චන්ද්‍රිකාගේ බලපෑම් හීන වෙයි
මහින්ද මෛත්‍රී හමුවකට යළි ඉඩක්‌ පෑදෙයි

ජනපති මෛත්‍රී නයි මුගටි හටන නිම කරයි



පසුගිය 26 වැනි ඉරිදා ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෝ සියලු දෙනා මහනුවර බලා පිටත්ව ගොස්‌ තිබුණේ මහනුවර දිස්‌ත්‍රික්‌ මහජන නියෝජිත සමුළුවට සහභාගි වීම පිණිසය. පළාත් සභා හා ප්‍රාදේශීය සභා නියෝජිතයෝ හමුවන්නට දිස්‌ත්‍රික්‌කයෙන් දිස්‌ත්‍රික්‌කයට යැම ශ්‍රීලනිප නායකයෝ පසුගිය මාස 2 ක පමණ සිට ආරම්භ කර තිබිණි. මහනුවර හා මාතලේ දිස්‌ත්‍රික්‌ සමුළු යෙදී තිබුණේ 26 වැනිදාය. මහනුවර රැස්‌වීම ඉවර වී මාතලේ රැස්‌වීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්‌ඩාරනායක, විපක්‍ෂ නායක නිමල් සිරිපාල, ශ්‍රිලනිප ලේකම් අනුර ප්‍රියදර්ශන ඇතුළු නායකයෝ මහනුවර සිට මාතලේට ගියේ හෙළිකොප්ටරයෙන්ය. මාතලේ සමුළුව පැවැත්වීම සංවිධානය කර තිබුණේ දඹුල්ලේ සන්නස හෝටලයේ දීය. දඹුල්ල ජාතික පාසලට හෙළිකොප්ටරය ගොඩබානු ලැබීය.

සන්නස හෝටලයේ දී පිළිගැනීමේ කතාව කරමින් රැස්‌වීම පටන් ගත්තේ ජනක බණ්‌ඩාර තෙන්නකෝන්ය. ජනක ශ්‍රිලනිප සටන් ඉතිහාසය මතක්‌ කරමින් ලොකු කතාවක්‌ කළේය. ඔහු දඹුල්ලේ දේශපාලනය ගැනද කතා කළේය. දඹුල්ලේ දේශපාලනය කිරීම අතීතයේ ප්‍රශ්නකාරී එකක්‌ විය. පක්‍ෂය හැර නොගොස්‌ ඒ පිළිබඳ කැපවී දේශපාලනය කළ හැටි ඔහු කීවේය.

ජනාධිපතිවරයාගේ කතාවේදී ද ඔහු මතක්‌ කළේ අතීතයේ ශ්‍රිලනිපය රැක ගැනීමට තමන් කරන ලද කාර්යභාරයයි. පක්‍ෂ මූලස්‌ථානයේ වැඩ කර ඉවර වී කමීසය ගළවා මේසයට එළාගෙන පෝස්‌ටර් මිටිය හිසට තබාගෙන රැය පහන් කළ හැටි හේ මතක්‌ කළේය. එබඳු කැපවීම් රාශියක්‌ දශක හතරක්‌ තිස්‌සේ කර ඇති බව ඔහු පෙන්වා දුන්නේය.

"මම මේ පළාත් පාලන නියෝජිතයන්ගේ ඡන්දය මාස එකහමාරකින් කල්දැම්මා. දැන් ඕගොල්ලන්ට පුළුවන් නිවී හැනහිල්ලේ ඡන්ද කටයුතුවලට ලෑස්‌ති වෙන්න. මම බලනවා මේ පාර මැයි දිනයට කොහොමද ඔයගොල්ලන්ගෙ දායකත්වය කියලා. ඊට පස්‌සෙ තමයි හැමෝම ගැන තක්‌සේරුවක්‌ තියා ගන්නෙ. කට්‌ටිය කැපවෙලා වැඩ කරන්න ඕන. අනාගතයේදී ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ ආණ්‌ඩුවක්‌ හදලා දෙන්න මම පොරොන්දු වෙනවා. ඒ වගේම සමහරු අද කියනවා අපි ඉන්නේ විපක්‍ෂයේ වගේ කියලා. ඒක වැරැදියි. අපි ඉන්නේ ආණ්‌ඩු පක්‍ෂයේ. මම ශ්‍රීලනිපයේ සභාපති නොවුණ නම් ඔයාලට බලාගන්න තිබුණා හැබෑ විපක්‍ෂය කියන්නේ මොකක්‌ද කියලා. ඒක එහෙම වුණේ නැහැ."

මේ අයුරින් දඹුල්ල පළාත් පාලන නියෝජිත හමුවද සාමකාමීව ඉතා හොඳින් අවසන් විය. ඉන්පසුව පක්‍ෂ නායකත්වයට හා ඉහළ පෙළේ ප්‍රභූන්ට දිවා ආහාරය සඳහා ජනක බණ්‌ඩාර තෙන්නකෝන්ගේ නිවසට එන ලෙස ආරාධනා ලැබිණි. මෛත්‍රී, චන්ද්‍රිකා, නිමල් ඇතුළු පිරිස ජනකගේ ගෙදරට යන්නට සූදානම් වෙද්දී ලක්‍ෂ්මන් වසන්ත පෙරේරා ජනපති මෛත්‍රී ළඟට ආවේය.

"සර් මම එහෙනම් මෙතැනින් සමුගන්නවා" යි කීවේය.

"මොන පිස්‌සුද ඔයා කොහේ යන්නද... කෑම ටිකක්‌ කාල යන්න"මෛත්‍රීපාල තරමක්‌ තදින් කීවේය. ජනක හා ලක්‍ෂ්මන් අතර තිබෙන නයි මුගටි විරසකය ජනපති මෛත්‍රී දැන සිටියත් ඒ ගැන නොපෙන්වාම ලක්‍ෂ්මන්ට ආරාධනා කරමින් මෛත්‍රී ඉස්‌සර විය. ලක්‍ෂ්මන් වසන්තට මඟහරින්නට බැරිවිය. මෛත්‍රී ලක්‍ෂ්මන්ව තම වාහනයටම නංවා ගත්තේය. වාහන පේළිය දඹුල්ලේ - මාතලේ පාරේ වූ ජනකගේ සුවිසල් වත්තට ඇතුළු කර නිවස ඉදිරියේ නතර කළේය.

මෙහිදී හිටපු ජනාධිපතිනිය, මෛත්‍රී ඇතුළු පිරිස පිළිගනු ලැබුවේ ජනක බණ්‌ඩාර තෙන්නකෝන්, එම මැතිනිය සහ ප්‍රමිත බණ්‌ඩාර තෙන්නකෝන් විසිනි. ඒත් එක්‌කම ජනාධිපති පිටුපස හැරී කෙනකුව ඉස්‌සරහට ගනිමින් "ඔන්න මම ඔයාලගෙ ගෙදරට පරණ මිත්‍රයකුත් එක්‌ක ආවා" යෑයි කීවේය. ජනකලා පැමිණ සිටියේ කවුදැයි දුටුවේ ඒ මොහොතේ. ලක්‍ෂ්මන් වසන්ත නිසි ලෙස ආචාර කර ජනකට කතා කළේය. ජනක ඉතා දයාවෙන් ඔහුව පිළිගත්තේය. කලකට පසු පැමිණි පැරැණි මිත්‍රයෙකු ලෙසය.

"ඔන්න අපේ මෛත්‍රී ජනාධිපතිතුමාගෙ හැටි. පරණ එක්‌කෙනා නම් මේ දෙන්නට රණ්‌ඩු වෙන්න ඇරලා ඇවිලෙන ගින්නට පිදුරු දමලා බලාගෙන ඉන්නවා. අලුත් එක්‌කෙනා ප්‍රශ්න නිරාකරණය කරනවා. කොච්චර දෙයක්‌ද මේක. මේක වෙන්න තිබුණේ මීට අවුරුදු ගාණකට කලින්. පිටුපස සිටි ශ්‍රීලනිප දේශපාලනඥයෙක්‌ තවත් දේශපාලනඥයකුට කියනු කීප දෙනකුටම ඇසිණි.

ජනාධිපති මෛත්‍රී, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා, නිමල්, අනුර යාපා, ජනක, වසන්ත ඇතුළු පිරිස කෑම ගනු ලැබුවේ එකම මේසයක සිටය. කනවාට වඩා ජනාධිපති මෛත්‍රී කළේ අතීතය මෙනෙහි කරමින් විස්‌තර කතා කිරීමයි. ඔවුන්ගේ මාතෘකාව වූයේ ශ්‍රීලනිපයේ වර්තමාන කඹ ඇදිලි හා අසමගිය ගැනයි.

රොස්‌මිඩ් අතීතය
මෛත්‍රී පහදයි

අද මොනවද ශ්‍රීලනිපයේ තිබෙන ප්‍රශ්න. මේව මේ නිකන් බත ඉදෙන තුරු කෙරෙන අඹුසැමියන්ගෙ රණ්‌ඩු වගේ. ඉස්‌සරනෙ රණ්‌ඩු තිබුණෙ. මට මතකයි ඒ දවස්‌වල සිරිමාවෝ මැතිනියි අනිත් ගෙවල් දෙකයි ඒ දවස්‌වල හැසිරුණු හැටි. අපි මැතිනිලගෙ ගෙදරට යන්න බයයි. ගියොත් වෙන ගෙදරකින් අපිට ගහනවා. වෙන ගෙවල්වලට යන්නත් බයයි. ගිහින් අහුවුණොත් මැතිනිලගෙ ගෙදරින් ප්‍රශ්න. මම වැඩ කළේ මැතිනිත් එක්‌කනෙ... මම යන්නෙ ඒ ගෙදරට. ඒත් බොහොම පරිස්‌සමින්. ගිහිල්ල අහුවුණොත් අල්ලපු ගෙවල්වලින් ගුටිකන්න වෙනවා. මම කලින් කාව හරි යවල බලනවා අර ගේට්‌ටුව ඉස්‌සරහා කවුරු හරි ඉන්නවද කියලා. නැති වෙච්ච ගමන් තමයි මැතිනිලගෙ ගේට්‌ටුවෙන් ටක්‌ ගාල රිංග ගන්නෙ."

"අනේ මේ... ඕව කියලා නිකන් වැරැදි චිත්‍ර හදන්න එපා. මම නම් කාටවත් ගහල නෑ."

"ඔබතුමී ගැහුවෙ නෑ තමයි. හැබැයි කාගෙහරි ගෝලයො තමයි අපිට ගැහුවෙ. ඔන්න දවසක්‌ මම මැතිනිලගෙ ගෙදර ගිහින් එළියට බහිනකොටම අල්ලපු ගෙදර ඉඳන් සද්දන්ත මිනිහෙක්‌ ඇවිල්ල මගේ ෂර්ට්‌ එකේ කොළර් එකෙන් අල්ල ගත්තා. අල්ලල හොල්ලල මට කිව්වා උඹ එහෙම ආයෙත් මේ පැත්තෙ ඇවිල්ල අහුවෙන්න එපා කියල. උඹලගෙ පක්‌ෂෙ බෝඩ් ලෑල්ලවත් ඉතුරු කරන්නෙ නැහැයි කියලයි මට බැන්නෙ. ඔය අස්‌සෙ ගේට්‌ටුව ඇරගෙන තව දෙන්නෙක්‌ එළියට ආව. මගේ ෂර්ට්‌ එකෙන් අල්ලන් හිටියෙ දේව බණ්‌ඩාර සේනාරත්න. මම දැනගත්තා අනිත් උන් දෙන්නත් ආවම මට බඩ කට පුරා කන්න වෙයි කියලා. මම එකපාරටම අත ගසල දාල හොරේ රන් කියලා දිව්වා. මගේ වාසනාවට ඒ වෙලාවෙ පාරෙ බස්‌ එකක්‌ ආව. කොල්ල කාලෙ හින්ද මට පුළුවන් වුණා දුවන බස්‌ එකට නැග ගන්න. එදා අහුවුණා නම් උන් මට තාමත් ගහනවා..."

මෛත්‍රීගේ මේ කතාවලට එතන සිටි කවුරුත් බඩ අල්ලන් හිනා වෙන්නට පටන් ගත්හ.

දිවා ආහාරයෙන් පසු ජනාධිපතිවරයා පුත්තලම ප්‍රදේශයට ගියේ වෙනත් විශේෂ කටයුත්තකටය. චන්ද්‍රිකා මැතිනියගේ එක්‌ සෙරෙප්පුවක පටි ගැලවීම නිසා ඇය ඇවිද්දේ සෙරෙප්පු නොමැතිවය. සෙරෙප්පු දෙකක්‌ ගෙනෙන්නට සමහරු උත්සාහ කරද්දී ඇය කීවේ "කමක්‌ නැහැ. මම දැන් යන්නෙ ගෙදරනෙ. වාහනේ යන්න සෙරෙප්පු ඕන නැහැනෙ" කියාය. ඇය කොළඹ ආවාය.

රාජිතගේ කුමන්ත්‍රණය
ගාමිණී හෙළි කරයි

සඳුදා එනම් 27 වැනිදා උදේ ප්‍රසන්න රණතුංගගේ ප්‍රධානත්වයෙන් බස්‌නාහිර පළාත් සභාවේ ආණ්‌ඩු පක්‍ෂයේ මන්ත්‍රීවරුන්ගේ රැස්‌වීමක්‌ ශ්‍රාවස්‌තියේ දී පැවැත්වුණි. මේ සඳහා සියලුම ආණ්‌ඩු පක්‍ෂ මන්ත්‍රීවරු පැමිණ සිටි අතර මෙබඳු රැස්‌වීම්වලට නොපැමිණෙන නිශාන්ත වර්ණසිංහද පැමිණීම කාගේත් විමතියට හේතු විය. කෙසේ වෙතත් වෙනසක්‌ නොමැතිව ප්‍රසන්න රැස්‌වීම ආරම්භ කළේය.

මුලින්ම කතාබහ කළේ පළාත් සභාවේ මෙවර රැස්‌වීම්වලදී අනුගමනය කරන සාමාන්‍ය ක්‍රියා පිළිවෙත ගැනය. ඉන් අනතුරුව විශේෂ ප්‍රශ්න ගැන කතා කළේය.

"ඔයගොල්ලො පහුගිය දවස්‌වල කීප දෙනෙක්‌ ඉදිරිපත් කළා මගේ මහ ඇමැතිකම රැකදෙන්න එක තැනක ලොකු සටනක්‌ කරල තියෙනව. මම ඒ ගැන එයාලට වෙනම ස්‌තූතිවන්ත වෙනවා. ඒ වගේම මාව පිළිගන්න අනිත් මන්ත්‍රීතුමාලටත් මා සමග සිටීම ගැන ස්‌තූතිවන්ත වෙනවා. මහ ඇමැතිකමින් මාව අයින් කරන්න කුමන්ත්‍රණය කළේ රාජිත ඇමැතිතුමා. එතැන්ට ගිය 10 දෙනාගෙන් 8 දෙනෙක්‌ම මගෙන් අහලයි ගියේ."

"මහ ඇමැතිතුමනි, අපි ගියේ කුමන්ත්‍රණයකට නෙවෙයි. අපි කතා කළේ එක්‌සත් ජාතික පක්‍ෂයත් එක්‌ක එකතුවෙලා ඔබතුමාව පරාජය කරන සටනකට අපි එකඟ වෙන්නෙ නැති බව කියන්නයි. අපි ඒක කිව්වා" ගාමිණී තිලකසිරි කිව්වේය. ඔහුගේ ප්‍රකාශයට අනුව මංජුල බුද්ධදාස කතා කරමින් එජාපය සමග කරන කුමන්ත්‍රණවලට තමන්ගේ කිසිවෙක්‌ හවුල් නොවන බව කිව් බව ස්‌ථිර කළේය.

"ඇත්තද මහ ඇමැතිතුමා මේගොල්ල මේ කියන්නෙ... එහෙම එකක්‌ මෙයාල කිව්වද" පියල් නිශාන්ත ඇසීය.

"ඇයි ඔයා එහෙම අහන්නෙ..." ගාමිණී ඇසීය.

"ඇයි ඉතින් ඒක මහ ඇමැතිතුමා අහන් හිටියනෙ..." කියමින් පියල් ඇතුළු සියල්ලෝම සිනා වෙන්නට පටන් ගත්තේය.

"එහෙම කුමන්ත්‍රණ කරන්න අපි කිසිවෙක්‌ ඉඩ දෙන්නෙ නැහැ..." මහේෂ් අල්මේදා ඇතුළු පිරිසක්‌ කියන්නට වූහ.

"මේ ඔක්‌කොම ප්‍රශ්න මහ ඇමැතිතුමා දැන් දරන ස්‌ථාවරය නිසානෙ.." කියමින් සංවාදයට එක්‌වූයේ නිශාන්ත ශ්‍රී වර්ණසිංහය. නිශාන්තට ඊට වඩා දෙයක්‌ කියන්නට ලැබුණේ නැත. මහේෂ් අල්මේදා, පියල් නිශාන්ත, සමන්මලී සකලසූරිය ඇතුළු කණ්‌ඩායමක්‌ එකතු වී නිශාන්තට බණින්නට පටන් ගත්තේය. ජනවාරි 08 වැනිදා සිට නිශාන්තලා කණ්‌ඩායම පාවා දී ගමන වෙනස්‌ කළ බව කියමින් මන්ත්‍රීවරු චෝදනා නඟද්දී නිශාන්ත නිහඬ විය. මේ අයුරින් එදා එම රැස්‌වීමද අවසන් විය. සියලු දෙනාගේම ඊළඟ අභිප්‍රාය වූයේ 19 වැනි ව්‍යවස්‌ථා සංශෝධනයට කුමක්‌ වේද කියා දැන ගැනීමටය. මහ ඇමැති ප්‍රසන්න පෙන්වා දුන්නේ ජනාධිපති බලතල අඩු කිරීම ශ්‍රිලනිපයේ සංශෝධන අනුව සිදු වුවහොත් ප්‍රශ්නයක්‌ නොවනු ඇති බවය. එසේ නොමැති වුවහොත් 19 වැනි සංශෝධන යෝජනාව නිසැකවම පරාජය වන බව ඔහු කීවේය.

පක්‍ෂ නායක රැස්‌වීමේ
රනිල් - විමල් හබයක්‌

පසුගිය සතියේ 27 වැනි සඳුදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු කමිටු කාමරයේ පක්‍ෂ නායක රැස්‌වීමක්‌ පැවැත්විණි. අගමැති රනිල් කථානායක චමල් ඇතුළු සියලුම පක්‍ෂ නියෝජනය කරමින් නායකයෝ හා නියෝජිතයෝ පැමිණ සිටියහ. මෙහිදී කතා කරගනු ලැබුවේ 19 වැනි ව්‍යවස්‌ථා සංශෝධනය කෙසේ සම්මත කරගන්නේද කියාය. ශ්‍රිලනිපය 19 වැනි සංශෝධන යෝජනාවට සංශෝධන රැසක්‌ ඉදිරිපත් කර තිබුණි. ඒ සංශෝධනවලට එජාප නායක රනිල් වික්‍රමසිංහ තදබල ලෙසින් විරුද්ධ වී කතා කරනු ලැබූහ. ඔහු කීවේ කිසිදු සංශෝධනයක්‌ මෙයට අවශ්‍ය නැති බවය.

"සංශෝධන නැතුව නම් මේක සම්මත කරන්නෙ නැහැ. එහෙම නම් මේ වැඩේ අත්හැරල දාල නිකම් ඉමු..." රතන හිමියෝ කීහ.

"හරි අපි අත්ඇරල දාල නිකම් ඉමු. එතකොට මේ වැඩේ කඩාකප්පල් කරන්නෙ ඔයගොල්ලො..." රනිල් කීවේය.

ප්‍රශ්නය පැමිණියේ ව්‍යවස්‌ථාදායක සභාවට නියෝජිතයන් පත්කිරීම ගැනය. නියෝජිතයින් පිටස්‌තර සමාජයෙන් පත් කරන්නට ගෙනැවිත් තිබෙන යෝජනාව බරපතළ ලෙස විවේචනය විය.

"අපි පොරොන්දුවක්‌ වුණා ව්‍යවස්‌ථාදායක සභාවට සිවිල් සමාජයෙන් නියෝජිතයෝ පත්කරනවා කියලා..." ලක්‍ෂ්මන් කිරිඇල්ල නොමනාපයෙන් කියා සිටියේය.

"ඔයගොල්ලො ඔය එන්ජීඕ කාරයන්ට පගාව දෙන්න වෙන විදියක්‌ හොයා ගන්න. හැබැයි මේක ව්‍යවස්‌ථාව. ව්‍යවස්‌ථාව අයිති රටට. ජනතාවට. යූඇන්පියට නෙවෙයි. ඒ ව්‍යවස්‌ථාවත් එක්‌ක සෙල්ලම් කරන්න හදන්න එන්න එපා..." වාසුදේව ඉතා තදින් කියා සිටියේය. මේ ප්‍රශ්නය නිසා රනිල්, වාසු, විමල්, දිනේශ් ඇතුළු නායකයෝ තදබල ලෙස විවාද කරන්නට පටන් ගත්හ. අගමැතිවරයා ඉතා තද පිළිවෙතක්‌ අනුගමනය කරමින් කතා කළේය. එකම ගාලගෝට්‌ටියක්‌ විය. විමල් හා වාසු රනිල් සමග කතා කර වැඩක්‌ නැති බව කියමින් සාකච්ඡාවෙන් නැගිට ගියහ. අන්තිමේ සභාව සංසුන් කිරීමට ජනාධිපතිවරයාට සිදු වූයේ වැරෙන් මේසයට පහරක්‌ ගැසීමෙන් පසුවයි. ඒ සාකච්ඡාවද එතැනින් නිමා විය.

ජනපති මෛත්‍රීගෙන්
ශ්‍රීලනිප ආණ්‌ඩුවක්‌

පසුගිය අඟහරුවාදා පාර්ලිමේන්තුවේ කමිටු ශාලා අංක 01 හිදී විපක්‍ෂයේ මන්ත්‍රී කණ්‌ඩායම් රැස්‌වීමක්‌ පැවැත්විණි. විපක්‍ෂය කීවාට එහි සිටියේ එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ මන්ත්‍රීවරුය. එහි නායකයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මුලසුන ගෙන සිටියේය.

මෙහිදී රැස්‌වීමේ අරමුණ වූයේ 19 වැනි සංශෝධනයට විපක්‍ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහාය ලබා ගැනීමයි. මේ වන විට රටේ පැතිරගොස්‌ තිබූ මතය වූයේ විපක්‍ෂයේ මන්ත්‍රීවරු විශාල ප්‍රමාණයක්‌ ව්‍යවස්‌ථා සංශෝධනයට එරෙහිව ඡන්දය දීමට සූදානම්ව සිටින බවයි.

කෙසේ වෙතත් මෙම 19 වැනි සංශෝධනය කරළියට පැමිණියේම එක්‌සත් ජාතික පක්‍ෂයේ බහුතර යෝජනා රැගත් සංශෝධනයක්‌ ලෙසය. විපක්‍ෂය ලෙස කැපී පෙනුණ මහින්ද පාර්ශ්වයේ මන්ත්‍රීවරු බරපතළ ලෙස මෙයට විවේචන එල්ල කර තිබීම මේ වන විට රහසක්‌ නොවේය. පක්‍ෂ නායක

රැස්‌වීමේද පැමිණි නිගමනය වූයේ 19 වැනි යෝජනාවට සංශෝධන ඉදිරිපත් කළ යුතු බවයි.

කෙසේ වෙතත් එක්‌සත් ජාතික පක්‍ෂයේ මතය වූයේ මෙයට විපක්‍ෂය විරුද්ධ වන්නේ නම් එය බලා ගැනීම ජනාධිපතිවරයාගේ වැඩක්‌ බවය. මේ යෝජනාව පරාජය වුවහොත් එය පරදින්නේ ජනාධිපතිවරයාගේ පාලනය යටතේ තිබෙන ශ්‍රීලනිපයේ ක්‍රියා කලාපය නිසා බව පෙන්වීමට එජාපයට ලොකු වුවමනාවක්‌ තිබිණි. ඒක මෛත්‍රීපාලගේ වැඩක්‌... යෑයි කියමින් එජාපයේ සමහර ප්‍රකාශකයෝ ප්‍රශ්නය මඟහරින්නට පටන්ගෙන තිබිණි.

මේ නිසා මෛත්‍රීපාල ප්‍රශ්නය අතට ගත්තේය. ඔහුට අවශ්‍ය වූයේ ශ්‍රීලනිපයට අවශ්‍ය සංශෝධන සහිතව හෝ යෝජනාව සම්මත කරගැනීමටය. එදා සන්ධානයේ මන්ත්‍රී කණ්‌ඩායම රැස්‌කරනු ලැබූවේ ඒ පිළිබඳව තමාගේ යෝජනාව ඉදිරිපත් කරන්නටය. පළමුව ඔහු මන්ත්‍රීවරුන්ගේ අදහස්‌ කියන්නට අවස්‌ථාව ලබා දුන්නේය.

මේ වෙලාවේ මුලින්ම ඉදිරිපත් වූයේ මහාචාර්ය ජී. එල්. පීරිස්‌ය. "ජනාධිපතිතුමනි, අගමැති රනිල් වික්‍රමසිංහගේ වැඩවල කිසි නම්‍යතාවයක්‌ නැහැ. එයා බොහොම ආඥදායකයෙක්‌ විදිහට තමයි මේ සංවාදයේදී වැඩ කළේ. අපට කිසි ඉඩක්‌ දුන්නෙ නැහැ. මේක මහ භයානක යෝජනා සහිත ලියවිල්ලක්‌. අපි ගැඹුරින් විග්‍රහ කරල බැලුවා. ජනාධිපතිවරයාගේ පරමාධිපත්‍ය බලතල ජනාධිපති කැමැතියි පවරා දෙන්න. අපි ඒක පිළිගන්නවා. හැබැයි අගමැති ලෑස්‌තියි ඒ බලතල ටික ඔක්‌කොම අගමැති ධුරය යටතට පවර ගන්න. අපි ඒකට විරුද්ධයි. අපි කියන්නෙ ඒ බලය, ඒ පරමාධිපත්‍යය පවරල දෙන්න පාර්ලිමේන්තුවට කියලයි. පාර්ලිමේන්තුව තමයි උතුම්" ජී. එල්. දීර්ඝ ලෙස විග්‍රහ කරමින් කියා සිටියේ බලතල පාර්ලිමේන්තුවට ගත යුතු බවයි.

ඊළඟට දිනේශ් කතා කළේය.

"ජනාධිපතිතුමනි, අලුත් යෝජනාවල තියෙනවා ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරු පත් කරත්දී නීතිඥ සංගමයේ සභාපතිගෙන් නිර්දේශ ගන්න කියල. ඒ මොකටද එහෙම කරන්නෙ... නීතිඥ සංගමයෙ සභාපති නිතරම පත්වෙන්නෙ මොකක්‌ හරි පක්‍ෂයකින්. එයා ස්‌වාධීන පුද්ගලයෙක්‌ නෙමෙයි. මේක වැරැදියි. මේ වගේ දේවල් ඉවත් කරන්න ඕන. ජනාධිපති මේ නිලතලවලට සාමාජිකයො තෝරන එක වැරැදියි කියලනෙ කිව්වෙ. ඇයි එහෙනම් මේ විදිහට හෑල්ලු කරන්නෙ."

ගරු ජනාධිපතිතුමනි, අපිට ඔබතුමා සමග ප්‍රශ්නයක්‌ නැහැ. අපි කියන්නේ මේ යෝජනා සංශෝධනය විය යුතුයි. හුඟක්‌ වැරැදි තිබෙනවා. රටේ ආරක්‍ෂාවට, ජාතියේ ආරක්‍ෂාවට, පාර්ලිමේන්තුවේ නීතියේ ආරක්‍ෂාවට ජනාධිපතිවරයා සතු බලතල අයින් කළ යුතු නැහැ. අපි සටන් කරන්නෙ ඒ වෙනුවෙන්. මෙතැනදී රනිල් වික්‍රමසිංහත් එක්‌ක වැඩ කරන්න හරිම අපහසුයි. එයාගෙ න්‍යාය පත්‍රය අවුල් වෙනවට එයා කැමැති නැහැ. දැක්‌කනෙ පක්‍ෂ නායක රැස්‌වීමේදී එයා නටපු නැටුම. අන්තිමේ ඔබතුමා මේසෙටත් ගහලයි සභාව සංසුන් කළේ.

ඉන්පසුව ඩිලාන් කතා කළේ ඩිලාන්ගේ යෝජනාව ව්‍යවස්‌ථාදායක සභාවේ සාමාජිකයන්ගේ ව්‍යqහය තුලනාත්මකව තීරණය විය යුතු බවය. එම මතය අනුගමනය කරමින් එස්‌.බී. ද කතා කළේය.

"ගරු ජනාධිපතිතුමනි, දැක්‌ක නේද රනිල් වික්‍රමසිංහ වැඩ කරන විදිහ. ඔබතුමාටත් හොරෙන් ගැසට්‌ එකක්‌ නිකුත් කරල ඒ අනුව පොලිස්‌ අපරාධ කොට්‌ඨාසයක්‌ හදලා නිලධාරීන්වයි, දේශපාලනඥයන්වයි පොලීසි ගෙන යනවා. මෙහෙම කළොත් මේ රට පොලිස්‌ රාජ්‍යයක්‌ වේවි. පොලිස්‌ කොට්‌ඨාසයට නිර්දේශ ඉදිරිපත් කරන්නෙ අගමැති කාර්යාලයෙන්. මේව හරිද.. මෙහෙම ගියොත් මේ යෝජනාවට අපි අනුමැතිය දෙන්නෙ නෑ.."

ජනාධිපතිවරයා මෙහිදී තරමක්‌ තදින් කතා කළේය.

මොකක්‌ද ඔය කියන ගැසට්‌ එක. මම එහෙම එකක්‌ දැකල නැහැ. ගේන්න බලන්න ඒක" යෑයි කියමින් එම ගැසට්‌ පත්‍රය විමසා බැලීය.

"හරි ඔයගොල්ලො සංශෝධන ගේන්න. මේ ගැසට්‌ පත්‍රය මම හොයල බලල තහනම් කරන්නම්... මම මේක දන්නෙ නැහැ..." ජනාධිපතිවරයා කීවේය.

ඉන් අනතුරුව කතා කළේ ඩලස්‌ අලහප්පෙරුමය.

"ජනාධිපතිතුමනි, එදා ශේ්‍රෂ්ඨාධිකරණයෙන් 19 වැනි සංශෝධනයෙන් සංශෝධන ඉදිරිපත් කළාට පස්‌සෙ රනිල් වික්‍රමසිංහට ඒ ගැන තිබුණ උනන්දුව නැතිවුණා. එයාගෙ න්‍යාය පත්‍රය ඉන් නැතිවුණානෙ. දැන් එයාට ඒක සම්මත වුණත් එකයි නැතත් එකයි. ඒක නිසා එයා බලන්නෙ අපේ සංශෝධන පිටින් තියල මේ යෝජනාව කොහොම හරි පරාජය කරන්න විතරයි. ඒකයි එයා ඒ විදිහට හැසිරෙන්නෙ. අපි මේකට සංශෝධන ගේනවා. මේ සංශෝධන සියල්ලම ගේන්නෙ රටට යහපතක්‌ කරන්න. අපිට අපේ සංශෝධන ටික භාර නොගත්තොත් කාරක සභා අවස්‌ථාවේදී මේ 19 වැනි යෝජනාව පරාජය කරනවා හැරෙන්න අපිට වෙන විකල්පයක්‌ නැහැ..." ඩලස්‌ කීවේය.

මේ අවස්‌ථාවේ ඊට උත්තර දෙන්නට රාජිත ඇමැතිවරයා නැගී සිටියා පමණි. මුළු සභාවම නොසන්සුන් වී කෑගසන්නට පටන් ගත්තේය. රාජිතට කතා කරන්නට දුන්නේම නැත. මන්ත්‍රීවරු ඉතා ග්‍රාම්‍ය වචනවලින් පවා බණිමින් රාජිත වාඩි වන තුරු කෑගැසීය. පසුගිය දිනවල රාජිත අනුගමනය කළ උද්ධච්ඡ ක්‍රියා කලාපය නිසා ශ්‍රිලනිපයේ බහුතරයක්‌ සිටියේ ඔහු හා දැඩි ලෙස උරණවය. මෛත්‍රීපාල කිසිවක්‌ කීවේ නැත. අන්තිමේ රාජිත පරාජය වී වාඩි වුණේය.

මේ අවස්‌ථාවේදී අනුර ප්‍රියදර්ශනද නැගී සිටියේ තත්ත්වය පාලනය කර යම් පැහැදිලි කිරීමක්‌ කරන්නටය. එහෙත් රාජිත විසින් කළඹවනු ලැබ තිබූ සභාව තුළ අනුර ප්‍රියදර්ශනට ඇහුම්කන්දීමට වත් කිසිවකුට ඉසිඹුවක්‌ නොවූහ. අනුරටද අන්තිමේ වාඩි වන්නට සිදුවිය.

අවසන මෛත්‍රීපාල සිරිසේන කතා කළේය.

"මම ඔයගොල්ලගෙ ඔක්‌කොම කතා අහන් හිටිය. ඔයගොල්ලො එකක්‌ මතක තියාගන්න ඕන. මේ 19 වැනි සංශෝධනය රටේ ජනතාව බලාපොරොත්තු වෙනව. මේක මගේ ඡන්ද පොරොන්දුවක්‌. අනිත් අතින් ජනතාවගේ අපේක්‍ෂාවක්‌. අපිට මේක මඟහරින්න බෑ. ඔයගොල්ලො සාධාරණ විවේචන සංශෝධන ලෙස ඉදිරිපත් කළාට කමක්‌ නැහැ. හැබැයි වැඩේ කෙරෙන්නෙ නැති වෙන යෝජනා ගේන්න එපා. මට ඕන කොහොම හරි මේක සම්මත කරලා ජනතාවගේ බලාපොරොත්තු ඉෂ්ට කරන්න. මට අන්න ඒකට උදව් කරන්න. මම ඔයගොල්ලට අවශ්‍ය ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ ආණ්‌ඩුව හදල දෙන්න නායකත්වය ගන්නවා. ඒ වගේම අර ගැසට්‌ එක වැරැදි නම් ඒකත් අහෝසි කරන්න පියවර ගන්නවා. ඔයාල මේ ව්‍යවස්‌ථා සංශෝධනයේ දී වාද භේද අමතක කරලා නිවැරැදි තීන්දුව ගන්න උත්සාහ කරන්න."

මේ අයුරින් එදා ගාලගෝට්‌ටියක්‌ව පැවැති විපක්‍ෂයේ මන්ත්‍රී කණ්‌ඩායම් රැස්‌වීම අවසන් විය.

කෙසේ වෙතත් ජනාධිපති මෛත්‍රී එදා මුළු දවසම පාහේ පාර්ලිමේන්තුවේ සිටියේය. ඔහු සන්ධානයේ එක්‌ එක්‌ කණ්‌ඩායම් නායකයන් හමුවී වෙන වෙනම සාකච්ඡා කළේය. ඒ අතර අගමැති රනිල් ඇතුළු පාර්ශ්වයන්ද හමු වූයේය. හිතුවක්‌කාරී ලෙස සන්ධානේ මන්ත්‍රීවරුන්ගේ හොඳ යෝජනා ප්‍රතික්‌ෂේප නොකරන්නැයි ඔහු කීවේය. එදා රාත්‍රිය වන තුරු ජනාධිපතිවරයාගේ රාජකාරිය වූයේ 19 වැනි ව්‍යවස්‌ථා සංශෝධනය ජයග්‍රහණය කරවන තැනට මන්ත්‍රීවරුන්ගේ මනස සකස්‌ කිරීමයි.

කරුගේ කැපවීම
19 වෙනුවෙන් ලු

මේ අතරතුර 19 වැනි ව්‍යවස්‌ථා සංශෝධනය ජයග්‍රහණය කරවීමට ආණ්‌ඩුවේ විවිධ පාර්ශ්වයන් වෙන වෙනම වැඩසටහන් ආරම්භ කරමින් තිබුණි. රනිල්ගේ හැසිරීම ගැන කවුරු මොන මොන චෝදනා එල්ල කළත් රනිල්ට අවශ්‍ය වූයේ එය ගෙඩිය පිටින් සාර්ථක කරගන්නටය. ඔහු ඒ සඳහා තම කණ්‌ඩායම මෙහෙයවමින් සිටියේය.

මේ අතරතුර 19 වැනි සංශෝධන සඳහා ජාතික බලවේග පෙළගැස්‌වීමේ භාරධූර කාර්ය භාරය කළේ අමාත්‍ය කරු ජයසූරියය. ආගමික බලවේග, ව්‍යාපාරික බලවේග, ජාතික බලවේග හා පාර්ලිමේන්තුවේ කුඩා කුඩා පක්‍ෂවල වෙන වෙනම සිටින බලවේගද හමුවෙමින් කරු ලොකු ව්‍යාපෘතියක්‌ ගෙන යමින් සිටියේය. ඔහු පසුගිය සති දෙක තුන තුළ ඒ පිළිබඳව ගත් වෙහෙස සුළු පටු නොවීය. සමහරු කීවේ දිවා රෑ නොබලා වෙහෙස වී අසනීප වන්නට එපා කියාය.

පාර්ලිමේන්තුවේදී කරූ අදහස්‌ දක්‌වමින් ජනාධිපති බලතල ඉවත් කිරීම ගැන රටේ ජනමත විචාරණයක්‌ පවත්වා බලන්න යෑයි යෝජනා කළේය. එහිදී ජනතාවගේ මතයට ගරු කළ යුතු බව ඔහු කීවේය.

පසුගිය බදාදා මහබෝධි සංගමයේ තිබූ අනගාරික ධර්මපාල ගුණ සමරුවටද ඔහු ගියේය. එහි උත්සව සභාව පැවැත්වුණේ ආනන්ද බාලිකා ශ්‍රවණාගාරයේය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එහි ප්‍රධාන ආරාධිතයා විය. මෛත්‍රී සමග එක්‌වී කරු ජාතික නායකයින්ගේ අතීත ශ්‍රී විභූතිය හා කාර්යභාරය පැහැදිලි කරමින් කතාවක්‌ද කළේය.

තවත් අපූරු හමුවක්‌ මේ අතර සිදු වූයේ හික්‌කඩුවේ සිරි සුමංගල නාහිමියන්ගේ 104 වැනි ගුණ සමරුව නිමිත්තෙන් බණ්‌ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති උත්සවයේදීය. කරු එයට සහභාගි වන විට පැරැණි මිතුරෙක්‌ද එතැන සිටියේය. ඒ අන් කවරකුවත් නොව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂය. හිටපු ජනාධිපතිවරයා සහ කරු ජයසූරිය වාඩිවී සිටියේ යාබද අසුන් දෙකකය. දෙදෙනාගේ කතාබහ කුමන මාතෘකාව ඔස්‌සේ පවතීදැයි සොයා බලන්නට මාධ්‍යවේදීහු වෙහෙසෙමින් සිටියහ. දෙදෙනා කතා කළේ සැබවින්ම 19 වැනි සංශෝධනයේ ගුණදොස්‌ ගැනය. කරුගේ මතය හා ගැළපෙන ආස්‌ථානයක ජනාධිපති මහින්ද ද සිටියේය. කලකින් හමුවන්නට ලැබුණු මේ දෙදෙනා ඉතා සුහදව කතාබහ කරමින් ආ ගිය තොරතුරු විමසමින් සිටීම පවා දැක ගන්නට ලැබීය.

19 වැනි සංශෝධනය
වැඩි ඡන්දයෙන් සම්මතයි

19 වැනි සංශෝධනය මෙවර පාර්ලිමේන්තුවේදී ප්‍රතික්‌ෂේප වේ යෑයි දේශපාලන ලෝකයේ බොහෝ දෙනා බලා සිටියේය. ඊට හේතුව දෙපාර්ශ්වයටම අවසානයේ පැමිණ තිබූ යෝජනාවලිය පිළිබඳව ලොකු ප්‍රසාදයක්‌ නොතිබීමය. විශේෂයෙන්ම අග්‍රාමාත්‍ය ඇතුළු එජාපයට අවශ්‍ය දේ එළිදක්‌වා ගැනීමට 19 වැනි සංශෝධනය විසින් නොලැබිණි. ඔවුන්ගේ ප්‍රමුඛ බලාපොරොත්තු බිඳවැටුණු යෝජනාවක්‌ ලෙස මෙහි අවසන් ප්‍රතිඵලය පැමිණ තිබුණි.

ඒ ආකාරයටම ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයටද 19 වැනි සංශෝධනය ගැන ආශ්වාදයක්‌ තිබුණේ නැත. ඔවුන් බිය වූයේ මේ සංශෝධනයෙන් බිහිවන ඊළඟ අගමැතිවරයා රනිල් වුවහොත් කුමකින් කුමක්‌ වේදැයි කියාය. මේ පසුගිය දින 100 තුළ මේ තරම් රළු පරළු ගති ඇති පුද්ගලයෙකු ලෙස ක්‍රියා කළ ඔහු නිසි අගමැති බලතල ලැබුණහොත් කෙසේ ක්‍රියා කරාවි ද කියන ප්‍රශ්නය ඔවුන් තුළ වූහ. මේ නිසා හැකි තරම් සංශෝධන දමා 19 වැනි යෝජනාවලිය තුළ තිබෙන අලුත් යෝජනාවල බර හෑල්ලු කර ගන්නට විපක්‍ෂයට අවශ්‍ය විය. මේ නිසා සංශෝධන ඉදිරිපත් කිරීමට ඔවුන් බලාපොරොත්තුව සිටියහ.

කෙසේ වෙතත් මෙසේ ඉදිරිපත් කරන සංශෝධන පිළිගන්නට එජාපය බලාපොරොත්තු නොවෙතැයි විපක්‍ෂය සිතුවේය. එසේ වුවහොත් කාරක සභා අවස්‌ථාවේදී යෝජනාවලිය පරාජය කර ඊළඟ පියවර සඳහා රැස්‌වීමට විපක්‍ෂයේ මන්ත්‍රීවරු කතා කරගෙන සිටියහ. විශේෂයෙන්ම මේ මෙහෙයුම සංවිධානය කරනු ලැබුවේ දිනේශ් ගුණවර්ධන, විමල් වීරවංශ, ඩලස්‌ අලහප්පෙරුම, බන්දුල ගුණවර්ධන, වාසුදේව නානායක්‌කාර, ටී. බී. ඒකනායක, කුමාර වෙල්ගම, මහින්දානන්ද ඇතුළු පිරිසයි. 29 වැනිදා හවස යෝජනාව පරාජය වුවහොත් රාත්‍රියේ ප්‍රසන්න රණතුංගට අයත් කොළඹ නිල නිවසේ එකතු වී ඊළඟ පියවර සාකච්ඡා කරන්නට සියල්ල කතා කරගෙන සිටියහ. පාර්ලිමේන්තුව ඉවර වී සියල්ලෝම එදා රාත්‍රියේ ප්‍රසන්නගේ නිවසට යන්නට බලා සිටියහ.

එහෙත් 19 වැනි සංශෝධනය ගෙනැවිත් සාකච්ඡා කර විවාද කර හවස ඒ පිළිබඳ යෝජනා ඉදිරිපත් කරන්නට විපක්‍ෂයට අවස්‌ථාව ලැබිණි. පුදුමයට කාරණාව වූයේ ඉදිරිපත් කළ සියලු සාධනීය යෝජනා ආණ්‌ඩු පක්‍ෂය විසින් සතුටින් පිළිගැනීමයි. අන්තිමේ සංශෝධන සහිත 19 වැනි සංශෝධන ලියෑවිල්ල වැඩි ඡන්දයෙන් සම්මත කර ගැනීමට පාර්ලිමේන්තුවට හැකි විය.

ඒ අනුව කලින් යොදාගෙන තිබූ ප්‍රසන්නගේ නිවසේ හමුවීමේ සැලසුම අහෝසි කෙරිණි. රාත්‍රී 11.00 පමණ වන තෙක්‌ පාර්ලිමේන්තුවේ කටයුතු නිමා නොවීය. 19 වැනි සංශෝධනය සම්මත විය. එය සම්මත වූයේ සංශෝධන සහිතව වුවත් විධායක ජනාධිපති ක්‍රමය මෙරටින් තුරන් කිරීමේ සියලු ගෞරව තමන් ලබා ගන්නට එක්‌සත් ජාතික පක්‍ෂයේ මාධ්‍ය එකමුතුව වෙහෙසෙමින් සිටියේය. පසුදා පාන්දර වන විට "කුමන්ත්‍රණය පරාදයි - 19 සම්මතයි" යනුවෙන් රටපුරා පෝස්‌ටර් පවා ඇලවෙන්නට වූයේ ඒ මෙහෙයුම අනුවය.

කෙසේ වෙතත් 19 යෝජනාවෙන් කිසිවෙක්‌ ජයගෙන තිබුණේද නැත. කිසිවෙක්‌ පරාජය වී තිබුණේ ද නැත. සමහරු කීවේ විධායක බලතල අහෝසි කිරීම යන බෝඩ් ලෑල්ල යටතේ යෝධ අලියෙක්‌ දිවුල් ගෙඩියක්‌ බිම දමා ඇති බවය. ඒ දිවුලයේ මදය පුරවන්නට තමන්ගේ යෝජනාවලට හැකිවූ බව කියමින් විපක්‍ෂය උදම් අනන්නට විය. හැම පැත්තෙන්ම දේශපාලනඥයෝ මේ ආකාරයට බොරු චූන් ගනිද්දී තවත් සතියක්‌ වේගයෙන් නිම වෙමින් තිබිණ.

බැසිල්ගේ උපන්දිනයට
රෝහලෙන් කිරිබත්

පසුගිය සතියේ බැසිල් රාජපක්‍ෂ සිය උපන්දිනය සැමරුවේ බන්ධනාගාර රෝහලේ සිටය. පොළොන්නරුවේ මන්ත්‍රීවරයකු වන සූරියආරච්චි එදා උදේ පාන්දරම කිරිබත්, කැවුම්, කොකිස්‌ ලොකු පාර්සලයක්‌ රැගෙන බැසිල් බලන්නට ගියේය. ඒ යද්දී රෝහලෙන්ද බැසිල් වෙනුවෙන් කිරිබත් සංග්‍රහයක්‌ කර තිබීම විශේෂත්වයකි.

මේ අතර විපක්‍ෂයේ මන්ත්‍රීවරු පිරිසක්‌ද එහි සිටියහ. සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ උප ඇමැතිවරියද පැමිණ සිටියාය. ඇය අමතා බැසිල් අපූරු කතාවක්‌ කීවේය.

"අපි ඔබතුමියත් එක්‌ක තරහ නැහැ"

"ඇයි සර් එහෙම කියන්නෙ" බැසිල් කී කතාවට විමතියෙන් යුතුව සුදර්ශනී වධ කරමින් විමසා සිටියත් බැසිල් ඊට උත්තරයක්‌ දුන්නේ නැත. ඒ නිසා සුදර්ශනී ආවේ ප්‍රශ්නාර්ථයක්‌ හිතේ තබාගෙනය.

පසුගිය බ්‍රහස්‌පතින්දා උදේ ශ්‍රිලනිපයේ මහින්ද කණ්‌ඩායමේ මන්ත්‍රීවරු පිරිසක්‌ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ හමුවන්නට මිරිහානේ නිවසට ගියහ. ඔවුන් ගොස්‌ කතාබහ කළේ 19 සංශෝධන ලියෑවිල්ල සම්මත වීම පිළිබඳවය.

එහෙත් මහින්ද රාජපක්‌ෂ සිටියේ ඉතාමත් සැහැල්ලුවෙනි.

"ඔක්‌කොම හරි සර්. ඒත් මෙතැන හරි අපූරු දෙයක්‌ වුණා. සර්ට විරුද්ධව අපරාධ කොට්‌ඨාසයෙන් ප්‍රශ්න කිරීමක්‌ ආපු වෙලාවේ ශ්‍රිලනිපයේ ඔක්‌කොම එකතු වුණානෙ... ඒ වගේ මේ 19 වැනි සංශෝධනයටත් අපට පුළුවන් වුණා ඔක්‌කොම එකතුවෙලා තනි මතයකින් වැඩ කරන්න. එහෙම කරල තමයි අපට ඕන විදිහට මේ සංශෝධනය හරවල ගත්තෙ. එක්‌සත් ජාතික පක්‍ෂය හිතාගෙන ඉන්නව, මාධ්‍යවල කියවනව, කුමන්ත්‍රණ පරදවල ඒගොල්ලො ජයගත්ත කියල. ඒත් සර් මේක තමයි මෑත කාලීන ඉතිහාසයේ පාර්ලිමේන්තු බලය කාටවත් නොපෙනී විපක්‍ෂය විසින් පාලනය කරපු අවස්‌ථාවයි. අපි ගෙනාපු කිසිම සංශෝධනයකට විරුද්ධ වෙන්න ලැබුණෙ නැහැ. යෝජනාව ඇතුළෙ ඇත්තටම තියෙන්නෙ අපේ සංශෝධන."

මේ අයුරින් හිටපු ජනාධිපතිවරයාට කරුණු පැහැදිලි කළේය. ඉන් අනතුරුව ඔවුන් කතා කළේ ඉතිරි ප්‍රශ්න ටික විස¹ ගන්නා ආකාරයයි.

මෛත්‍රී මහින්ද හමුවකටත් ඔන්න මඟ පෑදිලා

ඉන්පසුව ශ්‍රිලනිපයේ මුඛ්‍ය අවධානය යොමුව තිබුණේ මහින්ද රාජපක්‍ෂ සහ මෛත්‍රීපාල සිරිසේන අතර සාකච්ඡාවක්‌ ඇතිවී ශ්‍රිලනිපයේ සමගිය ගොඩනැඟීම ගැනයි. ඒ සම්බන්ධයෙන් තිබුණු ලොකුම බාධකය චන්ද්‍රිකා බව දෙපාර්ශ්වයේම මතය වූහ. පසුකාලීනව එම බාධකයත් ටිකෙන් ටික අක්‍රීයව යන බව දැනෙන්නට වී තිබුණි. මේ සම්බන්ධයෙන් බාධක කෙසේ වෙතත් පාර කපන පිරිස නම් අධික විය. ටී.බී. ඒකනායක, කුමාර වෙල්ගම ඇතුළු පිරිසක්‌ තම සියලු ප්‍රශ්න අමතක කර පසුගිය දිනවල දිවා රැයේ වෙහෙසුණේ මෙම අවස්‌ථාව උදාකරලීමටයි. කෙසේ වෙතත් මැයි දිනයෙන් පසුව වෙසක්‌ නිවාඩුව තුළ මේ සාධනීය හමුව සිදුවනු ඇති බව කාගේත් විශ්වාසය වූහ.

බුලිත ප්‍රදීප් කුමාර
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.