සම්බුද්ධ කේන්ද්‍රයේ
සුවිශේෂී ග්‍රහ යෝග


වෙසක්‌ උත්සවය වෙනුවෙන් රට පුරා සැරසිලිවලින් අලංකාර වෙයි. වෙසක්‌ කූඩු, වර්ණ විදුලි බුබුළු, කොඩි, පෙරහැර ආදියට සීමා නොවුන වෙසක්‌ උත්සවය ලෝක බෞද්ධ ජනතාව සමරනු ලබන්නේ දන්, සිල්, භාවනා ආදී විවිධ පුණ්‍ය ක්‍රියාවල නියෑළෙමිනි. ලංකාවේ නම් කිසිවෙකුට කුසගිනි නොදැනෙන්නේ රට පුරා දන්සල් පවත්වන බැවිනි.

මේ සාමය, ශීලය, පරිත්‍යාගය උතුරා යන්නේ මෙතෙක්‌ ලෝකයේ බිහි වූ උත්තරීතර මනුෂ්‍යයා සිහිකරනු පිණිසය. ඒ අති විශිෂ්ටත්වයටපත් උතුමන්ගේ බිහිවීමත්, පිරිනිවන් පෑමත් මිනිසෙකුට පත්විය හැකි උසස්‌ම මානසික දියුණුව වන බුදු බව අවබෝධ කළ දිනයත් සිහි කරනු පිණිසය. ඒ ගෞතම බුදුරජාණන් වහන්සේය. උන්වහන්සේ මිනිස්‌ ලොව උපත ලබන්නේ බෝධිසත්ව කුමාරයකු වශයෙනි.

අති පූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රිය හිමිපාණන් වහන්සේ ස්‌වකීය " බුද්ධ චරිතය" ග්‍රන්ථයේ බෝසත් උපත ගැන මෙසේ සඳහන් කරති.

" එකනෙහිම කර්මජ වාතය සැලින. මායා දේවී තමාට ප්‍රසව අවස්‌ථාව පැමිණි බව සිටිය වුනට දැන්වූවාය. ඔහු ඇමතියනට සැල කළහ. සියල්ලෝ එක්‌වැ වහාම යහනක්‌ පනවා, වට තිර ඇද සේවිකාවන් ළඟ නවත්වා තුමූ තිරයෙන් පිටත ඇත්ව රැකවරණ ලා සිටියහ. මඳ වේලාවකින් බෝසතාණෝ මව් කුසින් බිහිවූහ. මේ මොහොතෙහි හිරුවටා වර්ණවත් චක්‍රයක්‌ කැරකෙන්නා සේ දිස්‌විය. දෙතිස්‌ පෙර නිමිති පහල විය. ක්‍ෂණයෙන් මුළු ලෝ දාහිම සියලු දුක්‌ කරදර නිවී ගිය බවත් මහා ශාන්තියක්‌ පැවතින. මෙය වූයේ කලියුග වර්ෂයෙන් 2478 වැන්නෙහි වෙසක්‌ පුනු පොහෝදා උදයාදී එකොළොස්‌ වන පැය පමණේදීය."

ලෝකයේ බිහි වූ බොහෝ විශිෂ්ට මිනිසුන්ගේ උපන් වේලාවන් ජන්ම පත්‍ර, නම්, ගම්, වයස ආදිය සඳහන් ජ්‍යෝතිෂ ක්‍රමයක්‌ ඉන්දියාවේ තිබෙන අතර අප නාහිමියන් මහ බෝසතාණන් වහන්සේගේ උපන් මොහොත හා ජන්ම පත්‍රය ලබාගෙන ඇත්තේද බුද්ධ චරිතය නිවැරදිව ලිවීමට උපකාර කරගෙන ඇත්තේද මේ නාඩි ජ්‍යෝතිෂ ක්‍රමයයි. එය මෙසේ සඳහන් කරති.

කලියුග වර්ෂ 2478 වෙසක්‌ මස පුනු පොහෝ දා ලත් ඉරිදා උදයාදී එකොළොස්‌ පැය විනාඩි හතරට විසා නැකතින් කටක ලග්නයෙන් සිංහ නවාංශකයෙන් බෝසතාණන් උපන්නයි කෞමාර නාඩි වාක්‍යයේ සඳහන් වෙයි. උන්වහන්සේගේ ජීවිත කාලය අවුරුදු 80 මාස 10 දින 15 කැයිද එහිම සඳහන් වේ. එහි දැක්‌වෙන බුද්ධ කේන්ද්‍රය මෙසේය.

සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේගේ ජන්ම පත්‍රය, ජ්‍යෝතිෂය පිළිබඳව හදාරන කෙනෙකුට බොහෝ ප්‍රයෝජනවත් වේ. ජ්‍යෝතිෂය සිදුහත් කුමරුන් ලොව පහලවීමට පෙර සිටම ලෝකයේ පැවතුණි. මෙම ජ්‍යෝතිෂ සිද්ධාන්ත උන්වහන්සේගේ චරිතය හා කෙතරම් ගැළපේද යන්න විමසන විට ජ්‍යෝතිෂයේ සත්‍යතාව මනාව පැහැදිලි වෙයි.

මෙම ශාස්‌ත්‍රයේ මෝක්‍ෂ යෝග කාණ්‌ඩයේ මෙසේ සඳහන් වෙයි. "කටක ලග්නයේ බ්‍රහස්‌පතිද බලවත් ග්‍රහයන් තුන් දෙනෙක්‌ හෝ හතර දෙනෙක්‌ කේන්ද්‍රගතවද සිටීම හේතුකොට ගෙන උපන් මිනිස්‌ තෙම මෝක්‍ෂයට පැමිණේ." යනුවෙනි. මේ යෝගය මහ බෝසතාණන්ගේ කේන්ද්‍රයේ මනාව පිහිටා ඇත. ලග්නය කටක වේ. එහි ගුරු උච්චව සිටී. මේ අතර සඳු දිග් බලවද, කුජ උච්චවද, සිකුරු උච්චවද, බුධ කේන්ද්‍රගතවද රවි එකොළහේ ද පිහිටා ඇත.

සම්බුද්ධ කේන්ද්‍රයේ සමන්විත වන සුබ යෝග ගණනාවක්‌ ගැන ජ්‍යෝතිෂය සඳහන් කරන්නේ උන්වහන්සේ ඉපදීමට බොහෝ පෙර සිටය. ඒවා සඳහන් වන්නේ මහා පුරුෂ ලක්‍ෂණ වශයෙනි.

ඒවා නම් ගුරු හංස යෝගය, රුචත යෝගය, භද්‍ර යෝගය, ආදිය වේ. මෙකල විවිධ ජනමාධ්‍ය මෙම යෝග උදාවන දින හා වේලාවන් ගැන සඳහන් කරන අවස්‌ථා නිතර දක්‌නට ලැබේ. එහෙත් රවි හා සඳු බලවත් නොවන අවස්‌ථාවල මෙම යෝග උදාවීමෙන් බලවත් ලෙස සුබපල උදාකරන්නේ නැති බව කියා තිබේ. එවැනි අය රජ නොවන බවත් සැප පමණක්‌ ලබන බවත් දත යුතුය. සම්බුදු රජාණන්ගේ කේන්ද්‍රයේ පුරපසළොස්‌වක පෝය නිසා රවි චන්ද්‍ර ඉතා බලවත්ව පිහිටා තිබේ.

සඳුගෙන් කේන්ද්‍ර ගත වූ බුධගෙන් " භ¯" නම් යෝගය මෙම කේන්ද්‍රයේ යෙදී ඇත. මෙම යෝගයේ ප්‍රතිඵල මෙසේ කියා තිබේ.

" භ¯ නම් යෝගයෙන් උපන් මහා පුරුෂයෝ උස බාහු යුග්මයෙන් බඹයකි. මොලොක්‌ සිහින් ඝන රෝම වූ කොපුල් තල ඇත. පිරුනු ලගන්ත, ස්‌ථීර ස්‌වභාවය, ඉවසීම, ධර්මානුකූල බව, ඇත් ගමන පෙන්වයි. කෙළෙහිගුණ දනී. බහුශ්‍රැතය. උස අඟල් 84 කි. මොහුගේ ග්‍රහයන් තිදෙනෙක්‌ උච්ච ආදී බලයෙන් යුක්‌ත නම් මුළු පොළොවට ස්‌වාමි වූ රජ වේ. වයස 80 ක්‌ රජකම් කරයි."

ඉහත ආකාරයටම මාලවි, ගුරු හංස, රුචත ආදී පංචමහා පුරුෂ යෝගවලින් උපන් අය ගැන ජ්‍යෝතිෂයේ විස්‌තර කර තිබේ. මෙම පුරුෂ ලක්‍ෂණ බුද්ධ ශරීරය සමඟ මනාව ගැළපේ. දෙතිස්‌ මහා පුරුෂ ලක්‍ෂණ ත්‍රිපිටක ග්‍රන්ථවල විස්‌තර කර තිබේ.

මේ අතර ඕනෑම කෙනෙකුගේ කේන්ද්‍රයේ ලග්නභාවයට (1 කොටුව) වෙනත් ග්‍රහයන්ගේ දෘෂ්ටි නැත්නම් ඔහුට තම තනි උත්සාහයෙන්ම ක්‍රියා කිරීම මැගේ දියුණුව ලබාගත යුතු වේ. එක ග්‍රහයෙකුගේ ශුභ දෘෂ්ටියක්‌ වත් ඇත්නම් ඒ ග්‍රහණයට සමාන අයගේ උදව් උපකාර ලැබේ.

සම්බුද්ධ කේන්ද්‍රය දෙස බලන විට විස්‌මයන් ඇතිවන්නේ ලග්නයට ලැබෙන ග්‍රහ දෘෂ්ටි ගැන සලකන විටය. එහි ගුරු උච්චව සිටින අතර පුර සඳු හතරේ සිටද, උච්ච කුජ හතේ සිටද, උච්ච සිකුරු නමයේ සිටද, බුධ දහයේ සිටද, රවි එකොළහේ සිටද ලග්නය දකී. එනම් ග්‍රහයන් පස්‌ දෙනෙකු ලග්නය දකින බවය. මෙය උසස්‌ම පැවිදි යෝගයකි. බොහෝ බලවත් අයගේ ගෞරවය ලබන බවය.

මෙහි කුජ හතේ තැන්පත් වීමත් හත අධිපති ශනි අටවැන්නට යාමත් විවාහයට බාධා ඇති වන බව තහවුරු කරයි. මෙම නව ග්‍රහයන්ගේ තැන්පත් වීම අනුව චරිත ස්‌වභාවය බොහෝ දුරට විස්‌තර කර හැකි වේ. මින් අනතුරුව අපගේ අවධානය යොමු කළ යුත්තේ උන්වහන්සේ කේන්ද්‍රය අනුව ගත කළ දශා සහ ජීවිත සිදුවීම්වල ගැළපීම කෙරෙහිය.

සෙනසුරු අටවැන්නේ තැන්පත් බැවින් බෝසතාණන් වහන්සේ ඉපදී ඇත්තේ ශනි ඒරාෂ්ටක අපලයන් සමඟය. මේ අනුව ඉපදී දින හතකින් මහාමායා දේවියගේ කලුරිය කිරීම සිදු වී තිබේ. උන්වහන්සේගේ වයස 16 පමණ කාලයේ සෙනසුරු සඳු මතින් ගමන් කළ චන්ද්‍ර ඒරාෂ්ටක කාලය උදාවී තිබේ. හතර වැන්නෙන් මුල් ඥාතීන් ගැන කියනු ලැබේ. විවාහයට ඇති වූ බාධා හේතුවෙන් නෑයින්ගේ මානය දුරු කිරීම පිණිස ශිල්ප දැක්‌වීමට සිදුවිය.

සෙනසුරු සිටි තැනට නැවත පැමිණෙන්නේ අවුරුදු 29 කිනි. මේ අනුව උන්වහන්සේට වයස 29 වන විට නැවත ශනි ඒරාෂ්ටක අපලය ලබා තිබේ. අභිනිෂ්ක්‍රමණය කරන්නේ ඒ කාලයේය. සිරුරට අපමණ දුක්‌ කරදර දෙමින් දුෂ්කර ක්‍රියා කළ කාල සීමාව සෙනසුරු ඒරාෂ්ටක අපල කාලය වේ. වයස 35 වන විට මේ ශනි දශාවන් ඒරාෂ්ටකයන් අවසන්ව බුධගේ දශාව ලැබූ අවධියයි. මේ වසර 17 ගතවන විට නැවත සෙනසුරු සඳු මතින් ගමන් කරන අතර කේතුගේ මහ දශාව උදාවෙයි. උන්වහන්සේට හරිහැටි උපස්‌ථායකයකු නොවූයේද මේ කාලයේය.

බුදුරජාණන් වහන්සේට තුන්වන ඒරාෂ්ට අපලය උදාවන්නේ පිරිනිවන් පෑමට ආසන්න වන විටදීය. මෙම කරුණු අනුව සම්බුද්ධ කේන්ද්‍රය අනුව බුද්ධ චරිතය හා ජීවිතයේ සිදුවීම් මාලාව පැහැදිලි කර දිය හැකි වේ. එහි සඳහන් පංචමහා පුරුෂ යෝග ආදී යෝගවලින් ද දශාඵල හා ගෝචර ඵල අනුවද ජ්‍යෝතිෂ් ශාස්‌ත්‍රයේ සත්‍යතාව මනාව පැහිදිලි වේ.

මේ උත්තරීතර මනුෂ්‍යයා ලොවට දේශනා කළේ කුමක්‌ද? සියල්ල, නිරතුරුවම වෙනස්‌ වෙමින් පවතින (අනිත්‍ය) බවය. වෙනස්‌ වේ නම් එහි සැපයක්‌ නැති බව (දුක්‌ඛ) බවය. වෙනස්‌ වෙමින් පවතින දෙයක ස්‌ථීර වූ (අනාත්ම) ආත්මයන් නැති බවය. අනිත්‍යතාව අනුවම සැප කෙළවර වන්නේ දුකෙනි. දුක පෙරළී නැවත සැප ලැබේ. එහෙත් සැප ස්‌ථීර නොවේ. මේ දුක සැප පෙරළීම යනු අටලෝ දහම වේ.

අටලෝ දහම යනු ලාභ, අලාභ, අයස, යස, නින්දා ප්‍රශංසා, දුක, සැප යන අංග 8 යි. මේ අංග 8 අනුව පෙරළෙන ජීවිතය ජන්ම පත්‍රයෙන් පෙන්වයි. එහි භාව අටකින් මේ බව පෙන්වන ආකාරය පහත සටහනින් දැක්‌වේ.

අටලෝ දහම

ග්‍රහ අපල වශයෙන් හැඳින්වූවත් ග්‍රහයන් අපල කරන්නේ නැත. ග්‍රහයන් පෙන්වන්නේ කර්ම විපාක ලැබෙන ආකාරයයි. ග්‍රහයන් කුසල හෝ අකුසල කර්ම විපාක ලැබෙන ආකාරය සංඥා කරයි. පහත සටහනේ මෙය පෙන්වයි. ජීවිතය ගෙවෙන්නේ පටිච්ච සමුප්පාද ධර්මයට අනුවය. එය අවිද්‍යාවෙන් ඇරඹී මරණය කරා යයි. මෙයද කේන්ද්‍ර සටහනට එකඟය. පහත සටහන බලන්න.

මේ උත්තරීතරව මනුෂ්‍යයා වන බුදුරජාණන් වහන්සේ ගැන කෙටි ජ්‍යෝතිෂ විවරණයකි. එය පොතක්‌ ලිවීමට තරම් සෑහේ. මෙතනින් සමුගනිමු. ඔබට ශුභ වෙසක්‌ මංගල්‍යයක්‌ වේවා.

ජන්ම පත්‍රයෙන් හෙළිවන කම්ම නියාමය
භාවය නිවේදනය වන කර්මය

ලග්න භාවය ජනක කර්මය

දෙවැන්න අචින්න කර්ම බලය

තුන්වැන්න ආසන්න කර්ම බලය

හතරවැන්න ගරුක කර්ම බලය

පස්‌වැන්න කමත්තා කර්ම බලය

හය වැන්න උප පීඩන කර්ම බලය

හත් වැන්න උපස්‌ථම්භක කර්ම බලය

අටවැන්න උපඝාතන කර්ම බලය

නව වැන්න දිට්‌ඨ ධම්ම වේදනීය කර්ම බලය

දහ වැන්න අපරාපරිය වේදනීය කර්ම බලය

එකොළොස්‌වැන්න උපපඡ්ජ වේදනීය කර්ම බලය

දොළොස්‌වැන්න අහෝසි කර්ම බලය


ජන්ම පත්‍රයෙන් හෙළිවන පටිච්ච සමුප්පාද ධර්මය
භාවය අදාළ පටිච්ච සමුප්පාද ධර්ම කොටස


පළමු භාවය අවිද්‍යාව

දෙවන භාවය සංස්‌කාර

තෙවන භාවය විඤ්ඤාණ

හතරවන භාවය නාම - රූප

පස්‌වන භාවය සලායතන

හයවන භාවය ස්‌පර්ශ

හත්වන භාවය වේදනා

අටවන භාවය තණ්‌හා

නමවන භාවය උපාදාන

දහවන භාවය භව

එකොළොස්‌වන භාවය ජාති

දොළොස්‌වන භාවය ජරා - මරණ

කෑගල්ලේ
සුනිල් කුමාර ගම්ලත්

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.