම ය. විඡේවීර සෝවියට්‌ කොමියුනිස්‌ට්‌ පක්‍ෂය අත්හැර දමා චීන කොමියුනිස්‌ට්‌ පිලට යන්නේ ද මාවෝ සේතුංගේ ජාතික සංස්‌කෘතිකවාදයට ගරු කළ නිසා ය. එහෙත් මේ රටේ සංස්‌කෘතියත් සමඟ 100% ක්‌ම එකතු වීමට අදටත් ජවිපෙට පුළුවන් වී නැත. සිංහල බෞද්ධ බහුතරයක්‌ වෙසෙන රටක දේශපාලනය කළ යුතු විලාසිතාවක්‌ තිබේ. එසේම පේන කාරයන්, හඳහන්කාරයන් සහ සාස්‌තරකාරයන් විශ්වාස කරන රටක දේශපාලනය කළ යුතු ක්‍රමවේදයක්‌ තිබේ. ඒ විලාසිතාව ජවිපෙට අසුවී නැත. අප මෙයින් කියන්නේ රාහු කාලය නිම වනතුරු ගෙට වී සිටීම හෝ මරු සිටින දිශාව මඟහැර වෙනත් දිසාවකට යන්නට ගොස්‌ බස්‌ එකකට යට වී මිය යැම වැනි මෝඩ වැඩ ප්‍රවර්ධනය කළ යුතු බව නොවේ. ජාතියේ සංස්‌කෘතික පුරුෂාර්ථයන් සමඟ යම් ප්‍රමාණයකට හෝ සිටිය යුතු බවයි. අවිද්‍යාව නමැති ඝනාන්ධකාරයේ සිට විද්‍යාව නමැති ආලෝකයට යැම එක සැරේට කළ යුතු නැත. එසේ එක සැරේ කළොත් විද්‍යාවේ ආලෝකය දකින එකාගේ ඇස්‌ අන්ධ වීමට ඉඩ තිබේ. සමහර විට සෝමවංශ අමරසිංහ සූදානම් වන්නේ මේ සියලු දුර්වලකම් නැති කරගෙන ජනතාවාදී පක්‍ෂයක්‌ සෑදීම විය යුතු ය. එය සාධනීය උත්සාහයක්‌ බව අපගේ මතය ය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.