අතීත විරුවෝ රට රැකි හැටි

ඉතිහාසය අපූරුය. එහි අපූරු තැන් ස්‌පර්ශ කිරීමෙන් අනාගත අභිවෘද්ධියට මං තැනිය යුතුය. මේ ලිපියේ අරමුණ අපේ අතීත මිනිසුන් අපේ රටේ භූගෝලීය පසුබිම රාජ්‍ය විමසීමේදී යොදාගත් ප්‍රශස්‌ථ ආකාරය විමසා බැලීමය.

අපේ රට වර්ග කිලෝමීටර හැටපන්දහස්‌ හයසිය දහයක වපසරියකින් සමන්විත වෙයි. උතුරින් පේදුරු තුඩුවත් දකුණින් දෙවුන්දර තුඩුවත් අතර ඇත්තේ කිලෝමීටර හාරසිය හතළිස්‌ හතක්‌ පමණය. කොළඹ සිට සංගමන්කන්ද තුඩුව තෙක්‌ ඇත්තේ කිලෝමීටර දෙසිය දහනවයක්‌ පමණය.

දිවයින වටා කිලෝමීටර් දහසක්‌ පමණ දිගු මුහුදු තීරයක්‌ තිබේ. මාතොට, මන්නාරම, කල්පිටිය, කොළඹ, බේරුවල, ගාල්ල, වැලිගම, දෙවිනුවර, හම්බන්තොට, මඩකලපුව ත්‍රිකුණාමලය, වරායන් ඇති කළේ අතීතයේය. මීගමුව, කොග්ගල ආදී කලපු ස්‌වභාවිකවම දිවයිනට ලැබුණු දායාදයන්ය. අභ්‍යන්තර භූ ලක්‌ෂණ අතර වැදගත් බවින් අනූන සුවිශේෂී බවින් හෙබි ලක්‌ෂණය දිවයින මධ්‍යයේ ක`දුකරය පිහිටීමය. පිදුරුතලාගල , කිරිගල්පොත්ත, නමුණුකුල, සමනොළ, ක`දු මනරම්ය. හැටන් වැලිමඩ සානු ද සීතාඑළිය, හෝටන්තැන්න ආදී උස්‌ තැනි ද හපුතලේ බලන කඩුගන්නාව ගිනිගත්හේන වැනි පර්වත කපොලුද ක`දුකරයේ අසිරිය වඩනා අතර භූ ගෝලීය වටිනාකම් තීව්‍ර කරයි. ක`දුකර තැනිතලාවේද තැන් තැන්වල මිහින්තලේ, දඹුල්ල, සිගිරිය, යාපහුව, කුරුණෑගල වැනි පර්වත කිහිපයක්‌ හමුවන්නේ ඵෙතිහාසික පුරාවෘත්ත ඇළලූ මායිම් මෙනි. රට මැද ක`දුකරයේ සිට ගලා බස්‌නා මහවැලි, මල්වතු, කලා, දැදුරු, කැලණි, කළු, නිල්වලා, වලවේ, කිරිඳි, ආදී වූ ගංගාවෝ නිරන්තරයෙන් රට පෝෂණය කළේය.

මේ භූ ගෝලීය සාධක සමග ඉපැරැන්නෝ සිය ඥානය, මෙහෙය වූයේ මේ රට රැක ගැනුමටය. රට පුරා පැතිරී තිබූ සාරවත් පස, මුතු, මැණික්‌, මිනිරන්, ජලය, වෘක්‌ෂලතා පිටරැටියනට රට කෙරෙහි තෘෂ්ණාව ඇති කළ ස්‌වාහාවික සම්පත් විය. පෘතුගීසි ලන්දේසි ඉංග්‍රීසි මුස්‌ලිම් මේ කුමන විදේශිකයා වුවද මේ රටේ සාරයට ලොල් වූහ. එබැවින් මේ විජාතිකයෝ රටේ මුහුදුබඩ පෙදෙසින් කන්ද උඩරටට සේන්දු වන්නට යත්න දැරූහ.

දකුණු ඉන්දියානු ආක්‍රමණ එල්ල වී සිංහල රජවරුන්ට පරාජය අත් වූ බොහෝ අවස්‌ථාවල ඔවුන් ආරක්‌ෂාව පතා පලා ගොස්‌ ඇත්තේ ක`දු රටටය. එකල මලය දේශය ලෙස නම් කළ රට මැද ක`දුකරයට පලා ගිය රජවරු අතර ක්‍රිස්‌තු පූර්ව 103 දී වට්‌ට ගාමිණි අභය, පළමුවන සේන (ක්‍රිස්‌තු වර්ෂ 833 -853) පළමුවන විජයබාහු වැනි රජවරු විශේෂය. වංශකතා වල දැක්‌වෙන පරිද්දෙන්... - නොයෙක්‌ පර්වත දුර්ග ඇති බැවින් ද චණ්‌ඩ සත්ව භයින්ද දුක සේ බැස්‌ස යුතු වූ අන්‍ය මනුෂ්‍යයින්ගේ සංචාර රහිත වූ එක පදික මාර්ගයෙන් යා යුතු වූ අතිශයින් බියකරු වූ මිනිසුන් භක්‌ෂණය කරන්නා වූ කිඹුලන් ඇති ගැඹුරු ජලයෙන් ගැවසුණා වූ මහා මලය රට හෙවත් කඳුකරය........, එහි ස්‌වාභාවික ආරක්‌ෂාව මොනවට පැහැදිලි වෙයි.

ක`දුකරය සැබැවින්ම සුවිශේෂීය. රාජ රාජ මහාමාත්‍යාදීන් සිය රාජ්‍යය රැකගනු වස්‌ සියලු ආරක්‌ෂක පවුරු බැ`දලූයේ සොබාදහම සමග උරිනුර ගැටෙමිනි. ගංගා මෙන්ම ක`දු හා පර්වත කපොලු ඇසුරු කර ගත් රාජ්‍ය වංශිකයෝ තමන්ගේ ආරක්‌ෂාවත් රාජ්‍යයේ ආරක්‌ෂාවත් උදෙසා ආරක්‌ෂක විධි විධාන සැලසූහ.

වර්ග සැතපුම් දහහතර දහසකින් යුතු කන්ද උඩරට මෙරට අවසන් සිංහල රාජධානියයි. සෙංකඩගල හෙවත් මහනුවර රාජ්‍යය පිහිටුවා ගනු ලැබූයේ ස්‌වාභාවික පිහිටීමේ ස්‌වරූපය නිසාය. එකල සිංහලයන්ගේ අවි බලයට වඩා වැඩි අවිබලයකින් යුක්‌තව සිටි කිසිවකුටත් මහනුවර ආක්‍රමණය කරන්නට නොහැකි විය. ඒ ක`දුකරයේ පිහිටීමත් එම පිහිටීමේ හැඩය අනුව එලන ලද මුර කපොලු ජල දුර්ග, ගිරිදුර්ග, වන දුර්ග හා කෘමි හානි, වසංගත නිසාය. උඩරැටියෝ විචක්‌ෂණශීලිව සන්නිවේදන ක්‍රියාවලියේ නිරතවෙමින් තම නායකයාගේත් තම පරපුරේත් ආරක්‌ෂාව සුරක්‌ෂිත කර ගත්හ.

වර්ෂ 1341 - 1409 පමණ වන තෙක්‌ කන්ද උඩරටට අයත් ගම්පොළ අගනුවර ලෙස පැවතිණි. අනතුරුව සෙංකඩගල ලංකාවේ අගනුවර විය. වඩාත් ආරක්‌ෂාකාරී ස්‌ථානයක්‌ ලෙස ස්‌ථාපිත කිරීමේ අරමුණින් එකල කන්ද උඩරටට ප්‍රවිශ්ට මාර්ග ඔස්‌සේ මුර කපොලු ඇති කිරීමට පියවර ගෙන තිබිණි.

එකල උඩරටට වැඩි වශයෙන් තර්ජන එල්ල වීමට ඉඩ පැවතියේ ඊට බටහිර දෙසින් පිහිටි කෝට්‌ටේ රාජ්‍යයෙනි. මුහුදුබඩ ප්‍රදේශවල සිට උඩරටට පැමිණිය හැකි ප්‍රධාන මාර්ග දෙක වූ ගලගෙදර සහ බලන කපොල්ලන් හරහා ප්‍රධාන සන්නිවේදන ක්‍රමෝපායන් යෙදු රජවරු ඒ ඔස්‌සේ තම ආරක්‌ෂාව තර කර ගත්හ. හතර කෝරලේ, හත් කෝරලේ තුන් කෝරලේ ඌව වෙල්ලස්‌ස සබරගමුව මාතලේ වලපනේ උඩ පළාත නුවර කලාවිය වෙල්ලස්‌ස බිම්තැන්න තමන්කඩුව ආදී සියලු පෙදෙස්‌ හරහා ආරක්‌ෂාව යෙදවිය යුතු බැව් සිතූ එකල පාලකයෝ කෙටි කලකින් පරකඩුව කපොල්ල සහ හුන්නස්‌ගිරිය කපොල්ල ඇසුරෙහිද ආරක්‌ෂක භටයින් යෙදවූහ.

බලන කපොල්ලට දකුණින් ඉහළින් තනා තිබූයේ බලන කොටුවය. එහි නටඹුන් අදටත් ඉතිහාසයට සාක්‌ෂි සපයමින් කන්ද උඩරට යටිනුවර දක්‌නට ලැබේ. බලන කපොල්ල ඉදිරියේ වන පර්වතය සතුරන් එනතුරු බලන ගල හෙවත් බැලුම්ගලය. මෙය එකල හැඳින් වූයේ locout post හෙවත් සැලසුම් කණුවක්‌ සහිත තැනක්‌ ලෙසය. ඊට හේතුව මෙම ස්‌ථානයේ හේවායින් ස්‌ථාන ගතව සිටි බැවිනිs. බලන කපොල්ල සිට පහත බෑවුම සහ පහළ කොටස බලන්නකුට කෑගල්ල තෙක්‌ දිගු පෙදෙසක්‌ මැනැවින් දිස්‌වෙයි. තීක්‌ෂණ ඥානයෙන් මුර සේවාව කරනු ලැබූ හේවායෝ තමන්ට ලැබූ අණට යටහත්ව බලනගල දුර්ගය ඉදිරිපිට වළවල් හාරා අඩියට වියෑළුණු කොළ අතුරාලුහ. මතුපිටට අමු කොළ දමා සකසා තිබෙන මෙම වළවල්වලට ගිනි තබන්නේ කෑගල්ල දෙසින් කිසිවකු එනු දක්‌නා විටදීය. දහවල් කාලයේ වළ ගිනි තැබූ විට එහි දුම්වලා මහනුවර හන්තාන කන්දේ මුරපළට මැනැවින් දිස්‌වෙයි. හන්තාන කන්දේ ද එකල locout post තනා තිබිණි. එතැනද වළවල් තනවා තබා තිබූයේ සන්නිවේදන ක්‍රියාවලිය උදෙසාය. බලනගල අසළින් අහසට නැගි දුමාරය දුටු හන්තාන මුරකරුවෝ එතැනද ගිනි ගසා අහසට දුම් මුදාහලහ. එය දකින්නේ සෙංකඩගල උඩවත්ත කැළෙහි මුර කපොල්ලේ සිටින හේවායන්ය. ඔවුහු වහාම අනතුරෙහි සේයාව රජුට සැල කරති. දිවා කල අනතුරු අඟවන මේ දුමාර සන්නිවේදනය රාත්‍රී කාලයට වෙනස්‌ වෙයි. පළමුව බලන කපොල්ලේ හේවායින් දෙදෙනෙක්‌ ගිනි පොලු දෙකක්‌ රැගෙන දෙපසට ඇවිදියි. සෙසු කපොලු වල හේවායන්ද එය අනුකරනය කරමින් අනතුරු සංඥා දක්‌වයි.

මෙය සැලවන රජු සිය ආරක්‌ෂාව පතා ආසන්නතම ආරක්‌ෂිත ස්‌ථානය වන හ`ගුරන්කෙතට යන්නේ මහවැලි ග`ගබඩ හරහාය. තැන්නේකුඹුර, ගුරුදෙණිය, ගෝණවත්ත, හාරගම, මයිලපිටිය හරහා හ`ගුරන්කෙතට රජුන් එදා ගිය කෙටිම මග අද වික්‌ටෝරියා ජලාශයට සේදී ගොස්‌ය.

කන්ද උඩරට සැමට මැදිවී සිටින බැව් සහ සියල්ලන්ගෙන්ම ආරක්‌ෂා විය යුතු බැව් ඒත්තු ගැන්වෙන බරපතළම සාක්‌ෂිය ඇත්තේ SRIWICKREMA BROWNRIGG AND EHELEPOLA නැමැති ග්‍රන්ථයේය. එහි 183 පරිච්ඡේදයේ පරිදි උඩරට ආක්‍රමණය සදහා පැමිණීමට සැලසුම් කළ මාර්ගය ගනේතැන්නෙන් ගාල්ලෙන් හම්බන්තොටින් සහ ත්‍රිකුණාමලයෙන් යෑයි දැක්‌වේ. උඩරට හෙවත් සෙංකඩගල අල්ලා ගැනීම ස`දහා එසේ පැමිණෙන ආක්‍රමණිකයන් පසුබස්‌සවාලීම ස`දහා බලන ගලගෙදර හුන්නස්‌ගිරිය සහ පරකඩුව මුර කපොලු සූදානම්ව සිටි බැව්ද එහි ස`දහන් වේ. ගනේතැන්නෙන් පැමිණෙන සතුරන් බලන කපොල්ලෙන් ද ගාල්ලෙන් පැමිණෙන සතුරන් බලන්ගොඩ හරහා මහියංගනයට පැමිණ එන මගෙහි දී හුන්නස්‌ගිරිය මුර කපොල්ලෙන්ද වළක්‌වාලීමට හේවායෝ කටයුතු කලහ. ත්‍රී කුණාමලයෙන් එන්නේ නම් මාතලේ පරකඩුවෙන්ද සතුරන් වළක්‌වාලීමට පියවර ගත්තේ එදා සිංහලයෝමය.

මුර කපොල්ලකින් රටක්‌ ආරක්‌ෂා කිරීම පිණිස සැලසුම් තැනූ සිංහල මොළයට රටක්‌ තැනීමටද එදා හැකිව තිබිණි. ඒ සුපුවත ඉතිහාසය අපට කියයි. ඉතිහාසයෙන් පාඩම් උගෙන ගන්නා මිනිසා කිසිදින අගාධයකට නොවැටෙන බව අප තේරුම් ගත යුතුය.

(ස්‌තූතිය - සමරසිංහ මහතාට)

සුදම් හේරත්

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.