උතුරේ යළි හොල්මන් කරන
වර්ධරාජා පෙරුමාල්

විසිපස්‌ වසරකට පෙර උතුරු නැගෙනහිර පළාත් සභාවේ මහ ඇමැති වූ අන්නාමලෙයි වර්ධරාජා පෙරුමාල් ස්‌වාධීන සෛවරි ප්‍රජාතන්ත්‍රවාදී ඊලම් ජනරජය යෑයි කියමින් ත්‍රිකුණාමලයේ සිට ඊලම් රාජ්‍යයක්‌ ප්‍රකාශයට පත් කළේය. 1990 මාර්තු 1 දා සිය පලාත් සභා මන්ත්‍රීවරු ඇමතූ වර්ධරාජා ශ්‍රී ලංකා හමුදාව විදේශ හමුදාවක්‌ බව දක්‌වමින් වාහාම පිටව යා යුතු යෑයි තර්ජනාත්මකව කියා සිටියේය.

අනතුරුව ඔහු එවකට පැවැති රජයට ඉල්ලීම් 19 ක්‌ යොමු කර එකී ඉල්ලීම් වහාම ඉටු කළ යුතු බව පළ කළේය. ඊපී. ආර්. එල්. එෆ් නමැති සංවිධානය බිහි කිරීමේ පුරෝගාමියකු වූ වර්ධරාජා පෙරුමාල්ගේ සියලු ක්‍රියාදාමයන් පසුබිමේ සිටියේ ඉන්දීය "රෝ" ඔත්තු සේවාවයි.

මගේ ඉල්ලීම් ඉටු කළහොත් යළි මම උතුරු නැගෙනහිර පළාත් සභාව ස්‌ථාපිත කරනවා. යෑයි ඔහු තවදුරටත් සඳහන් කළේය. එදා ඔහු රජයට ඉදිරිපත් කළ යෝජනා මෙසේයි.

1. ඉන්දීය ප්‍රාන්ත බලතල උතුරු නැගෙනහිරට ලබාදෙනු

2. ශ්‍රී ලංකා රජයට ලැබෙන විදේශ අරමුදල්වලින් සියයට 20 ක්‌ අපිට ලබාදිය යුතුයි.

3. 1987 න් පසු උතුරු නැගෙනහිර පිහිට වූ වූ සිංහල ජනපද විසුරුවා හරිනු

4. උතුරු නැගෙනහිර පළාත් බෙදා වෙන් නොකළ යුතුයි.

5. ජන අනුපාතය මත හමුදාවට බඳවා ගනු

6. ද්‍රවිඩ ජනතාවට වෙනම පළාතක්‌ ස්‌ථාපිත කරනු

7. උතුරු නැගෙනහිරින් විශේෂ කාර්ය බළකාය ඉවත් කරනු

8. ත්‍රස්‌ත මර්දන පනත අහෝසි කරනු

9. මොසාඩ් ඇතුළු විදේශ සංවිධාන ඉවත් කරනු

ඉන්දීය සාම සාධක බළකායේ සහයෙන් ද්‍රවිඩ ජාතික හමුදාව නමින් සන්නද්ධ බළකායක්‌ ස්‌ථාපිත කිරීමට ක්‍රියා කළේද වර්ධරාජා පෙරුමාල්ය. එහෙත් ඔහු ප්‍රභාකරන්ට බියක්‌ දැක්‌වීය. ප්‍රභාකරන් විසින් තමාව ඝාතනය කරන බව තේරුම්ගත් වර්ධරාජා ඉන්දීය බ්ලැක්‌කැට්‌ කමාන්ඩෝ භටයන්ගේ ආරක්‍ෂාව යටතේ කටයුතු කළේය.

ශ්‍රී ලංකාව දෙකඩ කිරීමට උත්සාහ කළ මේ බෙදුම්වාදියා 1983 දී අත්අඩංගුවට ගෙන මඩකලපු සිරගෙයි රඳවනු ලැබූවත් බන්ධනාගාර රැකවලුන්ගේ සහාය මැද ඉන්දියාවට පලා ගියේය.

ඉන්දීය ද්‍රවිඩ පියකුගේ පුත්‍රයකු වූ වර්ධරාජා පෙරුමාල් ඇතුළු 42 ක්‌ සිරිමාවෝ බණ්‌ඩාරනායක මැතිණියගේ සමයේදීද අත්අඩංගුවට ගෙන තිබිණි.

එසේම ඉන්දීය රෝ බුද්ධි සේවාව සහ සාම සාධක බළකායේ සහය මැද උතුරු නැගෙනහිර දින 460 ක්‌ කටයුතු කළ පෙරුමාල් ඉන්දීය සාම හමුදාවේ අවසන් භට කණ්‌ඩායම ත්‍රිකුණාමලයෙන් පිටව යන අවස්‌ථාවේදී පිටව ගියේය.

එහෙත් වර්ධරාජා පෙරුමාල්ගේ අවතාරය දැන් යළිත් වරක්‌ යාපනයට පැමිණ ඇත.

පසුගිය සිකුරාදා ඔහු උතුරු මහ ඇමැති සී. වී විග්නේශ්වරන් සමග පැයක්‌ තිස්‌සේ රහස්‌ සාකච්ඡාවක්‌ පැවැත්විය. එය නිල නිවසේදී පවත්වා තිබීණි. ඊ. පී. ඩී. පී. ක්‍රියාකාරීන් වන ආර් ශිවන්දිරන් සහ සුන්දරම්ද මේ රහස්‌ සාකච්ඡාවට සහභාගි විය. එහිදී සාකච්ඡාවට ලක්‌ වූ කරුණු ගැන විග්නේශ්වරන් කොටි හිතවාදී මාධ්‍ය සහ වෙබ් අඩවිවලට පවසා නැත.

උතුරේ ආරංචි මාර්ග දක්‌වන අන්දමට වර්ධරාජා පෙරුමාල් යාපනයේ ඇති නියෝජ්‍ය ඉන්දීය මහ කොමසාරිස්‌ කාර්යාලයේදී තවත් රහස්‌ සාකච්ඡාවක්‌ පවත්වා තිබේ.

වර්ධරාජා පෙරුමාල් සතුව නල්ලුර් සහ කොළඹද නිවාස දෙකක්‌ තිබේ.

පසුගිය 18 දා ඔහු ඊ. පී. ආර්.එල්. එස්‌. ක්‍රියාකාරීන් අමතා ඇති බවද වාර්තා විය.

මේ පසුබිම මැද වර්ධරාජා පෙරුමාල් යළි යාපනයට ආගමනය වූයේ මන්ද? 2010 වසරේ ශ්‍රී ලංකාවේ මහමැතිවරණය පැවැත්වීමට නියමිතව තිබියදීද ඔහු යාපනය හා ත්‍රිකුණාමලයට පැමිණ සිය ක්‍රියාකාරීන් හමු වී ඇත. ඉන්පසු 2012 දීද ඔහු උතුරට පැමිණි බව වාර්තා විය.

දැන් ඔහු යළිත් වරක්‌ යාපනය නල්ලූර් ප්‍රදේශවල ගැවසෙන්නේ මන්ද යන්න තේරුම් ගැනීම අපහසු නැත.

ඉදිරි කාලයේදී මෙරට යළිත් වරක්‌ මැතිවරණයක්‌ පැවැත්වේ. එකී පසුබිම මැද පෙරුමාල් තම ස්‌වාමිවරුන් වන ඉන්දීය බලධාරීන්ගේ දේශපාලන මෙහෙයුමේ ප්‍රධාන කොටස්‌කරුවකු ලෙස ක්‍රියා කරනු ඇත. නල්ලූර් මාර්ගයේ ස්‌ථාපිත කර ඇති ආරුදල් කාර්යාලයේදීද ඔහු දේශනයක්‌ පවත්වා ඇති අතර තමා දේශපාලන කටයුතුවල නිරත වන බව පවසා තිබේ.

ඉන්දීය "රෝ" සංවිධානයේ රූකඩය වූ වර්ධරාජා පෙරුමාල් හසුරුවන බොත්තම ඇත්තේ එකී සංවිධානය මතය. පසුගිය සැප්තැම්බර් මස ඉන්දීය මාධ්‍ය අමතමින් ප්‍රකාශයක්‌ කළ පෙරුමාල් ශ්‍රී ලංකා හමුදාව උතුරේ විශාල ලෙස ස්‌ථානගතව තිබීමත් සිංහල ජනාවාස තිබීමත් නිසා ද්‍රවිඩ ජනතාව තුළ බියක්‌ ඇති වී තිබෙන බව පවසා ඇත.

"ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කළ පසු 13 වැනි සංශෝධනය මුළුමනින්ම ක්‍රියාත්මක කරන බවට අපට පොරොන්දු වුණා. එහෙත් උතුරු නැගෙනහිර මහ ඇමැති දෙපලට දැන් බලතල නැහැ යෑයි ඔහු කියා සිටියේය.

එසේ නම් වර්ධරාජා යළි මෙරට හොල්මන් කරන්නේ 13 වැනි සංශෝධනයේ බලතල ක්‍රියාත්මක කිරීමේ මෙහෙයුමකටද?

62 හැවිරිදි වර්ධරාජා පෙරුමාල් මෑතකදී ප්‍රකාශ කළේ 13 වැනි සංශෝධනය මෙන්ම ඉඩම් හා පොලිස්‌ බලතල ලබාදිය යුතු බවයි.

ඊළම ප්‍රකාශයට පත් කළ මේ බෙදුම්වාදියා උතුරේ දේශපාලන කටයුතුවලට යළි මැදිහත් වෙද්දී ද්‍රවිඩ සංධානයේ මන්ත්‍රී සුරේශ් ප්‍රේමචන්ද්‍රන් ඊට සමගාමීව තවත් මෙහෙයුමක්‌ දියත් කර ඇත. සුරේශ් ප්‍රේමචන්ද්‍රන්ද ඊ. ආර්. එල්. එෆ්. නායකයෙකි. ඔහු මේ සතියේ දිනෙක තවත් පිරිසක්‌ සමග උතුරේ වලිකාමම් ප්‍රදේශයේ අක්‌කර දහයක නිදහස්‌ කළ ප්‍රදේශය විමර්ශන කරනු ලැබීය.

අක්‌කර දහයක ප්‍රදේශයේ විශාල හමුදා කඳවුරු දෙකක්‌ තිබෙනවා. රජය එකී කඳවුරුවල බලධාරීන් තම අභිමතයට වැටවල් ඉදිකිරීම නිසා ජනතාවට පදිංචි විය නොහැකි තත්ත්වයක්‌ ඇති වෙලා. ජනතාවගේ ගමනාගමනයටද බාධා ඇති වී තිබෙනවා. මේ හමුදා කඳවුරු වහාම ඉවත් කළ යුතුයි යෑයි ප්‍රේමචන්ද්‍රන් පළ කළේය.

ප්‍රේමචන්ද්‍රන් වලිකාමම් ප්‍රදේශයට පැමිණියේ කොටි හිතවාදී ඡායාරූප ශිල්පීන් සමගය. ඔවුන් යුද හමුදා කඳවුරු වටා ඇති ආරක්‍ෂක වැටවල් ඡායාරූප ගත කර විදේශ රටවලට විකාශනය කර ඇත.

මේ තත්ත්වය මැද වර්ධරාජා පෙරුමාල්ට අද නිදහසේ උතුරේ සැරිසැරීමට හැකි වී ඇත්තේ ඔහුගේ සතුරා වූ ප්‍රභාකරන් 2009 දී ආරක්‍ෂක හමුදාව විසින් මරාදැමීම නිසාය.

2008 ජනවාරි මසදී ප්‍රභාකරන්ගේ ටොසි බුද්ධි සේවාව පෙරුමාල්ව පැහැරගෙන යැමේ සැලැස්‌මක්‌ දියත් කර තිබිණි. එම වසරේ පෙබරවාරි මස රාජස්‌තාන් ප්‍රාන්තයේදී පෙරුමාල්ගේ වැඩිමහල් දියණියගේ විවාහ මංගල්‍ය උත්සවය පැවැත්වීමට නියමිතව තිබූ අතර එහිදී එකී සැලැස්‌ම ක්‍රියාත්මක කිරීම තම්බිතුරෙයි පරමේශ්වරන් හෙවත් මුර්ලි හෙවත් නාදන් නමැත්තාට පවරා තිබුණි.

කොටින්ගේ ටොයි බුද්ධි සේවාවේ ක්‍රියාකාරිකයකු වූ නාදන් විසින් පෙරුමාල් පැහැරගෙන යැම සඳහා කොටි හත් දෙනකුට නියෝග කර තිබූ බව අනාවරණය වේ. රිගන්, ආනන්ද, තේසමන්, පැරිස්‌, අකිලන්, ප්‍රදර්ශන් සහ අරවින්දන් යන එම කොටි ක්‍රියාකාරීන් හත්දෙනා ඉන්දීය බුද්ධි සේවාව විසින් අත්අඩංගුවට ගැනීමෙන් පෙරුමාල් පැහැරගෙන යැමේ සැලසුමේ සුලමුල හෙළි විය.

නාදන් නමැත්තා සිය කුලී රථය පෙරුමාල්ගේ ළඟම ඥාතියකුට ලබා දී ඉන් රාජස්‌තාන්හි පැවැත්වෙන විවාහ මංගල්‍යයට යැමට උත්සාහ කර ඇතැයි බුද්ධි අංශ විසින් සොයා ගනු ලැබීය.

මෙම අතීත තොරතුරු මැද වර්ධරාජා පෙරුමාල් යළි උතුරේ රැඟුම් දැක්‌වීම දැඩි අවදානමක්‌ ඇති කරන්නකි. 1999 වසරේදී ඔහු එදා පැවැති රජය ලවා උතුරු නැගෙනහිරට අන්තර්වාර පාලනයක්‌ ලබා ගැනීමට උත්සාහ කළේය. මෙම පසුබිම මැද ශ්‍රී ලංකාවේ සිං ඉන්දියාවට පලාගිය මේ පිටුවහලා නැවත ශ්‍රී ලංකාවට පැමිණ උතුරු මහ ඇමැති විග්නේශ්වරන් සමග පැවැත් වූ රහස්‌ සාකච්ඡාවේ ඉලක්‌කය මීළඟ මහා මැතිවරණය බව පැහැදිලි වේ.

තමා ස්‌වාධීන ලෙස දේශපාලන කටයුතු කරන බව පවසන පෙරුමාල් ද්‍රවිඩ එක්‌සත් විමුක්‌ති පෙරමුණේ නායක වී. ආනන්ද සංගරී සමග සාකච්ඡාවක්‌ පැවැත්වීමට ක්‍රියා කරන බවද අනාවරණය කර ඇත.

එහෙත් වර්ධරාජා පෙරුමාල්ගේ යාපන සංචාරයේ යථාර්ථය කුමක්‌ද?

ජනමත විචාරණයක්‌ මගින් උතුරු නැගෙනහිර යළි ඒකාබද්ධ කළ හැකි බව විශ්වාස කරන පෙරුමාල් තමිල්නාඩු ධීවරයන් සහ ශ්‍රී ලාංකික ධීවරයන් අතර ඇති වී තිබෙන අර්බුදයටද මැදිහත් වී ඇත. 1974 වසරේ ඉන්දු ශ්‍රී ලංකා මුහුදු සීමා ගිවිසුම යටතේ දෙරටේ ධීවරයන්ට පෝක්‌ සමුද්‍ර සන්ධිය තුළ මසුන් ඇල්ලිය හැකි බවද ඔහු ප්‍රකාශ කර තිබේ.

1988 දෙසැම්බර් 10 සිට 1996 මාර්තු 15 දා තෙක්‌ උතුරු නැගෙනහිර මහ ඇමැති ලෙස කටයුතු කළ වර්ධරාජා පෙරුමාල් ත්‍රිකුණාමලයේ සිට කොළඹට ඒමට ගුවන් හමුදා හෙලිකොප්ටර් භාවිත කළේය. මාව ත්‍රිකුණාමලයට ගෙන යන ගුවන් නියමුවන් මට ආචාර කරන්නේ නැහැ. යෑයි පෙරුමාල් වරක්‌ එවකට සිටි ආරක්‍ෂක ඇමැති රන්ජන් විඡේරත්නට පැමිණිලි කළේය.

මෙවන් පසුබිමක්‌ ඇති වර්ධරාජා පෙරුමාල්ගේ හදිසි ආගමනය ගැන ඊපී. ආර්. එල්. එµa. නායක සුරේශ් ප්‍රේමචන්ද්‍රන් මෙතෙක්‌ කිසිදු ප්‍රකාශයක්‌ කර නැත. ප්‍රේමචන්ද්‍රන් පසුව කොටි නායක ප්‍රභාකරන්ට හිස නැමුවේය.

1990 සිට ඉන්දියාවේ රාජස්‌ථානයේ වෙසෙන පෙරුමාල් සමග ඔහුගේ බිරිය වූ ගව්රි සහ දියණියන් තිදෙනා වාසය කරන අතර එකී දියණියන් දැන් විවාහ වී තිබේ. එසේ නම් වර්ධරාජා පෙරුමාල් යළි මතුවීම ගැන විවිධ තොරතුරු උතුරේ දේශපාලන ප්‍රවාහය තුළ පැතිරෙමින් පවතී.

ඔහු උතුරේ දේශපාලන ප්‍රවාහය වෙනස්‌ කරන බව ද්‍රවිඩ පාර්ශ්ව පවසන අතර ප්ලොට්‌ සංවිධානය කියන්නේ ඔහුට ජන්ද පදනමක්‌ නැති බවයි. වර්ධරාජා පෙරුමාල් ඊලම් රාජ්‍යය ප්‍රකාශ කිරීමෙන් පසු එවකට ජනාධිපති ආර්. ප්‍රේමදාස උතුරු නැගෙනහිර පළාත් සභාව විසුරුවා හැර පාලනය ආණ්‌ඩුකාර නලින් සෙනවිරත්නට පවරනු ලැබීය.

මෙම ඊළම්වාදියාගේ උතුරු පළාත් සභාවේ ඇමැතිවරයකු ලෙස දයාන් ජයතිලක ක්‍රියා කළේය. ඔහු 1989 මාර්තු 6 දා සිය ධුරයෙන් ඉල්ලා අස්‌විය. මේ පසුබිම මත වර්ධරාජා යළි මෙරටට පැමිණීම අවදානමක්‌ බව දයාන් ජයතිලක පසුගියදා පළ කලේය.

එහෙත් වර්ධරාජා පෙරුමාල් හමුවේ බරපතල ප්‍රශ්නයක්‌ පවතී. ඒ ඊ. පී. ආර්. එල්. එµa. බලය අල්ලාගෙන සිටින සුරේශ් ප්‍රේමචන්ද්‍රන්ය. කෙසේ වෙතත් වර්ධරාජා යාපනයට පැමිණියේ නිකමට නොවේ. ඔහුගේ පසුබිමේ සිටින්නේ ඉන්දීය "රෝ" බුද්ධි සේවාව බව පැහැදිලිය.

කීර්ති වර්ණකුලසූරිය

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.