මහින්ද මෛත්‍රී හමුවීමට යන්නේ
සහෝදරයින් බේරාගැනීමට නොවේ

- කුමාර වෙල්ගම


කුෂාන් සුබසිංහ

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතාත් අතර පැවැත්වීමට නියමිත හමුව සඳහා මහින්ද රාජපක්‌ෂ මහතා සහභාගි වන්නේ තමන්ගේ නිලධාරීන් හා පවුලේ අය බේරා ගැනීමේ අරමුණින් නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පැවසීය.

නැක්‌සලයිට්‌ සිද්ධියේදී විජය කුමාරතුංග බේරා ගැනීමට ඡේ. ආර්. ජයවර්ධන මහතා හමු වූ චන්ද්‍රිකා බණ්‌ඩාරනායක මහත්මිය ලෙස මෙහිදී මහින්ද රාජපක්‌ෂ මහතාව නොසිතන ලෙසට කුමාර වෙල්ගම මහතා පැවසීය.

රටේ නායකයන් දෙදෙනෙක්‌ අතර සිදුකිරීමට නියමිත මෙම හමුව පහසුවෙන් සිදු කිරීමට නොහැකි බවත් ඒ සඳහා කාල වේලාවන් නියම කර ගතයුතු බවත් නුදුරු දිනයකම එම හමුව පැවැත්වීමට නියමිත බවත් මන්ත්‍රීවරයා පැවසීය.

මහින්ද - මෛත්‍රී හමුවක්‌ ශ්‍රීලනිපයේ සාමාජිකයන්, සංවිධායකවරුන් සහ මන්ත්‍රීවරුන් අපේක්‌ෂාවෙන් සිටින බවත් මේ දෙදෙනාගේම ආශිර්වාදය මත ශ්‍රීලනිප ආණ්‌ඩුවක්‌ හැදීම තමන්ගේ අරමුණ බවත් පාර්ලිමේන්තුවේදී ඊයේ (29 වැනිදා) පැවැති මාධ්‍ය හමුවේදී මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

තමා සහ ටී. බී. ඒකනායක මන්ත්‍රීවරයා මෙම හමුව සඳහා මෛත්‍රීපාල සිරිසේaන මහතාගෙන් ලබා ගත් දිනය දා මහින්ද රාජපක්‌ෂ මහතා නුවරඑළියේ සංචාරයක නිරතවීමට අදහස්‌ කරගෙන සිටි බවත් එම සංචාරය මාසයකට පමණ ඉහතදී යොදාගෙන තිබුණු එකක්‌ නිසා එය අවලංගු කිරීමට මහින්ද රාජපක්‌ෂ මහතාට නොහැකි වූ බවත් මන්ත්‍රීවරයා පැවසීය.

ඒ අනුව දෙදෙනාගේ පළමු හමුව එසේ නියම කර ගත් දිනයේදී සිදු නොවූ බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඒ සඳහා දැන් තවත් දිනයක්‌ ඉල්ලා ඇති බවත් එම දිනය මහින්ද රාජපක්‌ෂ මහතාට ලබාදී මෙම හමුව සිදු කරන බවත් මන්ත්‍රීවරයා එහිදී තවදුරටත් ප්‍රකාශ කළේය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.